මතකයක සේයා – 47

0
1425

” මං සෙට් කර ගත්ත කිසිම කෙල්ලෙක් මට ඔච්චර ගණන් උස්සලා නෑ බං. උන්ට ඕන උනේ සල්ලියි තෑගියි ෆයිව් ස්ටාර් හොටෙල්ස් වලට යන්නයි ක්ලබින් යන්නයි විතරයි “

කොළඹ නගරයේ රාත්‍රී සමාජ ශාලාවක තම හොඳම මිතුරා වූ අකලංක සමඟ මධුවිත සප්පායම් වෙමින් ලවන් පැවසුවේ උදෑසන දී මන්දාකිණි සහ තමා ගේ හමුවීම සිහිපත් කරමිනි.ඒ මොහොතේ දී පරාජිතව මන්දාකිණි ගේ කාර්යාලයෙන් පිට වී පැමිණියද ඊළඟ අවස්ථාවේ දී එසේ පරාජය භාර ගැනීමට ලවන් හට උවමනා වූයේ නැත.

” මං එදා ඒකිගේ ගෙදරට යනකොටත් හිතා ගෙන හිටියම එක පාරින්ම නම්ම ගන්න පුළුවන් ජාතියේ කෙල්ලෙක් කියලා. හැබැයි අද තමයි මං හරියටම දැන ගත්තේ ඒකිව සෙට් කර ගන්න මට සෑහෙන කට්ටක් කන්න වෙයි කියලා “

ලවන් මධුවිතින් මත් වූ දෑස් වලින් තමන් වාඩි වී සිටි ස්ථානයට මදක් එපිටින් නිමක් නොමැතිව නර්තනයේ යෙදෙන තරුණියන් දෙස බැලුවේය.

” මට මෙතනින් එකක් උනත් දැන් සෙට් කර ගන්න පුළුවන්. හැබැයි මන්දාකිණි ව බෑ “

අකලංක ගේ මුවට සිනහවක් නැඟුණේය. මැණික් ව්‍යාපාරිකයෙකු වූ තම මිතුරා මුදල් වල බලය භාවිතා කරමින් මේ තාක් දිනක් තරුණියන් බොහෝ ගණනාවක් ඇසුරු කළේය.  විවාහ යෝජනාවක් පිළිබඳව දෙමාපියන් විසින් කතා බහ කළායින් පසුව වුවද එම ජීවිතයට තිත තැබීමට ලවන් තුළ අදහසක් නොවූවත් මන්දාකිණි නැමති තරුණියව මුණ ගැසීමට ගොස් පැමිණි පලවන දිනයේම ලවන් ඇය කෙරෙහි ලෝභී හැඟීමක් ඇති කර ගෙන බැව් ඔහු ගේ කතා බහෙන්ම අකලංක තේරුම් ගෙන උන්නේය. ඒ හේතුව නිසාවෙන්ම ඇයව මුණගැසීම සඳහා බෙන්තොට නගරයේ පිහිටා තිබෙන ඇගේ ආයතනය වෙත යන බවද ලවන් පැවසුවේ උදෑසන දීය. නමුත් ඔහු බලාපොරොත්තු වූ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණේ මන්දාකිණි ලබා දී තිබුණු ප්‍රතිචාරය නිසාය. අන් තරුණියන් තුළින් නොදුටු පෞරුෂයක් සහ සෘජු බවක් මන්දාකිණි තුළින් පෙනෙන්නට ඇති නිසා ඇයව කෙසේ හෝ සතු කර ගැනීමේ වුවමනාවකින් තම මිතුරා පෙලෙන බව අකලංක සිතුවේ අත ඇති වීදුරුවේ තිබූ අවසාන මත්පැන් බිඳත් මුවට හලා ගන්නා අතරේය.

” ඒකි ගේ apartment එක තියෙන තැන හොයා ගත්ත නම් මට වැඩේ ලේසියි.කොහෙද ඉතින් මේකි ඒකට වත් ඉඩ දෙන්නෑනේ “

ලවන් ගේ හඬෙහි තරමක කෝපාන්විත බවක්ද ගෑවී තිබිණි. ව්‍යාපාර කටයුත්තක දී වුවද පහසුවෙන් පරාජය භාර නොගන්නා ඔහු මන්දාකිණි ගේ ප්‍රතික්ෂේප කිරීම හමුවේ අතිශය නොසන්සුන් බවකින් පසු වූයේය.

” ඒක ඉතින් උඹට අම්මල ගෙන් අහ ගන්න පුළුවන්නේ “

අකලංක කීවේ කුඩා මේසය මත වූ මත්පැන් බෝතලය අතට ගනිමිනි. ලවන් මන්දාකිණි  සම්බන්ධ කාරණාව සරල ලෙස ගෙන නොමැති බව ඔහු ගේ ඉරියව් වලින්ම පෙනෙන්නට තිබුණි. වරක් රාත්‍රී සමාජ ශාලාවක දී තමා වෙත අවනත නොවූ පෙම්වතා සමග සිටි තරුණියක හා උරණ වූ ලවන් ඇගේ පෙම්වතාට පහරදී ඇති කර ගත් අර්බුදය අකලංක හට සිහි වූයේ අනතුරුවය.

” අම්මල ගෙන් අහගෙන ගියත් අරකි මට දොර වත් අරින එකක් නෑ බං. ඒකි ඔෆිස් එකෙනුත් මාව ගහලා පැන්නුවේ නැති ටික විතරයි ” 

බොහෝ වේලාවක් තිස්සේ මත්පැන් පානය කර මත් බවේ හිණිපෙත්තේ සිටි ලවන් එවදන් පැවසුවේ සැබවින්ම කෝපයෙනි. කාර්යාලයෙන් පිටව යන ලෙස මන්දාකිණි නොකියා කියූ ආකාරය ඒ මොහොතේ දීත් සිහිපත් වූ බැවින් ලවන් තම අත තිබූ හිස් මත්පැන් වීදුරුව මේසය මත තැබුවේ වේගයෙනි. අනතුරුව ඔහු සාක්කුවේ වූ මුදල් පසුම්බිය අතට ගෙන විවෘත කර එහි වූ බැංකු කාඩ් පතක් ඇද අකලංක වෙත දිගු කලේය.

” බිල් එක පේ කරලා වාහනේ ගාවට වරෙන් “

අකලංක පිළිතුරක් දෙන්නටත් පෙර ලවන් අසුනින් නැගිට බීමත් ගමනින් යුතුව , නර්තනයේ යෙදෙන තරුණ තරුණියන් අතරින් නොපෙනී ගියේය. 

සමාජ ශාලාවෙන් පැමිණි ලවන් වාහන අංගනය වෙත පැමිණ දැඩි අඳුරේ පියවර තබමින් තම වාහනය නවතා තිබූ ස්ථානය වෙත පැමිණ නතර වූයේය. සාක්කුවේ තිබූ දුම්වැටි පැකට්ටුවෙන් දුම්වැටියක් ගෙන දල්වා ගත් ලවන් අනතුරුව වාහනයට හේත්තු වී දුරකථනයේ වූ මන්දාකිණි ගේ අංකයට ඇමතුමක් ගෙන දුරකථනය කනේ තබා ගත්තේය.

වෙහෙසකර දවසක් අවසාන කර මන්දාකිණි උන්නේ තද නින්දේය. බොහෝ වේලාවක් දුරකථනය නාද වනු ඇසුණු පසු ආයාසයෙන් දෑස් විවර කර මන්දාකිණි දුරකථනය අතට ගෙන බැලුවාය. දුරකථනයේ සටහන් කර නොගත් අංකයකින් ඇමතුමක් පැමිණෙමින් තිබුණු බැවින් මන්දාකිණි දුරකථන තිරයේ ඉහළින් සටහන්ව ඇති වේලාව පරීක්ෂා කළාය. එහි අලුයම එක ලෙස සටහන් වී තිබුණු නිසා මන්දාකිණි දුරකථනය යහන මතින් තබා අනෙක් පස හැරී දෑස් පියා ගත්තාය.

මන්දාකිණි හට එසේ දෑස් පියා ඉන්නට ලැබුණේ තත්පර ගණනාවක් පමණි. නැවත දුරකථනය නාද වන්නට පටන් ගත් නිසා මන්දාකිණි යහන මතින් වාඩි වී අඩවන් වූ දෑස් වලින් දුරකථනය දෙස පැමිණෙමින් තිබුණු ඇමතුමට සම්බන්ධ වූවාය.

” හෙලෝ ” 

මන්දාකිණි ඇමතුමට සම්බන්ධ වූයේ නිදි බරවය. ඇමතුමේ අනෙක් පස ඈතින් විශාල ඝෝෂාවක් වැනි ශබ්දයක්ද ඇසෙමින් තිබුනු නිසා මන්දාකිණි කනේ තබා ගත් දුරකථනය නැවත අතට ගෙන ඇමතුම පැමිණි අංකය දෙස බැලූවාය. එය කිසිසේත්ම හුරුපුරුදු නොවූ අංකයක් නිසා මන්දාකිණි මොහොතක් නිහඬව බලා උන්නාය.

” හෙලෝ “

අනෙක් පසින් කිසිවෙකුත් කිසිවක් නොකියන බැවින් මන්දාකිණි හඬ අවදි කලාය.

” මන්දාකිණි මං ” 

බොහෝ සේ මත් වී හුන් ලවන් වචන පිට කලේ අපහසුවෙන් නිසා මන්දාකිණි හට එක වරම ඔහුගේ කටහඬ හඳුනා ගත හැකි වූයේ නැත.

” කවුද ? ” 

” මම.. ලවන් ” 

මන්දාකිණි හට දැනුනේ කෝපයකි. ලවන් හිඳින්නේ නිවසේ නොවන බව පැහැදිලිය.එහෙත් මෙවැනි වේලාවක තමා ඇමතීමට තරම් ඔහුට තිබූ උවමනාව කුමක් දැයි සිතමින් මන්දාකිණි යහනෙන් බැස්සාය.

” ලවන් ඇයි මේ වෙලාවේ? ” 

මන්දාකිණි තරමක් තදින් විමසුවේ ලවන් හිඳින්නේ හොඳ සිහියෙන් නොවන බව ඔහු කතා කල ස්වරයෙන්ම හඳුනා ගත් බැවිනි. 

” එහෙනම් ඔයාට කතා කරන්න ඕන මොන වෙලාවේ ද මන්දාකිණි ? මොන වෙලාවෙද ? දවල්ට කතා කරොත් ඔයා වැඩ. දැන් මොකද්ද ?”

මන්දාකිණි තොල්පට තද කර ගත්තාය. ලවන් හට බැන වදින්නට සිත් වූවත් ඇය මහත් ආයාසයෙන් යුතුව ඒ සිතුවිල්ල පාලනය කර ගත්තාය.

” දැන් මම නිදා ගෙන හිටියේ. පාන්දර එකත් පහු වෙලා නේ.අනික ඔයා ඩ්‍රින්ක්ස් අරන් නේද ඔය ඉන්නේ ? ” 

” ඔව්ව්.ඔයා හින්දා මන්දාකිණි.ඔයා හින්දා “

ලවන් චෝදනාත්මක ස්වරයෙන් පිළිතුරු දෙන විට මන්දාකිණි තුළ වූ කෝපය දෙගුණ තෙගුණ වූයේය. 

” මං හින්දා ? ඇයි ? ” 

” ඔයාට තිබුනා උදේ මට එහෙම නොකර ඉන්න.මගේ හිත රිදුනා මන්දාකිණි .මං හිතුවේ නෑ ඔයා මට එහෙම කරයි කියලා.මං ඔයාව මැරි කරන්න ඉන්නේ. එහෙම එකේ ඔයාට මට වඩා ඔයාගේ බිස්නස් එක ලොකු වෙන්නේ කොහොමද ? ” 

” මං තාම ඔයාව මැරි කරනවා කියලා ඩිසයිඩ් කරලා නෑනේ ලවන්.ප්ලීස්. මේ වගේ මට කරදර කරන්න එපා.මං කැමති නෑ මේ වගේ වැඩ වලට ” 

ලවන් හට පිළිතුරු දීමට ඉඩ නොතබා මන්දාකිණි දුරකථන ඇමතුම විසන්ධි කළාය. ඊළඟ විනාඩිය ඇතුළතදීම ලවන් ගේ අංකයෙන් ඇමතුමක් පැමිණියද මන්දාකිණි එයට ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත.

ලවන් කෙරෙහි වූ කෝපයෙන් නිදන කාමරයේ එහා මෙහා ඇවිදිමින් හිඳ සාලයට පැමිණි මන්දාකිණි අදුරේම සෝෆාවට බර වී ධර්මරත්න ගේ අංකය ඇමතුවේය. තෙවරක් පමණ දුරකථනය නාද වූ පසුව ධර්මරත්න ඇමතුමට සම්බන්ධ වූයේ කලබලයෙනි.

” හෙලෝ පුතේ? ඇයි මේ වෙලාවේ ? මොකක් හරි කරදරයක්ද මන්දාකිණි ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here