සඳ දිය දහරා – 44

0
425

දුරකථනය විසන්ධි කළ නිශාදී තත්පර කිහිපයක් ගතව යනතුරු ගල් ගැසුනා සේ බලා සිටියේ මේ කිසිවක් සිතාගනු නොහැකිවය. තවමත් රමාෂ්ගේ වදන් ඇයට විශ්වාස කළ නොහැකි සේය. අතීතය කෙසේ වුවත් අද රමාෂ් සිටින්නේ මේ වත්තේ සියල්ලන්ටම වඩා ඉහළ තැනකය. දහරා ජීවිතයේ පතුලටම ඇද වැටී අකාරුණික දෛවයකට හිමිකම් කී අයෙකි. එසේ වී තිබියදීත් රාමාෂ්ගේ සිතුවිලි වෙනස් නොවුණු අයුරු පුදුම සහගතය. ඒවා සසරේ පතාගෙන ආ ආලවන්තකම්යැයි නිශාදිට සිතුනේ එවේලෙහිය. කිසි දිනක කිසිවෙකුත් ඉදිරිපිට සසළ නොවූ සිත ඔහු ඉදිරිපිට දී බලාපොරොත්තු වැපිරූ බව විශ්වාසය. ඒ කඩවසම් පිරිමි සිරුර සේම ඔහු ගැහැණියකට දක්වන ගරුත්වය රැකවරණය ඊට හේතුවයැයි නිශාදී සිතුවාය. එහෙත් මේ කතාවේ තුන්වෙනි පාර්ශවය වීමට හෝ දුෂ්ඨයා වීමට ඇයට අවැසි වූයේ නැත. රිදී තිබූ සිත සුවපත් වූයේ රමාෂ්ගේ කතාවත් සමඟය. ඔහු සත් සමුදුරු තරණය කර පැමිණියේ දහරා සොයාගෙනනම් ඒ සෙනෙහස අන් කිසිවෙකු කෙරෙහි ඒ සිතෙහි ඇති නොවන වග විශ්වාසය. කිහිප දිනකට පසුව තම සිත සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී ඇතැයි නිශාදිට සිතිණ. තමා යුතුකමක් ඉටු කළාක් බඳු හැඟීමක් ඇයට දැනෙන්නට විය. තත්පර කිහිපයකට පසුව ඒ සිතුවිලි ගොස් නතර වූයේ ඈත අතීතයේය. එදවස වත්තේ කොල්ලන් ‘තඩි දෙමළා’ යනුවෙන් හැඳින්වූ රමාෂ්ව සෙල්ලමට නොගෙන කොන් කරද්දී  ඔහු වෙනුවෙන් පෙනී සිටි දහරාට රමාෂ්ගේ නම පවසමින් විහිළු කළ අයුරු නිශාදිට මතකය. ඒ දවස රමාෂ් උසට නොගැලපෙන තරම් මහතකින් යුතු අයෙකු වූයේය. එක් දිනක් දහරා ඒ විහිළුවලින් ඇස් රතු කරගෙන හඬා වැටුණු ආකාරයත් ඇයට සිහිවූයේ එවේලෙහිය. ඒ සමහර සෙල්ලම් වලට චූටි මාමා එකතු වන්නේත් ඔහුගේ කැමැත්තෙන්මය. ජාතිය කුමක් වුවත් අප සැවොම එකම එක පැහැයක ලේ දරණ මිනිසුන් බවත් මේ මහ පොළොවට අයිතිවාසිකම් කියන අප සියලු දෙනාම යම් දවසක මියැදෙන බවත් එනිසා කිසිවෙකු වාද භේද ඇතිකර නොගෙන ජීවත් විය යුතු බවත් ඔහු පැවසූයේ රමාෂුත් වත්තේ කොල්ලනුත් අතර ඇති වූ රණ්ඩුවක් විසඳමින්ය. 

‘ඒ වගේ රටක ඉඳලත් එයා එක්ක ඉඳපු කෙල්ල එයාට දැනුනේ නෑ කියලා කියන්නේ දහරා වෙනුවෙන්ම ඒ හිත වෙන් වෙලා තිබුණු නිසා වෙන්න ඇති. කරුමෙකට මනුජිත් දහරාගේ ජීවිතයට ආවෙ නැත්තං මේ කතාව මීට වඩා ලස්සන වෙන්න තිබුණා.’ 

නිශාදී හදිසියේ නැගී සිටියේත් ඇඳුම් බෑග් වලට නොඇසිරූ ඇඳුමක් ගෙන ඇඟලා ගත්තේත් දහරාගේ නිවසට යන්නට සිතාගෙනය. 

“දැන් උඹ මේ කොහෙද දුවන්න හදන්නේ?…..”

අම්මා ඇසුවේ ආලින්දයේ පඩිය මත ඉඳගෙන ඔලුව පීරමින් සිටියදීය.

“මං දහරලයි ගෙවල් පැත්තට ගිහිල්ලා එන්නම්.”

“ඈ බං…දැන් උඹට ඒකිවත් එල්ලගෙනනේ කැම්පස් යන්න වෙන්නේ. කොයි වෙලාවෙත් දහරා දහරා දහරා….”

“එල්ලගෙන කෙසේ වෙතත් අද මං කැම්පස් යන්නේ එයා හින්දා කියන එක මට අමතක කරන්න බෑ අම්මේ. ගිය ආත්මෙ හරි කරපු පරණ පවක් පළඳුන්න මිසක්කා ඒ ළමයා අපි කාටවත් වරදක් කරපු කෙනෙක් නෙමෙයි.”

“ඈ බං. මං උ⁣ඹෙන් අහන්න හිටියේ. දවසක් ඔය ටයි එකක් එහෙම දා ගතපු උස මහත මහත්තයෙක් දහරලයි ගෙදර ඉඳලා ගියාලු⁣නේ. උදේ හතට විතර. අලු පාට වගේ කාර් එකකුලු ආවේ. ඒත් මට හිතුණා අර රමාෂ්  කොල්ලවත්ද කියල. එහෙම ආවනං ඉතින් මෙහාට නෑවිදින් ඉන්නේ නෑනේ.”

“අම්මට කවුද කිව්වේ….”

පියසේන දැකලා තිබුණා. 

“එහෙට කවුරු ආව ගියත් අපිට මොකද අම්මේ..”

“දැන් ඔය දහරාගේ මිනිහා රට ඉඳලා සල්ලි එවනවද?” 

“එවනව ඇති. මං ඒවා අහන්නේ නෑ. නැත්තං ඉතින් ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද?”

“දහරට මොනවා හරි කිව්වහම උඹටනේ බං ඩොං යන්නේ. දැන් රමාෂ් කොල්ලට කිව්වද උඹ හෙට මාතර යනවා කියලා.”

“එයාට මොකටද කියන්නේ?…”

“මොකටද කියන්නේ කියලා අහන්නේ. එහෙම ඉතින් නොකියා යන්න පුළුවන්ය. මං හිතුවා රමාෂ් කාරෙකින් එක් කරගෙන යයි කියලා.”

“ඒ මොන නෑකමටද..?”

ඇයි උඹලා දෙන්න අතරේ එහෙම නෑ කමක් මොකුත් නෑ. 

“නෑකමක් තිබුනනං මට වඩා හොඳට දැන ගන්න ඕනේ අම්මලනේ.”

“අනේ මන්ද බං උඹට තේරෙන්නෙ නැද්ද එහෙම නැත්නම් නොතේරෙනවා වගේ ඉන්නවද කියලා. එච්චර හොඳ රස්සාවක් කරන එකේ දවසට දෙතුන් පාරක් කතා කරන එකේ නෑ කමක් ඇතිකරගත්තට වරදක් නෑ කියලා මං මේ කියන්නේ.”

“පිස්සු අම්මේ..එදත් මම කිව්වා අපි හොඳ යාලුවෝ විතරයි කියලා.”

නිශාදී අඩියක් පෙරට තැබුවේ එසේ පවසමින්ය. 

“යාළුවො පස්සේ නෝනලා මහත්තුරු වෙච්ච තැන් නැතුව නෙමෙයි. ගෑණියෙක්ට මායම් හැට හතරක් දීලා තියෙන්නේ පුස්  කකා තියාගන්නත් නෙමේ. ඒ මහත්තයා ආස විදිහට කතාබහ කරලා තමන්ගේ පැත්තට හරව ගන්න හිතුවනම් නරකක් වෙන්නෙ නෑ. ඉස්සර වගේ නෙමෙයි. දැන් මිනිස්සුන්ගේ හිත්වල ජාතිවාදී ප්‍රශ්න නෑ….”

අම්මාගේ අවසන් වදන් කිහිපය නිශාදිට ඇසුණේ යාන්තමටය. 

“මං අම්ම ආවට පස්සේ අම්මත් එක්ක එහේ එන්න හිටියේ…”

දහරා නිශාදිව වැළඳ ගත්තාය. 

“හිත හදාගෙන හිටියට මට හරි දුකයි. ඔයා හෙට යනවා කියලා මතක් වෙද්දි හරියට මගේ ඇඟෙන් කොටසක් ගැලවිලා යනවා වගේ මට දැනෙන්නේ. කොච්චර උනත් මං ආපහු මේ වත්තට එද්දි ඔයා, ආච්චි, අම්මා තමයි මගේ හයිය උනේ. සමහර තැන්වලදී මට හිතෙනවා මං ජීවත් උනෙත් ඔයාලගේ හයිය නිසා කියලා.”

“අනේ…..”

“ඔයා මේ යන ගමන ගැන සමහරවිට ඔයාටත් වඩා මගේ හිතේ සතුටක් ඇති. හැමදේම දිනන්න ඕනේ. මට වගේම කවද හරි දවසක මගේ පුංචි පුතාටත් හයියක් වෙන්න. එයාට ඉන්නෙත් ඔයයි මගේ අම්මයි ආච්චීයි චූටි මාමයි විතරනේ.”

“පිස්සු කියවන්න එපා . අපි හිතනවට වඩා දවසක අපේ ජීවිත ලස්සන වෙනවා. මටත් එක්ක හයිය දීපු කෙනාද මේ…?”

“තවත් කෙනෙක්ගෙ හිතට හයියක් දෙන්න තරම් අද මං ශක්තිවන්ත ගෑනියෙක් නෙමෙයි. යමුකෝ ඇතුලට. මං අම්මට කිව්වා පැනඩෝල්, සමහන්, අසමෝදගම්, සිද්ධාලේප  වගේ ඔයාට ඕන කරන පොඩි පොඩි දේවල් ටිකක් ගෙනත් දෙන්න කියලා. ඒව ළඟ තියාගත්තා කියලා වරදක් වෙන්නෙ නෑ. තව අම්මා දන්න තැනක උම්බලකඩ  සම්බෝල හදනවා. ඒ බෝතලේකුත් ගෙනෙයි. මං එන්න හැදුවෙත් බෑග් එකට වුවමනා කරන දේවල් දාගෙනද කියල බලන්නන. හදිසියකට අඳින්න දිය රෙද්දක් එහෙම ගත්තද. මං අහලා තියෙනවා ඒ බාතෲම්වල කීප දෙනෙක්ම එකට නානවා කියලා.”

“ගත්ත ගත්තා ආච්චියේ. ඇයි මතක නැද්ද දැන්  සතියකට විතර කලින් ගෙනියන්න ඕන දේවල් මට ලිස්ට් එකක් ලියලා දුන්නා. ඒ ලිස්ට් එකේ හැටියට ඔක්කොම බෑග් එකට දාගන්න.”

“මට බය තියෙන්නේ බෑග් එකට දාගත්තද එහෙම නැත්නම් ලිස්ට් එකත් එක්ක ඒ ටික පැත්තකින් තිබ්බද කියලා..”

“ආ…මෙන්න අපි එහෙ යන්න ඕන කියලා හිතන් ඉන්නකොට නිශාදි මෙහේ ඇවිල්ලා.”

“සාමාන්‍ය නිවසට ඇතුළු වූයේම එසේ පවසාගෙනය. ඕ මදක් බරැති බෑගයක් නිශාදි අත තැබුවේ දහරා සිනහසෙමින් බලා සිටියදීය.” 

“මේ මොනවද මේ….”

“ඔයාට ඕන කරන පොඩි පොඩි දේවල් ටිකක්. මෙයා තමයි මට ලිස්ට් එක එවලා තිබුණේ.”

“ඔයාලා මට මේ හීනේ පෙන්නන්න මටත් වඩා මහන්සි වුණා. උඹ යාළුවෙක්නේ නෙමේ  මට. මගේ අම්මටවත් තාත්තටවත් අක්කටයි අයියටයිවත් මට අධ්‍යාපනයේ වටිනාකම ගැන කියලා දෙන්න වුවමනාවක් තිබුනේ නෑ. අඩුගානේ ඒගොල්ලෝ කවදාවත් මගේ පොතක් පෙරලල බලලා නැතුව ඇති. මේ හයිය මට දුන්නේ උඹ. 

ඒක මං හැම තැනකම ලෝභ නැතුව කෑ ගහලා කියනවා.” 

“උඹ මේ වෙලාවේ ආවෙ මාව අඬවලා යන්නද…හැමදාම මේ වගේම මාත් එක්ක ඉන්න මට මේ ඇති.”

සාමා නිවසට වූ එකම කාමරය වෙත ඇවිද ගියේ යෙහෙළියන් දෙදෙනා බදා වැළඳගෙන සමුගන්නට සූදානම්ව සිටියදීය. 

“යාළුවට ජීවිතේ දීලා අන්තිමට එයා එයාගේ ජීවිතේ නැති කරගත්තා.”

රීටා එසේ පැවසූයේ තම දියණිය වෙත ක්‍රීම් කැකර් විස්කෝතු දෙකකුත් තේ කහට කෝප්පයත් දිගු කරමින්ය. සාමා කිසිත් නොකියා දිගු සුසුමක් මුදා හැරියාය. මේ ගමන යන්නට සිටියේ කුඩා විසිත්ත කාමරයේ ප්ලාස්ටික් මේසය දෙපස වාඩි වී යෙහෙළියට බනිමින් කෑ ගසමින් දෙදෙනා එක්ව පාඩම් කළ අයුරු සාමාගේ සිතෙහි මැවී නොපෙනී ගියේ එවේලෙහිය. ඒ බොහෝ රාත්‍රීන්වල නිශාදි සිටියේ දහරාගේ නිවසේය. ඇය මෙහි කුමක් කරනවාදැයි යනුවෙන්වත් සොයා බලන්නට තරම් ඇගේ දෙමව්පියන්ට වුවමනාවක් නොවූ බව සාමා දනී. ඒසා රැකි, දියණියට වැරදුනේ කොතැනකදැයි සාමා එවේලෙහි සිතුවේ දෑසේ  කඳුලක් තබාගෙනය. 

“මම නැතිවුණාට කමක් නෑ ඔයා හැම දෙයක්ම රමාෂ්  එක්ක කතා කරන්න. කොහේ හරි යන්න තියෙනවනං මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුනොත් මට කියනවා වගේම විශ්වාසයෙන් ඒක රමාෂ්ට කියන්න. මං හිතන්නේ මං හැරුනහම ඔයාට ඉන්න හොඳම යාළුවා තමයි ඒ.”

නිශදි පැවසූයේ යෙහෙළියගේ කොපුළක් අල්ලා ගෙනය. 

“දන්නවද  මේ කරදර කාල හැමදාම තියෙන්නේ නෑ. මේ අඬපු තරමටම හිනාවෙන්න දවසක් ඉක්මනටම එනවා. එදාට මේ හිත ආදරයෙන් පිරෙයි.”

“මොනවා කියවනවද මන්දා  ආපු වෙලාවේ  ඉඳලා, ඔළුව කොහේ හරි වැදුනද? රමාෂ් හොඳ යාළුවෙක් තමයි. ඒ උනාට මගේ ජීවිතේ ඔයාට තිබුණු තැන එයාට කවදාවත් දෙන්න බැරිවෙයි.” 

රමාෂ් ඉල්ලන්නේ මගේ තැන නොවේයැයි  කියන්නට සිතුනත් දහරා එසේ නොකළාය. මේ ඊට සුදුසු වේලාව නොවේ. අවසන සාමාගෙනුත් රීටාගෙනුත් සමුගත් යුවතිය යළිත් වතාවක් දහරාව සිප වැළඳ ගත්තාය. අඩියක් පෙරට තැබූ ඕ යළිත් හැරී යෙහෙළිය  අසල පහත් වී ඒ කුස සිප ගත්තේ ආදරයෙන්ය. 

“පුංචි ආයේ එනකං අම්මවත් පරිස්සම් කරගෙන ඉන්න ඕනේ. හරිද අපේ පුංචි චන්ඩියා…”

අවසන නිශාදි පැවසූයේ දයාබරවය. අදහන්නට අපහසු වුවත් පෙර දිනවල විඳි නොසන්සුන්කම ඇගේ සිතින් කොහේදෝ ඈතකට පැන දුවමින් සිටියහ. යළිත් සේකර වත්තේ දහවල සේ විදුලි බුබුළෙන් ආලෝකවත් වූ පාර දිගේ ඇය ඇවිද ගියේ සැහැල්ලුවෙන්ය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්…..)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here