සඳ දිය දහරා – 40

0
100

සිත තුළ වූ මේ පිඹිදීම කුමක්දැයි දහරාට වැටහුම් වූයේ නැත. තමා ගැබිනියක වී ඇති බව දැනගත් පළමු මොහොතේ සිටම ඇයට නින්ද බොහෝ දුර විය. එතනින් පසු ගත වූයේම දිගු රාත්‍රීන්ය. මධ්‍යම  රාත්‍රියත් පසුව හෝරා කිහිපයක් ගතවනතුරු ඕ වරින් වර යූ ටියුබ් නරඹා ඉගෙන ගත් මල් කිණිති  කිහිපයක්ම සෑදුවාය. කාලය ගෙවී යනවා නොදැනුණු තරම්ය. පැය කිහිපයක් කියවමින් සිටි අම්මා නින්දට වැටී සිටියේ කාමරයෙහි වූ දිග පුටුවේමය. පැය කිහිපයක මහන්සියෙන් පසුව මල් කළඹ ලස්සන නිමාවකින් යුතු වූවාය. ඕ රමාෂ්ට සේම නිශාදිටත් ඡායාරූප කිහිපයක් යැව්වේ රාත්‍රියේදීමය. 

රමාෂ් ඇමතුමක් ලබාගත්තේ ඒ සැනින්මය.

“මං හිතුවා නිදි ඇති කියලා.

“එග්සෑම් එක ළඟයිනේ මේ දවස් වල ටිකක් පාඩම් කරනවා. දැන් මේ ගෑනු දරුවා රෑ තිස්සේ ඇහැරගෙන මොනවද කරන්නේ.”

“මල් එක හැදුවා…”

“ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙකුට එහෙම නිදි  මරන්න හොඳ නෑ. බබා වැඩෙන්නත් හොඳ නින්දක් අවශ්‍යයි කියලා දන්නේ නැද්ද..?”

“ඒ වැඩේ කරගෙන යද්දි මට හරි ආස හිතුනා රමාෂ්. ඉවර කරලා මිසක් අතින් බිම තියන්න හිතුනෙ නෑ. එහෙම බැලුවොත් මම මගේ පුතාට හොඳයි කියලා දෙයක් කරලම නෑනේ”

“ඇයි එහෙම කියන්නේ…”

“මං ප්‍රග්නන්ට් වෙලා කියලා දැනගත්තු දවසෙ ඉඳලම මට කවදාවත් නින්දක් ලැබුනේ නෑ. මොනවද මං මේ කරගත්තෙ කියන එකට මං සෑහෙන්න පසුතැවුණා. මගේ බලාපොරොත්තු, මගේ හීන, මට නැතිවෙච්ච දේවල් ගැන ඇඬුවා දුක්වුණා. ඊට පස්සේ මනුජිත්ගේ ගෙදරට ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ අකාරුණිකකම් විඳ විඳ මුළු රෑම කඳුළු වලින්ම ගෙවලා දැම්මා. මං හිතන්නේ එක පැය බාගයක් මං සැනසීමෙන් නිදාගෙන නැතුව ඇති. අදටත් මේ දරුවට මොකද වෙන්නේ මට මොකද වෙන්නේ කියල හිතද්දි මට නින්ද හරි දුරයි රමාෂ්. ඇත්තමයි රෑ වෙනවට මං හරි බයයි.”

“අමාරු කාල ගෙවිලා ගිහිල්ලා ජීවිතේ  හොඳ කාලේ ආවහම ඔයා හිතනවට වඩා ලස්සනට ඒ හැම දෙයක්ම විසඳෙයි. ඉවසීමෙන් කාලයට ඉඩ දීලා  බලාගෙන ඉමු.  දැන් ඔය මල් පොකුර විකුනන්න කැමති නැද්ද?”

“විකුණන්න හිතාගෙන නෙමෙයි අනේ හැදුවේ. මං මේ කල්පනා කරන්නේ මේක මගේ හොඳම යාළුවො දෙන්නගෙන් කාට දෙන්නද කියලා.”

“එහෙම නෙමෙයි. මං වැඩක් කියන්නද?

“මොකක්ද…”

“ඔය මල් පොකුර මං ඔයාට සල්ලි දීලා ගන්නම්. ඔයා හිතන්නකෝ ඔයා අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා. මට ඒකට හරි ආස හිතුනා. මගේ මේ ස්ටඩි කරන පොඩි මේසේ උඩින් ඒ මල් පොකුර තියාගන්න ඕනේ කියලා හිතුනා.” 

“අනේ ඉතින් මං ඔයාට ඒක දෙන්නම් හැබැයි සල්ලි වලට නෙමෙයි.”

“නෑ….ඒක ඔයාගේ මුල්ම උත්සාහයනේ. තමන් දන්න දෙයක් ව්‍යාපාරයක් කර ගන්න එක වරදක් නෑ දහරා. සමහර වෙලාවට හිත හදාගන්න කාලෙ ගෙවා ගන්න කියලා මිනිස්සු කරපු සමහර දේවල් එයාලගේ ආදායම් මාර්ගය වෙලා තියෙනවා. ඒ පාරේ ගිහිල්ලා ඒගොල්ලෝ එයාලගේ හීන දිනලා තියෙනවා. ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ලස්සන ජීවිත ගත කරනවා. චුට්ටක් එෆ් බි එකේ සර්ච් කරලා බලන්න ඔය ඔන්ලයින් බිස්නස් කරන අය ගැන.” 

“ඔයා එහෙම කියනකොට මට හරි ආස හිතෙනවා රමාෂ්. මමත් ඔය නිකන් ඉන්න ගමන් ඒ වගේ දේවල් සර්ච් කරනවා. ලස්සනට ඇඳුම් මහන  අය, කේක් හදන අය,  කෑම ජාති හදන අය එයාලා එයාලගේ ජීවිත කතා කියලා තියනවා…”

“ඔයා ඔය බඩු ටික අරගෙන යද්දි මං හිතුවේ නෑ  දහර ඒක මෙච්චර ලස්සන මල් පොකුරක් වෙයි කියලා. ඉස්සර වගේ නෙමෙයි මේ ශෝෂල් මීඩියා ප්ලැට්ෆෝර්ම්  කියන එක ගොඩක් අයට ඉස්සරහට එන්න ලොකු උදව්වක් වෙලා තියෙනවා. ඔයා දන්නවනේ ඉස්සර ගෙවල්වල ගෑණු අයට කරන්න දෙයක් තිබුණෙ නෑ. තමන්ගේ හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ ගෙවල් දොරවල් අස්කරලා, අතුපතුගාලා, මල් පැළයක් එළවලු පැලයක් හිටවලා ආපහු හවස් වෙනකම්ම ඒගොල්ලො පත්තර කියෙව්වා. පොත් කියෙව්වා. එහෙම නැත්තං ටීවී බැලුවා. මේ මොකුත් නොකරපු සමහර අය නිදාගෙන හිටියා. එතකොට තමන්ට ඕන හැම දෙයක්ම ගන්න හස්බන්ගෙන් සල්ලි ඉල්ලන්න ඕන වුණා. හැබැයි දැන් ඔයාගේ වයසේ ගෑණු ළමයි එහෙම ඉන්නේ නෑ. එයාලා  දන්නවා නිකරුනේ ගතවෙලා යන විනාඩියත් තමන්ට ප්‍රයෝජනවත් දේකට යොදවන හැටි. අපි දන්නවනේ දහරා හැම කෙනෙක්ටම ඉහලට ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ. සමහර වෙලාවට තමන්ගේ තියෙන දුර්වලකම වගේම ආර්ථික තත්ත්වයත් ඊට හරස් වෙනවා. එහෙම අය මේ වගේ පුංචි පුංචි බිස්නස් පටන්ගෙන ලොකු තැන්වලට ගිහිල්ලා ඉන්නවා.”

දහරා ඔහු පවසන සියල්ල අසා සිටියේ ආසාවෙන්ය. ඒවා හරි පැහැදිලි වචනය. 

“ඔයා මහ පුදුම කෙනෙක් රමාෂ්….

“ඇයි එහෙම කියන්නේ…”

“ඔයාට පුළුවන් මනුස්සයෙක් නැගිට්ටවන විදිහට කතාකරන්න. මනුස්සයෙක්ගේ හිතට හයිය දෙන විදිහට කතා කරන්න. ඔයා ඔහොම කියද්දි මුකුත්ම කරකියාගන්න බැරුව වැටිලා ඉන්න මනුස්සයෙකුට වුනත් අඩියක් ඉස්සරහට තියන්න හිතෙනවා. එයාලට පුළුවන්නම් ඇයි මට බැරි කියලා හිතෙනවා..”

“හරියයිද වරදීද කියලා හිතලා දේවල් කරන්න එපා. මේක හරියයි කියලම හිතන්න. අපි ඔයාට පේජ්  එකක් හදාගමු. මං හිතන්නේ ඒවට වෙනමම කෝස් පවා තියෙනවා. අපි දෙවනුව ඒ වගේ එකකට ට්‍රයි කරමු. හැබැයි මතක තියාගන්න ඔය මල් පොකුර මට ඕනේ සල්ලි වලට… ඒක ඔයාගේ බිස්නස් එකේ පළවෙනි ගනුදෙණුව. ඇත්තටම දහරා ඒක ඒ තරමටම ලස්සනයි. අර ඔයා මට ඉස්සර හදල දුන්නු පිහාටු පොත වගේ. මට හිතෙන්නේ ඔයාට ඒ වගේ නිර්මාණ හරි ලස්සනට කරන්න පුළුවන් කියලා. පස්සෙ කාලෙක ශොප් එකක් දාගන්න බැරි වෙන්නෙත් නෑ.”

දහරාගේ දෑස් වලට කඳුළක් උනා ආවේ ඔහු එසේ පවසද්දීය. ඔහු මේ වටිනාකම් එක් කරමින් සිටින්නේ ජීවිතයේ පතුලටම ඇද වැටී උන් ගැහැණියකටය. 

රමාෂ් සේම අම්මාද ආච්චී ද උදෑසන පැවසූයේ ඒ මල් කළඹ සුපිරි නිමාවකින් යුතු එකක් බවය. 

“මේ වගේ විස්සක් තිහක් හදාගෙන ඔය උපාධි ප්‍රධානෝත්සව තියෙන දවසට බී එම් අයි  සී එච් එක ළඟට ගෙනිච්චනම් හොඳ ගානක් හොයාගන්න තිබුණා.” 

එසේ පැවසූයේ උදෑසන කොස් මදුළු බෑගයක් රැගෙන ආ මාමාගේ මිතුරෙකි. 

“වැඩේට බහිමු මං තැනක් අල්ලලා දෙන්නම්….”

දහරා කිරි කොස් සමග කරවල බැදුමක් කන්නට ඇවැසියැයි ආච්චිට පැවසූයේ පෙරදා උදෑසනය. ඈ නන්දනට ඒ පණිවිඩය යවන්නට ඇත. නන්දන දහරා අත වූ මල් කළඹේ සේයා රූ කිහිපයක් ලබා ගත්තේ විවිධ කෝණ වලින්ය.

රමාෂ්  හදිසියේ උදෑසන පැමිණියේ රෝහලට යන අතරවාරයේය. දහරාට ඒ බවක් අම්මා හා පවසන්නටවත් අවකාශ ලැබුණේ නැත. එවේලෙහි ඕ රැකියාවට ගොස් සිටියාය. රමාෂ්  දහරාට මුදල් නෝට්ටු කීපයක් ලබාදී මල් කළඹ මිලදී ගත්තාය. 

“මට කලින් කවුරු හරි ඇවිල්ලා ඒක ගනියි කියලා මට බය හිතුනා.”

ඔහු පැවසූයේ මල් කළඹ වාහනයේ පසුපස අසුන මතින් තබනා ගමන්ය. ආචීචී  තේ බී යන්නයැයි පැවසුවත් ඔහුට ඊට වැය කරන්නට වේලාවක් වූයේ නැත. 

“අද අපේ වෝර්ඩ් එකේ ක්ලිනික් දවස දහරා. උදේ  හත වෙද්දි පේෂන්ට්ලා බලන්න පටන් ගන්නවා. නිශාදිට කියන්න මම ඇවිත් කියා කියලා.” 

එසේ පැවසූ ඔහු වාහනයට නැග නික්ම යනතුරුම දහරා බලා උන්නේ මළබැඳී තිබූ ගේට්ටුව අල්ලාගෙනය. 

“කවුද බං ඒ ආපු මහත්තයා…..”

අසල නිවසක අයෙකු ආච්චිගෙන් එසේ විමසද්දී දහරා නිවස තුළට ඇවිද ගියේ මුදල් නෝට්ටු කිහිපයත් අත මිට මොලවාගෙනය. කොළ කැඳ වීදුරුවක් රැගෙන ආ අසල්වැසි කාන්තාව පිටව ගියේ තවත් විනාඩි කිහිපයකට පසුවය. ඒ වද්දීත් දහරා තවත් මල් කලඹක් සකසන්නට අවැසි අඩුම කුඩුම ලං කරගෙන සිටියාය. 

“මං කිව්වේ නැහැ ඒ ආවේ රමාෂ් පුතා කියලා. අන්තිමට නිකං ඒ දරුවටත් කතන්දරයක් හදයි. මොනවද දහරා ඒ බිස්නස් එකක් ගැන කතා කලේ.”

“ආච්චි මම ඊයෙ මල් පොකුර හදලා රාමාෂ්ට ෆොටෝ එකක් යැව්වහම එයා කිව්වා ඒක එයාට සල්ලි දීලා ගන්න ඕනේ කියලා. ඒක හරි ලස්සනයි කියලා ටිකක් වැඩිපුර හැදුවොත් විකුණන්න වුනත් පුළුවන් කියලා කිව්වා. දැන් මේ වගේ ඒවා විකුණන්න ෆේස්බුක් එකේ ඕන තරම් පේජ් තියෙනවනේ…”

“අනේ මන්ද බං මට ඕවාා තේරෙන්නේ නෑ. හූල්ල හූල්ල ඉන්නවට වඩා මොකක් හරි වැඩක් කරන එක කොච්චර දෙයක්ද. 

මේ කැඳ වීදුරුව බීලා හිටින්…”

දහරා කොළ කැඳ වීදුරුව බී නිම කළේ එක හුස්මටය. එතැන් සිට උදෑසන දහය පමණ වනතුරු ඈ තවත් මල් කලඹක් සැකසුවාය. දහවල නිශාදි පැමිණියේ කෙසෙල් කොලයක ඔතන ලද බත් මුලක්ද රැගෙනය.

“ෂා ඒකත් මරු…කෝ ඊයෙ රෑ හදපු එක…”

“හරි වැඩේනෙ උනේ. මං ඔයාට ෆොටෝ එක එවද්දිම රමාෂ්ටත් ඒක යැව්වා. රමාෂ්  කිව්වා ඒක එයාට සල්ලි දීලා ගන්න ඕනේ කියලා. මං කිව්වා ඒක එයාට දෙන්නම් ඊට පස්සේ මං ඔයාට වෙන එකක් හදලා දෙන්නම් කියලා. ඊට පස්සේ ඔන්ලයින් බිස්නස් කරන හැටි ගැන මට ගොඩක් විස්තර කියලා දුන්නා. අද උදේම ඇවිල්ලා ඒක සල්ලි දීලා ගත්තා..චුට්ටක්වත් ඉන්න වෙලාවක් නෑ කියලා තේ එකක්වත් බිව්වේ නෑ. ඔයාට කියන්න කියලත් මට කිව්වා…”

දහරා පැවසූයේ සිනහමුසුවය. ඒ අතරේම ඕ රමාෂ් විසින් උදෑසන ලබා දුන් මුදල් නෝට්ටු දෙකත් යෙහෙළියට පෙන්වූවාය. 

“මං හිතාගෙන හිටියේ ඒක ඔයාට දෙන්න. රමාෂ් පිරිමි කෙනෙක් හින්දා එයාට එහෙම දේක වටිනාකමක් තියෙයි කියලා මං හිතුවේ නෑ. දැන් මං මේක හැදුවෙ ඔයාට. හැබැයි ඒ සල්ලි වලටනම් නෙමෙයි.”

එවර දහරා පැවසූයේ තමා අත වූ මල් පොකුර යෙහෙළිය වෙත දිගු කරමින්ය. මඳ සිනහවක් පා එය දෝතින් අල්ලා ගත්තාට ඒ සිත්හි වූයේ දුකකි. සැබවින්ම ඒ මල් පොකුර අගනා නිමාවකින් යුතු එකක් වුවත් එය වර්ණනා කරන්නට තරම්වත් සිතක් නිශාදිට වූයේ නැත. දහරා රමාෂ්  පැවසුවායැයි බොහෝ දේ කියවමින් උන්නාය. ඒ සියල්ල අසා සිටියත් ඇගේ සිත වූයේ ඒ වදන්වල නොවේ. 

“කෙල්ලේ මට තව ගොඩක් වැඩ තියනවා කරගන්න. එහෙනම් ඔයා මේක කන්න. මං රෑට කතා කරන්නම්…”

නිශාදිට ඕනෑ වූයේ හැකි ඉක්මනින් දහරාගෙන් සමුගන්නටය. අවසන ඇය ලබා දුන් මල් පොකුරත් එහෙමම දමා නිශාදි නිවසින් පිටතට පැමිණියාය.

“මොන සිහියක ඉන්නවද මන්දා..මේක අරගෙන යන්න. ඔයාට හම්බවෙන හොස්ටල් රූම් එකේ තියාගන්න පුළුවන් වුනොත් පස්සෙ ගෙනිහිල්ලා තියාගන්න.”

“අනේ සොරි දහරා..මේ දවස් ටිකේ මම ටිකක් අවුලෙන් ඉන්නේ..”

මිතුරියගේ හිස අතගා එසේ පැවසූ නිශාදී ඉදිරියට ඇවිද ගියේ අඩියට දෙකටය. ඒ දෑස් තෙත් වී තිබුණේ අහේතුකව නොවේ. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here