සඳ දිය  දහරා – 41

0
326

මනුජිත් ආපසු පිටව ගියේ ශ්‍රියාලතා විසින් ඔතා දුන් බත් මුලද රැගෙනය. දුරකථනයේ ආධාරයෙන් නිවස අසලටම ගෙන්වාගත් ත්‍රී රෝද රථයට නඟින්නට ප්‍රථමව ඔහු ශ්‍රියාලතාගෙන් රුපියල් පන්දහසක්  විතර නැද්දැයි විමසුවාය. ගිය මස සැමියාගේ වැටුපෙන් ඉතිරිවී තිබූ රුපියල් පන්දහස ගෙනවිත් ශ්‍රියාලතා මනුජිත්ගේ අත තැබුවේ කිසිවක් නොකියාය. හදිසියට සැමන් තෙල් දමා පරිප්පු කිරට උයා සෑදූ ආහාර වේල පිඟානට බෙදා කතා කරද්දී මනුජිත් උන්නේ තද නින්දකය. කලබලයෙන් නැගිට ආ ඔහු බත් පිඟාන ගිල දැමුවේ දවස් කිහිපයකින් කිසිවක් නොකෑ අයෙකු සේ ය. ශ්‍රියාලතා දෙවන තුන්වන වරටත් බත් පිඟාන පිර වූයේ දෑස් වල කඳුලක් තබාගෙනය. ඔහුට සේම  රාත්‍රියට තමාටත්, සැමියාටත් සෑහෙන්නට සහල් ලිප තැබුවත් අවසන මුට්ටියේ ඉතිරිවී තිබුණේ බත් ඇට කිහිපයක් පමණි. බිත්තරයක්වත් ගෙනවිත් ඔහුට තම්බා නොදීම පිළිබඳව එවේලෙහි ශ්‍රියාලතාගේ සිතෙහි ඇති වූයේ පසුතැවීමකි. 

මනුජිත් පිටව ගිය වේලේ සිටම ශ්‍රියාලතා කල්පනා කළේ ඔහුගේ පැමිණීම පිළිබඳවත් ඔහුට සිදුවී ඇති කරදරය පිළිබඳවත් සැමියාට කෙසේ පවසනවාදැයි යනුවෙන්ය. ගෙවී ගිය දින කිහිපයේදීම ඔහු මනුජිත් පිළිබඳව එතරම් හිත හොඳකින් කතා කළේ නැත. 

“මොකෝ අද මිදුලටම වෙලා….”

සැමියා නිවසට ඇතුළු වූයේම එසේ අසාගෙනය. වෙනදා සවස නිවසේ දොර ඇරුනේ ඔහු කිහිප වතාවක්ම තට්ටු කලාට පසුවය. 

සුමනසේකර තමා අත වූ ආප්ප කිහිපය බිරිඳ අත තැබුවාය. 

“අද දවල්ට කෑවෙත් නෑ. එතන කන්න තියෙන ඒව දැක්කහම මට එපා වුණා. තේ ටිකක් හදලා ගත්තනම් ඕක කන්න නිබුනා.”

කිසිවක් නොකියාම ශ්‍රියාලතා ඔහු වෙනුවෙන් තේ කෝප්පයක් සැකසුවාය. ඉන්පසු ආප්පත් ලුණු මිරිසුත් පිඟානකට දමාගෙන ගොස් විසිත්ත කාමරයේ අසුන් ගෙන උන් සැමියා ඉදිරිපසින් තැබුවාය. 

“අද පුතා ඇවිත් ගියානේ…..”

“මනුජිත්…

ශ්‍රියලතා පැවසූයේ සැමියා ආප්පයක් කා තේ කෝප්පය අතට ගනිද්දීය. එහෙත් නොසිතූ ලෙස කලබලයට පත් වූ ඔහු අතින් තේ බිඳු කිහිපයක්ම සුදු පැහැ කමිසයේ ඉහිරිණ. 

“පිච්චුනාද…පැල්ලං හිටියද මන්දා….

“ඒ ළමයා හදිසියේ ලංකාවට ආවේ මොකටද…?”

සුමනසේකර ඇසුවේ තේ බිදු ඉහිරී ගිය කමිසය ගලවා දමමින්ය. වැඩට ඇදගෙන යාමට තිබුනේ කමිස කිහියකි. ශ්‍රියාලතා කමිසය දෙස බලා සිටියේ කම්පාවෙන්ය. තේ කහට පැල්ලම් යැවීම ලේසි පහසු එකක් නොවේ. හදිසියේ යමක් සිහි වූවා සේ නැගිට සිටි ඕ නානකාමරයේ වූ බේසමට වතුර පුරවා සබන් කුඩු ස්වල්පයක් සමග කමිසය පෙගෙන්නට දැමුවාය. 

“කලබල නොවී මං මේ කියන දේ අහන්නකො. ඒ ළමයා ඉඳලා තියෙන්නේ ලංකාවෙ තමයි..”

“එහෙනම් මොන එකකටද ඩුබායි වල ඉන්නවා වගේ කතා කළේ. මගේ හිත කිව්වා මටනං  මොකක් හරි කොස්සක් තියෙනවා කියලා. මේ කොළඹ ඉඳලා ගාල්ලට යන්න වගේ මිනිස්සුන්ට ඩුබායි යන්න පුළුවන් නම් බැරියැ.”

“මං කිව්වනේ කලබල නොවී චුට්ටක් මං කියන දේට ඇහුම්කන් දෙන්න කියලා. ඒ ළමයා මේ හැමදේම කරන්නේ මේ පැටලිච්ච පඹ ගාලෙන් ගැලවෙන්න.” 

“පඹ ගාලවල්වල අපි බලෙන් ගිහිල්ල පටලැව්වෙ නෑනෙ. එයා වගේම තරුණ කොල්ලෝ ටිකක්නෙ අර එදා ඇවිල්ල ලස්සනට කතාබහ කරලා ගියේ. තියෙන නැහැදිච්ච කමට…”

“වෙච්ච දේ වුනා. මං ඔයාට කියලා තියෙනවා පරණ දේවල් ඇදලා අරගෙන නිකරුනේ දොස් කියන්න එපා කියලා.”

“මතක තියාගන්න ශ්‍රියාලතා ඔයා ඔයිට වඩා තත් ටිකක් තදට හිටියනම් ඔය දරුවා මෙහෙම  වෙන්නේ නෑ. දරුවා කරන කරන හැම වැරැද්දම නිවැරදි කරලා සුදු හුණු ගාන එක නෙමෙයි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අතින් වෙන්නන ඕනේ.”

“ඒ දරුවා ලොකු අමාරුවක  වැටිලා ඉන්නේ. මේ වෙලාවේ අපි කරන්න ඕනෙ බනින එකවත් කෑ ගහන එකවත් නෙමෙයි. දරුවා  එතනින් ගොඩ ගන්න එක. එහෙම නැතුව ඔයා කියන තරම් ලේසියට අයින් කරලා දාන්න පුළුවන්නම් මම දහ පාරක් ඒක කරලා. හිතක් පපුවක් නැති ගානට අම්මා කෙනෙක් අහක බලාගෙන ඉන්නේ කොහොමද….?”

ශ්‍රියාලතාගේ හඬ හැඬුම් මුසු විය. සුමනසේකර මදක් පසු බා ගත්තේ එනිසාය.

“දැන් මොකක්ද වෙලා තියෙනවා කියලා කියන්නේ…”

“අරකි මාමත් එක්ක එකතුවෙලා මාර ප්ලෑනක් තමයි ගහලා තියෙන්නේ. තව ටිකෙන් අපිට මේ ගෙවල් දොරවල් නැති වෙනවා විතරක් නෙමෙයි මේවයින් එළියට බැහැලත් යන්න සිද්ධ වෙනවා. පස්සේ අපේ දරුවා කෙනෙක් අල්ලගෙන ඔය මොකක්ද වැඩක් කරලා තමයි දහරාගේ මාමා හිරේ යවලා තියෙන්නේ.”

“ඒ මනුස්සයා හිරේගේ මත්ද්‍රව්‍ය චෝදනාවකට..”

“මම දන්නෙ නැහැ ඔය මොකක් හරි දෙයක් කරලා. දැන් කොහොමහරි දහරාගේ මාමා මේ ගැන දැනගෙනලු..”

ශ්‍රියාලතා ලක්ෂ පහේ කතාව වසන් කලේ හිතාමතාමය. එදා සිටම ඈ සැමියා හා පැවසූ සියළු කතාවල වූයේ තෝරා බේරාගත් කොටස් පමණි.

“මොනවද ශ්‍රියාලතා මේ ළමයා කරගන්න වැඩ. ඔය මිනිස්සුත් එක්ක හැප්පෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.”

“ඒක නේන්නම් මහත්තයා දැන් වෙලා තියෙන්නේ…”

“එතකොට මනුජිත් ඩුබායි ගියපු කතාව බොරුවක්ද…”

“ඔව් දැන් ඒ ළමයා හැංගිලා  ඉන්නේ.”

“මේවා කොහෙන් කෙළවර වෙයිද මන්දා..”

“කොහෙන් කෙළවර වුණත් අපි අපේ ළමයාව බේරගන්න එපැයි. අපිටය කියලා ඒ පැත්ත බලලා මේ පැත්ත බලලා සැනසෙන්න දහයක් නෑනේ. දැන් ඉතින් මේ ගෙවල් දොරවල් විකුනලා හරි ඒ ළමයව රටකට යවලා අපිත් කොහේ හරි යන්න වෙයි.”

“ඔළුව හොඳ නැද්ද මේ ගෙවල් දොරවල් විකුණලා අපි කොහේ යන්නද.?”

“මොනව හරි කරන්න එපැයි. දරුවා හිටියයින්  බාගයක් නෑ. ඇදිල ගිහිල්ලා. පාරක තොටක බැහැලා යන්න නිදහසක් නෑ. අනේ කිලිටු වෙච්ච පොඩි වෙච්ච ෂර්ට් එකකුත් ඇඳගෙන තොප්පියකින් මූණත් වහගෙන ආවෙ. මට හිතුනා දරුවා දැකලා මට පපුවේ අමාරුවක් හැදෙයි කියලා. කොච්චර නං කියලා අපි ආදරෙන් හදපු දරුවෙක්ද මේ. අනේ මං ඉක්මනට සැමන් ටින් එකක් ගෙනල්ලා පරිප්පු හදලා දුන්නා. තුන් පාරක් බත් බෙදවගෙන ගෙන කෑවා. අනේ මගේ පපුවට දැනෙන ගින්දර මෙච්චරක් කියලා කියන්න බෑ.”

“අනේ මං දන්නෑ මේ ළමයා අමාරුවේ වැටිලා අපිට ඉන්න හිටින්න තියෙන තැනත් නැති කරනවා. දැන් එයා දහර ගැන මොනවද කියන්නේ?”

“ඒකි ගැන මොනවා කියන්නද මතක් වෙන මතක් වෙන සැරේට මං සාප කරනවා. අපේ පවුලට දීපු ගින්දරක්. අපිව නැත්තට නැති කලා.”

“අපේ ළමයාගේ වැරදි වලට අනිත් මිනිස්සු මොනවා කරන්නද? එක්කෝ වෙච්ච වැරැද්ද හදාගෙන පාඩුවේ ඉන්න තිබුණා.

“අනේ දැන් පරණ දේවල් ගැන හිතන්න එපා.  අනුන්ගේ ළමයි නලවන්නේ මොකටද අපි. එහෙම කළොත් අපි දහරාගෙනුත් නිදහස්. මනුජිත් අපිට නොසලකා ඉන්නේ නෑ. දැන් අපේ සුදු නෝනා අක්කත් ළමයි දෙන්නව ඇමරිකාවේ යැව්වේ ගේ විකුණලනෙ. අපි දෙන්නට ඔය කොහේ හරි වැටිල ඉන්න බැරියෑ. කොල්ලා මේ කරුමෙන් නිදහස් වෙනවනම්.

“එහෙම වෙන්නේ කොහොමද ඒ දෙන්න දැන් නීතියෙන් කසාද බැඳලා ඉන්නේ? එහෙම නිදහස් වෙන්න නම් වෙන් වෙන්න ඕනේ.”

“අපේ පුතා කියනවා ආපහු කසාද ගැන තියා ගෑණු ළමයෙක්ගේ දිහා හැරිලා බලන්නත් එයා බයයි කියලා. කසාද කටුගාන්න ඕනේ නෑ මහත්තයා දෙන්න දෙපැත්තට වෙලා අවුරුදු ගානක් වෙද්දි ඒවා ඉබේටම නැති වෙලා යනවලු.”

“එහෙමනම් ඉතිං කසාද නීතියක් කියල දෙයක් මේ රටට ඕන වෙන්නේ නැහැනේ.”

“ඒවා ඒගොල්ලෝ පස්සෙ කාලෙක බලා ගනියි. අපි මේ ගේ විකුණලා සල්ලි ටිකක් දෙමු  පුතාට රට යන්න. අපේ දරුවා අපි ගැන නොබලා ඉන්නෙ නෑ. මේ වෙලාවේ අපිට එයා වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි. ගඟක මුහුදක මිනිය පාවෙනවා දැකලා අඬන දොඬන එකේ තේරුමක් නෑ. අනිත් එක මේ සහගරයක් වගේ ගෙයක් අපි දෙන්නට මොකටද…මගේ පපුවේ ගින්දර තියාගෙන මේ ගේ ඇතුලේ මං මැරිලා යයි කොයි වෙලාවක හරි”

“එහෙම උන් හිටි තැන් නැති කරගෙන පාරට බහින්නේ කොහොමද? අපි දෙන්න කොහේ කියලා යන්නද?  වේලක් හැර වේලක් නොකා හරි මනුස්සයෙකුට වැටිලා ඉන්න ගෙයක් දොරක් ඕනේ. ඒකත් නැති කරගෙන….”

සුමනසේකර නැගී සිටියේ එසේ පවසමින්ය. ඉන්පසු කාමරය දෙසට ඇවිද ගියේ දෙපා අවසඟව ගිය රෝගියෙක් ගණනටය. හදිසියේ යමක් සිහි වූ කලෙක මෙන් ආපසු හැරුණු සුමනසේකර දැන් එයා ඔය ඉන්න තැන කොහෙද? මොනවද කරනවා කියන්නේ? යැයි ඇසුවේ මදක් උස් හඬින්ය. 

“මාතර පැත්තේ යාළුවෙකුගේ ගෙදරලු. කොහෙද පොඩි තැනක වැඩ කරනවා කියලා කිව්වේ…”

ශ්‍රියාලතා පැවසූයේ ඉකිය වවාගෙනය. කෑ ගසා නොහැඬුවත් සුමනසේකරගේ සිතට මහත් වූ වේදනාවක් දැනෙමින් තිබිණි. ඒ වේදනාව පරයා නැගී ආවේ තමා ගැනම උපන් ආත්මානුකම්පාවකි. ඔහුව සිහසුනක තබන්නට තමා කොතරම් වෙහෙස වූවාදැයි සුමනසේකරට සිතුනේ කලිසම ගලවා  සරමකට මාරුවද්දීය. හරි හැටි කෑවේ බිව්වේවත්,  හරි හැටි ඇඳුමක් ඇන්දේවත්, ගමනක් බිමනක් ගියේවත් නැත. මාස් පඩිය අර පරිස්සම් කරගත්තේ ඔහු වෙනුවෙන්ම වියදම් කරන්නටය. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත්ව මනුජිත් විශ්ව විද්‍යාලයට යද්දී සුමනසේකරට ඇති වූයේ යුතුකම් ඉටුකළ පියෙකුට ඇතිවන සතුටකි. එහෙත් මේ අයුරින් ඔහු ඒ බලාපොරොත්තු, සතුට ගිනිබත් කර දමාවියැයි සුමනසේකර කෙදිනකවත් සිතුවේ නැත. 

                                      ****************

කරන්නට දහසක් වැඩ තිබියදීත් නිශාදි උන්නේ සිත හොඳකින් නොවේ. මාතර යාමට තිබුණේ අනිද්දාය. ගෙන යා යුතු තවත් අඩුම කුඩුම රැසකි. එහෙත් ඒ එකක්වත් පිළිවෙලක් කරගන්නට තරම් මනසක් ඇයට වූයේ නැත. දහරාගේ නිවසේ සිට ආවේලේ පටන් ඈ උන්නේ අමුතු ලෝකයකින් ආ ජීවියෙකු පරිද්දෙන්ය.

“අරයට මොකද වෙලා තියෙන්නෙ…..”

සැන්දෑවේ නිවසට ආ පොඩි අක්කා අම්මාගෙන් එසේ අසනු නිශාදිට ඇසුණේ වතුර වීදුරුවක් බොන්නට සිතා මුළුතැන් ගේ දෙසට ඇවිද එද්දී. සොහොයුරිය යමක් අසද්දී තමා උස් හඬින් කෑ ගැසූ බව ඕ අම්මාට පැමිණිලි කරන අයුරුත් නිශාදී අසා සිටියාය. තවමත් ඇගේ දහවල බත්පත ප්ලාස්ටික් මේසය මත කූඩයකින් වැසූ ගමන්ය.

“ඔය අනිද්දා කැම්පස් එකේ නවතින්න යන හින්දා වෙන්න ඇති. උඹටත් හොස්ස ළඟින් මැස්ස යන්න බෑ වගේ ඒකිත් එක්ක එල්ලෙන්නේ නැතුව අඩුපාඩු මොනවද කියලා අහලා ඒවා ලෑස්ති කරලා දීපන්…..”

නිශාදිගේ  සිත්හි උපන්නේ වේදනාවකි. අනිද්දා මාතර ගිය පසු කිහිප දිනකටම යළි නිවසට පැමිණෙන්නට ලැබෙන්නේ නැත. මේ එතරම් කාලයක් නිවසින් බැහැරව සිටිනවාමය. ඒ දිනවල පාඩම් කරන්නට හෝ රැයක් ගත කළේ දහරාගේ නිවසේ පමණි. 

තවදුරටත් මේ අයුරින් නොසන්සුන්ව සිටීම යුතු නොවේ. හෝරාවක් දෙකක් ගෙවී ගිය පසුව ඈ රමාෂ්ට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ තවදුරටත් ඔහුව මේ සිතෙහි තබාගෙන සිටීම පලක් වනවාද නැද්ද  යන්න හරි හැටිම දැනගැනීමටය. 

(හමුවෙමු ආදරයෙන්……..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here