කලුවර රෑ සඳක් වගේ – 08

0
653

“මං දන්නෙ නෑ ළමයො ඔයාලා වගේ ඉගෙන ගත්ත ළමයින්ට අපි මෙතන මෙයාකාර අවවාද අනුසාසනා දෙන්නෝනද කියලා. උඹට තාම වයස අඩු බව ඇත්ත. විශ්ව විද්‍යාලෙ යැව්වෙ ඉතින් උපාධිය අරගෙන එළියට එන්න මිසක්කා ඒ ගමන නතර කරලා කසාදයක් කරගන්න නෙවෙයි බවත් ඇත්ත. හැබැයි දැන් උඹ ඉගෙනීමවත් වෙන රස්සාවක්වත් කරන්නෙ නැති එකේ දරුවෙක් හදාගන්නවත් බලපං. එහෙම නැත්තම් ඔය මනුස්සයා කවද හරි මිය පරලොව ගිය දවසක ඔය තියෙන ගෙවල් දොරවල් ඔක්කොම කලින් කසාදෙ දරුවන්ට ලියලා යාවි. අන්තිමේ උඹට වෙන්නෙ පාරට බහින්න තමයි” කියලා අම්මා තකහනියෙ ඉස්කෝලේ නැන්දගෙ ෆෝන් එකෙන් කතා කරලා කිව්වා.

අම්මට ඕව ගැන කියන්න ඕන නැති හන්දා “ඔව් ඔව් අම්මේ අපි ඒවා ගැන හිතනවා” කිව්වට මොකෝ මනුසත් කවමදාකවත් මා එක්කල දරුවෙක් හදන්නෙ නැති බව අම්මට කියාගන්න පුලුවන්කමක් මට තිබ්බෙ නෑ.

“ඔයා ආස නැද්ද අපි දෙන්නගෙ බබෙක්ට?”

මම ඒ ප්‍රශ්නය අහලා සෑහෙන වෙලාවක් යනකල් මනුසත්ගෙන් කිසිම සද්දයක් බද්දයක් තිබ්බෙ නෑ.

වෙනදාට මගේ උරහිස උඩින් තියෙන එයාගේ අත, මම මොනවා හරි කියද්දී හෙමින් හෙමින් එහා මෙහා කරනවා. ඒත් මේ වෙලාවේ ඒ ඇඟිලි තිබ්බෙ නතර වෙලා. මට ඒ දැනිච්ච මනුසත්ගෙ සයිලන්ස් එක ඕනෑම උත්තරයකට වඩා හයියෙන් මගේ හිතට කතා කරා.

මම හීන් සැරේ එයාගේ පපුවෙන් ඔළුව උස්සලා මනුසත්ගේ මූණ දිහා බැලුවෙ මට ඒ සයිලන්ස් එක දරාගන්න බැරිම වෙච්ච තැන. මනුසත් උන්නෙ ඇස් දෙක ඇරගෙන කලුවරේ පේන කැරකෙන ෆෑන් එක දිහා උඩ බලාගෙන. එයාගෙ මූණෙ තිබ්බෙ හරියට මම මේ ප්‍රශ්නෙ අහන්නත් කලින්ම එයා එයාගේ හිත ඇතුළේ උත්තරේ ලෑස්ති කරගෙන හිටියා වගේ ලුක් එකක්.

“ලිහිණි,” අන්තිමේදී එයා ලොකු හුස්මක් එළියට පා කරලා මට කතා කරා. “ඇයි දැන් එකපාර මෙහෙම දෙයක් ඇහුවේ?”

“මට හිතුනා ඔයා මන්දාරාව හුරතල් කරපු විදියට ඔයා තව දරුවෙක් හිටියනම් ආස වෙයි කියලා. අනික ඉතින් මටත් පාලුයිනෙ අනේ මේ ගෙදර ඉන්න. ඔයත් කැම්පස් එකට ගියාම මං මල පාලුවෙ ඉන්නෙ. ඔන්න ලෙක්චර්ස්වත් යන්න තිබ්බා නම් කමක් නෑ. මම බැච් එකක් මිස් කරලා ඊලඟ බැච් එකේ එන්නද ඇහුවට ඔයා ඒකට කැමතිත් නෑනෙ. බබෙක් හිටියා නම් මට පාලුවක් නෑනෙ” කියලා මම කිව්වෙ මනුසත් අහපු ප්‍රශ්නෙට දෙන්න වෙන උත්තරයක් මට තිබ්බෙ නැති හන්දා. ඊටත් වඩා මම ළමේක් හදන්න ප්ලෑන් කරන්නෙ මනුසත්ගෙ දේපල පිට යාවි කියලා බයෙන් කියලා කියන්න පුලුවන්කමක් තිබ්බෙ නැති හන්දා.

“මම මේ දේවල් කරලා ඉවරයිනෙ ලිහිණි දැන්. මම දරුවෝ හදලා ඉවරයි. නිදි නැති රෑවල්, ඉස්කෝලේ මීටින්, ලෙඩ රෝග වලට බය වෙච්ච කාලවල්, විභාගවල ටෙන්ශන් එක, දරුවන්ගේ තරුණ වයසෙ ප්‍රශ්න වලින් කොටසක් වගේ මේ හැමදේම මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවානෙ. අපි දරුවන්ගේ අම්මයි තාත්තයි වෙන්න දඟලන අතරේ කොහොමද අපේ කසාද ජීවිතේ හීන් සැරේ නැති වෙලා යන්නේ කියලා මම දැකලා තියෙනවා. මම ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. අනික දරුවෙක් හදමු කියන තරම් ලේසි නෑ ඉතින් ඒක ප්‍රැක්ටිකලි කරන එක”

මනුසත් එයාගෙ සුපුරුදු ශාන්ත දාන්ත කටහඬින් ඔය කතාව කියාගෙන යද්දි මම සද්ද නැතුව හිටියෙ මම මොනවා හරි මැදින් පැනලා කිව්වොත් එයා කතාව නතර කරයි කියලා මට බය හිතිච්ච හන්දා. 

“මන්දාරා ඉපදෙනකොට මම තරුණයි, මට හයිය තිබ්බා ඒ කාලෙ. අනික ඉතින් අපිත් තරුණ හන්දා ඒ කාලෙ තව වයස තියෙනවා කියලා දන්නවනෙ. දේවල් ප්ලෑන් කරන්න, දරුවන්ගෙ අනාගතේ ප්ලෑන් කරන්න ලේසියි. ඒ කාලෙ අරවා කරනවා මේවා කරනවා කියලා මටත් ලොකුවට ප්ලෑන්ස් තිබ්බා. ඒ උනාට ඉස්සරට වඩා මම දැන් හරිම රියලිස්ටික් ලිහිණි. එහෙම වෙන්නත් ඕනනෙ ඉතින් වයසට යද්දි නේද?” කියලා එයා වචන තෝරගන්න වගේ ටිකක් නතර වුණා. 

“රියලිස්ටික් කිව්වේ මොකක් ගැනද?” 

“සීමාවන් ගැන, විශේෂයෙන්ම”

එහෙම කියන ගමන්ම මනුසත් ඇඳ විට්ටමට හේත්තු වෙලා මගෙන් ටිකක් ඈත් වුණා. ඇඳේ ඉඩ එහෙමම තිබුණත්, අපේ දෙන්නා අතර තියෙන පරතරය එකපාරටම වැඩි වුණා වගේ මට දැනුණෙ බාගදා ඒ හන්දා වෙන්නැති.

“මගේ වයසත් එක්ක බලද්දී, දැන් දරුවෙක් මේ ලෝකෙට ගේනවා කියන එක ලස්සන හීනයක් නෙවෙයි ලිහිණි. ඒක අවදානමක්. ඒක අසාධාරණයි. මට බෑ දුවන්න පනින්න බැරි, දරුවෙක්ගේ ලෝකයත් එක්ක හැරෙන්න බැරි වයසක තාත්තා කෙනෙක් වෙන්න.”

“ඔයා එච්චර වයස නැහැ. අනික ඉතින් මම ඉන්නවනෙ”

“ඔයා මාව දකින්නේ මම දැන් ඉන්න විදියට. ඒත් මම දකිනවා තව අවුරුදු දහයක් පහළොවක් ගියාම මම ඉන්න විදිය.”

“එතකොට මම? ඔයා කවදාවත් හිතුවද මගේ පැත්තෙන්?”

“මම හිතුවා,” එයා කිව්වා. “අන්න ඒ නිසාමයි මට මේ දේ කරන්න බැරි.”

කියලා මනුසත් කියද්දිවත් මට ඇත්තටම හිතාගන්න පුළුවන් උනේ නෑ මනුසත් ඔය මගේ පැත්තෙන් හිතුවා කියන්නෙ එයා හිතුවෙ මොකක් ගැනද කියන එක. සමහරවිට එයා කිව්ව දේ මට තේරුණේ නෑ කියලා එයාට තේරිච්ච හන්දා වෙන්නැති මනුසත් කතාව දිගටම කරගෙන ගියේ.

“මට ඕනේ නෑ ඔයා කවදා හරි දවසක මම ගැන කලකිරෙනවා දකින්න. ඔයා තාම තරුණයි, ඔයාට ජීවිතේ තව දේවල් ඕන කරන වයසකදී දරුවෙක් එක්ක හිරවෙලා ඔයා මට වෛර කරනවා දකින්න මට බෑ”

“එතකොට ඔයා මාව කසාද බැන්දේ?” 

“ඔව්, අන්න ඒ නිසාමයි මට බැරි ඔයාව තව දේකට පටලවන්න. විශේෂයෙන්ම දරුවෙක් හදන වගේ දේකට”

මම අමාරුවෙන් කෙළ පිඩක් ගිල්ලේ පපුව හිරවෙන වේදනාව අස්සේ.

“ඔයා මං වෙනුවට කසාද බැන්දෙ ඔයාගේ වයසට කිට්ටු කෙනෙක් නම් එතකොට ඔයා එයා එක්ක දරුවෙක් හදන්න කැමති වෙනවද?”

“වෙච්ච නැති දේවල් ගැන හිතලා වැඩක් නැහැ නේ නේද ලිහිණි. මේක තීරණය වෙන්නේ අපි දෙන්නා ගැනනෙ. ඒ හන්දා අපි අපි දෙන්න ගැන කතා කරමු.”

මනුසත් ආයෙ පාරක් හුස්මක් පා කරලා මගෙ පැත්තට එවන ගමන් එයා එයාගේ කොණ්ඩෙ අස්සෙන් අත යැව්වා. එයා එහෙම කරන්නෙ ඔලුව බර කරන ප්‍රශ්නයක් ඔලුවට ආව කියලා දන්න නිසාම මං අහපු ප්‍රශ්නෙ එයාගෙ ඔලුවට කරදරයක් කියලා තේරුම් ගන්න මට අමාරු උනේ නෑ.

“තව දෙයක් ඔයා තේරුම් ගන්න ඕනේ,ඔයා සමහරවිට වයසෙන් පොඩි හන්දා ඔයා උනත් මැරේජ් එකක් කියන දේ දකින්නෙ හරිම සරලව වෙන්න පුලුවන්. මං උනත් කසාද බැන්ද මුල් කාලෙ හිතුවෙ එහෙම. ඒ උනාට කල් යද්දි තමයි ලිහිණි අපිට තේරෙන්නෙ අපි හිතන තරම් ඔය මැරේජ් ලයිෆ් එක සිම්පල් නෑ කියලා. දරුවෝ කියන්නේ කසාදයක් බේරගන්න ඉන්න අය නෙවෙයි. දරුවෝ කියන්නේ කසාදයක් පරීක්ෂා කරන අය. දේවල් කැඩිලා බිඳිලා යනකොට මොකද වෙන්නේ කියලා මම ඕනෑවට වඩා දැකලා තියෙනවා ලිහිණි. කසාදයක් කියන්නෙ හරිම රිස්කි අෆෙයාර් එකක්” කියලා මනුසත් කියද්දි ඒ වචන වලින් එයා මීන් කරේ “මම ආයෙ ඒ රිස්ක් එක ගන්න සූදානම් නෑ” කියන දේ බව තේරිච්ච හන්දා මං උන්නෙ කියාගන්න දෙයක් නැතුව.ඇඟ පුරා පොරවගෙන උන්න බෙඩ්ෂීට් එකේ කොනක් මම මගේ ඇඟිලිවලින්  තද කරලා මිරික ගත්තෙ අද මම සයිලන්ට් උනොත් ඒ සයිලන්ස් එක මුලු ජීවිත කාලෙම මට වද දෙනවා කියලා මම දැනගෙන උන්න හන්දා.

“එතකොට මම අහන්නත් කලින්ම ඔයා මේ තීරණය අරන් ඉවරයි නේද?” 

“ඔව්,ඔයා අහන්නත් සෑහෙන කාලෙකට කලින්.” 

ඉස්සර නම් මනුසත් ඔහොම දෙයක් ගැන කෙලින්ම කිව්වම “කෙළින් කතා කරන ආදරයක්” මට තියෙන එක ගැන මං ආඩම්බර උනාට ඕනවට වඩා කෙලින් කතා කරන එකම සමහර වෙලාවට දිරවගන්න අමාරුයි කියලා මට තේරුණේ මේන්න මේ වෙලාවෙ. අපි උන්න කාමරේ එකපාර පොඩි උනා වගේ තමයි මට තේරුණේ.

“මම ඔයාට ආදරෙයි ලිහිණි,” මනුසත් එහෙම කියලා මාව ආයෙ එයාගෙ පපුවට හේත්තු කරගත්තා.

 “ඒත් ආදරේ කියන්නේ කරපු වැරදිම ආයෙත් කරන එක නෙවෙයි ලිහිණි.”

මාව තුරුල් කරගන්න මම එයාට ඉඩ දුන්න එක ඇත්ත.

හැබැයි මගේ හිත ඇතුළේ කොහේ හරි තිබුණ හරිම වටින දෙයක් එකපාරටම කැඩිලා ගියා වගේ මට එවෙලෙ දැනුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here