සඳ දිය දහරා – 37

0
251

දහරා ආපසු අලුතින් හුස්ම ගනිමින් සිටියාය. අහල පහළ මිනිසුන් ගෙන ආ කෑම කුඩා විසිත්ත කාමරයේ කෙළවරක වූ ප්ලාස්ටික් මේසය මත ගොඩ ගසා තිබිණ. දහරා වත්තට පැමිණි ආරංචියට දවසේම ඈ බලන්නට පැමිණි පිරිස ⁣බොහෝය.

“අනේ උඹට බත් කටක් හදලා දෙන්න බැරි වෙයි කියලා අපි හරි බයේ හිටියේ…”

එසේ පවසමින් ගැහැණියක පැවසූයේ දහරාව අතගාමින්ය. 

“උඹලගේ මේ ආච්චිගේ අතින් උයන  බත් එකක් මේ වත්තේ බඩදරු වෙච්ච ගෑනියෙක්ට වරදින්නේ නෑ. එහෙව් එකේ උඹට ඒ යුතුකම ඉෂ්ඨ කරගන්න බැරි උනානම් අපිට ඒක මහා හිතේ අමාරුවක් වෙනවා.”

තවත් අයෙකු එසේ පැවසූයේ දහරාගේ හිස අතගාමින්ය. මනුජිත්ගේ නිවසේදී බඩගින්නට බත් කටක් නොවී හූල්ලමින් සිටි අවස්ථා ඕනෑ තරම්ය. ඊයේත් පෙරේදාත් මනුජිත්ගේ මවට දුරකථන ඇමතුමක් ලබා දෙන්නට උත්සාහ කළත් ඇය ඊට පිළිතුරු සැපයූවේ නැත. තවදුරටත් යුතුකම් වගකීම් මත්තේ එල්ලෙමින් සිත රිදවා නොගන්නට ඇය සිතුවේ ඉන්පසුවය. 

විනාඩි කිහිපයකට පෙර චූටි මාමාගේ හිතවතෙකු පැමිණියේ පලතුරු මල්ලක් උත්සා ගෙනය. 

“ලබන සතියේ උසාවි කැඳවනවනෙ නැන්දේ…ලොකු හාමුදුරුවොත් කිව්වා කවුද ලෝයර් මහත්තයෙකුට කතා කළා කියලා. ඇප තියලා හරි එළියට ගන්න බලමු…”

ඔහු තවදුරටත් පැවසූයේ ආච්චි,  මාමා ගැන කතා කරද්දීය. සේකර වත්තේ නිවස මනුජිත්ගේ නිවස තරම් පාළු එකක් වූයේ නැත. 

“සවස අම්මා උණු උණුවේ උළුඳු  වඩේත්, සම්බෝලත් ගෙන ආවේ බොරැල්ලෙන්ය.”

“වැඩපළේ අයත් හෙට අනිද්දම ඔයාව බලන්න එයි පුතේ. ඔයා ගෙදර ආවා කියලා කිව්වහම ඒ හැමෝම කිව්වේ කෙල්ලව හොඳට බලාගන්න කියලා. අපි හිතුවට පුතේ අපිට මිනිස්සු හිනා වෙනවා, කතන්දර කියනවා කියලා ඒක එහෙමම නෙමෙයි. අපි හොඳින් ජීවත් උනහම අපිත් එක්ක සතුටු වෙන්න වගේම අපේ දුකේදී අපිත් එක්ක හයියෙන් අපිව  අල්ල ගන්නත් මිනිස්සු ඉන්නවා. කුමාරි,රමණී, බියුලා, නදීකා…අද මේ ඔක්කොම කතා උනා පුතේ ඔයාට ඉස්පිරිතාලේ යන්න අවශ්‍ය කරන බඩු ටික එයාලා අරන් දෙන්නම් කියලා. එයාලා එන්නේ ඒකට ඔයාට සල්ලි දීලා යන්නත් එක්ක. සතුටින්..”

සාමා පැවසූයේ දහරාගේ හිස අතගාමින්ය. රීටා මදක් එහාට වන්නට  බලා සිටියේ මඳ සිනහවක් මුවගේ තබාගෙනය. 

“මේ මේසේ පිරිලා, බිස්කට් ජාති, කැවිලි පෙවිලි,  මුරුක්කු,  පලතුරු මාස තුනකට හරියන්න අද කෙල්ලට කෑම හම්බවුණා සාමා. එහෙම තමයි මිනිස්සුන්ගේ  ජීවිතේ වරදින තැන් වැරදෙන තැන් ඕන තරම්. හැබැයි ඉතින් වැරදුනා කියලා අපි හැමදාම ඒ වැරැද්දට ඉඩ දීලා ජීවිතේ නැති කරගන්න ඕනේ නෑ කෙල්ලේ…මං උණු වතුර ටිකක් ලිපේ තියන්නම්. රෑ වෙන්න කලින් ඇඟපත හෝදගෙන ඉන්න..”

රීටා එසේ පවසා මුළුතැන් ගේ දෙසට ගියේ දෑසට උනා ආ කඳුලක් මවගෙනුත් දුවගෙනුත් සඟවා ගන්නට සිතාගෙනය. යළිත් මේ නිවස පිරී ඉතිරී ගියේ දහරා පැමිණියාට පසුවය. කුඩා කල සිටම දෙමව්පියන්ට වද දෙමින්, පාසල් නොයා කට්ටි පනිමින්, දෙමාපියන්ගේ වදන්  මායිම් නොකරමින් ජීවිතය වරද්දා ගන්නා දරුවන් ඕනෑ තරම් මේ වත්ත තුළ සිටී. එහෙත් දහරා  කුඩා කලවත් වචනයකින්වත් කිසිවෙකුට හිත් පීඩාවක් ඇතිකළ අයෙකු නොවේ. ආදරයක වේෂයෙන් ආ සල්ලාලයෙකුට නොරැවටුනානම් අද ඈ මුළු පවුලම බබළවමින් රැජිනක් වී හමාරය. සුසුමකට දුක බර කළ රීටා වතුර මුට්ටිය ලිප තැබුවේ තමාගේ දෑස් පිය  වෙන්නට පෙර දහරාට හොඳක් සිදුවේවායැයි සිතමින්ය. සාමා යමක් තමාගෙන් සඟවනවායැයි රීටාට සිතුනේ අද පාන්දරය. හතරට නැගිට මුළුතැන් ගෙයට පැමිණියත් ඈ උන්නේ වරින් වර හූල්ලමින් කල්පනා කරමින් දෑස් වලට උනන කඳුළු පිසදමමින්ය. මනුජිත් හැමදාටම කෙල්ලව අතහැර ගොස් ඇත්දැයි සිතුණත් රීටා ඒ බවක් සාමාගෙන් නෑසුවාය.

දහරාගේ ජංගම දුරකථනය නාද වූයේ සාමා තුවායත් රැගෙන කාමරයෙන් පිටවද්දීය. රාත්‍රියට දහරාට උණු උණුවේ බතක් ලිප තබා කරවල කෑල්ලක් තෙල් දා දියයුතුයැයි ඕ සිතුවේ මින් විනාඩි කිහිපයකට පෙරය. 

“දහරා…ආපහු ගෙදර ආව විතරයි අපිව අමතක කරලා..”

එහා පසින් ඇසුණේ රමාෂ්ගේ දයාබර හඬය. ඔහු පසුගිය දිනක නිවසට පැමිණ අම්මා සහ ආච්චී සමඟ බොහෝ වේලා කතා කරමින් සිට ගිය බව පැවසූයේ සාමාය. 

“කොච්චර ලොකු මහත් උනත් අනේ මාව තුරුල් කරගෙන මාව ඉඹලා පුතේ ගියේ…”

අම්මා එසේ පවසද්දීත් ඒ දෑස් වල කඳුළු පිරී තිබුණා දහරාට මතකය. සිප ගන්නට වැඳුම් පිදුම් කරන්නට තබා මනුජිත් අම්මාගේ මුහුණ බලන්නටවත් කැමති වූයේ නැත.

“මොකද නිකන් ගොළු වෙලා වගේ.  කට මනුජිත්ලගේ ගෙදර තියලා ආවද..?”

“අනේ නෑ ඔයා ඇවිල්ල ගියා කියලා අම්මා මට කියපු හැටි මතක් උනා. පුලුවන් නම් දැන් මාව එලවලා ඔයාව ගෙදර තියාගන්න සයිස් එකේ ඉන්නේ…”

එහා  පසින් උස් සිනහ  හඬක් ඇසුණේ දහරා එසේ පැවසූවාට පසුවය. 

“ඉරිසියාව කියන දේත් චුට්ටක් විතර තියෙනව නේද…ගෑණු ළමයිනේ..”

“කාටද දන්නෙ නෑ ඉරිසියාව තිබුනේ. ඉස්සර තංගමනී නැන්ද කියද්දි ඔයාව දීලා මං මේ කෙල්ලව ඉල්ලගෙන හදාගන්නව කියල ගෙදර පුටුත් පෙරලනවා….”

“ජීවිතය ගැන කිසිම බරක් පතලක් නැතුව ගත වෙලා ගියපු ඒ කාලේ හරි ලස්සනයි නේද දහරා….”

“ඒක තමයි. මටත් හැම තිස්සෙම මතක් වෙනවා. ජීවිතේ  ආපස්සට ඇවිදගෙන යන්න තිබුණනං මං මේ හැම වරදක්ම නිවැරදි කර ගන්නවා රමාෂ්.”

“ඉතිං අද මොනවද කළේ…..”

“දවසෙම කාපු එක තමයි කලේ. අම්මෝ… ඒ හම්බ වෙච්ච කෑම මාසයක් කාලත් ඉවර කරන්න බැරි වෙයි. මට මතක් උනා රමාෂ් බඩගින්න බඩේ දැවිල්ලක් වෙද්දි කන්න දෙයක් නැතුව වතුර බීගෙන බීගෙන ගියපු දවස්. ඇයි එහෙම මනුජිත්ට මාව එපා වුනේ කියලා මට අදටත් හිතාගන්න බෑ.”

“එහෙම තමයි දහරා මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් වෙනවා. කාලෙන් කාලෙට එයාලගේ ඕනෑ එපාකම් වෙනස් වෙනවා.”

“ගෑණු කෙනෙකුට ආපස්සට හැරෙන්න බෑ කියලා එයා තේරුම් ගනියි එයාටත් සහෝදරියක් හිටියනං.”

“ඔයා හිතනවද මනුජිත් ආපහු එන එකක් නෑ කියලා.”

“මට එහෙම හිතෙනවා රමාෂ්. ආවත් එයා මාව බලන්න ආපහු එන එකක් නෑ.”

“එතකොට ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ…”

“මේ ගෙදරට ආවට පස්සේ මට පුදුමාකාර හයියක් දැනුනා. මගේ තැන මං හරි සතුටින් හුස්ම ගත්තා. මේ හැමෝම එකතුවෙලා මට තරම්ම ආදරයක් මගේ දරුවටත් දෙයි. මගේ අම්මගෙයි ආච්චිගෙයි ආදරෙත් එක්ක එයා හරි ලස්සනට ලොකු වෙයි.” 

“ඒ දේවල් එහෙමම වෙයි. ඒක වෙනස් වෙන එකක් නෑ. මං අහන්නේ දහරා ඔයාගේ අනාගතය ගැන.”

“දවස් ගෙවිලා යයි රමාෂ්. අම්මා මං වෙනුවෙන් ගොඩක් දුක් වින්දා. මගේ දරුවා එයාට බලාගන්න දීලා මම හිතුවා මොනව හරි ජොබ් එකක් කරන්න ඕනෙ කියලා. චූටි මාමත් අපේ හයියට ඉන්නවනේ. 

ඊයේ මං අහගෙන ආච්චි ගුණවතී නැන්දත් එක්ක කියනවා සමහර විට අපේ පවුලේ ගෑණුන්ට කසාද යා දෙන්නේ නැතුව ඇති කියලා. මමත් තනි උනා මගේ කෙල්ලත් තනි උනා මනුස්සය මැරුණේ නැති උනාට අන්තිමට මගේ මිණිබිරීටත් ඒ ටිකම උනා කියලා.”

“වත්තේ අය මේ විස්තර ඔක්කොම දන්නවද..?”

“නෑ.. ඔක්කොටම කිව්වේ මනුජිත්  ටික කාලෙකට රට ගියා කියලා. ඒත් ගුණවතී නැන්දයි ආච්චීයි අතර රහස් නෑ…”

“ඒ වගේ මනස්ගාත දේවල් ඔලුවට ගන්න එපා. ඒ හැම දෙයක් එහෙම වෙන්න හේතු තිබුණා. ඒත් මනුජිත් කලේ  ඔයා වගේ හොඳ කෙනෙක් එයාගේ ජීවිතේට හම්බවෙලත් ඔයාව අතහැර ගතපු එක. ඒක එයාගේ වරද මිසක් දෛවයේ වරදක් නෙමෙයි. ඉස්සරහ ජීවිතේ ටිකක් අමාරු වෙයි දහරා ඒ උනාට අපි කොහොම හරි ඒ ජීවිතේ පටන් ගන්න ඕනේ. කවද හරි දවසක මනුජිත් ඔයාගේ ළඟට ආවොත්….”

“එහෙම ආවොත් ආපහු අපි දෙන්නා එකතු වෙන්න තියෙන එකම සාධකය දරුවා විතරයි රමාෂ්. ඒ ඇරෙන්න මගේ හිතේ එයා ගැන තියෙන්නේ පුදුමාකාර කලකිරීමක්. ඒ එයා මට ⁣එහෙම කල නිසා නෙමෙයි. එයාගේම ලෙයින් හැදිච්ච මේ දරුවට ද්‍රෝහී උන නිසා. සමහර වෙලාවල් වලදි එයා මහා කැත විදිහට මට චූටි මාමව පවා පාවලා දුන්නා. ඒ දේවල් මතක් වෙද්දි තවමත් පුදුමාකාර වේදනාවක් මගේ හිතේ තියෙනවා. මං එයාව කොච්චර විශ්වාස කළාද කියලා මතක් වෙද්දි මට මං ගැනම වේදනාවක්, තරහක් ඇතිවෙනවා. ඇයි මං ඒ තරම් එයාට ආදරය කළේ කියලා මතක් වෙද්දි මට හරි ලැජ්ජාවක් ඇති වෙනවා. ජීවිතේ කිසිම දවසක කිසිම වරදක් කරන්නේ නෑ කියලා හිතාගෙන ඉඳපු මට කොහොමද රාමාෂ් එහෙම උනේ….”

“එහෙම තමයි දහරා. මිනිස්සුන්ට වරදින්න ලොකු වෙලාවක් යන්නේ නෑ. එක මොහොතක් එක සිතුවිල්ලක් ඇති. හැබැයි තමන්ගේ හෘද සාක්ෂිය වද දෙද්දී ඒක නිවැරදි කරගන්න සිතුවිලි දහසක් උපන්නත්, තත්පර පැය විනාඩි  දහස් ගණනක් ගෙවිලා ගියත් බෑ. ඔයා දැන් ඒ අතීත මතක වල නතර වෙලා හිටිය ඇතිි. අපි හෙමිහිට අඩිය තියලා ඉස්සරහට ඇවිද ගෙන එමු. ඔයාට ආදරේ කරන හැම කෙනෙක්ගෙම බලාපොරොත්තුව ඒක තමයි.”

“නිශාදිට ඔයාට ස්තුතියි කියලා කියන්න බෑ රමාෂ්. ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා. මං දන්නවා මේ ප්‍රශ්න ඇති වෙච්ච  මුල් කාලේ නිශාදිලාගේ ගෙදර අය එයා මාව ආශ්‍රය කරනවටවත් කැමති වුණේ නෑ. ඒ උනාට නිශාදි  පුළුවන් හැම වෙලාවකම මමත් එක්ක හිටියා.”

දහරා එසේ පැවසූයේ දෑස් වල කඳුළු පුරවාගෙනය. රමාෂ් පෙරදා රාත්‍රියේත් ගත යුතු විටමින් පිළිබඳව මතක් කරමින් දහරාට කෙටි පණිවිඩයක් එවා තිබුණේය. ඔහු පැවසූ සති දෙක සම්පූර්ණ වන්නේ ලබන සඳුදාටය. දහරාට  තමා ගැනත් දරුවා ගැනත් සිතෙහි වූ  සැක සාංකා හෙමි හෙමින් පහව යමින් තිබිණ. රමාෂ් පැවසූ පරිද්දෙන් ඕ අද දවසේම සිතුවේ අනාගතයේ දවස් ගැනය. සුපුරුදු ලෙස මනුජිත්  වෙත යවන කෙටි පණිවිඩයද ඕ හිතා මතාම නොයවන්නට සිතුවාය. 

(හෙටත් හමු වෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here