“නංගී මම මනුජිත්ගේ යාළුවා කසුන්. ඔයා මගේ ෆෝන් කෝල්ස් වලට ආන්සර් කරන්නේ නැති හින්දා මම මේ යාළුවෙක්ගෙ නම්බර් එකකින් ගත්තේ…”
දහරා කුසට අත තබාගෙනම නතර වූයේ හෝහල් කොරිඩෝවේ වූ සුදු යකඩ වැටකට වාරුවෙමින්ය. පසුගිය දිනවල ඔහු කිහිප වරක් ඇමතුම් ලබා ගන්නට උත්සාහ කලත් දහරා ඒ එක වරක්වත් දුරකථනය හා සම්බන්ධ වූයේ නැත.
“ඔයා දන්නවද මනුජිත්ලා ගෙවල් විකුනලා කියලා. මනුජිත් රට ගිහිල්ල කියලා දන්නවද..?”
මනුජිත් රට ගිය පුවත දැන සිටියත් ගෙවල් විකුණා ඇති පුවත ඇයට අලුත් ආරංචියක් විය. ඈ මදක් එහාට වන්නට නතරව තමා දෙස බලා උන් රමාෂ් දෙස බැලුවේ විසල් කරගත් දෑස් වලින්ය.
“එතකොට අම්මලා…”
“ඒගොල්ලෝ බඩු අස් කරගෙන ගියාලු. හැබැයි ගියපු තැනක් දන්නෙ නෑ කියලා තමයි මට ඒ ළඟ ගෙදරක අක්කා කෙනෙක් කිව්වේ.”
“අයියට බොහොම ස්තූතියි මට ඒ පණිවිඩය දුන්නට..”
“මේ නංගි ඔයා දැන් කොහෙද ඉන්නේ? සේකර වත්තෙද.”
“ඔව් අම්මලගේ ගෙදර…”
“මං එහෙට ආවොත් ඔයාව හම්බවෙලා කතා කරන්න පුළුවන්ද?”
“එපා මට අයියත් එක්ක කතා කරන්න විශේෂ දෙයක් නෑ. එහෙම ඇවිල්ල යන්න පුළුවන් තැන් නෙමෙයි අපේ ගෙවල්. අයියා එහෙම ආවොත් මනුජිත් ලංකාවේ නැති මේ වෙලාවේ මට මිනිස්සු එක එක දේවල් කියන්න පුළුවන්. අනික මනුජිත් ගිහින් තියෙන්නේ ඔෆිස් එකේ වැඩකට. නොඑන්න නෙමෙයි.”
“එහෙනම් මට ඔයාව හම්බවෙන්න පුළුවන් තැනක් කියන්න. මනුජිත් ඇත්තටම ඔයාව දාලා ගියා. අකමැත්තෙන් උනත් ඔයාට ඒක පිළිගන්න වෙනවා. ඔයාව දාලා ගියාට දරුවත් එක්ක ඔයාව බාරගන්න මට පුළුවන්. ඒක මං තීරණය කළේ එදා ඔයාව බලන්න මනුජිත්ලයි ගෙදර ආපු දවසෙමයි.”
“මනුජිත් මාව දාලා යනවා කියලවත් එයා මගෙන් වෙන් වෙනවා කියලවත් තවම කියලා නෑ. ඒක එහෙම උනත් ආපහු කසාද නොබඳින්න මං තීරණය කරලා ඉවරයි. අයියා මගේ අකමැත්තෙන් අපේ ගෙවල් වලට එන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒක වදයක් කරදරයක් කියලා දැනුනොත් මං වෙනුවෙන් ඔයාට අත උස්සන්න උනත් අපේ වත්තේ මිනිස්සු දෙපාරක් හිතන්නෙ නෑ. බොහොම ස්තූතියි මට මේ පණිවිඩය දුන්නට.”
දහරා එසේ පැවසූයේ දුරකථනය විසන්ධි කරමින්ය. ඔහු යළිත් දෙවතාවක්ම ඇයට ඇමතුම් ලබා ගන්නට උත්සාහ කලත් අවසන දහරා ජංගම දුරකථනය නිහඬ කර තම අත් බෑගය තුළට දමා ගත්තාය. ඉන් පසුව අඩියක් දෙකක් පෙරට තබා රමාෂ්ට ළං වූයේ දිගු සුසුමක් මුදා හරිමින්ය. මනුජිත් තමා සමග ඇති සියළු නෑකම් අතහැර දමා ඇති බව විශ්වාසය. එහෙත් වෙනදා තරම් දහරාගේ සිත රිදුනේ නැත.
“මොකද වුනේ? හිටිහැටියෙම මූණ වෙනස් වුණේ…”
රමාෂ් එසේ ඇසුවේ ඉස්තර වෙමින්ය. වරින් වර මගදී හමුවන හෙදියන් හා රෝහල්කාරය මණ්ඩලයේ අය රමාෂ්ට සිනහවක් පා දෙවනුව දහරා දෙස බැලුවේ ද ඒ සිනහවෙන්මය.
“මනුජිත්ගේ අම්මයි තාත්තයි ගෙවල් විකුනලා ගිහිල්ලලු.”
“කවුද ඔයාට කිව්වේ.”
“මේ දැන් කතා කළේ මනුජිත්ගේ යාළුවෙක්…”
ඉන්පසු දෙදෙනා අතර ඇති වූයේ නිහඬ බවකි. දහරාට නඟින්නට වාහනයේ ඉදිරිපස දොර ඇර දුන් රමාෂ් අනෙක් පසට ගියේය.
“මෙහෙම මාව ඉස්සරහ තියාගෙන යන්න ගියොත්නම් රමාෂ් ඔයාට කවදාවත් ගෑණු ළමයෙක්ගෙ කැමැත්ත ගන්නනම් ලැබෙන්නෙ නෑ.”
සියලු ප්‍රශ්න අමතක කරමින් දහරා පැවසූයේ සිනහමුසුවය. පෙර දෙතුන් වරම තමා පසුපසින් නඟින්නට යද්දී ඔහු ඊට ඉඩ නොදුන් නිසා මෙවර දහරා ඔහුව වලක්වන්නට නොගියාය.
“එහෙම උනොත් ඉතින් ඔයාට දිගටම ඉස්සරහ යන්න වෙනවා. කරන්න දෙයක් නෑ.”
රමාෂ් එසේ පැවසූයේ පැති කන්ණාඩි දෙස බලමින් වාහනය පිටුපසට ගන්නා අතරේය.
“විහිළුවටවත් එහෙම හිතන්න එපා රමාෂ් මේ ශීට් එකේ කවද හරි ඔයා එක්ක එහෙම ආදරෙන් යන්න ඕනේ ඔයා තරමටම හොඳ හැම දේකින්ම සර්ව සම්පූර්ණ වුණු කෙනෙක්.”
“අපි කොහොමද හැම දේකින්ම සර්ව සම්පූර්ණවුණු මිනිස්සු හොයන්නේ.”
“එහෙම අය ඉන්නවා. ඔයා වගේ..ඔහොම යද්දි ලස්සන ඩොක්ටර් කෙනෙක් ඔයාට හම්බවෙයි. අර අපි ලිප්ට් එකෙන් ඇවිල්ලා බහිද්දි ඔයා එක්ක කතා කලේ ලස්සන සුදු ඩොක්ටර් කෙනෙක්. ඔයාට ඕනේ අන්න එහෙම කෙනෙක් රමාෂ්. ඔයයි එයයි එක ළඟ ඉඳිද්දි හරිම ලස්සනයි.”
“දෙයියනේ දන්නවනම් මාව හොස්පිට්ල් එකෙනුත් පන්නල දායි. ඔය ඔක්කොම නවත්තලා කපුකම් කරන්න පටන් ගත්තනම් ෂෝක් හැබැයි. ඔක්කොම පණ්ඩිතකම් හිතන්නයි කරන්නයි පුළුවන්. තමන්ගේ ජීවිතය ගැන චුට්ටක් එහෙම හිතන්න බැරි උනානේ.”
“ඒ පහුවෙලා ගියපු කාලෙ හිටියේ මමමද කියලා හිතෙනවා. අද මට ඒ විදිහට මනුජිත්ගේ ලඟට ගියපු එක ගැන පුදුමාකාර පසුතැවීමක් ඇතිවුණා.”
“ඒ කියන්නේ.”
“එයා මාව ප්‍රතික්ෂේප කරද්දි මම බලෙන්මනේ එයාගේ ළඟට ගිහිල්ලා නතර වුණේ. එහෙම නොවුනනං එයාට රට යන්න උවමනාවක්වත් ඒ අම්මට තාත්තට තනිවෙන්න හේතුවක්වත් ගෙවල් දොරවල් විකුනන්න හේතුවක්වත් ඇතිවෙන්නේ නෑ. නිශාදි කියන්න වගේ මට හිමි නැති තැනක මං ගිහිල්ලා බලෙන් නතර වුණා. ඒ මෙන්න මෙයා නිසා.”
දහරා එවර පැවසූයේ තම කුසට අතක් තබාගෙනය. තමා මේ පවසන සියල්ලම තේරුම් ගත්තා සේ කුස තුළින් ඇතිවූයේ චලනයකි.
“එයාට හරියට මං කියන දේවල් තේරෙනවා වගේ..”
“වගේ නෙමෙයිද දහරා එයාට ඔයාව දැනෙනවා. ඔයාගේ සතුට දුක ඒ විදිහටම එයා විඳගන්නවා.”
“එදා එහෙම නොගියනං මගේ ජීවිතේ මීට වඩා සැනසීමක් තියෙන්න තිබුණා. කොහොම වුණත් කසාදය කියන බැම්මෙන් මනුජිතුයි මමයි බැඳිලා ඉවරයි.”
“හිතේ සතුටක් නැතුව තමන්ගේ සැමියගෙන් රැකවරණයක් නැතුව ආදරයක් නැතුව තමන්ට හිමි තැන නැතුව නීතිමය බැඳීමකින් බැඳිලා ඉන්න ඕනද දහරා.”
“කසාද සහතිකයක් කියලා කියන්නේ දරුවෙකුට නමක් ලැබෙන අයිතියක්.”
“දරුවෙක්ට ඕනේ නමක් නෙමෙයි දහරා. එයාව රැක ගන්න තාත්තා කෙනෙක්. පෝෂණය කරන තාත්තා කෙනෙක්. යුතුකම් ඉෂ්ඨ කරන තාත්තා කෙනෙක් හරි පාර පෙන්නන තාත්තා කෙනෙක්….”
“ඔයා ඔහොම කියනකොට මට ලෝභ හිතෙනවා. මගේ තාත්තා ගැන මගේ හිතේ තියෙන මතකය හරි පුංචියි. මට මතකයි ඉස්සර මාව මෙන්න මෙහෙම ඇඟිල්ලෙන් එල්ලගෙන ගේ ඇතුලෙ ඇවිද්දවනවා. මගේ දරුවට එක් කිසිම දෙයක් ලැබෙන එකක් නෑ.”
දහරා පැවසූයේ දෑඟිලි එකිනෙක පටලවමින්ය.
“එයාට ඒ හැමදේම ලැබෙයි දහරා. මේ කාලෙදි ඔයා සතුටින් සැනසීමෙන් ඉඳලා එයා නිරෝගී දරුවෙක් විදිහට ලෝකෙට බිහිකරන්න. දවසක ඔයා කියයි මගේ දරුවා තමයි වාසනාවන්තම දරුවා කියලා.”
“චූටි මාමත් ඊයේ පෙරේදා ඔය කතාව ඔය විදිහටම කිව්වා.”
“ඒ මොකක්ද…”
“උඹේ දරුවා තමයි කවද හරි දවසක මේ ලෝකේ ඉන්න වාසනාවන්තම දරුවා කියලා. ඉතින් මම කිව්වා ඔයා එහෙම හිතලා ආපහු බලෙන් මාව කොතනකටවත් ගිහිල්ලා දාන්න ඕනේ නෑ කියලා. අනේ බං ඒ වැරැද්ද ආපහු කවදාවත් මගේ අතින් වෙන්නෙ නෑ කියලා ඇස් දෙකේ කඳුළු පිහිද ගත්තා.”
“ඒ හැමදේම අතීතයක් විතරයි දහරා අපි වර්තමානේ සතුටින් ජීවත් වෙලා, අනාගතේ ලස්සන කරගනිමු. ඒක නෙමෙයි. අපි අර එදා ගියපු ශොප් එකට යමු ඔයාට මං මල් හදන්න තව බඩු ටිකක් අරගෙන දෙන්නම්. හැබැයි ඉතින් මානසික සතුට ගැන හිතලා ඒක කරනවා මිසක්කා මේ විවේකයෙන් ඉන්න තියෙන කාලෙ ඒ විවේකයවත්, නින්දවත් අහිමි කරගන්න එපා.”
“දැන් ඉතින් මං වැඩ කරන්නේ මේ දොස්තර මහත්තයා කියන විදිහට තමයි. මොකද නිශාදිත් කතා කරන කරන හැම වෙලාවකම මට කියන්නේ රමාෂ් කියන විදිහටම හැමදේම කරන්න කියලා.”
“ඒ ළමයට තේරෙනවා දොස්තර මහත්තයාගේ වටිනාකම.”
“අනේ මටත් තේරෙනවා. මේ වෙලාවේ ඔයා හරියට අපේ ලඟට ආවේ දේවදූතයෙක් වගේ.”
වාහනය නතර වූයේ ප්‍රසිද්ධ අවන්හලක් ඉදිරිපසය. දහරා රමාෂ්ගේ මුහුණ බැලුවේ මවිතයෙන්ය.
“මං චූටි මාමට කෝල් කලා. අපි කාලා ගෙදර ඉන්න අයටත් කෑම ටිකක් අරගෙන යමු. මම කිව්වා උයන්න එපා කියලා.”
“අනේ රමාෂ් ඔයා වෙලාවකට මොනවද මේ කරන්නේ කියලා මට හිතාගන්න බෑ. සීමාවක් නැතුව වියදම් කරනවා. මං ආයෙත් ඔයාගෙන් අහන්නේ අපි හොස්පිටල් චාජර්ස් ගෙවලා, එහෙම තැනක බබා හම්බවෙන්න නවතින්න ඕනද…”
“ඒ ගැන ආයි කතා කරන්නේ නෑ කියල මට පොරොන්දු වුණා.”
“පිටරටක ගියාට පස්සේ ඔයා හරි කපටි වෙලා රමාෂ්. ඕනෙමනං මට කෑම එකක් අරගෙන දෙන්න. ඒක පිනක් නේ..ගෙදර හැමෝටම ඕනේ නෑ. මං ඒක ගෙනිහිල්ලා එයාල එක්ක බෙදාගෙන කන්නම්. මේ හොස්පිට්ල් කතන්දරෙත් අම්මටයි මාමටයි කිව්වහම එයාලා මොනවා කියයිද මන්දා. මේ ටික කාලෙට ඔයා මං වෙනුවෙන් සෑහෙන්න වියදම් කළා. ඒක දැන් මගේ හිතට වදයක්.”
“ඒ හැමදේටම හරියන්නෙ ඔයාට මාව බලාගන්න වෙන දවසක් ඒව් ඉස්සරහට.”
ඔහු එසේ පැවසූයේ රථයෙන් බැසගන්නා ගමන්ය. දහරාගෙ දෑස් මවිතයෙන් විසල් වූයේ ඔහුගේ ඒ වදන් වලටය. ඒ වදන්වල තේරුම කුමක්දැයි අසන්නට සිත් වුවත් ඉන් පෙර අනිත් පසින් පැමිණි රමාෂ් දොර ඇරියේ ඇයට වාහනයෙන් බසින්නට අත දිගු කරනා ගමන්ය. කොහොමටත් ඉදිරියට නෙරා ආ කුසත් දරාගෙන ඇයට එකවර වාහනයෙන් බිමට බැසීම ලෙහෙසි පහසු දෙයක් වුයේ නැත. එනිසාම ඕ රමාෂ්ගේ දකුණතට වාරු වූවාය. ඇයව අවන්හලෙහි නිස්කලංක පෙදෙසක වූ මේසයක් අසල අසුන් ගන්වන තුරුත් රමාෂ් ඒ අත අත්හැරියේ නැත.
*************
තමාව හමුවන්නට තරුණයෙකු පැමිණ සිටිනවායැයි සුමන සේකරට පැවසූයේ කඩයේ වැඩ කරනා තරුණයෙකි. සුමනසේකර කඩය ඉදිරි පිටට ඇවිද ගියේ ඒ දහරාගේ මාමායැයි සිතාගෙනය. එහෙත් එතැන වූයේ ඔහු මින් පෙර දැක නොතිබුණු උස මහත සිරුරක් හිමි තළෙලු පැහැ තරුණයෙකි.
“මේ මනුජිත්ගේ තාත්තා වෙන්න ඇති…”
“ඔව්…මේ කවුද…”
“මට ඌ ඉන්න තැනක් දැනගන්න ඕනේ…”
“මොකක්ද කාරණය…”
“කාරණයද? කාරණය තමයි…ඌ යාළුකමට මගේ ගෙදර නතර වෙන්න ඇවිල්ලා මගේ ජීවිතේම කෑවා…”
සුමනසේකර කලබලයෙන් වටපිට බැලුවේ තරුණයාගේ උස්හඬ නිසාය. කඩේ තුළ සිටි කිහිප දෙනෙකුත් හැරී බලන අයුරු ඔහු දුටුවේ එවේලෙහිය.
(හෙටත් හමු වෙමු ආදරයෙන්)


