සඳ දිය දහරා 35

0
1162

සාමාගේ නිවසෙහි ඇතුළතත් පිටතත් තීන්ත ආලේප කළේ චූටි  මාමාගේ මිතුරන් දෙදෙනෙකු විසින්ය. සාමා රමාෂ් විසින් දුන් මුදලද දමා යුගල යහනක් සහ මෙට්ටයක් රැගෙන ආවාය. ඇයට දහරාව ලැබෙන්න සිටියදී නිවසට එවීමට නිශ්ශංක කැමති වූයේ නැත. ඔහුට අවැසි වූයේ සාමාට සියලු පහසුකම් ලබා දී තම නිවසේම රඳවා ගන්නටය. එනිසාම රීටා දියණියගේ උදව්වට ගොස් මසක් පමණ එහි නැවතී සිටියාය. ඒ කාලයේ සොහොයුරාට ආහාර පාන ලබා දුන්නේ අහල පහල නිවාස වල අයවලුන් විසින්ය. නිරතුරුවම ඔහු ගැන සොයා බලා තිබුණේ වේළු අයියාත් තංගමනී අක්කාත්ය. කිහිප වරක්ම වේලු අයියාගේ සිල්ලර බඩු කඩයේ අත් උදව්වට සොහොයුරාට කතා කර තිබුණත් ඔහු එහි යන්නට බිය විය. ඒ වේළු අයියා එල්ටීටිඊ හමුදාවට සහාය දක්වනවායැයි කතාවක් පැතිර ගිය කාලයය.

“කෙල්ලව ගෙදර එක්කරගෙන එනවා කිව්වහම මට හරි සතුටු හිතුනා බං. ඒකිව බලන්නත් ආසයි.”

එසේ පැවසූයේ අසල නිවසක ගැහැනියකි. තමාට සේම දහරාටත් වරදක් කියන්නට වත්තේ කිසිවකු නොසිටි බව සාමා දනී. 

වැඩ ඇරී ආ සාමා නිවසට ඇතුළු වූයේම අලුත් තීන්ත සුවඳින් හිත පුරවාගෙනය. රීටා උන්නේ ඇඳ ඇතිරිලි සෝදමින්ය. 

“වත්තේ එවුන් කීප සැරයක්ම ඇවිල්ලා අහලා ගියා බං කෙල්ල ගෙදර එක්කන් එනවද කියලා…”

අම්මා සිටින්නේ සතුටින්ය. ඒ දහරා වෙනුවෙන් තමාගේ යුතුකම ඉටුකිරීමට අවස්ථාවක් ලැබීම ගැන සිතෙහි වූ සතුටය. 

දියණිය නිවසට කැඳවාගෙන ඒමට පෙර වරින් වර සාමා ඇයට අවැසියැයි සිතෙන සියල්ලම ගෙනැවිත් තැබුවාය. ඇයට කෑම බීම ලබාදිය යුතු ආකාරය පිළිබඳව අම්මා හා කතා කළාය.

ජනෙල් දොරවල් වලට අලුත් තිර රෙදි දැමුවේ නිශාදිය. සාමාට වූයේ කලකට පසුව නිවස පමණක් නොව තම ජීවිත පවා අලුත් වූවායැයි දැනෙන හැඟීමකි. 

මනුජිත්ගේ නිවස තුළ දහරාට වූයේ එක ගමන් බෑගයක රැගෙන යාමට තරම් වූ ඇඳුම් කිහිපයකි. ඕ ඒවා මෙම නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් බෑගයේම තැන්පත් කර ගත්තාය. මනුජිත්ගේ නිවසට පැමිණියාට පසුව ඔහුගෙන් කියා එක ඕඩික්ලෝන් බෝතලයක් ඇයට ලැබුණේ නැත. 

“තාත්තේ මම අද යනවනේ……”

උදෑසන දහරා මනුජිත්ගේ  පියා අසලට පැමිණියේ ඔහු සේවා ස්ථානයට යාමට සූදානම් වද්දීය. අපහසුවෙන් මඳක් පහතට නැඹුරුවූ ඕ ඒ  දෙපා අල්ලා ගත්තාය. ඔහු ඉක්මන් වූයේ සිය දෙපා පසු පසුපසට ඇදගන්නටය. 

“යන තැනක පරිස්සමෙන් හොඳින් ඉන්න……”

ඔහු එවදන්  පැවසූයේ මඳ හඬකින්ය.

සාමාත් නිශාදීත් දහය වද්දීම කුඩා වෑන් රථයකින් පැමිණියාය. දහරා සමුගන්නට පැමිණෙන තුරුම මනුජිත්ගේ අම්මා වූයේ කාමරයට වීගෙනය. 

“මටනම් දෙකක් කියලම තමයි යන්න හිතෙන්නේ නැන්දේ. ඇත්තමයි මුං ඔක්කොම මේ කෙල්ලට කරපු අපරාධයක්…”

නිශාදි එසේ පැවසූයේ වරක් දෙවරක් නොවේ. දහරා ඉදිරියට ඇවිදගෙන විත් යළිත් වරක් සිය කාමරය දෙස බැලුවේ සාමා ගමන් බෑගය තම දෑත් වලින් අල්ලා ගත්තාට පසුවය. මේ තාවකාලික සමුගැනීමක් නොවේයැයි ඇයට සිතුණේ දින කිහිපයක සිටය. යළිත් මෙම කාමරයට තබා නිවසටවත් පැමිණීමට තමාට අවස්ථාවක් උදාවේද යන්න සැක සහිතය. පළමු වතාවේ සේ දෙවන වතාවේ මෙම නිවසට බලෙන් පැමිණ නතර නොවනවායැයි  දහරා සිතා ගත්තේ පෙරදා රාත්‍රියේය. 

අද තමා මෙම නිවසින් පිටව යනවායැයි මනුජිත්ට කෙටි පණිවිඩ කිහිපයක් යැව්වත් ඔහු ඒ එකකටවත් පිළිතුරු සැපයූවේ නැත. දහරා පෙරදා රාත්‍රියේ ඔහුගේ මව සොයා ගියේ තම සිතට දැනෙන අපහසුව නිසාය. ඔවුන්ව මෙම නිවසේ තනිකර යාමට තමා ගත්තේ වැරදි තීරණයක්යැයි තවදුරටත් දොස් පවරන සිත නිරවුල් කර ගැනීමට ඇයට ඕනෑ විය. සිය සේවා ස්ථානයේ මිතුරෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ තාත්තා ඒ වන විටත් නිවසට පැමිණ සිටියේ නැත. දොර අසලටම ගිය දහරා එක තැන නතර වූයේ මනුජිත්ගේ මව කිසිවෙකු සමගින් කතාබහ කරමින් සිටින හඬ ඇසුණු නිසාය. ආපසු හැරෙන්නට නොසිතූ ඈ තත්පර කිහිපයක් එතනම රැඳීී සිටියේ ශ්‍රියාලතාගේ දුරකථන ඇමතුම නිමවේයැයි සිතාගෙනය. 

“මහා අම්මණ්ඩි බෑ කිව්වේ නෑ. සමහරවිට උන් හිතාගෙන ඉන්න ඇති බබා හම්බුනහම ඒ පිට දාලා මෙහේ නතර වෙන්න. ඔය ළමයට වන්දියක් ගෙවලා ඔය මඟුලෙන් නිදහස් වෙන්න බැරිද පුතේ. ඔයා කොහොම කිව්වත් මටනං මෑණියෝ විශ්වාසයි. මෑණියෝ එක හෙලාම කියාගෙන ඉන්නවා ළමයා හම්බවෙලා මාස තුනක් ගියාට පස්සේ කරන්න ඕන දේවල් මෑණියෝ කරනවා කියලා.”

මේ තමා අරඹයා ඇතිවූ කතා බහක් බව විශ්වාසය. දුරකථනය එහා පස සිටින්නේ මනුජිත්යැයි  දහරා හඳුනාගත්තේ අම්මා කිහිප වරක්ම ‘පුතා’යැයි ඔහුව ඇමතූ නිසාය. 

“ඔයාගේ ප්ලෑන් එක මොකක්ද කියලා මට කියනවනං මට පුළුවන් ඒකට හරි යන විදිහට වැඩ කරන්න. ගියපාර අර මාමා කියන එකා ඔයාව බය කරලා තර්ජනය කරලා මේ කෙල්ලව බලෙන් කසාද බැන්දෙව්ව වගේ ආපහු ළමයත් එක්ක ගෙනත් නතර කළොත්…”

තවදුරටත් ඇය පැවසූ කිසිවක් අසා සිටින්නට තරම් සිතක් දහරාට වූයේ නැත. ඈ ආපසු හැරුනේ වෙව්ලන දෙපා වලට සිය සිතෙහි ශක්තිය බාර දෙමින්ය. 

‘මේසා ඉක්මනින් ජීවිතයේ තවත් පරිච්ඡේදයක් නිමා කරන්නට සිදුවේයැයි මා කොහොමටවත් සිතුවේ නැත. සිතෙහි සැකයක් වුවත් ඒ සැකය හරියටම තහවුරු වූයේ අදය. මාව මඟහරින්නට ගිය මනුජිත් හදිසියේ කසාදයට එකඟ වී ඇත්තේ මාමා නිසාය. ඒ හැරෙන්නට කිසිවෙකු මා මේ නිවසේ ලේලිය ලෙස හෝ දියණිය ලෙස පිළිගෙන තිබුණේ නැත. අඩු තරමින් මා කුස තුළ සිටින මනුජිත්ගේ ලෙයින් ගැහෙන දරුවා පිළිබඳවවත් ඔහුට වගක් නැත. මා මේ නිවසින් එළවා තබන්නට ඔහුගේ මව නොපෙනෙන බලවේගවල පවා පිහිට පැතූ බව මා දන්නේ දැන්ය. ඉතින් තවදුරටත් මා පලවා හරින්නට සැරසෙන තැනක රැඳී සිටීම වේදනාවක් පමණක් බැව් මා වටහා ගතිමි. ඔබේත් මගේත් වරදට දරු පැටියා තවදුරටත් දුක් විඳිය යුතු නොවේ. තමාට හිමිකමක් නොවූ තැනක තවදුරටත් රැඳී සිටීම ඵලක් නොවන බව මම මේ මොහොතේත් මගේ සිතට ඒත්තු ගන්වමින් සිටිමි. නිශාදි පැවසූයේ  ඇත්තකි. මේ ලෝකයෙහි තාත්තා කෙනෙකු නොමැතිව දරුවෙකු බිහි කරන එකම මව මම නොවන බව විශ්වාසය. ඉතින් අද සිට, මේ මොහොතේ සිට ජීවිතයේ නොලැබෙන සතුටක් සොයා යනවාට වඩා දෙවියන් මට දුන් මේ තුටු පඬුර දෝතින් පිළිගැනීමට මා සූදානම් වෙමි. මේ මා පැතූ ජීවිතය නොවූවත් ලැබූ ජීවිතයය. අන් සිල්ලන්ගේම සිනහව සතුට පතා මා එය සතුටින් විඳිය යුතුමය.”

ඈ අවසන තම සටහන් පොතේ එසේ ලියා තබා එක් පරිච්ඡේදයක් නිම කළාය. 

සේකර වත්තට පැමිණ කුඩා වෑන් රථයෙන් බසිද්දී දහරාව පුදුම කරමින් ඈ පිළිගන්නට කිහිප දෙනෙකු පැමිණ සිටියෝය. ඒ අතරේ නිශාදීගේ මවත් විය. දහරාගෙන් නොවිමසාම ඇය ප්‍රිය කරාවියැයි සිතෙන කෑම වර්ග කිහිප දෙනෙකුම සාදාගෙන විත් තිබිණ. දහරාට ආපසු තමන් ජීවත්වන බවක් දැනෙන්නට විය. 

නිශාදිගේ  දුරකතනය රමාෂ්ගේ අංකය සටහන් කරමින් නාද වූයේ එවේලෙහිය. නිවසට රැස්ව සිටින පිරිස දහරාගේ සැප දුක් අසමින් සිටියදී ඈ දුරකථනය කන තබාගෙනම මදක් එහාට වූයේ නිදහසේ ඔහු හා කතා කරන්නට සිතාගෙනය. 

“ඔයාට කැම්පස් යන්න එනකල් දහරාව හොඳින් බලා ගන්න නිශාදි. මට මං ගැනත් මහ වරදකාරී හැඟීමක් දැනෙනවා.”

“ඇයි රමාෂ්  සොයා එහෙම කියන්නේ…”

“සේකර වත්තෙන් ගිහිල්ලා අවුරුදු ගානක් ගියා. මට එකම එක පාරක් ඔයාලා හොඳින්ද කියලා හොයලා බලන්න බැරි උනා. එදා ඔයාලා ආපහු හමුවුණේ නැත්තං ඒ මතකය හිත ඇතුලේ හැමදාම හැංගිච්ච මතකයක් විතරක් වෙනවා.” 

“මෙතන ඉඳලා අපි දෙන්නා දහරව හරි පරිස්සමට බලාගන්න ඕන නිශාදි. හරි පරිස්සමට ජීවිතයට මුහුණ දෙන්න එයාගේ හිත හයිය කරන්න ඕනේ.” 

ඔහු පැවසූයේ සියලු වගකීම් තමාපිට පවරා ගත්තා සේය. 

නිශාදි හූ මිටි තැබුවා මිස කිසිවක් පැවසූයේ නැත. 

දහරා තම කාමරයට ගියේ පැමිණ සිටි එකා දෙන්නා කතා බහ කර නික්ම ගියාට පසුවය. 

“ඔයාට වටිනාකම් දීපු පිරිසක් අත් හැරලා  තවදුරටත් ඔයාව රිදවන පිරිසකගේ හිත් වල වටිනාකම් හොයන්න යන්න එපා. ඒක රිදීමක් මිසක් සතුටක් වෙන්නෙ නෑ. දැනට ඔයා හිත හදාගෙන දරු පැටියව මේ ලෝකෙට ගේන්න. ඊට පස්සේ ජීවත් වෙන්න අලුත් ක්‍රමයක් හම්බ වෙයි. වේදනාවෙන් දුකින් කලකිරීමෙන් ගන්න සමහර තීරණ නිවැරදි තීරණ නෙවෙයි. අපි සමහර තීරණ ගන්න කොච්චර හදිසි වෙලාද කියලා හිතෙන්නේ නිවී සැනසිල්ලේ හිතලා බලද්දි. මේ ඔයාට ඒකට ලැබිච්ච කාලයක් කියලා හිතන්න…

පෙර දා රාත්‍රියේ රමාෂ්ම පැවසූයේ ඒ අයුරින්ය. සියල්ලෝම පේ වී උන්නේ තමාව පිළිගන්නටය. යළිත් දහරාට තමාගේ වටිනාකම දැනෙමින් තිබිණ. නිදහසේ හුස්ම ගන්නා බවක් දැනෙමින් තිබිණ. 

“ඔයා පිට මිනිස්සු ළඟ නෙමෙයි පුතේ තමන්ගේ මිනිස්සු ළඟ ලස්සනට උස් මහත්වෙයි.”

අවසන දහරා තමාටම පවසා ගත්තේ කුස අතගාමින්ය. ඒ වදන්වල අරුත වැටහුනා සේ කුස තුළ උන් දරු පැටියා දඟලනවා ඇයට දැණින. සාමා උණු උණුවේ බත් පිඟානක් බෙදාගෙන කාමරයට පැමිණියේ එවේලෙහිය. නිශාදිත් දුවගෙන විත් දහරාගේ ඇඳෙහි අනිත් පසින් අසුන් ගත්තේ එවේලෙහිය. සමා මීට වසර කිහිපයකට පෙර සේ දෙදෙනාටම බත් කැව්වාය. විශ්වාසය ඇගේ දෑස් තුළ වූයේ සතුටු කඳුලකි. අම්මලා එහෙමයැයි දහරාට සිතිණ. දුකේදිත්, කරදරයේදීත්, වරදේදීත් ඔවුන් සිටින්නේ දරුවන් සමගය.

(යළිත් හමුවෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here