ශෙනාල් හට වසර ගණනාවක සිර දඬුවම් විඳින්නට සිදු වී ඇත්තේ මන්දාකිණිට පහර දීම නිසා පමණක්ම නොව ඉන් අනතුරුව ඔහු පිළිබඳව කෙරුණු විමර්ශනයේ දී හෙළිවුණ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුව බව පිළිගැනීමට බොහෝ වේලාවක් තර්ක කර අවසානයේ දී ශෙනාල් ගේ මවට සිදු විය. කිසිවක් කරකියා ගත නොහැකිව ඇය හඬමින් මන්දාකිණි ගේ නිවසේ ප්‍රධාන දොරටුව විවෘත කර ගෙන දිව ගිය අතර දිගු සුසුමක් හෙලූ ශාන්ත , ධර්මරත්න ඉදිරියේ නතර වූයේය.
“අපේ පුතා වැරදි බව පිළිගන්න එයා කොහෙත්ම කැමති නැහැ. එන්න ලෑස්ති වෙනකොටම මම කිව්වා.ඒත් ඇහුවේ නැහැ. මට අපේ පුතා ගැන දුකයි තමයි.ඒත් ඉතින් වරදක් කරානම් ඒකට දඬුවම් විඳින්නත් එපැයි “
ශාන්ත පැවසුවේ සංවේගයෙනි. මන්දාකිණි හට මෙන්ම ඇගේ දෙමව්පියන් හටද ඔහු පිළිබඳව දැනුනේ අනුකම්පාවකි. දරුවන් විසින් කරන ලද බොහෝ වැරදි වලට දෙමව්පියන් හට විඳවන්නට සිදුවීම අවාසනාවකි. ශෙනාල් ගේ දෙමව්පියන්ට අත්ව තිබෙන්නේද එවැනි ඉරණමක් බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණු නිසා ධර්මරත්න ශාන්ත ගේ උරහිස මතින් අත තැබුවේය.
” ඔයාලගේ පුතා අපේ දුවට සලකලා තියෙන විදිය හරිම වැරදියි.ඒත් මම කියන්නේ නැහැ සම්පූර්ණ වැරැද්ද පුතා ගෙ අතේ කියලා. මොන හරි කෙරෙන්න තියෙනව නම් කියන්න. දරුවන් ගේ වැරදි වලට දෙමව්පියෝ ගහ මරා ගත්තා කියලා තේරුමක් නැහැනේ “
සුසුමක් හෙලා ධර්මරත්න හට ස්තුති කිරීමෙන් අනතුරුව ශාන්ත පිටව ගියේය. ඉවසීමෙහි සීමාවේ අගිස්සේ හුන් පුෂ්පා මන්දාකිණි වෙත ඉක්මන් පියවර තබා පැමිණි අතර ශාන්ත අත දිගු කර ඇයව වළක්වාලුවේය.
” වෙච්ච දේවල් වෙලා ඉවරයි ”
සන්සුන් හඬකින් එසේ පැවසූ ධර්මරත්න නැවතත් සෝෆාවට බර වූයේය. සාමාන්‍යයෙන් නිවසේ දී කෝපයට පත් වන්නේ ,යමක් කතා බහ කර විසඳා ගත නොහැකි වන්නේ තම පියා සමගය.එහෙත් මේ ගැටළුව හමුවේ ඔහු හැසිරෙන ආකාරය පුදුම සහගතය.මන්දාකිණි උන්නේ එය දරා ගත නොහැකි තැනකය.
” තාත්තා ”
මන්දාකිණි බිඳී ගිය හඬකින් ධර්මරත්න අමතමින් ඔහු අසලට ගොස් සෝෆාව අයිනෙන් මහ පොළොවේ වාඩි වූවාය.
” කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව මං පැටලිලා හිටියේ තාත්තා “
ධර්මරත්න කිසිවක් කීවේ නැත. පුෂ්පා දෙදෙනාවම පෙනෙන පරිදි සෝෆාවට මුහුණලා වාඩි වූයේ පෙර වූ කෝපයෙනි.
” ඒ මහ මිනිස්සු දෙන්නා මෙතනට ආවේ නැත්නම් ඔයා මේ ප්‍රශ්නේ අපිට නොකියා ඉන්නමද හිටියේ මන්දාකිණි? ආහ්? “
මන්දාකිණි අසරණ වූ දෑස් වලින් කෝපයෙන් පුපුරමින් හිඳිනා තම මව දෙස බැලුවාය.
” මම කියන්න හිටියේ අම්මා. නිදහසේ හුස්මක් ගන්න හම්බ වුණේ ඊයේ පෙරේදා. මේ ප්‍රශ්නයි, office එකේ විසඳ ගන්න තිබ්බ ප්‍රශ්නයි නිසා නිදහසේ ඔය දෙන්න මෙහෙ ආවම මම කතා කරන්න හිටියේ “
ධර්මරත්න මන්දාකිණි පවසනා සියල්ල සාවධානව අසා උන්නේය. තරුණ දියණියකට පෙම්වතෙකු සිටීමෙහි ගැටලුවක් නැත. නමුත් මේ සිදුව තිබෙන්නේ සම්ප්‍රදායන් වලට පටහැනි දේවල් ය. අනෙක් අතට තම දියණිය පෙම්වතා ගෙන් බොහෝ වාරයන් වලදී පහර කෑම වලටද ලක් වී තිබේ. පවුල් ජීවිතයේ දී තමා මොනතරම් කෝපයට පත් වුවද මේ වනතුරු කිසි දිනක පුෂ්පාට පහර දී තිබුණේ නැත.එසේ තිබිය දී තම දියණියට ම එවැන්නක් සිදු වී තිබීම පහසුවෙන් අමතක කර දැමිය හැක්කක්ද නොවේ.
” මේවා දැන ගත්තම අපිට මොනවා හිතෙයිද කියලා ඔයා හිතුවද මන්දාකිණි ? මං දුක් විඳලා හම්බ කරලා උගන්නලා ඔයාව මේ තැනට ගෙනාවේ මේ වගේ හිතුවක්කාර තීරණ අරගෙන ජීවිතේ නාස්ති කර ගන්නද? කොහෙවත් ඉන්න කොල්ලෙක්ගෙන් ගුටි කකා ජීවත් වෙන්න ඔයාට මොකක්ද තිබුන අඩු පාඩුව? ”
ධර්මරත්න මන්දාකිණි දෙස නොබලාම හදවතේ වූ වේදනාව පිට කළේය. එය මන්දාකිණි ව තව තවත් කම්පාවට පත් කළ අතර ඇය පොළව මත වාඩි වාඩි වී හුන් ඉරියව්වෙන්ම තම පියා දෙස බලා උන්නේ කඳුළු පිරි දෑස් වලිනි.
” අනේ තාත්තා.. මට සමාවෙන්න.. ශෙනාල් ව මෙහි නතර කර ගත්ත එක මං දුර දිග බලන්නේ නැතුව කරපු දෙයක්. මුලින් එයා ගේ තිබුණ ගති ගුණ වලට මං හිතුවේ නෑ කවදාවත් එයා මට මෙහෙම කරයි කියලා. අනිත් එක එයා ඩ්‍රග්ස් ගන්නවා කියලා මම දැන ගෙන හිටියේ නැහැ. මට ගහපු වෙලාවේ එයාව ඇරෙස්ට් කරාම එයා ඇප අරගෙන එළියට එයි කියලා මම හිතුවේ. ඒ ආවම එයාව මේ ගෙදරින් යවන්නයි මම හිටියේ “
” දැන් ඕවා කතා කරලා තේරුමක් නෑ. ඔයා හිතන්න ඕනේ ඔයා ගේ අනාගතේ ගැන. අපි කොළඹ ජීවත් උනාට මේක අපේ ගම මන්දාකිණි. මිනිස්සු මේවා දැන ගත්තම කොච්චර ලැජ්ජාවක්ද ඔයාට වෙන්නේ? “
ධර්මරත්න සෘජුවම මන්දාකිණි දෙස බැලූ අතර මන්දාකිණි වරදකාරී හැඟීමෙන් යුතුව බිම බලා ගත්තාය.
” දැන් මෙයාට කරන්න තියෙන්නේ එක දෙයයි ධර්මේ ”
කෝපය පාලනය කර ගෙන නිහඬව බලා සිටි පුෂ්පා අනතුරුව නිහඬතාවය බිඳ දැම්මාය.ධර්මරත්න මෙන්ම මන්දාකිණි ද ඇය දෙසට හැරුණේ එක වරමය.
” මෙයාව සිරිවර්ධන ගේ පුතාට ඉක්මනට බන්දල දෙමු “
තමා මැදි වී හිදින ගැටලුවට පිළිතුර තමාව නොදන්නා පුද්ගලයෙකුට විවාහ කර දීම නොවන බැවින් පුශ්පා තවත් යමක් කියන්නට පෙර මන්දාකිණි වාඩි වී හුන් තැනින් නැගී සිටියාය.
” අනේ අම්මා.. මං එක ප්‍රශ්නෙකින් ගැලවුණා විතරයි “
” ඒවා අපි කියලා දාගත්ත ප්‍රශ්න නෙමෙයි නේ.උඹ අපිට හොරෙන් කරපුවනේ. අපිට මේ ගෙදරට වත් එන්න නොදී මෙයා අපිව මග ඇර ඇර හිටියේ ඕකට තමයි ධර්මේ. පේනවනේ දැන් වෙලා තියෙන දේ? පිට මිනිස්සුන්ගෙන් අපිටයි බැනුම් අහන්න වෙලා තියෙන්නේ “
පුෂ්පා කෝපය මුසු වූ වචන වලින් හදවතේ වූ වේදනාව රිසි සේ පිට කර හැරියාය.එහෙත් ඒ වදන් වලින් වඩා රිදීමට පත් වූයේ මන්දාකිණි සුවපත් කරගන්නට උත්සාහ කෙරූ හදවත මය.
” මොන දේට ඉක්මන් උනත් ජීවිතේට මනුස්සයෙක් තෝර ගන්නකොට ඉක්මන් වෙන්න හොඳ නෑ පුෂ්පා. අපි දෙන්නා වුනත් මෙයාට මේ යෝජනාව ගෙනාවේ මෙයාට එහෙම කවුරුත් නැහැ කියලා හිතාගෙන නේ.දැන් ඉතින් මේ වෙලා තියෙන දේවල් වල හැටියට මෙච්චර ඉක්මනට කසාදෙකට හිත හදා ගන්න බැහැ කියලා අපිට තේරුම් ගන්න බැරි නෑ නේද? ”
පුෂ්පා කිසිවක් නොකියා උන්නාය. තම පියා හෝ තමා වෙනුවෙන් කතා කිරීමම මේ මොහොතේ අස්වැසිල්ලකී.
” හැබැයි මේකයි මන්දාකිණි “
ධර්මරත්න තවත් යමක් කියන්නට සූදානම් වූයේය.
” ඔයා ගේ ජීවිතේ ඔයා විහින් අපිළිවෙල කර ගත්ත එකේ මෙතනින් එහාට ඒක පිළිවෙලක් කරන වගකීම අම්මයි මමයි ගන්නවා. ඒ නිසා ඔයා අපි කියන දේකට කැමති වෙන්න ඕනේ. මම සිරිවර්ධන එක්ක කතා කරලා දිනයක් දාගන්නවා.ඔයා එදාට ගෙදර එන්න ඕනේ.අනිත් එක මෙතනින් එහාට ඔයා කරන කියන හැම දෙයක්මත් අපි දැන ගන්න ඕනේ. එහෙම බැරි නම් ඔය බිස්නස් එකයි මේ ගෙවල් දොරවලුයි දාලා ඔයා ගෙදර ආවට කමක් නෑ “
ධර්මරත්න අවසාන තීන්දුව ලබා දුන් අතර පුෂ්පා එයට අවිවාදයෙන්ම එකග වූවාය. තමා අතද වරදක් ඇති බැවින් මන්දාකිණි කිසිදු හැඟීමකින් තොරව බලා උන්නාය.
” අනිත් එක සිරිවර්ධන වත්, එයාගේ පුතා වත් මේ ප්‍රශ්න දැන ගන්න ඕනේ නැහැ. කොටින්ම මේ සිද්ධ වෙලා තියෙන දේවල් ගැන මෙතනින් එහාට අපි තුන්දෙනා වත් කතා වෙන්න බැහැ “
ධර්මරත්න එය පැවසුවේ තරමක් තද ස්වරයකිනි. අනතුරුව ඔහු කිසිවක් සිදු නොවූ ආකාරයට වාඩි වී හුන් තැනින් නැගිට බැල්කනිය වෙත පිවිසෙන දොර විවර කර ඈතින් කුඩාවට පෙනෙන ගොඩනැගිලි සහ නිවාස දෙස බලා උන්නේය.
” මේ පැත්ත සෑහෙන්න වෙනස් වෙලා.පුදුම බිල්ඩින් තොගයක්නෙ තියෙන්නේ “
එසැනින් මන්දාකිණි හට හදිසියේම යමක් සිහිපත් විය.
” තාත්තා, යාළුවෙක් ඉන්නවා ඔයාලා දෙන්නට මුණගස්වන්න ”


