මනුජිත්ගෙන් එක කෙටි පණිවිඩයක් පැමිණියේ දහරා කෙටි පණිවිඩ කිහිපයක් යැව්වාට පසුවය.
“ඔයා මේ වෙලාවේ ගෙදර යන්න. ඔයා ගැන වගකීමක් ගන්න තරං කෙනෙක් අපේ ගෙදර මේ වෙලාවේ නැහැ. අනිත් එක අපේ අම්මා ඔයාගේ වැඩ කරන්න කැමතිත් නැහැ. බබා ලැබිලා මාස තුනක් ගියාට පස්සේ එතනින් එහාට වෙන්න ඕන මොනවද කියලා මම කියන්නම්. ඒක නිසා ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ගෙදර යන්න. මම ගියාට පස්සේ කතා කරන්නම්.”
යනුවෙන් සටහන් වූ කෙටි පණිවිඩය දහරා කිහිප වරක්ම කිය වූවාය.
“උඹටනම් ලැජ්ජාවක් ඇත්තෙම නෑ තමයි දහරා. ඔච්චර ප්‍රතික්ෂේප කරන තැනක තිරිසන් සතෙක්වත් රැඳිලා ඉන්නවද බං. බලහං උඹ මනුජිත්ගේ අම්මයි තාත්තයි ගැන හිතුවා. ඒ මිනිහා එක විනාඩියකටවත් උඹ ගැන හිතුවද?”
නිශාදි ඇසුවේ කෝපයෙන්ය. කෝප ගත්තත්, බැණ වැදුනත් කියවූවත්, තමාට දුක බෙදා ගන්නට සිටියේ ඈ පමණි.
“ප්‍රතික්ෂේප වෙන බවත් දන්නවා. එයාට මාව ඕනේ නැති බවත් දන්නවා. සමහරවිට මෙහෙම ගිහිල්ලා ඉන්නේ මාව මගහරින්න ඕන නිසා වෙන්න ඇති කියලත් දන්නවා. ඔයා කියන විදිහට මං මෙතන බලෙන් රැඳිලා ඉන්න බවත් මම දන්නවා. ඒත් ඊට එහා මං මොනවා කරන්නද. නිශාදි මං ආදරය කළේ මනුජිත්ට. මගේ ජීවිතේ හැම දෙයක්ම දුන්නේ එයාට. මං ගෑණියෙක් වුනේ එයාගෙන්. මං අම්මා කෙනෙක් උනේ එයාගෙන්. බලෙන් හරි මෙතන රැඳිලා ඉන්නේ නැතුව මං කොහේ යන්නද. අපේ ගෙදර දරුවෝ හතර පස් දෙනෙක් හිටියේ නෑ නිශාදි. ඉඳපු එකම දරුවත් මිනිහෙක් නැතුව දරුවෙක් හදාගෙන එතන වැටිලා ඉන්නකොට ඒ මිනිස්සුන්ට මොනවද හිතෙන්නේ?. මුළු ජීවිත කාලෙම කඳුළුත් එක්ක නේද ගෙවන්න වෙන්නේ. මේ වෙලාවේ මට මගේ වේදනාවට වඩා එයාලගේ හිතේ සැනසීම වටිනවා. දන්නවද…මං මගේ අම්මට, ආච්චිට, මාමට බොරුවක් කියන්න පටන් ගත්තේ මනුජිත් හම්බවුණාට පස්සේ. හැම සිල් පදයක්ම එතනින් කැඩුණා. මං දන් නෑ මොන අහේතුවකටද කියලා මං ඒ හැම කෙනෙක්ටම වඩා මනුජිත්ට ආදරය කළා. මනුජිත්ව විශ්වාස කළා. මං හරි අසරණයි..වෙන මං මොනව කරන්නද..”
දහරා කියවාගෙන ගියේ කටපාඩම් කරගෙන සිටියා සේය. ඒ හඬ හැඬුම් මුසුවී තිබිණ. මේ සිතෙහිවන වේදනාව ඇයට පහදා පවසන්නට ඕ දැන සිටියේ නැත. බනින්නේත්, උපදෙස් දෙන්නේත්, කෑ ගසන්නේත්, තරවටු කරන්නේත් ආදරයට බව විශ්වාසය. එහෙත් මේ සිත්හි ඇවිලෙන ගින්දර නිවා දමන්නට ඒ කිසිවකට හැකි වූයේ නැත.
“අනේ දහරා මං උඹ රිද්දවන්න කිව්වා නෙමෙයි. මට කේන්තියි. ඒ තරම් කේන්ති එන්නේ දුක වැඩිකමට. ඒ තරම් රිදෙන්නේ දුක වැඩි කමට. මෙහෙම අසාධාරණකම් වෙච්ච මෙහෙම පැරදිච්ච මෙහෙම වැටිච්ච ගෑනු ඕන තරම් මේ ලෝකෙ ඇති. මං ඔයාගෙන් අහන්නේ හැමදාම මේ විදිහට ජීවත් වෙන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා. මං හිතන්නේ නෑ රීටා ආච්චිටවත්, සාමා නැන්දටවත්, චූටි මාමටවත් උඹ බරක් වෙයි කියලා. උඹ කොහොම මොන විදිහට එයාලගෙන් හැංගෙන්න හැදුවත් එයාලා දන්නවා උඹ ජීවත් වෙන්නේ හොඳින් නෙමෙයි කියලා. ඒ සිතුවිල්ලම ඇති බං ඒ මිනිස්සුන්ගේ පපුව පුච්චන්න. වේලක් නොකා වේලක් කාලා හරි උඹ ඒ මිනිස්සු ළඟ වැටිලා ඉන්න එක මීට වඩා සැනසීමක් වෙයි. හරි….වැරැද්දක් උනා. වැරැද්දක් කළා. එහෙම කියලා ජීවත්වෙන හැම තත්පරයක්ම ගිනි ගොඩක ජීවත් වෙන්න ඕනද බං. ජීවිතය හදාගත්තේ ජීවිතය ලස්සන කරගත්තේ හැමදාම මල් පාවාඩ උඩ ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි. වැටිච්ච මිනිස්සු, පැරදිච්ච මිනිස්සු, අඬපු මිනිස්සු. මට හැමදාම ඕන වුණේ උඹට ඒ ටික කියලා දෙන්න. මං කියපු සමහර දේවල් වලින් උඹේ හිත රිදුනනම් මට සමාවෙයං…”
“මං දන්නවා ඔයාලා ඔක්කොම මට ආදරෙයි කියලා. ඒ උනාට…”
“ඒ උනාට මේ උනාට කියලා හැමදාම ඔහොම ඉන්න බෑ. අපි නැගිටින්න තැනක් හොයමු…”
නිශාදි තවත් බොහෝ දේ කියවූයේ දහරාගේ හිත හැදෙන්නටය.
“මට පුළුවන්ද බං ආපහු ජීවිතේ පටන් ගන්න දරුවෙකුත් එක්ක..”
ඒ සියල්ල අසා සිට අවසන ඈ ඇසුවේ එහෙමය.
“ඔව්.. ඇයි බැරි…ඒ අර වෙනදා ඉඳපු ලඳ බොළඳ කෙල්ල විදිහට නෙමෙයි. හරි ශක්තිමත් ගැහැණියක් විදිහට. අම්මා කෙනෙක් විදිහට. අම්මා කෙනෙක්ගේ ශක්තියට මොනවද දහරා කරන්න බැරි. ඔයා දන්නවද අම්මා කෙනෙක්ගේ දුර්වලම තැනත් දරුවෝ. ඒ වගේම තමයි අම්මා කෙනෙක්ගේ ශක්තිමත්ම තැනත් දරුවෝ.
දන්නවද මට මේ දේවල් කිව්වෙ කවුද කියලා.”
“නෑ…”
“රමාෂ්…රමාෂ් කිව්වා ඔයාගේ හිතේ ශක්තිමත්ම තැන දරුවා කරගත්තොත් ඔයාට ආපහු නැගිටින්න බැරි නෑ කියලා.”
දුක් සුසුමක් මුදාහළ දහරා එහෙමම ඇඳ මත වැතිරුණේ දුරකථනය විසන්ධි කරමින්ය. ප්‍රශ්න කිරීම්, බැණ අඬ ගසා ගැනීම්, සිත් වේදනා රැසකට පසු අවසන මනුජිත් තමාව විවාහ කරගන්නට තීරණය කරද්දී දහරා සිතුවේ යළිත් තම ජීවිතයට වසන්තය පැමිණියායැයි කියාය. සරසවි සිහිනය බොඳ වූවත් බිරිඳක ලෙස දියණියක ලෙස මවක ලෙස තම ජීවිතයේ යුතුකම් ඉටු කරන්නට ඇය පේවී උන්නාය. ලබන සිකුරාදා විවාහය සිදුවනවායැයි නිවසට පැමිණ පැවසූයේ චූටි මාමාය. “උඹ කොහොමද දන්නේ..”යනුවෙන් ආච්චී ඇසූ විට ඔහු පැවසූයේ “මනුජිත් මට කතා කළා….”යනුවෙන්ය. එතැන් සිට විවාහය පිළිබඳව සියල්ල කතා කළේ ඔහුත් මනුජිතුත්ය. මනුජිත් දහරාට එවූ වට්සැප් පණිවිඩ ඉතා කෙටි ඒවාය. ඒවායේ වූයේ දහරා යමක් අසද්දී ‘ඔව්’ ‘හා’ ‘හොඳයි’ වැනි පිළිතුරුය.
“ඒ ගෙදරට ගෙනියන්න කැවිලි පෙවිලි ටිකක් හරි හදාගන්න එපැයි බං. සතියෙන් කොහොමද මඟුලකට ලෑස්ති වෙන්නේ..” යනුවෙන් ආච්චි මැසිවිලි නගද්දී ‘ඒවා පස්සෙ බැරියෑ..’ යනුවෙන් චූටි මාමා පැවසූයේ සැරවෙමින්ය. එහෙත් හැකි අයුරින් ආච්චි කැවිලි පෙවිළි කිහිපයක්ම සෑදුවාය. අම්මා රන් පැහැ නූලකින් රටා දැමූ බටර් පැහැ සාරියක් රැගෙන ආවේ බොරැල්ලෙන්ය. එපමණක් නොව ඕ දහරාට වළල්ලක් සේම පවුමක මාලයකුත් රැගෙන ආවාය. මින් වසරකට පමණ ඉහතදී තමා සීට්ටුවක් දමා එකතු කළ මේ මුදල අරපරිස්සමට හංගාගෙන සිටියේ දහරා විශ්ව විද්‍යාලයට ගියහොත් වියදම් කරන්නයැයි අම්මා ආච්චි සමග පවසනු දහරා අසා සිටියාය. සාරි හැට්ටය මැසුවේ වත්තේම නිවසක රූපලාවන්‍යාගාරයක්කළ ජනාධිය. බ්‍රහස්පතින්දා සවස මාමා නිවසට පැමිණියේ කේක්, ආස්මි, කළු දොදොල් සහ කෙසෙල් කැනක් සමඟය. ඒවා පෙට්ටිවල ඇසිරූයේ නිශාදිත් චූටි මාමාත් එකතුවය. සාරිය අන්දා, කොන්ඩා මෝස්තරයක් දමා උදෑසන දහරාව සූදානම් කෙරුවේත් ජනාධි විසින්ය. මංගල්‍යයට නැකතක් නොවූ නිසා ආච්චී දහරාව නිවසින් පිට කරන්නට පෙර රාහු කාලය බැලුවාය. අවසන මාමා විසින් ගෙන්වාගත් කුඩා වෑන් රථයට ගොඩ වූ සියලු දෙනාම රෙජිස්ට්‍රාර්වරයා හමුවට පැමිණියත් මනුජිත් හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු පැමිණ සිටියේ නැත.
“එයාලා මගලු….”
චූටි මාමා රෙජිස්ට්‍රාර්වරයාට පැවසූයේ පමාවට සමාව අයදිමින්ය. අවසන මනුජිතුත් ඔහුගේ මවත් පියාත් ත්‍රී රෝද රථයකින් බසිද්දී දහරා වෙවුලා ගියාය. කළු පැහැ කලිසමකුත් අඳුරු පැහැ කමිසයකුත් ඇද උන් තරුණයා පැමිණ සිටියේ තමාගේ ජීවිතයේ විශේෂ කටයුත්තකට සහභාගී වන බව නොදැන සිටියා සේය. ඔහුගේ මව සැරසී සිටියේත් සාමාන්‍ය ගමනකට අඳින දිග සායකිනුත් හැට්ටයකිනුත්ය.
“මනමාල මහත්තයා තවත් ප්‍රමාද වෙනවද?”
රෙජිස්ට්‍රාර්වරයා යළිත් ඇසුවේ මනුජිත් පැමිණ දහරා අසලින් සිට ගනිද්දීය. අවසන විවාහය ලියාපදිංචි කෙරුණත් කිසිවෙකුගේ මුහුණුවල සිනහවක් දහරා දුටුවේ නැත. තමාට හැකි උපරිමයෙන් සැරසී ආ ආච්චිත්, අම්මාත්, නිශාදිත් වූයේ මහත් අපහසුවක් දරාගෙන බව විශ්වාසය.
“හදිසිය නිසා අපිට ඇඳුමක්වත් ලෑස්ති කරගන්න බැරි උනා…”
මනුජිත්ගේ මව එසේ පැවසූයේ රෙජිස්ට්‍රාර්වරයාටය.
සියල්ලෝම මනුජිත්ගේ නිවසට පැමිණියේ දහරාව ඇරලවා යන්නටය. වෑන් රථයේ තිබූ කැවිලි පෙට්ටි කිහිපය එළියට ගත්තේ චූටි මාමාත් නිශාදිත් එක්වය. එහෙත් මනුජිත්ගේ නිවසේදී ඔවුනට ලැබුණේ නිකම්ම නිකං ප්ලේන් ටී එකක් පමණි. එදා දහරාව ඔහුගේ නිවසේ නවතා යද්දී ආච්චී සේම අම්මාත් චූටි මාමාත් නිශාදිත් පිටව ගියේ හිත හොඳකින් නොවන බව විශ්වාසය. දින කිහිපයක් ගතවන තුරුම තමාගේ නිවසේ බතක් නොඉඳුණු බව පැවසූයේ නිශාදිය.
එදා සිට තමා මේ නොමිනිසුන් මැද ගත කළේ පුදුමාකාර ජීවිතයක් යැයි දහරාට සිතිණ. එක කාමරය එක යහන බෙදා ගත්තාට මනුජිත් ඇය හා කතා කළේ වචනයක් දෙකක් පමණි. දහරා නිවසේ වැඩ කටයුතු තමා වෙත පවරා ගත්තේ උවමනාවෙන්මය. එතැන් පටන් මේ මිනිසුන්ගේ සිත් දිනා ගැනීමට හැකි වෙතැයි සිතූ සියල්ලක්ම දහරා කළාය. මනුජිත්ගේ ජීවිතය තුළ ඉඩක් සොයා වෙහෙස වූවාය. ඔහුගේ මවගේත් පියාගේත් ජීවිතවල තමාට තැනක් හදා ගන්නට වෙහෙස වූවාය. එහෙත් දහරාට දැනෙමින් තිබුණේ පරාජිත බවකි. තමාට ලැබුණු ජීවිතය සතුටින් විඳින්නට ඈ හිත හදාගත්තේ අද ඊයේක නොවේ.
මේ නිවසෙන් පිටව යන්නට හිත හදා ගත යුතුයැයි දහරා අවසන විශ්වාස කරමින් සිටියාය. යළිත් මෙම නිවසට පැමිණීමට හැකි වේද නොහැකි වේද යන්න පිළිබඳව ඇය දැන සිටියේ නැත. සියල්ලෝම පවසන පරිදි තවදුරටත් තමාව ප්‍රතික්ෂේප කරන තැනක බලෙන් රැඳිය යුතු යුතුදැයි ඇය තමාගෙන්ම ප්‍රශ්න කරමින් සිටියාය.
“අපිට උරුම දේවල් අපිට අයිති දේවල් කවද හරි දවසක අපිට ලැබෙයි පුතේ. ඒවා වෙනුවෙන් සටන් කරනවට වඩා අත්හැරල දාන එක සැනසීමක් කියලා අද මටත් හිතෙනවා. මේ ඉවසීමේ කෙළවර මට ඔයාව නැති වෙයි කියලා මට බයයි…”
දින කිහිපයකට පසුව දහරා තමාගේ ජීවිතය ලියූ සටහන් පොත පෙරළා ගත්තාය. මම මේ හැම දෙයක්ම ලියන්නේ කවද හරි මගේ පුතාට කියවන්න..මම දන්නෙ නෑ පුතේ තාත්තගෙ ආදරේ අයිතිය කවද ඔයාට ලැබෙයිද කියලා. ඒත් මම ඔයා වෙනුවෙන් හයිය ගැහැනියෙක් වෙලා නැගිටිනවා කියලා අද මං හිතුවා. එහෙම කරන්නනම් මට ආදරේ කරන පිරිස අතරට මම ආපහු යන්න ඕනෙ පුතේ…
එසේ ලියා තැබූ ඕ අවසන සටහන් පොත වසා දැමුවාය.
(යළිත් හමුවෙමු ආදරයෙන්……..)


