Hotel Sunzet හී විවෘත කිරීමේ උත්සවය සැලසුම් කල ආකාරයටම ඉතා හොඳින් නිම වූ අතර ඒ පිළිබඳව කෛලාශ් ඇතුලු දෙමව්පියන් දෙදෙනාද මන්දාකිණි හට බොහෝ ස්තූතිවන්ත වූහ.හෝටලය පුරා ඇවිද යමින් සුන්දර ලෙස නිමා වී තිබූ අභ්‍යන්තර නිර්මාණ කටයුතු පිළිබඳව උත්සවයට පැමිණ සිටි සියලු දෙනාම පාහේ වර්ණනා කරද්දී මන්දාකිණි පසෙක සිට නිහතමානී ලෙස සතුටු වූවාය. ජීවිතය තමාගෙන් යමක් උදුරා ගනිද්දී තවත් යමක් හිමි කර දෙන බවත්, සියල්ලටම වඩා වටින්නේ තම ජීවිතයේ මානසික නිදහස බවත් මන්දාකිණි ඉගෙන ගනිමින් උන්නාය.
විවෘත කිරීමේ උත්සවයට පැමිණි පිරිස නික්ම ගිය පසුව කෛලාශ් දෙමව්පියන් දෙදෙනා සමග තමා වෙනුවෙන්ම සකස් කරන ලද කාර්යාල කාමරයට පිවිසි අතර මන්දාකිණි සහ සත්සර ද ඔවුන් හට එක් වූවාය.
” office එකේ තීම් එක නම් ටිකක් වෙනස් නේද පුතා ? “
ඇන්ඩ්‍රියා කීවේ බිත්තියේ පසෙක එල්ලා ඇති පින්තාරුව ඇඟිලි තුඩු වලින් අත ගාන අතරේය. සත්සර තොල්පට තද කර ගෙන සිනාසනු අතර මන්දාකිණි ලැජ්ජාවෙන් මෙන් බිම බලා ගත්තාය.
” හැබැයි ඉතින් ලස්සනයි. ”
ඇන්ඩ්‍රියා ගේ අදහසට එරික් විසින් අඩු පාඩු එකතු කළේය.
” ඇත්තටම ඉතින් මේක හදන්න හිටියේ මෙහෙම නෙමෙයි අම්මා.මම මීටින් එකකට මන්දාකිණි ගේ ඔෆිස් එකට ගිය වෙලාවේ මට ඒ office එක දැක්කම ආස හිතිලා ප්ලෑන් එක වෙනස් කලා ”
මතකයෙන් නොමැකෙන දිනයක් එසේ නිමා වුනු අතර මන්දාකිණි නිවසට යාම සඳහා වාහනයට නැගුණේ බොහෝ සැහැල්ලු හැඟීමකිනි. කෛලාශ් සහ දෙමව්පියන් සත්සර සමග නිවස බලා යාමට සූදානම් වුවත් ඇන්ඩ්‍රියා නැවත වාහනයෙන් බැස පිටත් වන්නට සූදානම් වී සිටි මන්දාකිණි ගේ වාහනය කරා පැමිණියාය. මන්දාකිණි වාහනයේ වීදුරුව පහත් කර බලා සිටියේ කුමක් හෝ අමතක වූවා දැයි සිතමිනි.
” පුතේ මන්දාකිණි … “
” ඇයි අම්මා ? ”
” අද රෑට අපේ ගෙදර එන්න “
ඇන්ඩ්‍රියා වාහනය තුළට අත දමා සුක්කානම මත තිබූ මන්දාකිණි ගේ අත මත තැබුවාය.
” මගේ පුතා වෙනුවෙන් මෙච්චර මහන්සි වෙලා තියන ඔයා අපේ ගෙදර කෑමකට එන එක අපිට සතුටක් ”
මන්දාකිණි මදහසක් පාමින් ඇන්ඩ්‍රියාගේ ආරාධනාව පිළිගත් අතර ඇන්ඩ්‍රියා නැවත හැරී ගොස් වාහනයට නගින තුරු මන්දාකිණි බලා උන්නේ සෙනෙහසිනි.
පොරොන්දු වූ පරිදිම මන්දාකිණි සවස් වරුවේ කෛලාශ් ගේ නිවසට පැමිණි අතර සියලු දෙනාම එය ඉතා සතුටුදායක මොහොතක් බවට පත් කර ගත්තේ කෛලාශ් ගේ කුඩා කාලයේ මතකයන් බොහෝමයක් අවදි කරන අතරේය. ඒ අතරතුරදි පාසලේදී තම පුතු වෙනුවෙන් සෑම මොහොතකම පෙනී හිඳීම වෙනුවෙන් ඇන්ඩ්‍රියා නැවත නැවතත් මන්දාකිණි වෙත ස්තුතිය පුද කර සිටියාය.
කලබලයකින් තොර වූ දින දෙක තුනක් ගෙවී ගියේ ඉන් පසුවය.නීතිඥවරයා විසින් ශෙනාල් ගේ පාර්ශ්වයේ නීතිඥවරයා ගෙන් ලබා ගන්නා ලද තොරතුරු වරින් වර මන්දාකිණි වෙත පැවසුවද මන්දාකිණි ඒවා පිළිබඳව කම්පා නොවී ඉන්නට උත්සාහ ගත්තාය. ඒ වෙනුවට ඇය පසුගිය සමයේ මගහැරුණු ව්‍යාපෘති කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කර සාමාන්‍ය ජීවිතයකට හුරු වෙමින් උන්නාය.
මන්දාකිණි විසින් මිලට ගත් නිවාස සංකීර්ණයට එක දිනක් හෝ දෙමව්පියන් නොපැමිණි නිසා ඔවුන් දෙදෙනා හට නිවසට ආරාධනා කරන්නට මන්දාකිණි සිතුවේ තවත් දින කිහිපයකට පසුවය. මේ වන විට ඒ සඳහා කිසිදු බාධාවක් නොමැති බැවින් මන්දාකිණි එක් දිනයකදී කාර්යාලයට නොගොස් දෙමාපියන් ගේ පැමිණීම වෙනුවෙන් සූදානම් වූවාය.
පුෂ්පා සහ ධර්මරත්න මන්දාකිණි ජීවත් වන නිවාස සංකීර්ණය වෙත පැමිණියේ උදෑසන දහයට පමණය. මන්දාකිණි බිම් මහලට ගොස් ප්‍රධාන පිවිසුමෙන් දෙමව්පියන් කැඳවා ගෙන විදුලි සෝපානය ඔස්සේ දසවන මහලට පැමිණ නිවසට ඇතුළු වූවාය.ප්‍රධාන දොර අසල නැවතුනු පුෂ්පා සහ ධර්මරත්න පුදුමය මුසු වූ දෑස් වලින් නිවස පුරා බැල්මක් හෙළුවෝය.
” ඔයා පොඩි ගෙයක් කිව්වෙ මේකටද මන්දාකිණි? ”
පුෂ්පා ඇසුවේ විවෘත මුළුතැන් ගෙය වෙත ඇතුළු වෙමිනි. මන්දාකිණි ධර්මරත්න අත වූ ගමන් බෑගය අතට ගෙන සෝෆාව මතින් තබා සිනාසුනාය.
” පොඩී තමයි අම්මා ඉතින්. කාමර තුනයි. ඒකෙන් එකකුත් ස්ටෝරූම් එක ”
” මේක මහා සාගරයක් වගේ ගෙයක් නේ පුතේ”
ධර්මරත්න එසේ කියමින් සුවපහසු සෝෆාවට බර වූයේය. මන්දාකිණි ඉහළ කබඩ් එකකින් වීදුරු දෙකක් පිටතට ගෙන ඒවා කවුන්ටරය මත තබා ශීතකරණය විවෘත කර උදෑසන දී සකස් කළ පළතුරු යුෂ ජෝගුව පිටතට ගත්තාය.
” ඔයාට බය නැද්ද පුතේ මේ ගෙදර තනියම ඉන්න? ”
පුෂ්පා මන්දාකිණි වෙත කිට්ටු වූවාය.ඒ මොහොතේදී මන්දාකිණි හට දින ගණනාවකින් නොදැනුණු තරමේ කම්පාවක් දැනුනේ ශෙනාල් පිළිබඳව සිහිපත් වීමත් , දෙමව්පියන් හට සත්‍ය සැඟවීමට තව දුරටත් සිදු වන නිසාත්ය.
” එහෙම බයක් නෑ අම්මා. පල්ලේහා security එකක් තියෙනවනේ “
මන්දාකිණි එක් පලතුරු යුෂ වීදුරුවක් පුෂ්පා අතට දී අනෙක් පලතුරු යුෂ වීදුරුව ගෙන සාලයට පිවිසියාය.
” කම්පනි එකේ වැඩයි ගෙදර වැඩයි ඔක්කොම කොහොමද කර ගන්නේ? “
ධර්මරත්න පලතුරු යුෂ වීදුරුවෙන් බිඳක් තොල ගෑවේය.
” ඔයා බිස්නස් බලා ගෙන ගෙදරත් බලාගන්න විදියටම තමයි තාත්තා “
මන්දාකිණි උත්සාහ කළේ සැහැල්ලුවෙන් සිනාසෙන්නටය. එහෙත් එය සිතූ තරම් පහසු වූයේ නැත.
” ඒ වුනාට පුතේ ඔයා සර්වන්ට් කෙනෙක් ගත්තනං හරි නේද. තනියට හරි ඉඳීවිනේ
තම දියණිය ස්වාධීන යුවතියක ලෙස ජීවත් වීම මෙතෙක් කාලයක් පුරාවට තමා සහ තම සැමියා අගය කළද ඇය තමන් දෙදෙනාම නැති නගරයක තනි වී ඇතැයි යන හැඟීමක් මන්දාකිණි ගේ නිවසට ඇතුළු වූ මොහොතේ පටන්ම පුෂ්පා ගේ හදවත පෙළමින් තිබිණි.
” අයියෝ අම්මා මට කිසිම තනියක් නෑ.මං මෙච්චර කල් මගේ හැම දෙයක්ම තනියම කර ගත්තනෙ. මට දැන් හැමදේම කර ගෙන පුරුදුයි”
දෙමව්පියන්ගේ සිත් අස්වසන්නට මන්දාකිණි උත්සාහ කළේ හදවතින් හඬා වැටෙමිනි.පසුගිය කාලය පුරාවට තමා මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම් තම දෙමව්පියන් දැන උන්නා නම් ඔවුන් කුමනාකාරයකට හැසිරෙනු ඇති දැයි මන්දාකිණි කල්පනා කළේ රූපවාහිනිය ක්‍රියාත්මක කරන අතරේය.
” ආ පුතේ “
ධර්මරත්න හිස් වූ පලතුරු යුෂ වීදුරුව ටීපෝව මත තබමින් දීර්ඝ කතාවකට මුල පිරුවේය.
” අපිට ඉන්න එකම ළමයා ඔයා වෙච්චි එකේ,ඔයාගේ කල වයසත් හරි නිසා අපි හිතුවා ඔයාව පිළිවෙලක් කරලා දාන්න ”
ධර්මරත්න එසේ කියා අවසන් වූ විට මන්දාකිණි ඇතුලාන්තයෙන් දැවෙමින් බලා උන්නාය.
” මගේ බිස්නස් එකත් ඔයාටම දෙන්න මම හිතුවා. මං කියන්නේ දැම්ම නෙමෙයි. කවද කොහොම හරි ඔයාට ඕවා අයිති වෙන එකනේ”
මන්දාකිණි කිසිවක් නොකියා බලා උන්නාය.ශෙනාල් හේතුවෙන් හදවතේ ඇති වූ තුවාල තවමත් එසේමය.ඒවා සුව වීමට තව බොහෝ කාලයක් ගත වනු ඇත. එවැනි තත්ත්වයක් යටතේ තම දෙමව්පියන්ගේ කීමටද එකඟ වීම කිසිසේත්ම කළ නොහැක.
” මේ.. ඔයාට ප්‍රපෝසල් එකකුත් ඇවිල්ලාා තියෙනවා පුතේ ”
අනතුරුව පුෂ්පා හඬ අවදි කළාය. ධර්මරත්නගේ හිතවත් ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු පිළිබඳව පැමිණි විවාහ මංගල යෝජනාව පිළිබඳව මන්දාකිණි සමඟ සාකච්ඡා කරන්නට නිවසේ සිටම සැලසුම් කරගෙන පැමිණි නිසා සෘජුවම කතාවට අවතීර්ණ වන්නට පුෂ්පා අත්පොත් තැබුවාය.
” මට…. ”
මන්දාකිණි කිසිවක් කරකියා ගත නොහැකිව මව්පියන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලමින් අපහසු තත්පර කිහිපයක් ගත කළාය.
” ඔයාට මතකද සිරිවර්ධන අංකල්ව. අර මැණික් බිස්නස් කරන්නේ. එයා ඔයාට proposal එකක් ගෙනාවා එයාගෙ පුතා ගැන.එයත් කරන්නේ මැණික් බිස්නස් මයි. හොඳ වැදගත් පවුලක් පුතේ. අනිත් එක ඔයා මේ ඉන්න තත්වෙට ගැලපෙන්නෙ ඒ වගේ හොඳ වැදගත් පවුලක ළමයෙක්. අපි වුනත් ඔයාව හැදුවේ කිසි අඩුපාඩුවක් නැතුව නේ “
ධර්මරත්න එසේ කියා අවසන් කර මන්දාකිණි පිළිතුරක් දෙනතුරු බලා උන්නේය. නිහඬ විනාඩි කිහිපයක් එසේ ගෙවී අවසන් වෙද්දී එක වරම නිවසේ සීනුව නාද විය.


