රුහුණු විශ්ව විද්‍යාලය සඳහා නිශාදිට කැඳවීම් ලිපිය ලැබුණේ ඔය අතරේය. ඇය නැති පාළුව තමාට උපරිමයෙන්ම දැනෙන බව විශ්වාසයේ වුවත් දහරාගේ සිතට ඇතිවූයේ සතුටකි. සිතා සිටියේ දෙදෙනා එක්ව මේ කටුක ජීවිත වලින් එතෙර වන්නටය. ලියුමත් රැගෙන දහරා සොයා ආ නිශාදිගේ අතෙහි මුරුක්කු බෑගයකුත් විය.
“උඹ මේ ජීවිතේ වරද්ද ගත්තේ නැත්නම් අද මමත් එක්ක උඹත් මේ ගමන යනවනේ. අපි දෙන්නා එකම කැම්පස් එකකට යන්න බලන් හිටයේ”
නිෂාදී පැවසූයේ මිතුරියගේ අත අල්ලාගෙනය. එවේලෙහිත් ඇය උන්නේ යාබද නිවසක කාන්තාවක විසින් ගෙන ආ බාගයට ඉඳුණු අඹ ගෙඩියක් කපමින්ය. ඒ මතට ලුණු කුඩු හා මිරිස් කුඩු ස්වල්පයක් ඉසගත් දහරා මුලින්ම කුඩා පිඟාන යෙහෙළිය වෙත දිගු කළාය.
“නොලැබීම් ගැන හිත හිත වද වෙනවට වඩා ලැබුණු දේවල් සතුටින් බාරගෙන විඳින්න කියලා මට කියලා දුන්නේ ඔයාම නේද…?”
එවර දහරා පැවසූයේ යෙහෙළියගේ කොපුලක් මිරිකාගෙනය.
“ඒ උනාට ඉතින්…මට උඹ නැති පාළුව ගොඩක් දැනෙයි. ඔහේ පා වෙවී උන්නු මාව මේ තැනට ගේන්න උඹ කොච්චර බැන්නද, කියෙව්වද, කෑ ගැහුවද..සමහර දවස් තරහ වෙලත් හිටියා”
“අනේ… දෙයියනේ තනියෙන් ඉන්න තැනකට නෙමෙයි යන්නේ. එහේදී ඕන තරම් යාළුවො හම්බවෙයි. සමහර විට මටත් වඩා හොඳ යාළුවෝ.”
“ඒකනං කවදාවත් වෙන එකක් නෑ….නිවාඩුවක් හම්බවෙච්ච ගමන් මං ගෙදර දුවගෙන එනවා. ඊට පස්සේ ඉතින් මට හුරතල් කරන්නත් කෙනෙකුත් ඉන්නවනේ…”
“මට නිදහස් වෙන්න ඕන උනහම මම පුංචිත් එක්ක එයාවත් කැම්පස් එකට යවනවා.”
“පුංචිත් එක්ක….”
“ඔව් ඔයා තමයි එයාගේ පුංචි….”
“අනේ කෙල්ලේ මට ඒ වචනේ කියනකොටත් හරි ආස හිතෙනවා. තව මාස දෙකහමාරක්ම තියෙනවනේ මේකව බන්ඩියෙන් එළියට ගන්න ඉතින්. මට හදිසියි”
නිශාදි පැවසූයේ යෙහෙළියගේ කුස අතගාමින්ය. දරු පැටියා දඟලන තුරු ඈ දහරාගේ කුස මත අත තබාගෙන සිටියාය. දහරා උන්නේත් දින ගණන් කරමින්ය. දුක් වන්නට කාරණා ඕනෑ තරම් හදවත අභ්‍යන්තරයෙහි වුවත් දවස ගෙවී යනවා නොදැනෙන තරමට සිනහසෙන්නට කාරණා දැන් ඈ වටා විය. දවස ගානේම දහරාගේ සටහන් පොත ලියැවෙමින් තිබිණ. යළි ජීවිතය වෙනස්ව යමින් තිබිණ.
“මනුජිත්ලයි ගෙදරින් කිසිම ආන්සර් එකක් නෑ නේද බං.”
නිශාදී එසේ ඇසුවේ ලුණුත්, මිරිස් කුඩුත් කවලම් කළ අඹ කෑල්ලක් මුවෙහි රුවා ගනිමින්ය.
“දෙයියනේ කියලා උඹට ඉක්මනින් දෙවෙනි බබත් ලැබෙන්න ඕනේ.”
නිශාදී එසේ පවසද්දී දහරා ඈ දෙස බැලුවේ දෑස් මහත් කරගෙනය.
“ඇයි බං පැත්තක ඉඳලා පුදුම පිනක්නෙ මං කරලා තියෙන්නේ උඹට හම්බවෙන හම්බවෙන කෑම එකෙන් මගේ කොටස වෙන් කරලා තියනවානේ.”
“මං දන්නවනේ ඉතින් පෙරේතකමේ තරම. මම මනුජිත්ගේ අම්මට දහ පහළොස් පාරකට වඩා කතා කරන්න උත්සාහ කළා. තාත්තටත් එහෙමයි. අන්තිමට මං තේරුම් ගත්තා ඒ මිනිස්සු මාව මේ එවල තියෙන්නේ තාවකාලික ගමනක් නෙමෙයි කියලා. එයාලගේ ගෙදරින් විතරක් නෙමෙයි ඒ හිත් වලිනුත් පිටවෙන්න මට අවසර දීලා තියෙද්දි මොකටද මං තවත් බලෙන් එතන රැඳෙන්නේ.”
“එතකොට මනුජිත්……
“එයා මාව එයාගේ ජීවිතයෙන් පිටමං කලේ අද ඊයේක නෙමෙයිනේ.”
දහරා එසේ පැවසූයේ ඉවත බලාගෙනය. දෑස් වලට කදුලක් උනා ආවත් ඕ ඉක්මනින්ම ඇසිපිය සැලුවේ ඒ කඳුළ සඟවා ගන්නටය.
“ඇති යන්තම්. උඹේ මොළේ පෑදිලා.”
“උඹට වැඩක් නැත්තං එනවද මමත් එක්ක පොඩි ගමනක් යන්න.”
“යං…උඹ කොහේ යන්න කතා කළත් මං බෑ කියල තියෙනවද බං.”
දරුවාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට පසුගිය දිනක පිට කොටුවට ගියේත් නිශාදි සමගින්ය. ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දුන්නේ අම්මාගේ යෙහෙළියන් විසින්ය. ඔවුන් අදටත් දවස ගානේ මොන මොනවා හෝ එවමින් සිටී. දහරා සිතා උන් පරිද්දෙන් අතීතය ගැන හෝ රැවටීම් ගැන කිසිවෙකු කතා කළේ නැත. අඩුගානේ මනුජිත් ගැනවත් කිසිවෙකු ඇසුවේ නැත. සිත හදා ගැනීමට ලොකුම උපකාරය වූයේත් එයයි.
“මට හිතුනා මෙන්න මේ විදිහේ මල් හදන්න. අපි මේකට ඕන කරන බඩු ටික ගන්න යමුද. රමාෂුත් කිව්වා කල්පනා කර කර දවස ගෙවන්නේ නැතුව මොනවා හරි පොඩි වැඩක නිරත වෙන්න කියලා. මටත් හිතුනා ඒක හොඳයි කියලා.”
“කොච්චර දෙයක්ද බං. කොහොමත් උඹට ඔය වගේ එකතැන වාඩිවෙලා කරන සියුම් වැඩ පුළුවන්නේ. එදා ඉදලම මට වගේ කඩි කුලප්පුවක් උඹට තිබුණෙ නෑනේ. මේ අපි රමාෂ්ටත් කෝල් එකක් දෙමුද…?”
“එහෙම කරදර කරන එක හරිද? මේ වෙලාවේ හොස්පිට්ල් එකේනේ බං ඇත්තේ.”
“හැමතිස්සෙම කතා කරලා උඹේ සැප දුක් අහන එකේ අපි එළියට යනවා කියලා කියලා යමු නේද. අනිත් එක දහරා මේ යෝජනාවත් එයාගෙනේ…”
“එහෙනම් ඔයා කියන්න….”
අවසන යෙහෙළියන් දෙදෙනා සූදානම් වූයේ රමාෂ්ටත් දුරකථන ඇමතුමක් ලබා දුන්නාට පසුවය. ඒ ගමනේදී නිශාදිට විශ්ව විද්‍යාලයට යාමට අවශ්‍ය කරන ඇඳුමක් දෙකක් රැගෙන දෙන්නටත් දහරා සිතා සිටියාය.
***************
තම නිවස අසල නතර කළ ත්‍රී රෝද රථයෙන් මුහුණින් අඩක් වැසෙන සේ තොප්පියක් ඵලදා ගත් තරුණයෙකු බිමට බසින අයුරුත්, වටපිට බලමින් කලබලයෙන් පැමිණ ගේට්ටුව විවර කරන අයුරුත් ශ්‍රියාලතා බලා සිටියේ මිදුලේ සිටමය. දින ගණනකින් අතු නොගෑ කුඩා ගෙවත්ත අතුගාන්නට ඇය පටන් ගත්තේ මින් විනාඩි දෙක තුනකට පෙරය. ගෙවත්තක් කීවාට එය පාලු වී ගිය එකකි. එහි තනි රකින්නට වූයේ ඕනෑවට එපාවට වැඩෙන කෙසෙල් පඳුරකුත්, වල් අඹ ගසකුත් බාගෙට මැරී ගිය ජම්බු ගසකුත් පමණි. ශ්‍රියාලතාගේ අතින් ගෙවත්ත හැඩ නොවූ තරම්ය. ඉදල එතනම බිම දමා අඩියක් දෙකක් පෙරට ගියත් ඇයට ඒ රුව හඳුනා ගැනීමට හැකි වූයේ නැත.
“අම්මේ කලබල කරන්නෙ නැතුව ඔහොමම ගේ ඇතුලට යන්න. මේ මම…”
කැප් තොප්පියෙන් මුහුණේ හරි අඩක්ම වසා ගෙන සිටියත්, සිරුරෙන් මඳක් වැහැරී සිටියත් ඒ හඬ හඳුනාගන්නට නොහැකියාවක් ශ්‍රියාලතාට වූයේ නැත. අවසන ඕ තරුණයා පසු පසින්ම නිවස තුළට ඇවිද ගියේ ඉහළට ඇදගත් හුස්ම පහළට හෙළන්නටත් අමතකව ගිය ගණනටය.
“අනේ පුතේ මොකක් හරි කරදරයක්ද…ඇයි මේ හදිසියේ ලංකාවට ආවේ…”
“ඔය දොර වහලම එන්නකෝ අම්මේ…”
මනුජිත් එසේ පවසද්දී ශ්‍රියාලතා දොර වසා ඔහු අසලම වූ පුටුවකට බර වූයේ තම දෙපා අවසඟව ගිය ගණනටය.
“මගේ පපුව පුච්චන්නේ නැතුව කියහං මොකද උනේ..හිටියයින් බාගයක් නෑ ඇදිල ගිහිල්ලා.”
“මං ලොකු කරදරයක වැටිලා අම්මේ ඉන්නෙ. විස්තර කියන්න කලින් මට වතුර එකක් ගෙනත් දෙන්න.”
අඩියට දෙකට මුළුතැන්ගෙයට ඇවිද ගිය ශ්‍රියාලතා ආපසු පැමිණියේ වතුර වීදුරුවක් පුරවා ගෙනය. මනුජිත්ගේ අපිළිවෙල ඈ හරි හැටිම දුටුවේ ඒ වතුර වීදුරුව ඔහු වෙත දිගු කරද්දීය. මුහුණ පුරාම අපිළිවෙලට වැවුණු රැවුල් කොටය. ඔහු ඇඳ උන් ලා නිල් පැහැ කමිසය මඳක් අව පැහැ ගැන්වී තිබිණ. වසර ගණනක් කාන්තාරයක ජීවත් වූවා සේ ඔහුගේ මුහුණ කළු වී ඇත. මනුජිත් ශ්‍රියාලතා දිගු කළ වතුර වීදුරුව බීගෙන ගියේ එක හුස්මටය. ශ්‍රියාලතාගේ පපුවට දැනුනේ රිදුමකි. ඔහු හොඳින් විය නොහැක.
“මොකක්ද උනේ කියහන්කෝ…”
“අරකි ගිහිල්ල කතා කළාද?”
“දහ පාළොස් වතාවක්ම මට ගත්තා. මම කතා කළේ නෑ. තාත්තටත් අරන් තිබුණා. තාත්තත් කතා කළේ නෑ කිව්වා.”
“ඒකි තමයි මේ ඔක්කොටම මුල..”
“මට හංගන්නෙ නැතුව ඇත්ත කියහන් පුතේ. වෙච්ච දේට පිළියමක් හොයන්න හරි අපි ඇත්ත දැනගන්න එපැයි. බලන් ගියහම උඹ ඇත්තක් කියලම නෑ කියලා වෙලාවකට මට හිතෙනවා. තාත්තත් ඉන්නේ ඉන්නේ හරි කේන්තියකින්.”
“අම්මේ! මං මේ කියන දේ හොඳටඅහගන්න. ඒකිගෙන් බේරෙන්න ඕන හින්දා තමයි මං මේ හැම දෙයක්ම කලේ. කොහොම හරි තාත්තත් එක්ක කතා කරලා අම්මලා මේ ගේ විකුනන්න ඕනේ.”
“මොනවද පුතේ මේ කියන්නේ…”
“මගේ ජීවිතයේ බේර ගන්නනම් දැන් කරන්න තියෙන්නේ එච්චරයි අම්මේ. අම්ම තාත්තව කොහොම හරි මේ වැඩේට කැමති කරව ගන්න ඕනේ..”
“දැන් උඹ මට කිව්වේ ඩුබායිවල ඉන්නව කියලා නේද. මේ හදිසියේ ලංකාවට ආවේ.”
“මං ඩුබායි ගියේ නෑ අම්මේ. එහෙම රටකට යන්න ලේසි නෑ. මේ වෙලාවෙත් මම ඩුබායි නෙමෙයි ඉතියෝපියාවට හරි යන්න උත්සාහ කරනවා. එහෙම නැති උනොත් මගේ ජීවිතේට මොනවා වෙයිද කියන්න මම දන්නේ නෑ. ඒකට සල්ලි ටිකක් ඕනේ අම්මේ.”
“එදා අර මිනිහෙක්ට සල්ලි දුන්නේ…..”
“ඒත් මගේ ජීවිතේ බේර ගන්න තමයි. මං අම්මට හැමදෙයක්ම කියන්නම්. අනේ පින් සිද්ධ වෙයි අම්මේ කොහොමහරි ගේ විකුණලා මට සල්ලි ටිකක් දෙන්න එහෙම නොවුනොත් අම්මට වෙන්නේ මගේ මළකඳ ගඟක මුහුදක පාවෙනව දකින්න.”
“අනේ දරුවෝ මොනවද මේ කියවන්නේ… මගේ පපුවත් රිදෙනවා. අපි යමු අර මෑණියෝ ලඟට. මෑණියෝ හැම තිස්සෙම කියනවා මහා නරක කාලයක් මේ ගෙවෙන්නේ කියලා. දහරා උඹට කරදර කරන්න බලාගෙන ඉන්නවනං අපි පොලිසියේ ඇන්ට්‍රියක් දාමු. මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ පුතේ. උදේ හවස මේ බුදු පහන තියලා මම ප්‍රාර්ථනා කරන්නෙත් උඹට කරදරයක් දුකක් වෙන්න එපා කියලා. මොන අපලයක් අපිට පල දුන්නද. අරුන් අපිට මොනවා හරි කරලා පුතේ..මේ පවුල සීසී කඩ විසිරිලා යන්න මොනවා හරි කරලා.”
ශ්‍රියාලතාගේ කොපුල් හරහා කදුළු බේරී යමින් තිබ්ණ. එහෙත් මනුජිත් උත්සාහ කලේ ඒවා නොදුටුවා සේ සිටින්නටය.
“අම්ම කලබල වෙන්නේ නැතුව මේ ටික අහගන්නකෝ. මේක හරියට වැඩ කළොත් අපි කාටවත් කරදරයක් නැතුව ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. අනේ අම්මේ කලබල වෙන්න එපා..”
ශ්‍රියාලතා උන්නේ තම දෑතින්ම හිස බදාගෙනය. ඒ අතරතුරේම ඕ වරක් දෙවරක් තම පපුව අත ගා ගත්තාය. තමා ඉදිරිපස සිඟන්නෙකු සේ මේ සිටින්නේ රජෙක් කරන්නට පැතූ පුතෙකි.
“අනේ අරකිට නම් හොදක් සිද්ධ වෙන්න එපා….”
අවසන ඈ එසේ මිමිණූයේ දෑස් වලින් කලා ආ කඳුළු ඔහේ ගලායන්නට ඉඩ දෙමින්ය.
( හෙටත් හමුවෙමු ආදරයෙන්)


