සඳ දිය දහරා – 51

0
440

“මේක මගේ දරුවා ඔයාට නැති කරපු ජීවිතේට අපි දෙන වන්දියක්  නෙමෙයි පුතේ. ඔයාගේ ඔය බඩේ  ඉන්න අපේ මුණුපුරා හරි මිණිබිරී  හරි වෙනුවෙන් අපිට කරන්න පුළුවන් යුතුකමක්..”

“තාත්තේ එයා පුතෙක්…..”

“මේක ගන්න දුව. ඒ දරුවාට අවශ්‍ය බඩු මුට්ටුවක්වත් ගන්න.”

“මේ සල්ලි නම් සල්ලි එපා තාත්තේ සල්ලි මා ගාව තියෙනව. එයාට ඕන කරන හැම දෙයක්ම මේ වෙනකොටත් අරගෙන ඉවරයි.”

“ඒක එහෙම වෙන්න ඇති. ඔයාට හොඳ අම්මා කෙනෙක්, ආච්චි කෙනෙක්, මාමා කෙනෙක් ඉන්නවා. එයාල මේ දරුවට අඩුපාඩුවක් වෙන්න ඉඩ තියෙන එකක් නැහැ. මේක මම සතුටින් දෙන දෙයක් දුව. ගේ විකුණුවටට පස්සේ ඔයා වෙනුවෙන් කියලා මට ඉතුරු කරගන්න පුළුවන් වුනේ මෙච්චරයි.”

දහරා සුමනසේකර වෙත දෝත පෑවේ චූටි මාමා දෙස බලමින්ය. ඔහු එපායැයි පැවසූයේ නැත. ඉටි කොල කිහිපයක ඔතා තිබූ ගුරු පැහැ ලියුම් කවරය ඇතුලේ වූයේ පන්දහසේ නෝට්ටු කිහිපයකි. 

“මට නෙමෙයි මේ වෙලාවෙ සල්ලි ඕන කරන්නේ තාත්තටයි අම්මටයි.” 

“මගේ මේ අතපයේ හයිය තියෙනකල් මම අම්මව බලා ගන්නවා. ඊට පස්සේ අපේ ජීවිත මොන තැනකට යයිද කියන්න මම දන්නෙ නෑ.”

“මනුජිත් ආපහු එනේකක් නැද්ද”

“එනේකක් නැද්ද කියලා ඇහුවේ…”

“මනුජිත් රට ගියා කියලා තමයි මට ආරංචි වුණේ…”

“මොන රටක්ද දරුවෝ. එහෙම තමයි අපිටත් මුලින් ආරංචි වුණේ. ඊට පස්සේ මෙන්න මේ කොහේදෝ ඈත පළාතක ඉන්නවා කියලා රට යන්න ඕනේ කියලා තමයි ඔය ගේ විකුණලා අපෙන් සල්ලි අරගෙන ගියේ. මේව කියලත් බෑ නොකියත් බෑ. ඔයා හිත හයිය දරුවෙක් වග මං දන්නවා. එහෙම නොවුනානම් අපි ඔක්කොම එකතුවෙලා එකම විදිහකට වෙනස්කම් කරද්දි ඔයාට දරාගෙන ඉන්න බෑ. මනුජිත් ඒ නතර වෙලා ඉඳපු තැන ගෑණු ළමයත් අරගෙන පැනලා ගිහිල්ලා. ඉන්න කොහේද මොනව කරනවද කියලා අපි කවුරුවත් දන්නේ නෑ.”

සුමනසේකරගේ වදන් හැඬුම් මුසුවිය. ඕ ඒ සියල්ල පැවසූයේ බිම බලාගෙනය.

දහරාට එවරත් බැලුනේ චූටි මාමා දෙසය. ඔහු උන්නේ දත් මිටි කමින්ය. මනුජිත් ගැන අමුතු සතුටක්වත් දුකක්වත් ඇගේ සිතෙහි ඇති වූයේ නැත. ඔහු දැන් දහරාගේ ජීවිතයෙහි අතීතයවත් වර්තමානයවත් නොවේ. තමාගේ  ජීවිතය ඔහු වෙනුවෙන් කැප කළ බව දැන දැනත් ඔහු තමාව ප්‍රතික්ෂේප කලේ මහත් නින්දිත අයුරකින් යැයි දහරාට සිතෙන්නේ දැන්ය. අඩුම තරමින් ඔහු තමන්ගේ ලේ වලටවත් සාධාරණයක්වත්  ඉටු කළ අයෙකු නොවේ. තමාව පිළි නොගත්තත් මේ දරු පැටියාව පිළි ගන්නට ඔහුට මනුස්සකමක් තිබිය යුතුය.

“ඔයාගෙන් මම එකම එක ඉල්ලීමක් කරන්නම් දරුවො. ආයේ ඔය මනුස්සයා ගාවට එන්න හිතන්නවත් එපා. ඒකෙන් ඔයාටවත් මේ දරුවටවත් හොඳක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ මගේ දරුවා උනත් අද මං එයා ගැන කතා කරන්නේ මහා පිළිකුලකින්. මට අනුවනම් ඒ මහා අපරාධකාරයෙක්”

“කොහොමටත් ආපහු මනුජිත් ගාවට  අපේ කෙල්ලව එවන අදහසක් අපිට නෑ.”

චූටි මාමා එසේ පවසද්දී දහරා මුළුතැන් ගෙය වෙත ඇවිද ගියේ ආච්චීව සොයා ගෙනය. නිවසට පැමිණෙන ඕනෑම අයකුට ඇගේ අතින් තේ එකක් වරදින්නේ නැත. මනුජිත්ගේ තාත්තා වෙනුවෙන් ඒ යුතුකම තවත් ප්‍රමාද ඇයිදැයි දහරා සිතුවේ මුළුතැන් ගෙයට එබෙනා  අතරේය. ගෑස් ලිප මත වූ කේතලය දුම් දමමින් තිබිණ. රීටා මදක් පහත්ව සැහැල්ලු ගවුමේ කෙළවරකින් දෑස් පිස දා ගන්නවා  දහරා දුටුවාය. 

“අනේ ඇයි ආච්චි.”

“උඹයි අම්මයි මට මේවා හැංඟුවාට සැරින් සැරේ කුටු කුටු ගානකොට මට හිතුනා මොකක්ම හරි දෙයක් වෙලා ඇති කියලා.”

“හැංඟුවා නෙමෙයි ආච්චි ඔයාගේ වයසට මේ දේවල් ඔයාට දරාගන්න බැරි වෙයි කියලා හිතුනා. මං ආවේ බබා හම්බවෙලා ආපහු යන්න නෙමෙයි. එහෙම යන්න කියල තැනක් මට නෑ. ඔයාට තමයි මාව හැදුවා වගේ මගේ බබාවත් හදන්ඩ වෙන්නේ.” 

දහරා එවර පැවසූයේ රීටාගේ පසු පසින් ඒ ගෙල වටා දෑත් යවාගෙනය. 

“මෙච්චර දුක් කන්දරාවක් කොහොම උහුලන්නද බං…”

“අපි කාගෙවත් ජීවිතවල අපි බලාපොරොත්තු වෙන විදිහටම දේවල් සිද්ධ වෙන්නෙ නෑනෙ ආච්චි. එහෙම උනානම් මගේ සීයවත් තාත්තවත් මනුජිත්වත් අපිට නැති වෙන්නේ නෑ. මේක ලබා උපන් හැටි කියලා හිතාගෙන අපි කොහොම හරි ජීවත් වෙමු.  හොඳ ආච්චි වගේ මනුජිත්ගේ තාත්තට රස තේ එකක් හදලා දෙන්න. මොනව උනත් මට මේ වෙලාවේ හරි සතුටක් දැනෙනවා.”

රීටා දෑස් විසල් කරගෙන පසුපස හැරුනේ ඈ එසේ පවසද්දීය. 

“මනුජිත්ගේ  තාත්තා මේ දරුවා එයාලගේ මුනුපුරෙක් කියලා පිළිගත්තනේ. ඒකම මැදෑ ආච්චි. බැඳීමකට වටිනාකමක් ලැබුණා”

රීටා දහරාගේ හිස අත ගෑවේ ඒ වියපත් දෑස් වල කඳුළු පුරවාගෙනය. මේ ඇයට උරුම විය යුතු දෛවය නොවේ. ඇහේ මූණේ තබාගෙන හැදුවත් ගැහැණු දරුවෙකුට ජීවිතය වරදින්නට තත්පරයත් ඇතිය. 

“හොඳ ලෝයර් මහත්තයෙක් හම්බුවෙලා ඒවට අවශ්‍ය කරන ලියකියවිලි ටික හදාගන්න මල්ලි. ඒකයි මුලින්ම වෙන්න ඕනෙ. තවදුරටත් මේ අහිංසක දරුවා ඒ වගේ අසත්පුරුෂයෙකුට තමන්ගේ ස්වාමි පුරුෂයා කියලා කියන්නවත් මේ උපදින්න ඉන්න දරුවා තාත්තා කියලා කියන්නවත් ඕනේ නෑ. කියන්න ලැජ්ජයි මගේ අතිනුත් මේ දරුවට සෑහෙන්න වැරදි වුණා.”

දහරාට ඒ හඬ ඇසුණේ තැටිල්ල මත තබාගත් තේ කෝප්පයත් රැගෙන ආලින්දයට යද්දීය. සිතූ පැතූ දේ ඒ විදිහටම ඉටු නොවන මේ දෛවය සැබවින්ම පුදුමාකාර එකකි. ඕනෑම දෙයකට මුහුණ දීමට සිත හදා ගත්තාට පසුව ජීවිතය එතරම් අසීරු නොවෙන බව දහරා හෙමි හෙමින් වටහා ගනිමින් උන්නාය. ඈ යළිත් මල් කළඹවල් සකසන්නට පටන් ගත්තේ මනුජිත්ගේ පියා නික්ම ගිය පසුවය. මෙවර ඇයට ලැබුණු ඇණුවුම් ප්‍රමාණය විස්සකි. 

“මෙච්චර දේවල් දැනගත්ත එකේ උඹ මේකත් දැනගත්තට කමක් නෑ චූටි මිස්..මාව හිරේ යවන්න මගේ සාක්කුවට බඩු දාලා ගේම ගැහුවේ මනුජිත් තමයි. ඒක මම ඇතුලට ගියපු මුල් දවස්වලම දැනගත්තා. එහෙම කළේ මම උඹලා දෙන්න දිහා ඇහැ ගහගෙන බලාගෙන හිටපු නිසා. ඌ දැනගෙන හිටියා ඌට කාත් එක්ක සෙල්ලම් කළත් මාත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියලා.”

දහරා දෑස් විසල් කර ගත්තේ තමා අසලින් අසුන් ගත් චූටි මාමා දෙස බලාගෙනය. ඒ ගැන තමාගේ සිතෙහි සැකයක් වූ බවක් ඈ ඔහු හා කියන්නට නොගියාය. 

“ඌට ඒකට රිටන් එක දෙන්න මට වුවමනාව තිබුණත් පස්සේ මම ඒක අතෑරලා  දැම්මා. ඊට වඩා වටින දේවල් ජීවිතවලට ළං වෙද්දි ගැරඬි මරලා පව් පුරවා ගන්නේ මොකටද කියලා හිතුනා. උඹට වරදිනවනං අපි දෙයියෝ බුදුන් විශ්වාස කරන එකෙත් වැඩක් නැතුව යනවා.”

සෙනරත්ට තවත් යමක් පැවසීමට නොහැකි වූයේ දහරාට කෑම පිඟානක් රැගත් අසල් වැසියෙකු නිවසට පැමිණි නිසාය. දහරා දෝත පා කෑම පිඟාන අල්ලා ගත්තේ ඇයට පින් දෙමින්ය. මේ මිනිසුන්ගේ ආදරයයි. දවසකට කෑම පිඟන් තුන හතරක් වරදින්නේම නැත. ඊට අමතරව පොළට යන මාකට් එකට යන අයෙකුගෙන් මුරුක්කු මිටක් පලතුරක් වරදින්නේ ද නැත. ඉඳ හිටක කෙහෙවළු  පටලවාගෙන ගහ මරා ගත්තත්  මේ මනුස්සකම්, හිතවත්කම් ඔවුන්ගේ හදවතින්ම උපදින ඒවා බව දහරා දැන සිටියාය. 

“මේ දවස් ටිකේ උඹටත් මාර සැප නේද. අරහෙන් කෑම එනවා මෙහෙන් කෑම එනවා.”

චූටි මාමා දහරා අසලින් නික්මුණේ එසේ පවසාගෙනය. 

රාමාෂ්ගේ අංකය සටහන් කරමින් දුරකථනය නාද වූයේත් එවේලෙහිය. 

“ඔයාට ගන්න ලොකු උවමනාවක් තිබුණා. ඒ උනාට මේ වෙලාවෙ බිසී නිසා මම ගත්තේ නෑ.”

ජංගම දුරකථනය කන තබාගෙනම ඈ කාමරයට ඇවිද යන අයුරු සෙනරත් බලා සිටියේ සිනහමුසුවය. මෑතක සිට නිශාදී කාර්යබහුල වද්දී ඈ තම ජීවිතයේ තතු බෙදා ගත්තේ රමාෂ්  සමඟය. 

“මොකක් හරි ඕපදූපයක් හොයාගෙන වගේ.”

“අද මනුජිත්ගේ  තාත්ත ඇවිත් ගියා.”

“ආ… ඇයි ඒ හදිසියේ.”

දහරා රමාෂ් හා සියල්ල පැවසූයේ ඉවසිල්ලේය. 

“ඒ මිනිස්සු හරි පව් නේද. තමන්ගේ අම්මට තාත්තට එහෙම කරන්න පුළුවන් කියලා කියන්නේ තවත් කෙනෙකුට දුකක් දෙන්න දෙපාරක් හිතන්නේ නෑ. මට හිතෙන්නේ මනුජිත් කියන්නේ තමන්ටවත් ආදරේ නැති මනුස්සයෙක්. එහෙම උනානම් ඔයාව අතෑරගන්නේ නෑනේ කීයටවත්”

“ඒ හැමදේම මැද්දෙ මට ඒක සතුටක් තියෙනවා.”

“ඒ මොකක්ද…”

“මං ඒ ගෙදර ඉන්න කාලේ අම්මවත් තාත්තවත් පිළිගත්තේ නෑ මේ මනුජිත්ගේ දරුවෙක් කියලා. අපි ජීවත් වෙන මේ පරිසරය නිසාද එහෙම නැත්තං මනුජිත්ගේ වචන විශ්වාස කළ නිසාද දන්නෙ නැහැ එයාල හිතුවෙම…”

“අපි ඒ ගැන කතා නොකර ඉමු.”

රමාෂ් ඉස්සර වූයේ දහරා කියා නිම කරන්නටත් ප්‍රථමවය. ඈ ඒ අතීතයේ ජීවත් වී සිතින් විඳවනවාට ඔහු කැමති වූයේම නැත. 

“මේ ජීවිතය හිනා වෙලා සතුටින් ඉන්න මිනිස්සු ගොඩක් අයට තිබුනේ දුක හිතෙන අතීතයක්. එහෙමයි කියලා අපි හැමදාම ඒ අතීතයේ  නතර වෙලා ඉන්න ඕනේ නැහැ. හැමදාමත් ඇත්ත යටපත් කරලා මිනිස්සුන්ට බොරුවෙන් ජීවත් වෙන්නත් බැහැ. මං ඔයාගෙන් එක දෙයක් අහන්නද?”

“ඒ මොකක්ද රාමාෂ්”

“කවද හරි දවසක මනුජිත් එයාගේ වැරදි තේරුම් අරගෙන ඔයාගේ ළඟට ආවොත්.”

“තේරුම් ගන්න පුළුවන් වැරැද්දක්වත් මට ආපහු එයාට සමාව දෙන්න පුළුවන් වැරැද්දක්වත් නෙමෙයි දැන් එයා කරලා තියෙන්නේ. මං වගේම තවත් අහිංසක ගෑනු ළමයගේ ජීවිතය අපායක් කරපු එකට සමාව දෙන්න මට බෑ. මේ වෙනකල්ම අද වෙනකල්ම මම හිතාගෙන හිටියේ කවද හරි දවසක මනුජිත් එයාට වැරදුනේ කොතනද කියලා තේරුම් ගනියි කියලා. තාත්ත ගේට්ටුව ළඟ හිටගෙන ඉන්නව දකිද්දි මට ඇත්තටම දැනුනේ මනුජිත් ආපහු ආව වගේ සතුටක්. ඒත් දැන් එයාට දෙන්න සමාවක් මං ළඟ ඉතුරු වෙලා නෑ. මං එහෙම කරනවනම් තවත් මං වගේම අසරණ ගෑණු ළමයෙකුට ද්‍රෝහී වීමක්. මං අහගෙන තාත්තා ඩිවෝස් එක ගැන චූටි මාමත් එක්ක කතා වෙනවා. මං චූටි මාමට කියනවා පුළුවන් තරම් ඒ දේවල් ඉක්මන් කරන්න කියලා. එතකොට අර අහිංසක ගෑනු ළමයටවත් සාධාරණයක් ඉෂ්ඨ වෙයි රමාෂ්. මගේ දරුවට මම අම්මා ආච්චි චූටි මාමා ඔයා නිශාදි මේ වත්තේ මිනිස්සු මේ හැමෝම ඉන්නවා..”

අවසන් වදන් කිහිපය පවසද්දී දහරාගේ හඬ බිඳී යමින් තිබිණ. රමාෂ්  දිගු සුසුමක් මුදා හැරියේ සිය සිතුවිලි වලට සන්සුන් වන්නට ඉඩ දෙමින්ය. එතැන් සිට ඇගේ ජීවිතයේ අහු මුළුවල හිස්තැන් පුරවමින් ඒ හදවත ආක්‍රමණය කරන්නට තමාට හැකියාව ඇති බව රමාෂ් විශ්වාසයෙන්ම දැන උන්නේය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here