මතකයක සේයා – 58

0
1194

මන්දාකිණිව පෞද්ගලික රෝහලක් වෙත ගෙන යාමට වෛද්‍යවරුන් ගේ අනුමැතිය ලැබුණේ නැත.අනතුරෙන් පැය ගණනාවකට පසුවත් ඇය පියවි සිහියට නොපැමිණීම හේතුවෙන් ඇයව තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා ගත යුතු බවට වෛද්‍යවරුන් විසින් ධර්මරත්නයට සහ පුෂ්පාට දැඩි ලෙස අවවාද කර තිබිණි. කුමන තත්ත්වයක් යටතේ වුවද තම දියණියගේ ජීවිතය අනතුරේ හෙළීමට ධර්මරත්න යුවළ අකමැති වූ නිසා ලවන් බලාපොරොත්තු වූ පරිදි ඔහුට ඔහුගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැත.

මන්දාකිණි පියවි සිහියට පැමිණෙන ලද්දේ අළුයම් කාලයේදීය. එහෙත් වචනයකුදු හෝ කතා කිරීමට තරම් තත්ත්වයක ඇය නොවූ බැවින් දැඩිසත්කාර ඒකකයට ඇතුළු වී ඇයව මුණගැසීමට අවසර ලැබුණේ පුෂ්පාට පමණි.ඒ අවසරය ඇය හට ලැබුණේ ද වෛද්‍යවරුන් හට බොහෝ වේලාවක් පෙරැත්ත කිරීමෙන් අනතුරුවය.

දැඩි සත්කාර ඒකකයේ සයනය මත යන්ත්‍ර ගණනාවකට මැදිව ආයාසයෙන් දෑස් විවර කර ගෙන හුන් මන්දාකිණි පුශ්පා සයනය අද්දරට විත් හඬා වැටෙමින් කතා කිරීමට ගන්නා ලද උත්සාහය දුටුවද කිසිත් නොකියා නිහඬව බලා උන්නාය. තමා දෑස් විවර කරන ලද්දේ කොපමණ වේලාවකට පමණ පසුව දැයි කියා කිසිදු දහසක් නොවූ මන්දාකිණි තමා තවමත් ජීවතුන් අතර සිටීම පිළිබඳව කම්පාවෙන් නැවතත් දෑස් පියා ගත්තාය.

දැඩි සත්කාර ඒකකයය තුළට ඇතුළු වීමට අවසර ලැබුවද මන්දාකිණි සමග වචනයක් හෝ කතා කළ නොහැකි වීමේ පරාජිත හැඟීමෙන් පුෂ්පා පිටතට පැමිණියේ ශෝකයෙනි. 

” දුව මොනාද කිව්වේ පුෂ්පා ? ” 

ධර්මරත්න කලබලයෙන් ඇසුවේය. ඒ වන විට සිරිවර්ධන යුවළද රෝහලට පැමිණ සිටි අතර ඔවුන් දෙදෙනාද මන්දාකිණි වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීම සඳහා සූදානම් වී සිටියෝය.

” දුව කතා කළේ නෑ ධර්මේ “

ධර්මරත්න බලාපොරොත්තු සුන් වූ දෑසින් පුෂ්පා තවත් යමක් කියන තුරු බලා උන්නේය. එහෙත් පුෂ්පා වචනයක් හෝ පිට නොකර ඉවත බලා උන්නේ තම එකම දියණිය තමා සමග කතා කිරීම ප්‍රතික්ෂේප කළේ ඇය තම දෙමව්පියන් පිළිබඳව කලකිරීමෙන් පසුවන බව අනුමාන කළ නිසාය.

” කොහොම හරි මන්දාකිණි ට සිහිය ආවනේ “

ලවන් පැවසුවේ සියල්ලන්ටම ඇසෙන පරිදිය. එහෙත් පුෂ්පා ගේ හදවතේ වූ බර පහව නොගිය අතර ඇය උන්නේ මන්දාකිණි ජීවිතය බේරා ගෙන තිබුනද ඇයව දැනට මත් අහිමි වී ඇතැයි යන හැඟීමකිනි.

” ආන්ටි මන්දාකිණි ගේ හෑන්ඩ් බෑග් එකේ අපාට්මන්ට් එකේ කී එක තියෙනවා . ඔයාලා එහෙට ගිහින් රෙස්ට් කරන්න.අපි ඔක්කොම මෙතන හිටියා කියලා තේරුමක් නෑනේ “

ලවන් අත් ඔරලෝසුව දෙස බැලූ අතර එහි වේලාව අළුයම දෙකයි තිහ ලෙස සටහන් වී තිබුණි. අනතුරුව සිරිවර්ධනද ඒ අදහසට එකඟ වූ නමුත් ධර්මරත්න සහ පුෂ්පා රෝහලෙන් පිටව යාමට එකඟ වූයේ නැත.

” මං මෙතන ඉන්නවනේ අංකල්. මොකක් හරි හදිස්සියක් වුණොත් මම කෝල් කරන්නම්. අන්කල් ලා ගිහින් උදේ වෙලා එන්න ” 

” පුතා දැන් හවස ඉඳලම මෙතන නේ ? “

ධර්මරත්න විමසුවේ දෙගිඩියාවෙනි. තම දියණියව රෝහල් සයනයක් මත තනිකර දමා නිවසට යාමට හිත හදාගත නොහැකි වුවත් තමා සහ බිරිඳ දැඩිසත්කාර ඒකකයේ දොරටුව ඉදිරිපිට සිටියා කියා ඇති වන යහපතක්ද නැත.

” මන්දාකිණි මේ වගේ සිටුවේෂන් එකක ඉන්න කොට මට එයාව මෙතනින් දාලා යන්න හිත හදා ගන්න බෑ අංකල්. ඔයාල ගිහින් එන්නකෝ”

ලවන් සිනහවක් නොමැතිවම පැවසුවේය. ධර්මරත්න සැනසිලිදායක සුසුමක් හෙලා ලවන් අසලට පැමිණ ඔහු ගේ දකුණතින් අල්ලා ගත්තේ අසල සිටි සිරිවර්ධන සහ ඔහුගේ බිරිඳ දෙසද බැල්මක් හෙලමිනි.

” මගේ දුව ගෙ මොකක්දෝ වාසනාවකට ඔයාව හම්බ වුණා පුතා “

ලවන් ව්‍යාජ සිනහවක් පෑවේය. අනතුරුව ධර්මරත්න දැඩිසත්කාර ඒකකයේ කවුළුවෙන් , සයනය මත දෑස් පියා හිඳින මන්දාකිණි දෙස බලා පුෂ්පාව පෙරටු කොට ගෙන ඉන් මෑත්වී විදුලි සෝපානය දෙසට පියවර තැබුවේ සිරිවර්ධන හටද පැමිණෙන්නැයි පවසමිනි.

” මම හිතුවට වඩා උඹට යමක් කමක් කර ගන්න පුළුවන්නේ ” 

සිරිවර්ධන ඇසෙන නෑසෙන ගානට ජයග්‍රාහී සිනහවකින් යුතුව ලවන් හට එසේ පවසා බිරිඳ සමඟ ධර්මරත්න යුවළ වෙත එක් වූයේය. ඒ දෙස බලා සිටි ලවන් අකලංක සමග නැවතත් වාඩි වූයේ දැඩි වෙහෙසකර බවකින් යුතුවය.

” මේකි නිසා අපිට කන්න වෙලා තියෙන කට්ටක් බලපන්කෝ “

ලවන් කෝපයෙන් පැවසුවේ සාක්කුවේ වූ ජංගම දුරකථනය පිටතට ගෙන පරීක්ෂා කරමිනි. වැඩිහිටියන් ඉදිරියේ කරන්නට සිදු වූ රංගනය සාර්ථක වුවද පැය ගණනාවක් පුරා රෝහලේ රැඳී සිටීමෙන් ලවන් උන්නේ අධික ලෙස වෙහෙසට පත් වීය.

කෛලාශ් නිවසට වී නිදි වර්ජිත රැයක් ගත කරමින් උන්නේ දරා ගත නොහැකි වේදනාවකි. නිවසට පැමිණි පසුව සිදුවූ සියල්ල ඔහු ඇන්ඩ්‍රියා සමග පැවසුවේ කුඩා දරුවකු මෙන් හඬා වැටෙන අතරතුරදීය.

” නොකිව්වට එයා මට ආදරෙයි අම්මා.ඒක තමයි එයා අන්තිමට කිව්වේ. අනේ මං කොහොමද අම්මා එයාට වුනේ මොකද්ද කියලා දන්නේ නැතුව මෙහෙට වෙලා ඉන්නේ ?”

ඇන්ඩ්‍රියා උන්නේ ලවන් කෙරෙහි මෙන්ම මන්දාකිණි ගේ දෙමව්පියන් කෙරෙහිද අතිශය කෝපයෙනි.කෛලාශ් ගෙන් ලවන් පිළිබඳව අසා ඇති තොරතුරු වලට අනුව ඔහු මන්දාකිණි කෙරෙහි සැබෑ සෙනෙහසක් ඇත්තකු නොවන බව ඒ වන විටත් ඇන්ඩ්‍රියා තේරුම් ගෙන හුන් නිසා මේ මොහොතේදී කළ යුත්තේ කුමක් දැයි ඇය බොහෝ වේලාවක් කල්පනා කලේ රාත්‍රී ආහාරයද නොගෙන අලුයමද උදා වන තුරු නිදන කාමරයේ බැල්කනියට වී අහස දෙස නිසොල්මනේ බලා හිඳින තම පුතු දෙස කම්පාවෙන් බලමිනි.

” පුතා ” 

ඇන්ඩ්‍රියා කෛලාශ් ගේ නිදන කාමරයට ඇතුළු වී බැල්කනියට පිවිසෙන දොර අසල හිඳ කෛලාශ් හට ඇමතූ අතර ඔහු තිගැස්සී පිටුපස හැරී බැලුවේය. හඬා ඉදිමුනු දෑස් සහ අඳුරු වූ ඔහු ගේ මුහුණ ඇන්ඩ්‍රියා පැහැදිලිවම දුටුවේ ඔහු අසලටම ගිය පසුවය. 

” පාන්දර තුනටත් කිට්ටුයි.නිදාගන්නෙ නැද්ද පුතා ? ” 

” මං කොහොමද අම්මා සැනසිල්ලේ ඇස් දෙක පියා ගන්නේ ? ” 

කෛලාශ් ගේ හඬ බිඳී ගියේය.ඔහු මේ ආකාරයේ පීඩනයකින් සහ ශෝකයකින් පසු වෙනවා ඇන්ඩ්‍රියා දකින්නේ ජීවිතයේ පළවෙනි වතාවටය. 

” ඕන දෙයක් වෙච්චාවේ කියලා අපි හොස්පිට්ල් එකට යමුද පුතා ? ඇත්තමයි මට ඔයා ඔහොම ඉන්නවා බලා ගෙන ඉන්න බැහැ “

කෛලාශ් තම මව දෙස බැලුවේ අසරණ වූ දෑසිනි. මන්දාකිණි පෙනෙනා මානයකට හෝ යන්නට ඇගේ දෙමව්පියන් විසින්ම තහංචි පනවා තිබිය දී ඇය පිළිබඳව තොරතුරක් හෝ නැතිව මේ ගෙවෙනා කාලය අතිශය කටුකය.වේදනාකාරීය. 

” මං කොහොමද අම්මා එහෙම බලෙන් යන්නේ? “

කෛලාශ් පවසන්නේ සත්‍යයකි.මේ මොහොතේදී රෝහ‍ලේ සිදු වෙමින් පවතිනවා ඇත්තේ මන්දාකිණි ගේ දෙමව්පියන් දෙදෙනා ඇතුළු පිරිසට අවැසි දේ පමණකි. එසේ තිබියදී තම පුතුට එහි ගොස් කළ හැකි යමක් ඇත්තේ නැත. එසේ කියා ඔහු නිදි වර්ජිතව මේ ආකාරයෙන් කාලය ගත කරනවා බලා සිටියද නොහැක.

” අපි hospital එකට කතා කරලා මන්දාකිණි ගැන මොන හරි තොරතුරක් දැන ගන්න බලමු හෙට උදේට. ඊට පස්සේ බලමුකෝ පුතා මොනවද කරන්න පුළුවන් කියලා. ඔයා ඔහොම නොකා නොබී හිටියා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ පුතේ. මන්දාකිණි සනීප වෙලා එනකොට ඔයා හොඳින් ඉන්න ඕන නේද ? ” 

ඇන්ඩ්‍රියා කෛලාශ් ගේ හිස මෘදුව අත ගෑ අතර කෛලාශ් දෑස් තද කර පියා ගත්තේ ජීවිතයේ කිසිම දිනයක දැනී නොතිබුණු පීඩනය දරා ගත නොහැකිවය. තම කුසින් නොවැදුවද තමා සහ එරික් කෛලාශ් කෙරෙහි ගත් සෑම තීරණයක්ම ගනු ලැබුවේ ඔහුගේ සතුට ආරක්‍ෂා වන පරිදිය. එහෙත් මන්දාකිණි ගේ දෙමව්පියන් ක්‍රියා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටය. අවසානයේදී ඉන් ජීවිතය අනතුරකට ලඟා කර ගත්තේ ඔවුන්ගේම දියණිය වූ අතර තවමත් ඔවුන් ඒ වරද නිවැරදි කරගන්නටද සූදානම් නැත. 

” පුතා.. “

” ඇයි අම්මා? ” 

” ඔයා වෙනුවට හෙට මම හොස්පිට්ල් එක යන්නද ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here