මතකයක සේයා – 54

0
3896

කෛලාශ් විමසූ පැනයට පිළිතුරක් නොදී මන්දාකිණි වාඩි වී හුන් තැනින් නැගී සිට මුහුදු වෙරළ දිගේ දිව ගියාය.අනතුරුව පිහිනුම් තටාකය පසුකර හෝටලයේ ඇතුළු ලොබියකට ඇතුළු වූ මන්දාකිණි වාහන අංගනය වෙත පැමිණ වාහනයට නැගී හෝටලයෙන් පිට වූයේ විනාඩි ගණනාවක් තුළදීය.  ඒ විනාඩි ගණනාව තුළදී කෛලාශ් නොසෙල්වී මුහුද දෙස බලා හිඳියා මිස මන්දාකිණි ව නතර කරන්නට හෝ උත්සාහ කළේ නැත.

නොනවත්වා කඩා හැලෙන කඳුළු වලට කඩා හැලෙන්නට හැර මන්දාකිණි නිවාස සංකීර්ණය දෙසට වාහනය ධාවනය කර ගෙන පැමිණියේ පැය භාගයක් ඇතුළතදීය. පෙනෙන මානයක හෝ පිළිතුරක් නොපෙනෙන ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නට වෙහෙස නොවී හිඳින්නට සිතමින් මන්දාකිණි නිවාස සංකීරණයේ වාහන අංගනයේ වාහනය නවතා ඉන් බැස්සේ කම්මුල් තෙත් වී තිබුණු කඳුලැලි දෑතින්ම පිස දමමිනි.

වාහනයේ දොර වසා දැමූ මන්දාකිණි විදුලි සෝපානයට ඇතුළු වීමට සිතා හැරෙද්දීම වේගයෙන් පැමිණි වාහනයක් ඇය අසලින් නතර කලේ මහා තිරිංග හඬක් ද නංවමිනි. ඒ හඬට තිගැස්සුණු මන්දාකිණි පියවරක් පසුපසට තබා බලා උන්නේ නතර කරන ලද වාහනයෙන් බැස එන පුද්ගලයා දෙස විමතියෙන් බලමිනි.

” ලවන් ” 

මන්දාකිණි හට ඉබේටම මිමිණුනේ මෙවැනි අවස්ථාවක තම නිවාස සංකීර්ණය ඉදිරියේ ලවන් ගේ පෙනී සිටීම කිසි සේත්ම බලාපොරොත්තු නොවුනු නිසාය.

” මැඩම් මේ කොහේ ගිහින් ද එන්නේ ? ඔෆිස් එකේ නම් හිටියේ නෑ ” 

ලවන් ජයග්‍රාහී හඬින් එසේ පවසමින් මන්දාකිණි කරා පැමිණ නතර වූයේය.

” ඔයා ඔෆිස් එකටත් ගියාද? “

” නෑ. කෝල් කරා. ඔයා මගේ කෝල්ස් ආන්සර් නොකරන නිසා මං ගූගල් සර්ච් කරලා ඔෆිස් නම්බර් එකට ගත්තා.එහෙන් කිව්වා ඔයා ඔෆිස් එකේ නෑ කියලා  ” 

මන්දාකිණි ඉවත බලා ගත්තේ කෝපයෙනි. ලවන් මේ බලහත්කාරයෙන් ප්‍රවේශ වීමට සූදානම් වන්නේ තමාට කියා විතරක් ඉතිරිව ඇති ජීවිතයටය.

” මෙහෙ ආවේ ? ” 

ලවන් කට කොනකට සිනහවක් නගා ගත්තේය. තමාට බොහෝ දෑ කළ හැකි බව මන්දාකිණි මේ වන තුරුත් දන්නේ නැත. 

” මට ඕන හින්දා. ඔයා මගේ කෝල්ස් ආන්සර් කරා නම් මට මෙහෙ එන්න වෙන්නෙ නෑනේ “

” මගේ apartment එක හොයා ගත්තේ කොහොමද ? ” 

මන්දාකිණි ඇසුවේ සැබැවින්ම සිතට නැගුනු ප්‍රශ්නයකි. ලවන් තමා බලාපොරොත්තු වූ තරම් ලෙහෙසි පහසු පුද්ගලයකු නොවේ.

” ඔයා හිතන් ඉන්නේ මං කවුරු කියලද මන්දාකිණි? ඔයා දන්නේ නැති ගොඩක් දේවල් මට කරන්න පුළුවන්. ඔයා නොකිව්වත් ඔයා ඉන්න තැන හොයා ගන්න එක මට මහ දෙයක් නෙමෙයි. මට මෙතන හොයා ගන්න ගියේත් පැය භාගයයි.මං ඔයාට කලිනුත් කිව්වනේ මට කොච්චර කන්ටැක්ට්ස් තියෙනවද කියලා “

ලවන් පිට කරනා වචනයක් පාසා මන්දාකිණි අසා උන්නේ අසීරුවෙනි.ඉදිරියට පැන ලවන් හට කම්මුල් පහරක් ගසන්නට තරමේ ආවේගයක් දැනෙමින් තිබුනත් ඇය එය පාලනය කර ගෙන උන්නාය.

” හරි දැන් මාව හම්බ උනානේ. දැන් ඔයාට යන්න පුළුවන් ලවන්. මට ටිකක් මහන්සියි.ගෙදරට ගිහින් රෙස්ට් කරන්න බලා ගෙන මං ආවේ “

” ඔෆිස් වත් නොගිහින් ඔයාට ඔච්චර මහන්සි වෙන්න තිබ්බ ගමන මොකද්ද දන්නෑ නේද මන්දාකිණි ? ” 

ලවන් ඉතා අසීලාචාර සිනහවක් පෑ අතර මන්දාකිණි විදුලි සෝපානය වෙත යන්නට ගොස් නැවත හැරුණේ ඒ සිනහව දරා ගත නොහැකි තැනය.

” ඒක මගේ පර්සනල් ගමනක්.මං හිතන්නේ ඒක ලවන්ට අදාල දෙයක් නෙමෙයි “

මන්දාකිණි කෝපයෙන් පිළිතුරු දුන් පසුව ලවන් තවත් අඩියක් දෙකක් මන්දාකිණි වෙත ලං වූයේය.

” මොන පර්සනල් ගමනක් ගියත් අන්තිමට එන්න වෙන්නේ මගේ ගාවට කියලා අමතක කරන්න එපා. ඔයා කැමැති වුණත් අකමැති වුණත් ඔයා ගේ ගෙදරින් ඒක තීරණය කරලා ඉවරයි. කොහොමත් අපේ වෙඩින් එකත් ඉක්මනට කෙරෙයි. ඔයාගේ පේරන්ට්ස් ලා එහෙම කතාවකට හෙට අපේ ගෙදර එනවා කියලා අපෙ අම්මා කිව්වා.ලගදිම මොන හරි වෙයි ඒ නිසා. එතකොට ඔයාට ඔය සෙල්ලම් නටන්න වෙන්නේ නෑ මන්දාකිණි “

මන්දාකිණි වෙව්ලන දෙතොල් තද කර ගෙන බලා උන්නාය. තමාට වත් නොපවසා දෙමව්පියන් බොහෝ දේ තීරණය කර ක්‍රියාවට නැංවීම ඇගේ සිත වඩාත් වේදනාවට පත් කල අතර මන්දාකිණි ගේ දෑස් වල වියලී ගිය කඳුලු නැවත අලුත් වූයේ ඊලඟ මොහොතේදී ය.

” ඔයාට මෙතන අඬන්න කිසි දෙයක් මං කිව්වෙ නෑ මන්දාකිණි. හැබැයි ඉතින් වෙන්න යන දේ තමයි මං ඔයාට කිව්වේ. ඔයා ගේ ජීවිතේ මං නොදන්න මොනා හරි වෙනව නම් ඔයාට තාමත් වෙලාව තියෙනවා ඒවා අමතක කරලා මාත් එක්ක සෙට්ල් වෙන්න ” 

ලවන් පෙරට වූවාට වඩා පහත් හඬකින් පැවසුවේ මන්දාකිණිව පහසුවෙන් නම්මා ගත හැකි වේ යැයි බලාපොරොත්තුවෙනි. එහෙත් මන්දාකිණි උන්නේ සියොලඟම වෙව්ලා යන තරමේ වේදනාවක් මුසු වූ ශෝකයකිනි. තමා වෙත කිසිසේත්ම නොගැලපෙන, අසංවර ගතිගුණ ඇති ලවන් වැන්නෙකු පිළිබඳව දැන දැනම ඔහු හට තමාව විවාහ කර දීමට තම දෙමව්පියන් හිත හදා ගත්තේ කෙසේ දැයි සිතමින් හදවතින් දහස් වර ශෝක වූ මන්දාකිණි හදිසියේ සිතට ආ සිතුවිල්ලකට අනුව තම වාහනය වෙතට පියවර එසවූවාය.

” කොහෙද යන්නේ ? ” 

මන්දාකිණි ගේ මග හරස් කරන්නට ලවන් පැමිණියද මන්දාකිණි හැකි වෙර යොදා ඔහුව පසෙකට තල්ලු කර දමා වාහනයට නැගී වේගයෙන් දොර වසා ගත්තාය.අනතුරුව වේගයෙන් දිගු හුස්මක් ගත් ඇය වාහනය පණ ගන්වා ගෙන එය පසුපසට ගෙන තමා දෙස පුදුමයෙන් බලා හිඳින ලවන් ව පසු කර ගෙන හැකි වේගයෙන් වාහනය පදවා ගෙන විත් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූවාය.

මන්දාකිණි උන්නේ හැඬුම් පාලනය කර ගත නොහැකිවය. කඳුලින් පිරී බොඳ වී ගිය දෑස් වලින් අපැහැදිලිව පෙනෙන මාර්ගය දෙස බලා ගෙන මන්දාකිණි මාර්ගයේ ඇති අනෙක් වාහන පසුකර ගෙන වේගයෙන් ඉදිරියට ඇදුනාය. වාහනයට නැගි අවස්තාවේදී රියැදුරු අසුනට අනෙක් අසුන වෙතට විසි කල ජංගම දුරකථනය අතට ගත් මන්දාකිණි මාර්ගය දෙසද බලමින් කෛලාශ් ගේ අංකය සොයා ගෙන එයට ඇමතුමක් ගත්තේ ඔහු ගෙන් මග හැරුනු ඇමතුම් දෙකක්ද දුටු පසුය.

කෛලාශ් උන්නේ හෝටලයේ ඔහුට අයත් කාර්‍යාල කාමරයේය. මන්දාකිණි පිටව ගිය පසුව මද වේලාවක් මුහුද අද්දර හිඳ කාර්යාල කාමරයට පැමිණ ඇයට ඇමතුම් දෙකක් ලබා ගත්තද ඇය එයට ප්‍රතිචාර නොදැක් වූ බැවින් ඇය නැවත තමා අමතන තුරු කෛලාශ් නිහඬව හිඳි අතර මන්දාකිණි ගෙන් ඇමතුම පැමිණියේ එවන් මොහොතකය.

” මන්දාකිණි ” 

දුරකථනය නාද වන විටම කෛලාශ් සැණෙකින් දුරකථනය ගෙන ඇමතුම හා සම්බන්ධ වූයේය.

” කෛලාශ් “

මන්දාකිණි වේගයෙන් වාහනය පදවන අතරේ හැඬුම්බර හඬින් වචන පිට කලාය.

” ඔයා.. අඬනවා නේද ඔය ? ” 

” කෛලාශ් , මං ගෙදරට යනකොට.. ලවන් මාව හොයා ගෙන ඇවිත්.. මං ඒ මනුස්සයට පොඩ්ඩක් වත් කැමති නෑ කෛලාශ්. එයා මගේ ජීවිතේට මේ කරන දේ මට ඇත්තටම කරදරයක්.. ඒත්.. ” 

” ඇයි මන්දාකිණි ? “

” අපේ අම්මයි තාත්තයි හෙට එහෙ යනවලු අපි දෙන්නා ගැන කතා කරන්න. ඒ දෙන්නා කොහොමද කෛලාශ් මං අකමැති දේකට එහෙම හිත හදා ගත්තේ ? මං එයාලාගේ එකම දරුවා. මට එහෙම කරන්නේ කොහොමද එයාලා ? “

මන්දාකිණි හැකිතාක් කෑගසමින් හැඬුවාය. එක් අතකින් දුරකථනය සවනට තද කර ගෙන අනෙක් අතින් සුක්කානම කරකවමින් මන්දාකිණි උන්නේ තමාවම පාලනය කර ගත නොහැකි තත්වයකය.

” මන්දාකිණි ඔයා දැන් කොහෙද ඉන්නේ ? මං ගෙදරට එන්නද? අපි කතා කරමු.ඔයාට ඕන දේකට මං ඉන්නවා. .. ඒක දන්නවනේ ඔයා.. “

” කෛලාශ්.. මට ඔයාට කියන්න ඕන වුනේ , මාව පොඩ්ඩක් හරි තේරුනේ ,මාව පොඩ්ඩක් හරි තේරුම් ගන්න උත්සාහ කළේ ඔයා විතරයි. මං ආදරේ කරපු මනුස්සයෙක්වත් ඔයා වගේ කැපකිරීමක් මං වෙනුවෙන් කරලා නෑ කෛලාශ්.. ඔයා හිතේ තියා ගෙන මට කියා ගන්න බැරුව ඉන්න දේ මං දන්නවා.. මමත්, ඒ වගේම දෙයක් කියාගන්න බැරුව අසරණ වෙලා හිටියේ කෛලාශ්. ඒත්, මට දැන් මේවා තව ඉවසන්න අමාරුයි ” 

මන්දාකිණි හඬමින් එසේ පවසද්දී කෛලාශ් වෙව්ලමින් තම අසුනින් නැගී සිටියේය. කවුරුන් නිසා වත් ,කුමන හේතුවක් නිසාවත් ජීවිත කාලය පුරාවටම ආදරය කළ යුවතියව අහිමි කර ගත නොහැක. තමා විනාඩියක් හෝ ප්‍රමාද වීමෙන් සිදු වන්නට යන්නේ එයය.

” මන්දාකිණි ඔයා කොහෙද ඉන්නෙ? මං එනවා දැන් ” 

කෛලාශ් එසේ කියමින් කාර්‍යාල කාමරයෙන් පිටවූ අතර දුරකථන ඇමතුමේ අනෙක් පසෙන් විශාල හඬක් නංවමින් තප්පර ගණනාවකට පසුව ඇමතුම විසන්ධි වී ගියේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here