සඳ දිය දහරා – 39

0
321

ශ්‍රියාලතාට දැනෙන්නට වූයේ මුළු සිරුරම ගිනිගෙන දැවෙන සෙයකි. ඈ දෑස් සේම මුවත් විසල් කරගෙන මනුජිත් දෙස බලා සිටියේ ඔහු මේ කුමක් පවසන්නේදැයි සිතා ගනු නොහැකිවය. 

“දහරාගේ මාමා හිරේ යැව්වේ මම අම්මේ. මේ කිසි දෙයක් තාත්තටනම් දැනගන්න තියන්න එපා. එයා එළියෙ ඉන්නකල් අපිට කිසි දෙයක් කරන්න බෑ අම්මේ. ඌ හිටියේ අපි ගැන ඇහැ ගහගෙන. තව ටික කාලයක් එහෙම හිටියනං අපිට මේ ගෙදර ජීවත් වෙන්න වෙන්නේ දහරට ඕන විදිහට. ඒ කියන්නේ එයාගේ ඔය මාමට ඕන විදිහට. මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. 

“ඒ මිනිහා හිරේ ගියේ මොනවද මත්ද්‍රව්‍ය වගයක් ළඟ තිබිලා නේද.?”

“ඔව් ඒක සෙට් කළේ මම…සල්ලි තියෙනවනම් ඕන තරම් ඒවට මිනිස්සු ඉන්නවා”

“දැන් ඒකා දන්නවද මේ විස්තර…”

“මං හිතන්නෙ දැනගෙන අම්මේ. කීප දවසක්ම මගේ පිටිපස්සෙන් නාඳුනන මිනිස්සු ආවා. ඒකයි මම ඩුබායි යනවා කියලා පුළුවන් තරං ඉක්මනින් මෙහෙන් ගියේ.”

“අනේ බං වෙන දෙයක් වෙද්දෙන් කියලා ඉන්නේ නැතුව මොනවද උඹ මේ කරගත්තේ. ඔය මිනිස්සුත් එක්ක හැප්පිලා බේරෙන්න පුළුවන්ද අපිට. විහිං කරදරේ  වැටෙන්න සිද්ධ වුනා අන්තිමට.”

“දැන් ඉතින් කරන්න දෙයක් නෑ අම්මේ..කොහොමත් එයා එළියෙ හිටියනම් අපිට මේ විදිහටවත් දහරාව ගෙදර යවන්න හම්බවෙන්නෙ නෑ. එක අතකින් මේ වෙච්ච දේ හොඳයි කියලා හිතමු. මොකද අම්මල මෙහේ හිටියොත් දහරා ආපහු ළමයත් අරගෙන මෙතනට එන එක නවත්තන්න බෑ.”

“දැන් එතකොට ඔය මිනිහා උඹට කරදර කරන්නද පුතේ එන්නේ?

එතකොට අර ලක්ෂ පහ අරගෙන ගියපු මිනිහා.”

“එයා තමයි මේ වැඩේ සෙට් කළේ ලක්ෂ පහකට. ඔය පස්සෙන් එන උන් කවුද කියන්න මම දන්නේ නෑ. හැබැයි මට විශ්වාසයි ඒ ඔය ගයන්ත කියන මිනිහගේ මිනිස්සු කියලා. දහරට සැකයක් හිතුණේ නෑ නේද අම්මේ එයා දන්නේ මම ඉන්නේ ඩුබායිවල කියලනේ…”

“අනේ මන්ද බං…මට බය අන්තිමට උඹේ  ජීවිතෙත් නැති වෙයි කියලා. ඇහේ මූණේ තියාගෙන හදලා අන්තිමට මොකද්ද බං උඹ මේ කරගත්ත විනාසේ.”

“දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නෑ අම්මේ කොහොම හරි තාත්තව කැමති කරගෙන මට මේ වැඩේ කරලා දෙන්න. මං ජීවත් වෙනව දකින්න කැමතිනම් ඒ දේ කරන්නම වෙනවා.”

“එතකොට අපි කොහෙද ඉන්නේ…..?”

“ටික කාලයක් යනකල් අම්මටයි තාත්තටයි කුලියට කාමරේක හරි ඇනෙක්ස් එකක හරි ඉන්න පුළුවන්නේ. මං ඒවා පිළිවෙලක් කරලා යන්නම්. මේ හැම ප්‍රශ්නෙකටම මුහුණ දෙන්න තියෙන්නේ අවුරුදු දෙකයි. අවුරුදු දෙකකින් එක්කෝ අම්මලා එහේ නැත්තං මම මෙහේ ඇවිල්ලා. ඔය ලොකු අම්මලගෙ පැත්තෙන් වගේ ගෙයක් අරගෙන පදිංචි වෙමු. අවුරුදු දෙකක් යද්දී, උන්ටත් මාව අමතක වෙලා තියෙයි. අම්මා ගේ විකිණෙනකල් කිසි කෙනෙකුට කිසි දෙයක් කියන්න එපා. මාව නැත්තටම නැති වෙලා යන්න කවරුහරි මොනවහරි කරලද මන්දා..”

මනුජිත් එවර පහර දුන්නේ ශ්‍රියාලතාගේ දුර්වලම නිලයකටය. 

“කරල නේන්නම් පුතේ. මෑණියෝ මට රූපේ පවා කිව්වා. කවුරුත් නෙමෙයි උඹලයි පොඩි නැන්දා. එයාලට වඩා අපි ඉහළට යයි කියලා බයේ..”

ශ්‍රියාලතා දිගු සුසුමක් මුදා හැරියා මිස කිසිත් පැවසූයේ නැත. වෙනදා සේම එකවරම මනුජිත් විශ්වාස කරන්නට බැරි කමකින් ඒ සිත තැවෙන්නට විය. යළිත් වරක් ඔහු දෙස හොඳින් බලද්දී ශ්‍රියාලතාට දැනුනේ තම පපුව රිදුම් දෙන ⁣සෙයකි. විශ්ව විද්‍යාල බෝඩිමේ සිටියදීවත් ඔහු මේ තරම් අපිළිවෙල වූයේ නැත. අ

“දැන් උඹ කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ?…”

“මං ඉන්නේ මාතර පැත්තෙ යාළුවෙක්ගෙ ගෙදර අම්මේ..එහේ ඉඳලා ඒ ළඟ ටවුමේ පොඩි ජොබ් එකකට යනවා. හරියකට කෑමක් බීමක්වත් නැතුව මං මාර දුකක් විඳින්නේ. වෙලාවකට හිතෙනවා ඒ හැමදේම අතෑරලා දාලා ඇවිල්ලා මෙහෙට වෙලා, උන්ට අහුවෙලා මැරුම් කෑවත් කමක් නෑ කියලා. මම මේ හැමදේම කලේ අම්මවයි තාත්තවයි මේ ප්‍රශ්නෙන් නිදහස් කරන්න. මං දහරට රැවටුනා අම්මේ මුලින් එයා කොහේද කින්ද මන්ද කිසි දෙයක් මට කිව්වෙ නෑ. අහිංසක කෙල්ලෙක් විදිහට රඟපෑවේ”

“තාත්තත් පෙරේදා මහ පුදුම කතාවක් කිව්වා.”

“ඒ මොකක්ද?”

“ඔයාගේ අතින් ඒ විදිහේ වරදක් සිද්ධ වෙලා නං අපිත් ඒ  ළමයට කළේ වරදක් කියලා.”

“ඒකි උවමනාවෙන්ම තමයි අම්මේ ඔය ටික කරගත්තේ. මට අදටත් විශ්වාස නෑ ඒ ළමයා මගේමද කියලා”

මනුජිත් එසේ පැවසූයේ ඉවත බලාගෙනය. වරින් වර වද දෙමින් තිබූ හෘද සාක්ෂිය පවා රවටන්නට ඔහු උත්සාහ දරමින් සිටියේය. 

“අනේ මන්ද පුතේ දැන් උඹ අදම ආපහු යනවද…?”

“ඔව් යන්න ඕනේ රැයක් මෙහේ නතර වෙන්න බෑ. කී දෙනෙක් ඔත්තු බලන්න මේ අවට ඉන්නවද කියලා මට විශ්වාසයක් නෑ.”

“ඉදින් එහෙනම් ඉක්මනට කෑම ටිකක් හදන්න. උඹ මේ ගෙදරින් ගියපු දවසෙ ඉඳලා හරියට බතක් මාළුවක් හැදුනේ නෑ. උයන්න කියල දෙයක් තියෙයිද මන්දා..”

ශ්‍රියාලතා නැගී සිටියේ එසේසේ පවසමින්ය. ඒ අතරේම කාමරයට ගිය මනුජිත් තුවායකුත් රැගෙන නාන කාමරයට ගියේ ඈ  සහල් මිටවල් කිහිපයක් මුට්ටියට දමා ලිප තබන්නට සැරසෙද්දීය. මහා බියක් ඇගේ සිතෙහි සැරිසරන්නට පටන් ගත්තේ අහේතුකව නොවේ. වසර කිහිපයක් පුරා එකතු කළ ඒ මුදල සේ ඉන්න හිටින්නට තිබෙන මේ නිවසත් අහිමිව යාවියැයි සැකක් සාංකාවක් ඒ සිතට වද දෙන්නට විය. ඔහු වෙනුවෙන් සාදා දෙන්නට කරවල කෑල්ලක්වත්  නිවසේ වූයේ නැත. එනිසාම තැනින් තැන ඉරී ගිය ගවුම ගලවා සායකුත් හැට්ටයකුත්  ඇඳගත් ශ්‍රියාලතා කඩේට ගියේ ඉදිරිපස දොර වසා දමමින්ය. ශ්‍රියාලතාට තමා ගැනම ආත්මානුකම්පාවක් දැනෙමින් තිබිණ. මනුජිත් ගැන තමා ඕනෑවටත් වඩා ආඩම්බර වූ බව ඇයට සිහි වූයේ ඒ හදිසියේමය. ඇගේ සියලු සිහින එක්තැන් වී තිබුණේ ඔහු වටාය. ඉගෙනීම අහවරව මනුජිත් තමා සැමියාත් මේ විදින්නා වූ දුක් කන්දෙන් මුදවා ගනීයැයි ඈ විශ්වාස කළාය. විශ්ව විද්‍යාලය තුළදී ඔහු එවන් සල්ලාල ජීවිතයක් ගත කළායැයි සිතීම පවා ශ්‍රියාලතාට  මහා වදයකි. දුකකි. කෙසේ හෝ සැමියා නිවස විකිණීමට කැමති කරවාගත යුතුය. ළිඳට වැටුණු මිනිසා ගොඩ ආ යුත්තේ ළිං කටින්මය. කුමක් සිදු වුවත් දරුවන් ඉවත දැමීමේ හැකියාවක් දෙමව්පියන්ට නොවේ. කෙසේ හෝ ඔහුව පිළිවෙලක් කළ යුතුයැයි ශ්‍රියාලතා සිතුවේ හන්දියේ සිල්ලර කඩයෙන් සැමන් ටින්  එකක් සහ පරිප්පු දෙසිය පනහක් ගෙන ආපසු හැරෙද්දීය. සැමියා සිටින්නේ පුතණුවන් ගැන එතරම් ප්‍රසාදයකින් නොවේ. වසර ගණනක් තිස්සේම එක සීරුවට වැඩ කළ තමාට දැන් මහා වෙහෙසකර බවක් දැනෙනවායැයි කිහිප වතාවක්ම සැමියා පැවසූ බව ශ්‍රියාලතාට සිදු වූයේත්  ඒ හදිසියේමය. ඔහු සිටියේ මනුජිත් ගැන මහ මෙරක් බලාපොරොත්තු තබාගෙනය. ශ්‍රියාලතා ආපසු නිවසට එද්දී මනුජිත් උන්නේ තම කාමරයෙහි ඇඳේ වැතිරගෙනය. දෑස් පියාගෙන නොසිටි ඔහු සිවිලිම දෙස බලාගෙන කල්පනාවකය.  ඉන්නා තැනකට යළිත්  ආරක්ෂිතව පිටත් කළ යුතු බව සිහි වූ තැනින් ශ්‍රියාලතා දඩිබිඩියේ කෑම සකසන්නට පටන් ගත්තාය.

                                  *****************

පෙර දින සේම රසැති ආහාර වේලක් යුවතියන් දෙදෙනාට රැගෙන දුන් රමාෂ්, නිශාදීත් දහරාත් ගොස් ඇයට අවැසි අඩුම කුඩුම රැගෙන එනතුරු වාහනයේම රැඳී උන්නේය. දහරා සිටියේ ගැබිණිබවේ  සත්වෙනි මස ඉක්මවන සමයකය. ඒ මුහුණෙහි පෙර දේවතාවේදීම නොදුටු සිනහ රැල්ලක් සටහන්ව තිබෙන අයුරු රමාෂ් නිරීක්ෂණය කළේ ආ වේලේ පටන්මය. ඇය ඉක්මනින්ම තම ජීවිතය යහපත් අතකට හරවා ගනීයැයි ඔහු  විශ්වාස කළේය. මේ හිතා මතාම ජීවිතය වරදාගත් යුවතියක නොවේ. මිනිසුන් ආදරේ යැයි පවසා අහිංසක යුවතියන්ගේ  ජීවිත විනාස කිරීම කොතරම් පිළිකුල් සහගතදැයි රමාෂ් සිතුවේ නිශාදිගේ අතෙහි එල්ලී ඇවිද එන යුවතිය දෙස බලාගෙනය. ඈ අත වූයේ මේ දිනවල ජනප්‍රිය වූ මල් සැරසිලි කළ හැකි විවිධ පැහැගත් රෙදි වර්ගයකි. 

රමාෂ් ගුරු පැහැලියුම් කවරයක් නිෂාදි වෙත දිගු කළේ යුවතියන් දෙදෙනා යළි වාහනයට නැඟුනාට පසුවය. 

“මේ මොකක්ද……”

“ඔයාට ඕන කරන මොනවා හරි දෙයක් තිබුණොත් මේකෙන් ගන්න. ලොකු දෙයක් නෙමෙයි, මගෙන් පුංචි තෑග්ගක්. ඒ වගේම තමයි නිශාදී ඔයාට ඕනම වෙලාවක මොනවම හරි උවමනාවක් තිබුනොත් ඒක මට කියන්න ලැජ්ජ වෙන්න එපා. ඔයාගේ සහෝදරයෙක්ට කියනවා කියලා හිතන්න. පුළුවන් උපරිම තැනට ඔයා යන්න ඕනේ”

නිශාදී ලිපි කවරය තම දෑත් වලින් අල්ලා ගත්තේ දෑස් වල කඳුළු පිරී යද්දීය. අද රමාෂ්ව හමු වූ වේලේ පටන් ඔහු දහරා කෙරෙහි දක්වන සැලකිල්ල පිළිබඳව ඈ වෙනදාට වඩා හොඳින් නිරීක්ෂණය කළාය. ඒ සා ලෙන්ගතුකමක් ඒ සා රැකවරණයක් ආදරයක් දක්වන්නේ දහරා ගැබිනියක වූ නිසා නොවන බව විශ්වාසය.  තමාට වඩා වැඩි සැලකිල්ලක් මෙවේලෙහි ඒ සිතෙහි දහරා වෙනුවෙන් වනබව විශ්වාසය. රමාෂ් පැවසූයේ ඔහුව සහෝදරයෙකු ලෙස විශ්වාස කරනා ලෙසය. හදවතේ එක් පෙදෙසක් රිදෙමින් තිබුණේ ඇයටත් හොර රහසේය. යළිත් සුපිරි වෙළඳ සංකීරණයක් අසල වාහනය නවතා රමාෂ් දහරාට අවශ්‍ය පලතුරු වර්ග කිහිපයක් මිලදී ගත්තේය. ඔහු ඇගේ අනාගතය ගැන කතා කලේ මහත් වූ උවමනාවකින්ය. බම්බලපිටියේ සිට පැමිණ බොරැල්ලෙන් බසින තුරුම නිෂාදී වූයේ නිහඬවය. ඔහු බොහෝ ප්‍රශ්න ඇසුවේ දහරාගෙන්ය. ඇය සැහැල්ලුවෙන් පිළිතුරු දෙමින් උන්නාය.

“මට ටිකක් ඔලුව කකියන්න ගත්තා…”

නිෂාදී එසේ පැවසූයේ බොරැල්ලෙන් බැස ත්‍රී රෝද රථයකට නගිද්දීය. 

“පේන්කිලර්ස් දෙකක් බොන්න වෙයි…අව්වේ ගිය නිසාද දන් නෑ…”

දහරා  එසේ පැවසූයේ යෙහෙළියව විශ්වාස කරමින්ය. 

“උඹ අද ගියේ රමාෂ් කොල්ලා හම්බවෙන්නද……”

අම්මා එසේ ඇසුවේ නිශාදි දහරා විසින් රැගෙන දුන් ගවුමත් යට ඇඳුම් කිහිපයත් ඇති බෑගය අතැතිව නිවසට ඇතුළු වෙද්දීමය.

“මොකක්ද අහන්නේ..”

ඒ හඬ ආවේගශීලී එකක් විය. සිතෙහි වන දුකත්, වේදනාවත්, කෝපයත් පිටවූයේ අම්මා මතින්ය. 

“නෑ ඉතින් උඹ බොහොම පරිස්සමට ඇඳ පැළඳගෙන එළියට බහිද්දි මම හිතුවා රමාෂ් කොල්ලව හම්බවෙන්නවත්ද ගියේ කියලා.”

“ඔව් එයාව හම්බවෙන්න තමයි ගියේ. හැබැයි මතක තියාගන්න රමාෂ් කියන්නේ මගේ යාළුවෙක් විතරයි. එහෙම නැතුව ඔයාලා ඔය හිතන විදිහේ සම්බන්ධයක් ඇත්තෙත් නෑ ඇති වෙන්නෙත් නෑ..”

“එහෙම ඇතිවුණා කියලා වරදකුත් නෑ. දොස්තර මහත්තයෙක්නේ….”

එසේ පැවසූ අම්මා නිවස තුළට ඇවිද යන අයුරු බලා සිටි නිශාදී ආලින්දයේම වූ පුටුවකින් අසුන් ගත්තේ වෙහෙසකර අයුරින්ය. ගෙවී ගිය සති කිහිපය පුරාවටම ඔහු මේ සිතෙහි ලැගුම් ගත්තේ ආගන්තුකයෙකු ලෙස නොවේ. එහෙත් ඔහුට තමා දැනී ඇත්තේ එසේ නොවේ. නොඑසේනම් ඔහු සහෝදරයෙකුයැයි ඇයට පවසන්නේ නැත. දෑස් වලට කඳුළක් උනා එද්දී පුටුවෙන් නැගී සිටි නිෂාදී කාමරයට ගොස් ඇඳහි වැතිරුණේ ඇදගෙන ගිය ඇඳුම පිටින්මය. විශ්වාසය ඔහු දහරාත් තමාත් ඒ ජීවිතවලට ළං කරගෙන ඇත්තේ දෙවිදියකටය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්………)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here