” අපේ එක්කෙනාටත් වටින්නෑ නේ අපි එයාට කෙනෙක්ව ප්‍රපෝස් කරලා තියෙද්දි තව එකෙක් එක්ක ඔහොම එලියට යන්න ”
තම පියා ගෙන් මන්දාකිණි ගේ පියා වූ ධර්මරත්නගේ දුරකථන අංකය ඉල්ලා ගැනීමෙන් අනතුරුව ලවන් ඔහු සතුව තිබුණු මන්දාකිණි ගේත් කෛලාශ් ගේත් ඡායාරූපය ධර්මරත්න වෙත එවා තිබුණි. රාත්‍රී ආහාරය ගනිමින් සිටි ධර්මරත්න එය යාබද අසුනේ වාඩි වී හුන් පුශ්පා හට පෙන්වූ අතර ඡායාරූපය දුටු සැනින්ම එහි සිටින්නෙ කෛලාශ් බව හඳුනා ගත්තේ පුෂ්පා විසිනි. අනතුරුව ධර්මරත්න ද ඒ කෛලාශ් බව හඳුනා ගත්තද මන්දාකිණි ඔහු සමග පිටතට යාම ධර්මරත්න අනුමත කළේ නැත
” උනේ මොකද්ද කියලා හරියට දන්නේ නැති එකේ අපි මන්දාකිණි ට මුකුත් කියන්න නරකයි ධර්මේ. එදා මෙහෙ ආපු දවසේ මම ලවන්ට කැමති වුණාට මොකද ඒ ළමයා කරපු දෙයින් පස්සේ මට ඒ ළමයා ගැන එච්චර පැහැදීමක් නෑ “
පුෂ්පා කල්පනාකාරීව පැවසුවේ ලවන් මේ ආකාරයට කේලම් කීමට පවා පෙළඹීම පිළිබඳව අපැහැදීමෙනි.
” අනිත් එක ධර්මේ ඒ දෙන්නා කතා කරලා විසඳ ගන්න ඕන ප්‍රශ්න මෙහෙම මේ අපිට කියන එක හරිද ? “
ධර්මරත්න කිසිවක් නොපවසා දුරකථනයේ වූ ඡායාරූපය දෙස නැවත වරක් බැලුවේය. පුෂ්පා පවසන්නේ සත්‍යයකි. මෙවන් යමක් දුටු පමණින් නිගමනයකට එළඹී මන්දාකිණි හට චෝදනා කිරීම අරුත්සුන් කාරණාවකි.
” හෙට උදේම ලෑස්ති වෙන්න එහෙ යන්න ”
නිහඬව හිඳි ධර්මරත්න අනතුරුව පැවසුවේය. පුෂ්පා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.
” කොහෙද ? සිරිවර්ධන ලගේ ගෙදරද ? “
” නෑ. මන්දාකිණි ගේ ”
පුෂ්පා කිසිවක් නොකියා අවසන් කරන ලද ආහාර පිඟාන රැගෙන අසුනින් නැගි සිටියාය. ධර්මරත්න ද ආහාර පිඟාන පසෙකට කර අසල වූ වතුර වීදුරුව ගෙන උගුරක් දෙකක් පානය කළේය.
” අපි එනවා කියලා මන්දාකිණි ට කියන්න ඕනේ නැහැ “
ධර්මරත්න එවදන් පැවසුවේ විධානයක ස්වරයෙනි. පුෂ්පා එයට කිසිවක් නොපවසා සිටියේ ධර්මරත්න ගේ කීමට එපිටින් මේ නිවස තුළ කිසිවක් සිදු නොවන නිසාය.
මන්දාකිණි දිගු රැයක් ගෙවා අවසන් කළේ නිසි නින්දක් ද නොලබමිනි. ඉටු කරන්නට බොහෝ රාජකාරී කටයුතු නියමිතව තිබෙන නිසා ඇය නාන කාමරයට වැදී පැයක් පමණ ස්නානය කර පැමිණ කාර්යාලයට යාමට සූදානම් වූවාය. ශෙනාල් ගේ සිදුවීමෙන් අනතුරුව මන්දාකිණි තමා වෙනුවෙන් කාලය වෙන් කිරීමට තීරණය කර තිබුණු මන්දාකිණි තම ඇඳුම් පැළඳුම් පිළිබඳවද පෙර සේම බොහෝ සැලකිලිමත් වන්නට පටන් ගෙන තිබිණි. ජීවිතය තුළ මොන තරම් දෑ සිදු වෙමින් පැවතුණද ලෝකයට පෙනෙන්නට හෝ තමා සුන්දරව සිටිය යුතු බව මන්දාකිණි සිතුවේ කණ්නාඩියෙන් පෙනෙන තම රූපය දෙස බලා අත් ඔරලෝසුව පැළඳ ගන්නා අතරේය.
සූදානම් වී අවසන සාලයට පැමිණි මන්දාකිණි විවෘත මුළුතැන්ගෙය වෙත ඇතුළු වී ශීතකරණයේ දොර විවෘත කර එහි තිබූ කැරට් අල දෙකක් ගෙන සුද්ද පවිත්‍ර කර යුෂ වෙන් කරන උපකරණයට ඇතුළු කර එහි අනෙත් කෙළවරෙන් වීදුරුවට සීරුවෙන් බේරි වැටෙන තද තැඹිලි පැහැ යුෂ දෙස බලාගෙන නිසොල්මනේ උන්නාය.
මන්දාකිණි තිගැස්සී ගියේ නිවසේ සීනුව නාද වන හඬිනි. ඒ වන විට වේලාව උදෑසන අට පමණ වූ නිසා එතරම් උදෑසනින් තම නිවස වෙත පැමිණෙන්නට සිටින්නේ කවුරුන් දැයි කල්පනා කරමින් මන්දාකිණි ප්‍රධාන දොර වෙත ගොස් එහි පිටත පෙනෙන කුඩා කාචයට ඇස තැබුවාය.
මන්දාකිණි නිවසේ ප්‍රධාන දොරටුව විවෘත කර එය ඉදිරියේ පෙනී සිටින තම දෙමව්පිය යුවළ දෙස බලා උන්නේ පුදුමයෙනි. තමාට නොදන්වා මෙහි පැමිණීමට අනිවාර්යෙන්ම විශේෂ කාරණාවක් මුල් වන්නට ඇතැයි අනුමාන කරමින් මන්දාකිණි ඔවුන් දෙදෙනාට නිවසට ඇතුළු වීමට ඉඩ හැර දොර වසා දැම්මාය.
” ඔෆිස් යන්න ලෑස්ති වෙලා නේද ඉන්නේ ? ”
ධර්මරත්න එසේ විමසමින් සෝෆාවට බර වූයේ මන්දාකිණි හොඳින් හැඳ පැළඳ සිටිනා බැවිනි. පුෂ්පාද ධර්මරත්නට අනුව ඔහු අසලින් වාඩි වී කිසිවක් නොකියා බලා උන්නාය.
” ඔව් තාත්තා දැන් මේ යන්න කියල.මේ..ඇයි ඔයාලා හදිසියේම? ”
ධර්මරත්න පුෂ්පාගේ මුහුණ දෙස බැලූ අතර පුෂ්පාද ඔහු දෙස බලා ඉවත බලා ගත්තාය.ඔවුන් දෙදෙනාගේ හැසිරීමෙන් ඔවුන් දෙදෙනා මේ තමාට නොදන්වා පැමිණ සිටීමට හේතුව ලවන් සතු ඡායාරූපය යැයි අනුමාන කළාය.
” ඔයා මොකද්ද අර ළමයාත් එක්ක රවුම් ගගහා කරන්නෙ මන්දාකිණි ? ”
ධර්මරත්න කතාවට අවතීර්ණ වූයේය. තම පියා මේ විමසන්නේ කවුරුන් පිළිබඳව දැයි කියා හොඳින්ම දැන සිටි නමුත් ලවන් කෙරෙහි ඇති වූ කෝපය පාලනය කර ගනිමින් මන්දාකිණි බොහෝ සන්සුන්ව පිළිතුරු දීමට උත්සාහ කලාය.
” මොන ළමයද තාත්තා ? ”
” අර අනාත නිවාසෙ කොල්ලා “
මන්දාකිණි හට දැනුනේ හදවතේ කොනක් සීරී යන තරමේ වේදනාවකි. ලවන් වැනි පුද්ගලයකු නිසා කෛලාශ් තම දෙමව්පියන්ගෙන් වත් මෙවැනි අපහාස විඳිය යුතු වන්නේ නැත.
” තාත්තා කෛලාශ් ට ඔහොම කතා කරන්නේ ලවන් නිසා නම් , ඒක හරිම වැරදී තාත්තේ “
” උඹ මට හරි වැරැද්ද කියලා දෙන්න එන්න එපා මන්දාකිණි. උඹ මෙච්චර ජීවිතේ අවුල් කර ගෙන තියෙද්දි අම්මයි මමයි හදන්නේ ඒක පිළිවෙලක් කරලා දෙන්න. ඒත් උඹ වැඩ කරන්නෙම උඹට ඕන විදිහටනේ “
ධර්මරත්නගේ හඬ එන්න එන්නම උස් විය.පුෂ්පා ඔහුගේ අතින් අල්ලා ඔහුව පාලනය කිරීමට උත්සාහ කළද ධර්මරත්න ඇගේ අත ගසා දමා ඇය දෙස ද රවා බැලුවේ කෝපයෙනි.
” මං හිතන්නේ අර ෆොටෝ එක ලවන් තාත්තාට එවන්න ඇති”
” ඒ කියන්නේ උඹ දන්නවා උඹ කරපු වැරැද්ද මොකද්ද කියලා? “
මන්දාකිණි කෝපයෙන් පිපිරෙන තම පියා දෙස බලා උන්නේ කලකිරීම මුසු හැඟීමකිනි. තමා ජීවිතයේ අතිශය අසීරු වූ කාලයක් ගෙවා දමා නිදහසේ හුස්මක් ගන්නට පටන් ගෙන ඇති මොහොතක තම යහපත තකා හෝ තම දෙමව්පියන් මේ සූදානම් වන්නේ තම ජීවිතය නැවත අපායක් වෙත ඇද දැමීමටය.එහෙත් අවාසනාව නම් ඔවුන් දෙදෙනාම එය අවබෝධ කර ගත නොහැකි තත්ත්වයක නොසිටීමය. එවන් වටපිටාවකදී එය ඔවුන්ට තේරුම් කර දීමට තමා වෙහෙස වීමද පලක් නැත.එහෙත් , මේ අසාධාරණකම් තව දුරටත් බලා හිඳිය යුතු නොවේ. තමා එසේ බලා සිටියහොත් සිදු වන්නේ පෙරටත් වඩා තම ජීවිතය අඳුරේ ගිලී යාමය.
” හෙට ඇන්ඩ්‍රියා ආන්ටි ගේ බර්ත්ඩේ එක.ඒ කියන්නේ කෛලාශ් ගේ අම්මාගේ. ඒකට කෛලාශ් ට ඕන උනා එයා පොඩි කාලේ හිටපු ළමා නිවාසෙට දානයක් දෙන්න. ඒ ළමයින්ට දෙන්න තෑගි ගන්න තමයි අපි දෙන්නා ඊයේ ගියේ. යාලුවෙක් එක්ක එහෙම ගමනක් යන එකත් වැරැද්දක් කියල තාත්තා හිතනව නම් මං දන්නෑ තාත්තට මොනවා කියන්නද කියලා. අනිත් එක කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ලවන් ඒ වගේ හැසිරෙනවා නම් , එයා මේ ලෝකේ අන්තිම පිරිමියා වුණත් මං ඒ වගේ පිරිමියෙක්ව කසාද බඳින්නේ නෑ තාත්තේ. ජීවිත කාලෙම තනියෙන් ඉන්න උනත් ඇත්තටම මට එහෙම පිරිමියෙක් එපා “
මන්දාකිණි කීවේ දැඩි හඬකිනි.තම දියණිය වෙතින් එවැන්නක් බලාපොරොත්තු නොවූ ධර්මරත්න මන්දාකිණි දෙස බැලුවේ පුදුමයෙනි. විනාඩි දෙක තුනක් එසේ මන්දාකිණි ලෙස බලා සිටි ධර්මරත්න වාඩි වී හුන් තැනින් නැගිට මන්දාකිණි අසලට පැමිණ නතර වූයේය. පෙරදින රැයේ සිටම කෝපයෙන් පසුවන ධර්මරත්න මන්දාකිණි හට පහරක් ගැසීමට වුවත් මේ මොහොතේ දී පසුබට නොවනු ඇතැයි සිතමින් පුෂ්පාද ඊළඟ නිමේෂයේදී සෝෆාවෙන් නැගිට අඩියට දෙකට ධර්මරත්න වෙත පැමිණියාය. දෑසට කඳුළු නැගී එන්නේ තම පියා කෙරෙහි ඇති බියට ද එසේත් නැතිනම් තමා කෙරෙහිම නැගී ඇති ආත්මානුකම්පාවටදැයි සිතා ගත නොහැකිව කුමක් සිදු වූවත් නොසැලී හිඳීමට සූදානමින් මන්දාකිණි ඉවත බලා උන්නාය.
” එතකොට උඹට දැන් කසාද බඳින්න ඕන වෙලා තියෙන්නේ අර අනාථ කොල්ලවද ? ”


