කලුවර රෑ සඳක් වගේ – 9

0
957

ඊළඟ දවසේ උදේ මට දැනුණේ පුදුමාකාර සැහැල්ලුවක්. 

හැබැයි ඒ සැහැල්ලුව ඇතුළේ තිබුණේ මැරිච්ච මනුස්සයෙක් ළඟ තියෙන සීතල සයිලන්ස් එකක් වගේ දෙයක්.

මම ඇහැරුණේ එලාම් එක වදින්නත් කලින්.

 මනුසත් මගේ ළඟ තද නින්දේ. 

එයා නිදාගෙන හිටපු විදිය දැක්කම මට හිතුණේ, තමන්ගේ හිතේ තිබිච්ච ලොකු බරක් මගේ කරපිට පටවලා, දැන් එයා හරිම සැහැල්ලුවෙන් හුස්ම ගන්නවා නේද කියලා. රෑ වෙච්ච සාකච්ඡාවෙන් පස්සේ එයා හිතන්න ඇති මාව “කන්ට්‍රෝල් කරගත්තා” කියලා. ප්‍රශ්න ඉවරයි කියලා එයා හිතන්න ඇති.

මම හෙමින් ඇඳෙන් බැහැලා කුස්සියට ගියා. තේ වතුර රත් වෙනකම් මම කරාමෙ ඇරලා අත් දෙක ඒ වතුරට අල්ලගෙන හිටියා. වතුරේ සීතල මගේ ඇඟිලි පසාරු කරගෙන යද්දී මට දැනුණේ මගේ පපුව අස්සෙත් දැන් තියෙන්නෙ මේ වගේම හීතල වේදනාවක් නේද කියන එක. තනිවෙනවා කියන්නෙම මහ දරාගන්න අමාරු හීතල වේදනාවක් නේද කියන එක. විශේෂයෙන්ම කසාදයක් අස්සෙ තනිවෙන්න උනාම ඒක දරාගන්න කොච්චර අමාරු ෆීලින් එකක්ද කියලා තේරෙන්නෙ එහෙම දෙයක් වෙච්ච මනුස්සයෙක්ට විතරයි. තමන්ගෙ හස්බන්ඩ් කසාදෙ ගැන වැදගත්ම තීරණ ගන්නෙ ඒව තමන්ගෙන් අහන්නෙවත් නැතුව කියන එක, ඒ තරමටම මේ කසාදෙ අස්සෙ තමන් තනිවෙලා කියන එක මහ මූසල හීතලක් තියෙන වේදනාවක් විදියට තමයි මට තේරුණේ. මට විතරක් නෙවි ඉතින් ඕනම වයිෆ් කෙනෙක්ට හිතෙන්නෙ එහෙමයි.

මට දැනුණෙ හරියට මම මේ මාලිගාව ඇතුළෙ තනිවෙලා අතරමං වෙලා වගේ. මම හිටියෙ මනුසත්ගෙ ලෝකෙ නෙවෙයි, එයා මට පේන්න හදපු බොරු ප්‍රදර්ශන කුටියක කියලාත් මට හිතිච්ච වෙලාවක් තිබ්බා. අර වයසක මිනිහෙක් තරුණ කෙල්ලෙක්ව බැඳගෙන “මේ ඉන්නෙ මගෙ ට්‍රෝෆි වයිෆ්” වගේ කියන්න හදන හැඟීමක් මට තිබ්බෙ. හැමෝම හිතුවෙ මම හරිම වාසනාවන්තයි කියලා, ඒත් ඒ වාසනාව ඇතුළෙ තිබ්බ තනිකමේ හීතල දන්නෙ මම විතරයි.

“ඔය මේ හිරිමල් වයසෙ කෙල්ලො වයසක මිනිස්සුන්ව මුලින් දකින්නෙ මහ ඉහලට උනාට ළමයො කසාද බැන්දයින් පස්සෙ තේරේවි අපි ඕක කරගන්න එපා කිව්වෙ ඇයි කියලා. 

උඹේ වයසෙ කෙල්ලෙක්ට ඕනෙ හීන දකින්න. වැරදුණත් කමක් නෑ පපුව ඇතුළෙ තියෙන ඒ හීන පස්සෙ දුවන්න ඕනෙ කාලෙ මේක. ඒත් ඔය මනුස්සයා එහෙම නෙවෙයි. ඒ මනුස්සයා ඔය හැමදේම කරලා පහු කරලා ආපු මිනිහෙක්. ඒ මිනිහට ඕනෙ එයා පහු කරපු කරදර ආයෙ පාරක් උඹ එක්ක පටලවගන්න නෙවෙයි. එයාට ඕනෙ එයා හදාගත්ත එයාගෙම කියලා ලෝකෙක, උඹව නිකන් ලස්සන සෙල්ලම් බඩුවක් වගේ එක තැනක තියාගන්න විතරයි.

ඒ මනුස්සයා තීරණ ගනීවි, නීති දමාවි. උඹේ මූණටම උඹට දැනෙන්නෙ නැති වෙන්න ලස්සනට ඒව කියාවි. හැබැයි උඹේ හිතට මොකක්ද ඕනෙ කියලා ඒ මනුස්සයා කවදාවත් උඹෙන් අහන්නෙ නෑ. මොකද එයාගෙ හිතේ උඹ කියන්නෙ තීරණ ගන්න පුළුවන් ගෑනියෙක් නෙවෙයි. ඒ මනුස්සයා කියන වචනෙ අහගෙන ඒ මනුස්සයා යටතේ හුරතල් වෙවී ඉන්න ඕනෙ පොඩි එකෙක් විතරයි. හරියට නිකන් සෙල්ලම් බඩුවක් වගේ.

කවදා හරි දවසක උඹට උඹේම කියලා හීනයක් ඕන වෙච්ච දවසට, උඹේම කියලා ලෝකයක් ඕන වෙච්ච දවසට ඔය උඹ පර්වතයක් වගේ පේන්න ඉන්න මනුස්සයා උඹේ ඔළුව උඩටම කඩාගෙන වැටේවි. එදාට උඹට පණ බේරගෙන දුවන්නවත් පාරක් ඉතුරු වෙන්නෙ නෑ කෙල්ලෙ. උඹේ තරුණකමයි, ඉගෙනීමයි, හීනයි ඔක්කොම නැති නාස්ති කරගෙන, උඹට වෙන්නෙ හුස්ම හිරවෙවී ඔය පර්වතේට යට වෙලා ඉන්න තමයි.

කවදා හරි උඹට තනිවෙන්න වෙච්ච දවසක උඹේ කියලා ඉතුරු වෙන්නෙ උඹේ අත් දෙකෙන් හම්බ කරගත්ත දෙයක් විතරයි. ඔය මනුස්සයා උඹේ ලෝකෙම වහලා දාන්න හදන්නෙ උඹට ආදරේට නෙවෙයි, උඹව එයාට ඕන විදියට නටවන්න ලේසි හින්දා. උඹ ඉගෙන ගත්තොත්, උඹ රස්සාවකට ගියොත්, උඹට ලෝකෙ ගැන දැනුමක් අවබෝධයක් ලැබුණොත් උඹ එයාගෙන් ප්‍රශ්න කරයි කියලා ඒ මනුස්සයා දන්නවා. අන්න ඒකයි උඹව ඔය හිරගෙදරම තියාගන්න හදන්නෙ. මතක තියාගනින්, උඹට ඉගෙනීමක් තියෙනවා නම්, උඹේම කියලා ආදායමක් තියෙනවා නම්, උඹට ඔය පර්වතේ යට නොවී හිටගන්න හයියක් තියෙනවා. ඒත් උඹ මේ හැමදේම අතෑරලා ඔය මනුස්සයා පස්සෙම ගියොත්, කවදා හරි උඹට එළියට බහින්න හිතුණත් උඹට යන්න තැනක් නැති වෙනවා නේද. උඹට උඹවම නැති වෙලා ඉවරයි කියලා එදාට උඹට තේරේවි. අන්න එදාට උඹ විඳින දුක දරාගන්න ඔය මාලිගාවෙ තියෙන කිසිම සැප සම්පතකට බැරි වේවි දුවේ.” කියලා අම්මා කිව්ව කතන්දර ඇත්තක් බව ඒ වෙද්දි මට තේරුම් ගිහින් උන්නේ.

මම සෙකන්ඩ් වයිෆ් කියන නමත් එක්ක ජීවත් වෙන්න ඉගෙනගෙන හිටියේ හරියට මිනිස්සු තමන්ගේ ඇඟේ තියෙන තුවාල කැළලක් එක්ක ජීවත් වෙනවා වගේ.

ඔයා ඒක නිතරම අල්ලන්න යන්නෙ නෑ. කවුරුත් ඇහුවොත් මිසක් ඒ ගැන කතා කරන්නෙත් නෑ. හැබැයි ඒක තියෙන තැන ගැන ඔයා හැම තිස්සෙම දන්නවා. එහෙම දෙයක් තියෙනවා කියලත් ඔයා දන්නවා

මේ ගේ ඇතුළේ මම දෙවැනියා කියලා මට කෙළින්ම මතක් කරලා දෙන කිසිම දෙයක් තිබුණේ නැති විත්තිය ඇත්ත. බිත්තිවල මනුසත්ගෙයි භානුකීගෙයි මඟුල් පින්තූර එල්ලලා තිබ්බෙ නෑ. අහම්බෙන්වත් එයාගේ නම කියන්නවත් කවුරුවත් මේ ගෙදර නෑ. ඒත් හැම කබඩ් එකකම, හැම බිත්තියකම, හැම ටයිල් කැටේකම තිබ්බෙ මට කවදාවත් අයිති කරගන්න බැරි හරිම සයිලන්ට් හිස්ට්‍රි එකක්. 

හරියට මම ඉන්නෙ කවුරුහරි බාගෙට කියවලා අතෑරපු පොතක් අස්සෙ වගේ. කතාව පටන් අරන් තිබ්බෙ වෙන කෙනෙක්, මම කරන්නෙ ඒකෙ මැද ඉඳන් පිටු පෙරළන එක විතරයි. මම මේ ගෙදරට මොන අලුත් බඩුව ගෙනාවත්, අන්තිමේදි ඒව පරණ වෙලා එකතු වෙන්නෙ භානුකී දාලා ගිය ඒ පරණ මතකයන් අස්සටමයි.

“ගෑනියෙක් තමයි ගෙදරක සිරියා කාන්තාව” කියලා මිනිස්සු කිව්වට භානුකී කියන සිරියා කාන්තාවගෙ හොල්මන තාම මේ ගේ අස්සෙ හුස්ම ගත්ත හන්දා මං කලේ එයා හොල්මන් කරපු ඒ හිස් අවකාශෙ පාවිච්චි කරන එක විතරයි.

වෙනදට නම් මම දවල්ට කන්න වෙනම උයාගන්නෙ නෑ. මනුසත්ට උදේ ගෙනියන්න ලෑස්ති කරපුවයින් ටිකක් ඉතුරු කරගෙන ඒක රත්කරගෙන දවල්ට කෑවා මිසක්ක මනුසත් නැති ගෙදරක රස මසවුළු හදන් කන්න උවමනාවක් උනන්දුවක් මට තිබ්බෙ නෑ. ඒ උනාට එදා ඔය දරුවෙක් ගැන කතාව කතා කරයින් පස්සෙ නම් මම උන්නෙ දවාලෙ කන්න හොඳට එලෝලු දෙකකුයි මසුයි එක්ක බත් හදාගෙන. 

“මම නිකන් මෙතන මෝඩි වගේ මිනිහටම පුදාගෙන ඉද්දි මනුසත් උනත් හිතනවා ඇති මාව නිකන් පාගලා දාන්න පුළුවන් කියලා. කොහොමත් ඔය කොළඹ උන් හිතන්නෙ මේ ගමේ ඉඳලා ආව අපිව ඕන තරම් එහෙම හිතුමනාපෙ පාගලා දාන්න පුලුවන් කියලනෙ, අද ඉඳන් නම් මං ඔය ගොං ආතල් ගන්නෙ නෑ. අඩුම ළමේක් හදලා, මාව තමන්ගෙ කසාද ගෑණි කියලා මනුසත්ට පිළිගන්න බැරි නම් මම මිනිහගෙ සල්ලි වලින් හොඳට කාලා ඇඳලා හරි ඉන්නවා” කියලා හිතාගෙන මම එහෙම බත් කාලා අත හෝදගෙන ෆ්‍රිජ් එකෙන් එදා මනුසත් ළමයින්ට කන්න ගෙනාපු අයිස් ක්‍රීම් වලින් ටිකක් බෙදාගන්න යද්දි තමයි ගෙදර බෙල් එක රින්ග් වෙනවා ඇහුණෙ.

මම ගවුම් වාටියෙන් අත් දෙක පිහිද පිහිද තමයි දොර අරින්න ගියේ. 

ඒ දොර ඉස්සරහා එයා උන්නෙ මං එයාව මුලින්ම දැක්ක දවසෙ දැක්ක විදියටමයි. එයාට තිබ්බෙ මහා ලොකු ලස්සනක් නෙවෙයි හැබැයි දැක්කම ඕනම කෙනෙක්ගෙ හිත දිනාගන්න පුලුවන් විදියෙ, හරිම subtle ආඩම්බරයක් ගෑවිච්ච, වැදගත් පෙනුමක්. 

ඇත්තටම එහෙම කෙනෙක් දිහා ඇස් දෙක ඇරලා කෙලින් බලන්න පුලුවන්කමක්, කොන්ෆිඩන්ස් එකක් මට තිබ්බෙ නෑ.

මම එයා දිහා බැලුවේ හරිම අසරණ විදියට

“මනුසත් ගෙදර නෑ නේද ලිහිණි?”

එයා ඒක ඇහුවේ හරියට මනුසත් ගෙදර නැති බව කලින්ම දැනගෙන හිටියා වගේ. එයාගේ කටහඬේ තිබුණේ මාව නෝණ්ඩි කරනවා වගේ හීන් හිනාවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here