මතකයක සේයා – 48

0
1532

” පුතා ගැන පොඩ්ඩක් හොයලා බලන්න වෙයි නේද සිරිවර්ධන ? වයසත් එච්චර හොඳ නෑනේ දැන් ” 

ලවන් ගේ හැසිරීම සහ ඔහු ලබා දුන් දුරකථන ඇමතුම පිළිබඳව මන්දාකිණි ඒ අලුයම් කාලයේදීම ධර්මරත්න ට පැවසූ පසුව ධර්මරත්න පසු වූයේ දෙගිඩියාවෙනි. තම මිතුරාව සහ ඔහුගේ පුත්‍රයාව විශ්වාස කර තම දියණියට විවාහ කර දීමට බලාපොරොත්තුවෙන් සිටින මොහොතක මෙවැන්නක් සිදුවීම අවධානය යොමු කළ යුතු කරුණක් බැවින් ධර්මරත්න උදෑසනම සිරිවර්ධන හට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය.

” පුතා ඉදලා හිටලා ඔය වගේ පොඩ්ඩක් එළියට යනවා ධර්මේ.අපිත් කොල්ලා කාලේ ඔය වගේ දේවල් කරා නේ ඉතින්. බැන්දට පස්සේ ඕවා හරි යයි “

සිරිවර්ධන පිළිතුරු දුන්නේ ලැජ්ජාවෙනි.මාලිකා තම සැමියා අසලට වී බලා උන්නේ ලවන් නිවසට පැමිණියේ අළුයම හතරට පමණ බවත් සහ ඔහු උන්නේ දැඩි ලෙස බීමතින් බවත් හොඳින්ම දන්නා නිසාය.

” ඒ වුනාට මං හිතන්නේ අපේ දුවගෙ නං හිතට හරි නෑ සිරිවර්ධන. දන්නවනේ ඉතින් ගෑනු ළමයින් ගේ හැටි. අනිත් එක අපේ දුව හැදිලා තියෙන විදිහත් එක්ක එයා ඔය වගේ දේවල් වලට එච්චර කැමැත්තක් නෑ “

ධර්මරත්න එසේ පවසද්දී සිරිවර්ධන කිසිවක් කරකියා ගත නොහැකිව බලා උන්නේ ලවන් කෙරෙහි වූ කෝපයෙනි. රාත්‍රී සමාජ ශාලාවල් වලට ගොස් මිතුරන් සමග විනෝද වීම සඳහා තම පුතු දිගු කාලයක් මුළුල්ලේ පුරුදු වී සිටින බව ධර්මරත්න හට රහසක් ව තිබුනේ නැත. නමුත් ඔහුගෙන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු නොවූ නිසා තමාට සිදු වී ඇත්තේ තම මිතුරා ඉදිරියේ අපහසුතාවයට පත්ව සිටීමටය.

” මට තේරෙනවා ධර්මේ. මං පුතාට පොඩ්ඩක් අවවාද කරන්නම්කෝ.ඕනේ නම් මං දුවටත් කතා කරලා සමාව ඉල්ලන්නම් “

” නෑ නෑ එහෙම ඕනේ නෑ සිරිවර්ධන. මං කිව්වේ ඉතින් දරුවා ගැන පොඩ්ඩක් හොයලා බලන්නකෝ කෝකටත්. අද කාලේ ඉතින් සිද්ධ වෙන දේවල් දන්නවනේ “

දුරකථන ඇමතුම අවසන් වූ පසු සිරිවර්ධන කෝපයෙන් ජංගම දුරකථනය මාලිකා අත තබා නිවසේ තරප්පු පේළිය නැග ලවන් ගේ නිදන කාමරය අසලට විත් නතර වූයේ එහි දොර වසා දමා තිබුණු බැවිනි. ඒ වන විටත් වෙලාව උදෑසන දහයට ආසන්න වූ නිසා සිරිවර්ධන වේගයෙන් කිහිප වතාවක්ම දොරට ගසා බලා උන්නේය.

ඊළඟ නිමේෂයේදී අඩවන් වූ දෑස් ඇගිලි තුඩු වලින් පොඩි කරමින් ලවන් දොර විවෘත කළේය. සිරිවර්ධන ඔහුව පසෙකට තල්ලු වන සේ දොර විවෘත කර ගෙන නිදන කාමරය තුළට ඇතුලු වූයේය.

” තමුසේ ඊයෙ රෑ කොහෙද ගියේ ? ” 

සිරිවර්ධන ඉණට දෑත් තබා ගෙන කෝපයෙන් වෙව්ලමින් ලවන් පිළිතුරක් දෙනතුරු බලා හිඳි අතර මාලිකාද කාමරයට ඇතුළු වූයේ සිරිවර්ධන කෝපයට පත් වූ විට එහි නිමක් නොවන බව අත්දැකීමෙන්ම දන්නා බැවිනි.  

” මම… ආ.. මම මේ අකලංකත් එක්ක පොඩ්ඩක් එළියට ගියා තාත්තා ” 

” හහ්.. හොඳ පොඩ්ඩ “

සිරිවර්ධන නිදි මත දෑස් වලින් තමා දෙස බලා සිටින පුතු වෙතට පියවරක් තැබුවේය.

” උඹ බීලා බීලා අර ධර්මරත්න ගේ කෙල්ලට කෝල් කරාද ? ” 

සිරිවර්ධන පෙරටත් වඩා උස් හඬින් විමසා සිටිද්දී ලවන් හට පෙර දින රාත්‍රිය පිළිබඳව සිහිපත් වූයේය.තමා මන්දාකිණි හට දුරකථන ඇමතුමක් ලබා දුන් බව යන්තමට මතකයේ ඇති නමුත් ඇය හට පැවසුවේ මොනවා දැයි හරි හැටි මතකයේ නොමැති බැවින් ලවන් මොහොතක් නිහඬව උන්නේය.

” කතා කරනවා ? තමුසේ තාම පරණ සෙල්ලම් දදා මට ලැජ්ජ කරන එක නවත්තන්නෙ නැද්ද?”

” මම මුකුත් කලේ නෑ තාත්තා. තාත්තා මේ කවුරු හරි කියන දෙයක් අහල බොරුවට කේන්ති අර ගෙන ” 

ලවන් ඇඟට පතට නොදැනී පැවසුවේය.සිරිවර්ධන තුල වූ කෝපය තව තවත් උත්සන්න වූයේ ඒ පිළිතුර නිසාය.

” කවුරු හරි නෙමෙයි ,මට කෝල් කරේ ධර්මරත්න. ධර්මරත්න ගේ කෙල්ල තමුසේ ගේ කෙරුවාව ගැන ඔක්කොම විස්තරේ ධර්මරත්නට කියලා “

” ඉතින් ? ” 

ලවන් යහන මතින් වාඩි වූයේය.

” ඉතින් අහන්නේ ? උඹ මේ වගේ ගොන් වැඩ කරනකොට ඒ මිනිස්සු කැමති වෙයිද ඒ මිනිස්සුන්ගේ දුවව තමුසෙට දෙන්න ? ” 

” ඉතින් දැන් තාත්තා මට කියන්නේ ඒ කෙල්ලව බඳින්න ඉන්නවා කියලා යාළුවෝ හම්බ වෙන්න බොන්න එපා කියලද ? “

මාලිකා ලවන් අසලට පැමිණියේ කලකිරීමෙනි. සියලු සැප සම්පත් ලබා දී උස්මහත් කළ එකම පුත්‍රයා ජීවිතය පිළිබඳව බරක් පතලක් නොමැතිව තරුණ වියට පැමිණ සිටින ආකාරය අනුමත කළ හැකි නොවේ.එහෙත් ඔහු මේ වන විට සිටින්නේ එය පිළිගන්නා තත්ත්වයකද නොවේ.

” ඔයාට හැමදේම කරන්න ඉඩ දීලා තියෙනවානේ පුතා. ඔයාට මේ වගේ ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව ඉන්න බැරි ඇයි? ධර්මරත්න අංකල්ලා උනත් ඔයා ගැන මොනවා හිතනවා ඇතිද දැන් ? තාත්තාට උනත් කොච්චර ලැජ්ජයිද ? ” 

මාලිකා සන්සුන් වන්නට වෙර දැරුවාය.එහෙත් සිරිවර්ධන එසේ බලා උන්නේ නැත.

” උඹ බොන්න බැරිනම් නෑවත් මට කමක් නෑ. මට ලැජ්ජ කරන්නේ නැතුව හිටපන් තවත්.උඹ දැන් බීලා ප්‍රශ්න කීයක් දාගෙන ආවද? අඩුම ගානේ මේ හොයල දීපු කසාදෙ කරගෙන වත් පිළිවෙලක් වෙන්න බලපන් “

” අර කෙල්ලත් මහ බෝම්බයක්නේ බලන් ගියහම “

ලවන් මිමිණුවේය. තමා අත වරදක් ඇතත් එය පිළිගන්නට ඔහු සූදානමින් උන්නේම නැත.

” ඒ කෙල්ල උඹ වගේ නෙමෙයි. හැදිච්ච කෙල්ලෙක්. උඹ බීලා මහ පාන්දර ඒ කෙල්ලට කෝල් කරනකොට ඒ කෙල්ලට හිතෙන්නෙ නෑනේ උඹව කසාද බඳින්න “

අනතුරුව තිදෙනාම අතර වූයේ නිහඬියාවකි.මන්දාකිණි මෙවැන්නක් කරාවී යැයි බලාපොරොත්තු නොවූ නිසා ලවන් ඇය කෙරෙහි තවත් කෝපයක් උපදවා ගෙන සිටියේ කොයි මොහොතේ හෝ තමා වෙතද අවස්ථාවක් පැමිණෙන තුරුය. 

” උඹ ආයෙ මේ වගේ වැඩක් කරලා අහු උනොත් එහෙම මම මෙහෙම කිය කිය ඉන්නේ නැහැ “

” දැන් තාත්තා මට මොකක්ද කරන්න කියන්නේ එහෙනම් ? “

ලවන් යහන අසල වූ කුඩා කබඩ් එක මත තිබූ වතුර බෝතලය අතට ගත්තේය.

” මෙන්න මූට තේරුම් කරලා දෙන්න මාලිකා. නැත්තම් මගෙන් මැරුම් කාලා තමයි මූ නවතින්නේ ” 

සිරිවර්ධන කෝපයෙන් දත් මිටි කමින් ලවන් ගේ නිදන කාමරයෙන් පිට වූයේය. ඔහු පිටවන දෙස බලා සිටි මාලිකා සුසුමක් හෙලා ලවන් අසලින් යහන මතින් වාඩි වූවාය.

” මේ හිතුවක්කාර වැඩ වල කෙළවරක් තියෙන්න ඕනෙ ලවන්. ඔයා දිගටම මේ වගේ හැසිරෙන්න ගියොත් මිනිසුන්ගෙන් බැනුම් අහන්න වෙන්නේ අපිට “

” මං පොඩි ළමයෙක් නෙමෙයිනේ අම්මා මටත් හොඳ නරක තේරෙනවා “

” තේරෙනවා නම් ඔයා මෙහෙම ප්‍රශ්න දාගන්නේ ඇයි ? මොකටද බීපු වෙලාවේ අර ළමයට කෝල් කරලා අනම් මනම් කියන්න ගියේ ? “

ලවන් දුරකථනය අතට ගෙන අලුයම මන්දාකිණි හට ලබා ගත් දුරකථන ඇමතුමෙහි  තොරතුරු පරීක්ෂා කළේය. විනාඩි කිහිපයක් පුරාවට ඇයට මොනවා පැවසුවා දැයි කියා මතකයට පැමිණෙන්නේම නැත. ඇය තමා කෙරෙහි උරණ වී ඇගේ පියා ලවා තම පියා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන්නට ඇත. ඇය තමාට සලකන්නේ මේ ආකාරයෙන් නම් තවදුරටත් ඉවසිය යුතු නොවේ.

” මේකි දන්නෑ මගේ හැටි “

සිතට ආ හැඟීම ලවන් වචන වලට පෙරලන්නට ගියේ නැත. එහෙත් තම පියා තමා කෙරෙහි කෝපයට පත් වීමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මන්දාකිණි බව පමණක් සිතමින් ලවන් දුරකථනය පසෙකට විසිකර දමමින් යහන මතින් නැගී සිටියේය.

” ඒ පාර කොහෙද යන්න හදන්නේ ? “

මාලිකා ද ලවන් අනුව යහනෙන් නැගී සිටියාය.

” මට වැඩ තියෙනවා අම්මා ” 

” දැන් අර ළමයට කතා කරලා සමාව ඉල්ලන්නෙවත් නැද්ද පුතා ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here