සඳ දිය දහරා – 43

0
370

“ඇත්තටම මං අවුරුදු ගානකට පස්සේ ලංකාවට ආවේ දහරාව හොයාගෙන…..

රමාෂ්  එසේ පවසද්දී නිශාදී තිගැස්සී ගියාය. ඇය සිතා සිටියේ මේ හමුව අහම්බෙන් සිදුවූ එකක් තයැයි කියාය. 

“ඔයාට පුදුම ඇති නේද…..”

“එහෙම දහරාව හොයාගෙන ආවනම් ඔයා මෙච්චර කල් කොහෙද හිටියේ?. එදා හොස්පිට්ල් එකේදී අහම්බෙන්නේ අපි හම්බ වුණේ.”

“ඔව් එදා හොස්පිට්ල් එකේදිනම් අපි හමුවුණේ අහම්බෙන් තමයි. ඔයාට වෙලාවක් තියෙනවද මම මේ කියන කතාව අහගෙන ඉන්න.”

“පුළුවන් රමාෂ්….”

“කැනඩාවලදී මම මැරි කරන්න හිතා ගෙනෙම ගෑණු ළමයෙක්ව ආශ්‍රය කළා. අපි දෙන්නා ලිවින් ටූ  ගෙදර් ජීවත් වුණා. මං දන්නවා මෙහෙට ඒ දේවල් සාමාන්‍ය නෑ. ඒ රටවල් වලදි ඒවා අතිශය සාමාන්‍ය සිදුවීම්. එයා අපේ ජාතියේ කෙනෙක් නෙමෙයි. ඒ එෆෙයා එකට අවුරුදු හතරකට වැඩියි. අපි එහේ සෙට්ල් උනාට  පස්සේ මාව එහේ නතර කරලා අම්මයි තාත්තයි ආපහු ලංකාවට ආවා. මොකද ආපහු ජැෆ්නා වල ජීවත් වෙන එක අපට හීනයක් වෙලා තිබුණේ. එහෙම ඉන්න කාලෙදි තමයි මට එයාව මුණ ගැහුනේ. ඒත් මගේ හිතේ තිබුණු හිස්තැන පුරවගන්න මට බැරි වුණා. කාලයක් යද්දි  මම තේරුම් ගත්තා මම හොයපු කෙනා නෙමෙයි මේ කියලා. ඒත් මගේ හිතේ තියෙන හිස්කම මොකක්ද කියන එක මට හිතාගන්න බැරි වුණා. මං කාලයක් මේ ගැන කල්පනා කළා. මමයි ස්ටෙෆායි අතර ප්‍රශ්න ඇතිවුණා. ඇත්තටම කිව්වොත් නිශාදි ඒක එයාගේ වරද නෙමෙයි මගේ වරද. මට එයාට ආදරේ කරන්න බැරුව ගියා. මගේ හිතේ තිබුණු ඒ හිස්තැන මොකක්ද කියලා මං අන්තිමට හොයාගත්තා. ලංකාවෙන් ගිහිල්ලා කාලයක් ගියත් මම හිටියේ දහරාව අමතක කරගන්න බැරි තැනක. 

“ඉතින් ඔයා අපිට ලිව්වෙවත් අපි ගැන බැලුවෙවත්  අපි ගැන හෙව්වෙවත් නෑනේ…”

“ඔව් ඇත්ත….මට ඔයාලට වෛර කරන්න ඕන වුණා. මට ඔයාලත් එක තරහ වෙන්න ඕන උනා. මගේ ස්ටඩි රූම් එකේ මල්ලිගේ ලොකු  ෆොටෝ එකක් තිබුණා. ඒක දකින දකින සැරේට මට සේකර වත්ත අමතක කරන්න ඕන උනා. අම්මා අසනීප වෙන හැම වතාවකම මට ඔයාලට වෛර කරන්න ඕන උනා. ඒ උනාට මට ඒක කරන්න බැරුව ගියා නිශාදි. මෙහෙන් ගෙනියපු හැම මතකයක්ම විසිකරලා දැම්මත් මට දහර හදලා දීපු පිහාටුපොත විසි කරන්න බැරුව ගියා. හිතටත් හොරා මං ඒක ආරක්ෂා කරලා තිබුණා. කාලයත් එක්ක මං තේරුම් ගත්තා මගේ හිතේ තියෙන හිස්තැන තමයි ඒ කියල. හැබැයි මට ඒ වෙලාවේ ලංකාවට එන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද මගේ ස්ටඩි ඉවර කරන්න අවුරුදු එකහමාරක් විතර තිබුණා. ඒ අතරේ ස්ටෙෆානි කැනඩාවෙ බෝයි කෙනෙක් එක්ක යාළුවෙලා එයාව මැරිකලා. විශ්වාස කරන්න නිශාදී මට පුංචිමවත් දුකක් ඇතිවුණේ නෑ. ඒ වෙලාවෙත් මම හිටියේ දහරාගේ මූණ මතක් කරගන්න උත්සහ කර කර. හැබැයි මට ඔයාලා ගැන තිබුණු මතකය හරි දුරයි.  ඊට පස්සේ මං ලංකාවට ආවා. එහෙම ඇවිල්ලා අම්මයි තාත්තයි එක ජැෆ්නා  වලට වෙලා ටික දවසක් හිටියා.”

“ඔයා කොළඹට ආවේ……

ඉස්සර වෙලාම මං කොළඹට ආවේ දහරාව හොයන්න. මට මේ පාරවල් ගැන මතකයක් තිබුනෙ නෑ. පොඩි කාලයක් නෙමෙයි නේ. එදා මං ආවේ බස් එකේ. මම බොරැල්ලෙන් බැස්සා. ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුණා. එහෙම බැහැලා මම ගූගල් මැප් එක දාගෙන ටික දුරක් ඉස්සරහට ඇවිදගෙන එද්දි කවුරු හරි මගේ ඇගේ තදින් හැප්පුනා. මොකද මම ආවේ ෆෝන් එක දිහා බල බල. මට ඕන වුණේ මගේ ඇගේ හැප්පුනු කෙනාට සොරි කියන්න. ඔළුව  උස්සලා බලද්දි තමයි මට හිතුනෙ මේ හුරු පුරුදු මුහුණක් කියලා. ‘සොරි’ කියලා මං එයා දිහා චුට්ටක් වෙලා බලාගෙන හිටියා. එයත් මගේ දිහා බලාගෙන හිටියා.චූටි මාමා……”

“ඔයාට හම්බුනේ චූටි මාමද……”

“ඔව්…හැබැයි චූටි මාමා මාව අඳුර ගත්තේ නෑ. මං කවුද කියලා එයාට කිව්වට පස්සේ එක පාරටම චූටි මාමා කිව්වා ‘අප්පට සිරිබතලයෝ උඹ මෙච්චර ලොකු උනාද බං කියලා.’ විනාඩි පහක් විතර අපි දෙන්නා ඒ ගිනි අව්වෙම හිටගෙන කතා කළා. මං කිව්වා චූටි මාමේ මම ඔයාලව බලන්න ආවේ කියලා. මට දහරාව බලන්න ඕනේ කියලා. ඒ වෙලාවෙ තමයි චූටි මාමා  මට කිව්වේ දහරා දැන් මෙහෙ නෑ බං කියලා.” 

“ඉතින් මේ කිසි දෙයක් අපි දැනගෙන හිටියේ නෑනේ.”

“ඊට පස්සේ චූටි මම මාවත් අඬගහගෙන ආරියවංශ එකට ගියා. තෝසෙයි  උළුදු වඩයි  ඕඩර් කරලා මං ගැන විස්තර ඇහුවා. ඒ වෙලාවේ චූටි මාමා කිව්වා තංගමනී අක්කගේ  උළුදු වඩේ එක තරම් අදටත් උළුඳු වඩයක්  සෙට් වුණේ නෑ කියලා. මං ඇහුවා දහර කැම්පස් ගියාද කියල. ඒ වෙලාවේ  චූටි මාව කිව්වා ‘මොන කැම්පස්ද බං ඒකි ජීවිතේ විනාස කරගත්ත කියලා..’සමහර විට චූටි මාමට දැනෙන්න ඇති මං දහරා ගැන විශේෂත්වයක් හිතේ තියාගෙන කතා කරනවා කියලා. මොකද මං ඇහුවේ එයා ගැන විතරයි. චූටි මාම හිටියෙත් දහර ගැන කාත් එක්ක හරි කතා කරන්න ලොකු උවමනාවකින් වගේ. මං හිතන්නේ එතකොට දහර මනුජිත්ව මැරි කරලා ඒ ගෙදරින් ගිහිල්ලා සතියක් විතරයි ඇති.”

“ඔව්… චූටි මාම ඒ කාලේ හිටියේ පිස්සු හැදිලා වගේ…වචනයක් කියන්න බෑ කේන්ති යනවා. රීටා  ආච්චිටයි සාම නැද්දටයි පුදුම වදයක් දුන්නා. එයා හිටියේ මනුජිත් මරන්න තරම් කේන්තියකින්. හැබැයි ඉතින් දහර නිසා එයාට කරන්න දෙයක් තිබුණෙ නෑ.” 

“ඔව් චූටි මමා හරි ආවේගයෙන් මමත් එක ගොඩක් දේවල් කියෙව්වා.  එතකොට  තමයි මම දැනගත්තේ මනුජිත් දහරාව මැරි කරලා තියෙන්නේ චූටි මාමා ගිහිල්ලා එයාවයි ගෙදර අයවයි මරනව කියල තර්ජනය කරපු නිසා කියලා.”

“ඇත්තටම එයා එහෙම කරලද…”

“ඔව් නිශාදි. චුටි මාමා  කියලා තියෙනවා ඒකිට තාත්තට නැති උනාට පස්සේ තාත්තා කෙනෙක් වුනේ මම කියලා. තාත්තා කෙනෙක්ට මොනවද තමන්ගේ දරුවෝ වෙනුවෙන් කරන්න බැරි කියලා. අතීතයකුත් නැති වර්තමානයකුත් නැති මිනිහෙක් වෙච්ච මම මගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරලා හිරේ ගියත් කමක් නෑ කියලා. මම හිරේ යයි හැබැයි අර නූපන්න දරුවට තාත්තා කෙනෙක් ලැබෙයි කියලා. ඇත්තටම කිව්වොත් මනුජිත් දහරාව මැරි කරලා තියෙන්නේ චූටි මාමගේ ඒ වචනවලට බයේ. එහෙම නැතුව දහර ගැන පුංචිමවත් හැඟීමක් ඒ හිතේ තිබුණු නිසා නෙමෙයි. අනිත් එක මනුජිත්ගේ පළවෙනිය එෆෙයා එකවත් අන්තිම එෆෙ එකවත් දහරා නෙමෙයි. ඒ මනුස්සයා පුරුද්දට ගෑනු ළමයි එක්ක සෙල්ලම් කල කෙනෙක්”

“දෙයියනේ….දහරා අන්තිම කාලේ මේ ගැන සැක කළා. චූට් මාමා ගැන”

“මං චූටි මාමට කිව්වා මං ආවේ දහරාව හොයාගෙන කියලා. ඒ වෙලාවේ චූටි මාමා පොඩි එකෙක් වගේ ඇඬුවා. පැය දෙක තුනක් අපි එහෙම කතා කර කර ඉඳලා මං ආපහු ගියා. ඒ වෙනකොටත් මම ගවර්මන්ට්  හොස්පිට්ල් එකකට ඇප්ලයි කරලයි හිටියේ. එහෙම ගියත් මට දහරාව අමතක කරන්න බැරුව ගියා. චූටි මාමා  මට දහරා ඒ කාලේ විඳවපුහැටි. අඬපු තරම් ඒ කෙල්ල රැවටිච්ච හැටි මේ හැම දෙයක් ගැනම කිව්වා. මගේ හිත කිව්වා ඒ මැරේජ් එක ලොකු කාලයක් තියෙන්නෙ නෑ කියලා. මං දැනගෙන හිටියා දහරට තනිවෙන්න සිද්ධ වෙනවා කියලා. විශ්වාස කරන්න නිශාදි  ඒ කතාව ඇහුවට පස්සේ මට වෙනදටත් වඩා දහරාව අමතක කරන්න අපහසු වුණා. මට ලැබුණේ කාසල් හොස්පිට්ල් එක. ඊට කලින්ම මම මෙහේ ප්‍රයිවට් පැට්‍රිස් පටන් ගත්තා. ඉඳලා හිටලා දවසක චූටි මාමයි මමයි කොහේදි හරි හම්බ වුණා. ඔය පොඩියට මොනවා හරි කරලා සින්දුවක් එහෙම කියලා අපි දෙන්නා කතා කර කර හිටියා.”

“එතකොට කවදාවත් චූටි මාමා මේ දේවල් ගැන දහර එක කියලා තිබුනේ නෑනේ.”

“චූටි මාමා  උත්සහ කලා  මගේ හිතෙන් දහරාව අයින් කරන්න. එයාට ඕන උනා මම ලස්සන ඩොක්ටර් කෙනෙක් මැරි කරනව දකින්න. එයා කැමති වුණේ නැහැ මම වත්තට එනවට. කිසිම කෙනෙක් මං ගැන දැන ගන්නවට. චුටි මාමා හැම තිස්සෙම මට කිව්වේ පුතේ උඹට සේකර වත්ත කියන්නේ වළලලා දාපු අතීතයක් විතරයි කියලා. මිනිස්සු මට ඉරිසියා කරයි ඇස්වහ කටවහ වදියි කියලා චූටි මාමා බය උනා. හරියට මගේ අප්පා කියන්න වගේ. දහරා  ගැන චූටි මාමගේ හිතේ තිබුණු වේදනාව හැමතිස්සෙම වචන වලට පෙරලුනේ මං ඉස්සරහදි. ඇත්තටම කිව්වොත් නිශාදී මං දහරා  තනි වෙනකල් බලන් හිටියා. හැබැයි ඒක මං චූටි මාමටවත් කිව්වේ නෑ. ඔයාලා දෙන්න මට හම්බවුණේ අන්න එහෙම කාලෙක අහම්බෙන්. චූටි මාම ජේල් එකේ කියලා කිව්වට පස්සේ මම එයාව බලන්න ගියා. ඒ වෙලාවේ මට චූටි මාමා කිව්වා මනුජිත් තමයි ඔය පෑලියගොඩ පැත්තෙ කොල්ලෙක් ලව්වලා චූටි මාමාව මේ කේස් එකට අහු කරලා තියෙන්නේ කියලා. මං හිතන්නේ ජේල් එකේදිම තමයි ඒ ආරංචිය ලැබිලා තිබුණේ. මං ඒ වෙලාවේ චූටි මාමට කිව්වා මනුජිත්  ඩුබායි ගිහිල්ලා කියලා. එහෙම යන්න ඕන පසුබිම හදාගන්න තමයි මනුජිත් මේ වැඩේ කලේ කියන එක චුටි මාමා  දන්නවා. මොකද දහර දැනගෙන නොහිටියට චූටි මාමා  ඒ ගෙදරට නොගියට එයා  හැම වෙලාවකම මනුජිත්ගේ පස්සෙන් හිටියා.”

“අනේ දෙයියනෙ. අර කෙල්ල මෙව දන්නවනම් පැළිලා මැරෙයි…”

“ඒ වෙලාවේ චූටි මාමා වැරදියි කියලා මට කියන්න ඕන උනත් ඒක කියාගන්න බැරි උනා නිශාදී. එහෙම බලෙන් එකතු කරල තියෙන බැඳීමකදි කවදාවත් දහරට යහපතක් වෙන්නෙ නෑ කියලා චූටි මාමට තේරුම් ගන්න බැරි වුණා. එයා ඒ වෙලාවේ වැඩ කළේ හැඟීම් එක්ක. මේවා ඉස්සරහටත් දහරා  දැනගන්න ඕන නෑ. එවෙලේ මට චූටි මාමට කියාගන්න බැරි වුණා එදා වගේම මං දහරට තවමත් ආදරේ කරනවා කියලා. හැබැයි ඒක ඉක්මනින්ම එයාට කියන්න ඕනේ. එහෙම නොකිව්වොත් මේ ප්‍රශ්නෙ කොතනකින් කෙළවර වෙයිද කියන්න මම දන්නේ නෑ…

“ඔයා මහ පුදුම මනුස්සයෙක් රමාෂ්. ඇත්තටම ඔයාට ලැබෙන්න ඕනේ දහර වගේ කෙනෙක්ව. එයත් මම දැකපු මහ පුදුම කෙනෙක්. මේ වෙලාවේ මේ මොහොතේ ඉඳලා මමත් ඔයාලා දෙන්න එක්ක ඉන්නවා. මම දන්නේ නෑ දහරා හිත  හදා ගනීද එයාට ඒක කරන්න පුළුවන් වෙයිද කියලා.”

“ටිකක් අපහසු වෙයි.හැබැයි එයා එහෙම කරයි…..”

“අපි කොහොම හරි එයාව වෙනස් කරමු. රමාෂ් ඔයා  හීනෙකින්වත් මගේ හොඳම යාළුවා අතාරින්න හිතන්න එපා. එහෙම උනොත් ඔයාට පව් පිරෙයි. කවද  හරි දවසක ඔයාලා දෙන්න එකතු වෙන්න ඕනේ. දහරාගේ බඩේ ඉන්න චූටි පැටියට අහිතක් නැතුවම ඔයා තාත්ත කෙනෙක් වෙන්න ඕනේ. මට පොරොන්දු වෙන්න රමාෂ්. කවදාවත් බැල්මකින්වත් එයාලගේ හිත රිද්දන්නෙ නෑ කියලා.”

“එහෙම රිද්දන්නනම් මං මේ තරම් එයාලා වෙනුවෙන් බලන් ඉන්න ඕනෙ නෑනේ නිශාදි. ඒක පොඩි කාලයක් නෙමෙයි. අවුරුදු දහ අටකටත් වඩා වැඩි කාලයක්. එදාටත් වඩා අද එයාව මගේ ජීවිතයට ඕනේ කියලා මට දැනෙනවා. මං විශ්වාස කරනවා නිශාදි  ඒ දැනීම තමයි ආදරේ කියන්නේ කියලා.”

රමාෂ් එසේ පැවසුයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here