මතකයක සේයා – 42

0
1354

කෛලාශ් ගෙමිදුලේ ඇති යකඩ පුටුවකට බර වී රාත්‍රී අහස දෙස බලා උන්නේය. විසිරි ගිය හැම සිතුවිල්ලකම ඒ මොහොතේ දී උන්නේ මන්දාකිණි පමණි.කෛලාශ් හට සිහිවූයේ ” මාවත් විශ්වාස නැද්ද ? ” යනුවෙන් උදෑසන දී ඇය ගෙන් ඇසූ පැනයට ඇය දුන්නේ සරල පිළිතුරය.

” විශ්වාසයි ” 

මන්දාකිණි එසේ පිළිතුරු දුන් නමුත් කෛලාශ් ගේ සිතට දැනුණු අඳුර පහව ගොස් තිබුණේ නැත. දෙමව්පියන් විසින් ගෙන ආ විවාහ යෝජනාව පිළිබඳව තවමත් නිසි තීරණයක් නැතත් එයට එකඟ වීමට මන්දාකිණි හට සිදු වනු ඇතැයි බියක් කෛලාශ් ගේ සිත පෙළමින් තිබුනේය.  

මේ ගෙවී යන්නේ තමා, තම සිතට අවංක විය යුතු තීරණාත්මක මොහොතකි.එසේ නොවුනහොත් තමාට සදා කාලයටම තම සිතේ සැනසීම අහිමිව යනු ඇත. ජීවිතයේ එක් තැනක වරදා ගත් මන්දාකිණි හට මින් ඉදිරියට ජීවිතය පිළිබඳව තීරණ ගත යුතු වන්නේ දෙමව්පියන් හට අවනත වීය. එසේ වුවහොත් සැතපුම් ගණනාවක් දුර ගෙවා ගෙන ඇය සොයා පැමිණීමෙහි ඇති ඵලය කුමක්ද?

ඇන්ඩ්‍රියා උණුසුම් කිරි වීදුරුවක් අතැතිව මිදුලට බැස්සේ කෛලාශ් නිදන කාමරයේ නොවූ නිසාය. විශාල ගෙමිදුලෙ හි ගසක් සෙවණෙහි තබා ඇති සුදු පැහැ යකඩ පුටු වලින් එකක වාඩි වී තම පුතු අහස දෙස බලා ඉන්නා ආකාරය දුටු ඇන්ඩ්‍රියා සෙමෙන් පියවර තබා විත් ඔහු අසලට පැමිණ කිරි වීදුරුව යකඩ මේසය මතින් තැබුවාය.

” අම්මා.. ළඟට එනකම්ම දැක්කේ නැහැ “

කෛලාශ් තිගැස්සී , කෙලින් වී පුටුවේ වාඩි වූ අතර ඇන්ඩ්‍රියා ඔහුට පසෙකින් වූ අනෙක් පුටුවෙහි වාඩි වූවාය.

” ඔයා හිටියේ වෙන කල්පනාවක නේ “

කෛලාශ් ආයාසයෙන් සිනාසුනේය. 

” ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද පුතා ඉන්නේ?”

” ඇයි අම්මා එහෙම ඇහුවේ? ” 

” ඔයා ගේ මූණ හරි නෑ “

අඳුරේ වුවද පැහැදිලිව පෙනෙන කෛලාශ් ගේ මලානික මුහුණ දෙස ඇන්ඩ්‍රියා බැලුවේ විමසිල්ලෙනි. ඒ බව දෑස් කොනින් දුටු කෛලාශ් යකඩ මේසය මත වූ කිරි වීදුරුව අතට ගත්තේය.

” හිතට කිසිම නිදහසක් දැනෙන්නෙ නෑ අම්මා “

කෛලාශ් මිමිණුවේය. 

” ඒක තමයි මං අහන්නේ මොකක්ද ප්‍රශ්නේ කියලා “

ඇන්ඩ්‍රියා පිළිතුරු දුන්නේ කරුණාවෙනි. ඒ මව් ගුණය ඇය තුල කවදත් නොඅඩුව තිබුණු නිසා කෛලාශ් ජීවිතයේ ඕනෑම දෙයක් ඇය සමග බෙදා හදා ගැනීමට මැලි වූයේ නැත. මේ එළඹ තිබෙන්නේද එවැනි අවස්ථාවකි.

” මන්දාකිණි ගේ අම්මලා ඇවිත් ගියානේ “

කෛලාශ් කියන්නට ගිය දෙය නතර කර ගත්තේය. ඔහු ඉදිරිය සම්පූර්ණ කරන තුරු ඇන්ඩ්‍රියා ඉවසීමෙන් බලා උන්නාය.

” එයාලා මන්දාකිණි ට ප්‍රපෝසල් එකක් ගෙනත්. ඒ මදිවට ශෙනාල් ගේ පේරන්ට්ස් ලත් මන්දාකිණි ගේ ගෙදර ඇවිල්ලා එතන ලොකු ප්‍රශ්නෙකුත් වෙලා “

කෛලාශ් මන්දාකිණි තමා වෙත පවසා තිබූ සියල්ලම අකුරක් නෑර ඇන්ඩ්‍රියා සමග පැවසූ අතර ඇන්ඩ්‍රියා සාවදානව අසා උන්නාය.

” ඉතින් දැන් මොකක්ද අවුල ? ” 

සියල්ල අසා හිඳ අවසානයේ දී ඇන්ඩ්‍රියා ඇසුවේ තම පුතු ගේ දෑස් දෙස එක එල්ලේ බලමිනි.

” අම්මා.. මේ… ” 

කෛලාශ් සිතේ ඇති කාරණාව පවසා ගැනීමට නොහැකිව ළතැවුනත් ඇන්ඩ්‍රියා එය හඳුනා ගත්තාය. 

” අපි කෙලින් කතා කරමු පුතා ” 

ඇන්ඩ්‍රියා අත දිගු කර කෛලාශ් ගේ වම් උරහිස අත ගෑවේ සෙනෙහසිනි. කෛලාශ් හට තම සිතෙහි ඇය කෙරෙහි ඇති අසීමාන්තික ගෞරවණීය හැඟීම අලුත් වනු දැනිනි.

” අම්මා.. මං.. මං මන්දාකිණි ට හරි ආදරෙයි. මට ඒක කියා ගන්න තේරෙන්නේ නෑ. මට.. එයාව නැති වෙයි කියලා දැන් බය හිතෙනවා අම්මා ” 

කෛලාශ් ආයාසයෙන් වචන ගලපා ගත්තේය. ශෙනාල් ගේ ප්‍රශ්නයෙන් මිදීමෙන් අනතුරුව මන්දාකිණි ගේ හදවත සුවපත් වන තුරු කල්පයක් හෝ බලා හිඳ ඇය කෙරෙහි ඇති හැඟීම පවසන්නට සිතා සිටි නමුත් ඇගේ ජීවිතය පිළිබඳව දෙමව්පියන් හදිසියේ ගෙන ඇති තීරණය තමාව මේ තරම් නොසන්සුන් කරනු ඇතැයි කෛලාශ් සිතුවේ නැත. එහෙත් සිදු වෙමින් පවතින්නේ ද එයමය.

” ඔයාට ඕක කෙලින්ම මන්දාකිණිත් එක්ක කතා කරන්න බැරි ඇයි පුතා ? “

” අම්මා මන්දාකිණි මගෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳ යාළුවෙක් මිසක් වෙන දෙයක් නෙමෙයි “

” එහෙම කියන්නේ ඔයා නේ “

ඇන්ඩ්‍රියා එසේ පැවසූ පසු කෛලාශ් මොහොතකට නිහඬ වූයේය. මන්දාකිණි ගෙවූ අසීරුම දින කිහිපයේ දී ඇය හට රැකවරණය සපයමින් තමා ඇය ළඟ උන්නා යැයි කියා ඇය තමා හට ආදරය කරාවි යැයි කෙසේ නම් කිව හැකිද?

” එයාට හිටියේ නැත්තේ හොඳ යාලුවෙක් අම්මා.ඉතින් පහුගිය දවස් වල වෙච්ච දේවල් වල දී මං එයා ළඟ හිටියා කියලා එයා මට ආදරේ කරයිද? “

” ආදරේ කියන්නේ මහ ලොකු වැරැද්දක් නෙමෙයි පුතා. ඒක ඇති වෙන්නේ කොතනද කොහොමද කියලා අපි දන්නේ නැති උනාට එහෙම දැනුනට පස්සේ ඒක ඒ කෙනාට කිව්වට කමක් නැහැ. හැබැයි ඒක කියන්න පරක්කු වෙන එකෙන් අන්තිමට පසුතැවිල්ලක් විතරක් ඉතුරු වෙන්න පුළුවන් “

තමා මව පැවසූයේ සැබෑවක් බව කෛලාශ් සිතුවේය. පවතින තත්ත්වයට අනුව මන්දාකිණි දෙමව්පියන් ගේ කීමට අවනත වන්නට තීරණය කළහොත් ඇය කෙරෙහි තමා තුළ ඇති ආදරය උපන් ගෙයිම මරා දැමීමට සිදු වනු ඇත.

” අම්මා කියන්නේ මට මේ ගැන මන්දාකිණි එක්ක කතා කරන්න කියලද ? “

” ඔව් ඉතින්. මන්දාකිණි ට හිත් කියවන්න බැරුව ඇති නේ ” 

ඇන්ඩ්‍රියා සිනාසුනු නමුත් කෛලාශ් සිනාසුනේ හෝ නැත. ඒ ඔහු මේ මොහොතේ බොහෝ නොසන්සුන්ව හිඳිනා නිසා බව ඇන්ඩ්‍රියා අනුමාන කළාය.

” ඔයා ඔහොම අවුලෙන් හිටියා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ පුතා.කරන්න ඕන හොඳම දේ ඔයා මේ ගැන මන්දාකිණි එක්ක කතා කරන එක. ඊට පස්සේ ඕනෙ නම් ඔයාට පුළුවන් එයා ගේ අම්මටයි තාත්තටයි උනත් කතා කරන්න. ඒ මිනිස්සු ඔයාව නොදන්නවා නෙමෙයිනේ “

කෛලාශ් හට හදිසියේ යමක් සිහිපත් විය. එයද හදවත දවන කාරණාවකි.

” අම්මා “

” හ්ම්ම්? “

” මේ… මන්දාකිණි ගේ අම්මටයි තාත්තාටයි මගේ බැක්ග්‍රවුන්ඩ් එක ගැන ප්‍රශ්නයක් එයිද? ” 

ඇන්ඩ්‍රියා සසල වූවාය. ජීව විද්‍යාත්මකව කෛලාශ් තම කුසින් උපන් දරුවකු නොවුවද ඔහු තමා සතු එකම වස්තුවය. ඇගේ මව ලෙස ලෝකයා දකින්නේද තමාවය. එසේ තිබියදීත් ඔහු ගේ ජීවිතයේ වැදගත්ම කාරණාවකදී එය ගැටළුවක් වන්නට බොහෝ ඉඩකඩ තිබේ.ඇන්ඩ්‍රියා වාඩි වූ හුන් තැනින් නැගිට කෛලාශ් අසලට පියවර තබා නතර වූවාය.

” ඒ මිනිස්සු ඔයා ගැන ඇත්ත දන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට අම්මායි තාත්තායි දෙන්නම ඉන්නවා ඕනෙම දේකට. ඒක වෙනස් වෙන්නෙ නැහැ. ඔයාගේ ජීවිතේ ඕනම දේකදි ඔයාගේ අම්මයි තාත්තයි හැටියට අපි දෙන්නා ඉස්සරහට එනවා. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ පුතා “

කෛලාශ් හට ඇන්ඩ්‍රියා කෙරෙහි උපන්නේ අනුකම්පාව මුසු හැඟීමකි. තමාව නිත්‍යානුකූලව භාර ගත් දිනයේදී ඇය බොහෝ වේලාවක් තමාව ලයට තුරුළු කරගෙන හුන් ආකාරය සිහිපත් වී කෛලාශ් ගේ දෑස් තෙත් වූයේ තප්පර ගණනාවක් තුළදීය.

” ඒක මං දන්නවා අම්මා.ඔය දෙන්නා නැත්නම් අද මට මේ විදිහට ජීවත් වෙන්න වෙන්නෙ නෑනේ. මට ලස්සන ජීවිතයක් දුන්නේ ඔය දෙන්නා. ඒක මං කවදාවත් අමතක කරන්නේ නැහැ “

” ඔයාට ඕන නම් මම තාත්තා එක්ක කතා කරලා මේ ගැන මන්දාකිණි ගේ පේරන්ට්ස් ලාගෙන් අහන්නම්. අපිට පුළුවන්නේ ප්‍රොපෝසල් එකක් විදියට එයාලට කතා කරන්න. ඔයාට කිසිම අඩුපාඩුවක් නැති එකේ ඔයාට අකමැති වෙන්න එයාලට හේතුවක් නෑනේ පුතා. මගේ පුතා වෙනුවෙන් මමයි තාත්තයි ඕනෙම දෙයක් කරනවා “

ඇන්ඩ්‍රියා පුටුවේ වාඩි වී හුන් කෛලාශ් ව තදින් තුරුලු කර ගත්තේ දැඩි ලෝභකමකිනි.

” මං දෙයක් අහන්නද අම්මා ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here