” ඔයා ඇරෙන්න වෙන කිසිම ගෑණු ළමයෙක් මගේ ජීවිතේ හිටපු නැති නිසා මන්දාකිණි “
කෛලාශ් ඉදිරිය බලාගෙන ඉතා සන්සුන්ව පිළිතුරු දෙන ආකාරය මන්දාකිණි බලා උන්නේ මදහසක් ඇතිවය. කුඩා කල මතකයකින් තරුණ වියට එළඹුනු පසුත් තමාව මතකයේ තබා ගෙන දුෂ්කරතා මධ්‍යයේ කෙනෙකු තමාව සොයා ඒම සැබවින්ම විමතියට කරුණකි. අනෙක් අතට කිසිදු අඩුපාඩුවකින් තොරව තමා රැක බලා ගත් දෙමව්පියන්ගෙන් ද ඈත් වී කෛලාශ් ව්‍යාපාරයක් මුල් කර ගෙන මව්බිමට පැමිණ සිටින්නේද තමා සොයා ය.
” මාව හොයා ගත්තානේ. ඒකෙන් ඔයාට මොනාද ලැබුණේ කෛලාශ් ? ”
ඒ සඳහා දෙන්නට පිළිතුරක් කෛලාශ් සතු වූයේ නැත. මන්දාකිණි ඉදිරියේ හදවත විවර කරන්නට තරම් සවියක්ද නොවූ නිසා කෛලාශ් මොහොතක් බලා උන්නේය. තම මව ලවා හෝ තම සිතැඟි මන්දාකිණි වෙත හෙළි කරන්නට පෙරදී අදහසක් පැවතුණද එය කළ යුත්තේ තමා විසින්ම බව කෛලාශ් තේරුම් ගත්තේ පසුවය.
” මං ප්‍රශ්නයක් ඇහුවා කෛලාශ් ? ”
කෛලාශ් නිහඬව බලා හිඳි නිසා මන්දාකිණි නැවත ඇසුවේ කෛලාශ් වෙත තවත් මදක් ලං වෙමිනි.
” මන්දාකිණි මං… එහෙම.. කිසි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ.ඒත් මට ඕන උනා.. පොඩි කාලෙ මට අපායක් වෙච්ච ඉස්කෝලෙට එන්න එකම හේතුව වෙච්ච කෙනාව හොයා ගන්න “
කෛලාශ් අපහසුවෙන් පිළිතුරක් දුන් නමුත් මන්දාකිණි එය සම්පූර්ණයෙන්ම පිළිගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.
” හදිසියේ හරි මාව හොයා ගන්න බැරි වුණා නම් ඔයා මොකද කරන්න හිටියේ ? “
” ඔයාව හම්බ වෙනකම්ම හොයනවා “
කෛලාශ් ඒ පිළිතුර දුන්නේ ස්ථීර හඬකිනි. මන්දාකිණි නැවතත් ඉදිරියට හැරී මහ මුහුද දෙස බලා උන්නේ බොහෝ දෑ කල්පනා කරමිනි.
” ඔයාට පහුගිය කාලෙ වෙච්ච හැම ප්‍රශ්නෙකදිම මං ඔයා ළඟ හිටියට දැන් ඔයාට වෙන ප්‍රශ්නයක් කියන්න වත් මං සුදුසු කෙනෙක් නෙමෙයිද මන්දාකිණි ? ”
කෛලාශ් ගේ ස්වරයේ වූ කම්පාව මන්දාකිණි ගේ හදවතටද පැහැදිලිවම දැනිණි.ජීවිතය නැවත තමාට අවැසි නොවන තැනක පැටලෙමින් තිබෙන බව එය බොහෝ වටහා ගත් අයෙකු වූ කෛලාශ් හට කෙසේ නම් පවසන්නද ?
” මෙතන තියෙන්නේ මට ඔයාට කිසි දෙයක් කියන්න බැරිකම නෙමෙයි කෛලාශ් “
” එහෙනම් ? ”
මන්දාකිණි දීර්ඝ සුසුමක් හෙළුවාය.ඒ සුසුම බොහෝ දේ කියා පෑ නමුත් ඒවා තේරුම් ගැනීමට කෛලාශ් හට හැකි වූයේ නැත.
” ඒ කිසි දේකට ඔයාට කිසි දෙයක් කරන්න බැරි එක ”
” කරන්න බැරිද පුළුවන්ද කියලා බලන්න ඔයා ඉස්සෙල්ල මට වෙලා තියෙන දේ කියන්නකෝ “
මන්දාකිණි ලවන් පිළිබඳව කෛලාශ් නොදත් සියල්ල එක හුස්මට කියා ගෙන ගියේ කෛලාශ් ගේ මුව පුදුමයෙන් විවර වෙද්දීය.මන්දාකිණි ගේ ජීවිතයේ පසුගිය දින දෙක තුන තුළ මෙතරම් දෑ සිදුව තිබියදී තමා ඒ කිසිවක් නොදත්තේ කෙසේ දැයි කෛලාශ් අනතුරුව කල්පනා කලේය.
” මට හැමදාම මගේ ප්‍රශ්න වලට ඔයාටවත් වෙන කාටවත් කරදර කරන්න බෑ කෛලාශ්. අනිත් එක්ක , ලවන් ගේ හැටි දැන දැන අම්ම ගේ තාත්ත ගේ හිත් සතුටු කරන්න වත් මට ඒ මනුස්සයාට කැමති වෙන්න පුළුවන් කමක් නෑ කෛලාශ්. ඊට වඩා හොඳයි මං කොහොම හරි කරලා ශෙනාල් ව නිදහස් කර ගෙන කසාද බඳිනවා ”
මන්දාකිණි පවසන්නේ සැබෑවකි. පසුගිය දින කිහිපය තුළ ලවන් හැසිරී ඇති ආකාරයට ඔහු සහ ශෙනාල් අතර පවතින්නේ සුළු වෙනස්කම් කිහිපයක් පමණි.
” මට තියෙන ලොකුම ප්‍රශ්නේ ලවන් මොන වගේ කෙනෙක්ද කියලා පේන්නම තියෙද්දි ඔයාගේ අම්මයි තාත්තයි ඇයි ඔයාව අමාරුවේ දාන්න හදන්නේ කියලා “
” එයාල හිතන් ඉන්නේ එයාල මට හොඳක් කරන්න හදනවා කියලා කෛලාශ්. ඒත් මට කිසිම සතුටක් නැති, අඩුම ගානේ මට නිදහසේ පාරක බැහැලා වත් යන්න දෙන්න හිතන්නෙ නැති මනුස්සයෙක් ළඟ ජීවිත කාලයක් ඉන්න හිත හදා ගන්න පුළුවන්ද මට ? ”
මන්දාකිණි ගේ හඬ බිඳී ගොස් තිබිණි.
” අපි හිතන පතන හැමදේම , ආදරේ කරන හැමදේම අපිට ජීවිතේදී ලැබෙන්නේ නෑ තමයි මන්දාකිණි. ඒත් අඩුම ගානේ අපේ ජීවිතේ සතුට තියෙන්නේ කොතනද කියල වත් හොයාගන්න අපිට අයිතියක් තියෙනවා නේද ? “
” මගේ ජීවිතේ නම් සතුටක් පේන මානෙක වත් නෑ කෛලාශ් ”
මලක් සේ රැකෙන්නට පතන යුවතියක් ජීවිතය ඉදිරියේ අසරණව බලා හිඳින ආකාරය කෛලාශ් මන්දාකිණි වෙතින් දකිමින් උන්නේය. ඇය පතනා සෙනෙහස සහ රැකවරණය ජීවිත කාලය පුරාවටම නොඅඩුව ම ලබා දිය හැකි හදවතක් ඇය අසලම හිඳිනා බව ඇයට පවසන්නට අවැසි වුවද කෛලාශ් නිරුත්තරව සිටියේ මේ ගෙවී යන්නේ එවැන්නක් පැවසීමට අවස්ථාව නොවන බව සිතූ බැවිනි.
” මම මේ වාඩි වෙලා ඉන්න කොටත් මට හිතෙනවා ලවන් කොහේ හරි ඉඳන් මගෙ දිහා බලන් ඉන්නවද කියලා. ඒ හිතෙන දේ මට හරි අමාරුයි. මට මාව හිර වෙලා වගේ දැනෙනවා කෛලාශ්. ජීවත් වෙනවා කියන්නේ මේකට නෙමෙයි නේ. ශෙනාල් ව හම්බ වෙන්නත් කලින් මගේ ජීවිතේ හරි ලස්සනට තිබුනා. මට ආපහු ඕනේ ඒ ජීවිතේ විතරයි කෛලාශ් “
මන්දාකිණි දෑස් වලට නැගුණු කඳුළු වලට කම්මුල් දිගේ රූරා යන්නට ඉඩ හැරියාය. කෛලාශ් එය දැක ඉවත බලා ගත්තේ හදවත දැඩි කර ගනිමිනි. කුමක් කිව යුතුද කුමක් කළ යුතුද කියා තෝරා බේරා ගත නොහැකිව කෛලාශ් තැවුනේය.
” මේ බිස්නස් එක නැත්තං ඇත්තමයි කාටවත් හොයා ගන්න බැරි කොහේ හරි දුරකට මං ගිහින්. ඒත් මං දරුවෙක් වගේ ආදරෙන් හදපු මේ බිස්නස් එක දාලා යන්න මට හරි ලෝබයි. අම්ම තාත්තා නිසාවත් දරුවො මේ විදියට අසරණ වෙන්න හොඳ නෑ කෛලාශ් “
මන්දාකිණි තුළ පවතින හැඟීම කෛලාශ් හට අමුතුවෙන් පැහැදිලි කළ යුතුව තිබුණේ නැත. එහෙත් දරුවෙකුට දෙමව්පියන් අහිමි වීමට වඩා තමාව තේරුම් නොගන්නා දෙමාපියන් ඇසුරේ ජීවත් වීමට ලැබීම කටුක යැයි කෛලාශ් සිතුවේ මන්දාකිණි පත්ව හිඳින අසරණ භාවය නිසාය.
” මට ඔයා වෙනුවෙන් මොනාද කරන්න පුළුවන් මන්දාකිණි ? ”
මන්දාකිණි දෑතින්ම කම්මුල් පිස දාගෙන කෛලාශ් වෙතට හැරුනේ නාසය උඩට අදිමිනි. කඳුළු ගලා ගොස් බොර පැහැ ගැන් වී ඇති මන්දාකිණි ගේ සුන්දර දෑස් බැස යන අව් රශ්මියට දිලිසෙමින් තිබෙන ආකාරය කෛලාශ් හට පැහැදිලිවම දැක ගැනීමට ලැබුණේ එවිටය.
” ඒක තමයි මං ඉස්සෙල්ලා කිව්වේ ඔයාට මං වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ කියලා. මේක මමම විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් කෛලාශ් ”
වාඩි වී හුන් බංකුව කෙළවරේ තබා තිබුනු මන්දාකිණි ගේ දුරකථනය නාද වූ අතර එය අතට ගෙන බැලූ ඇගේ මුහුණ අඳුරු වලාවකින් වැසී ගියේ තප්පර දෙක තුනක් ඇතුළත ඇතුලතදීය.
” කවුද ? ”
කෛලාශ් ඇසුවේ මන්දාකිණි දුරකථනයට පිළිතුරු නොදී එය නාද වී අවසන් වන තුරු බලා හුන් නිසාය.
” ලවන් ”
හදවතේ කොනක් දැවෙනු දැනුනත් කෛලාශ් කිසිවක් නොකියා උන්නේය. තමා සිතා තිබූ ආකාරයටම මන්දාකිණි ගේ දෙමව්පියන් තමා අනාත දරුවෙකු බව පිළිගෙන අවසන්ය. තමාට අහිමි වූ දෙමව්පියන්ට වඩා තමාට ජීවිතය දුන් දෙමව්පියන් වඩා අගනා බව ඔවුන් දෙදෙනා විසින් ඔප්පු කර හමාර වුවත් ඔවුන් දෙදෙනා තම ජීව විද්‍යාත්මක දෙමාපියන් නොවන කාරණාව මුල් කොට ගෙන මන්දාකිණි ගේ දෙමාපියන් තමාව පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනු ඇත. වඩාත් වේදනාත්මක වන්නේ තමා ජීවිත කාලයක් පුරා ප්‍රේම කළ යුවතියව බලහත්කාරයෙන් හෝ දෙමව්පියන් විසින් විවාහ කර දීම නිසොල්මනේ බලා හිඳීමට සිදුවීමය.
” අම්මයි තාත්තායි ඔයාට මොනා කිව්වා කරත්, ඔයාට ඇත්තටම ආදරේ කරන මනුස්සයෙක් කවද හරි ඔයාට හම්බ උනොත් ඔයා එතකොට ගන්න තීරණේ මොකද්ද මන්දාකිණි ? ”


