රැය පහන් වන තුරු නිදි වර්ජිතව හුන් කෛලාශ් උන්නේ තද නින්දේය. හිස තබා හුන් කොට්ටයට මෙහායින් වූ දුරකථනය නාද වනු ඇසුනු පසුව ඔහු තිගැස්සි අවදී වූයේය. තත්පර ගණනාවකට පසුව දෑස හැර බැලූ කෛලාශ් හිස අසල නාද වන දුරකථනය අතට ගෙන බලන විට එහි සඳහන් වූයේ ” අම්මා ” ලෙසිනි. තම මව තමාගේ දුරකථනයට අමතන්නේ නිවසේ නොසිටින බැව් නිසා බව වටහා ගත් කෛලාශ් වහාම ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගත්තේය.
” අම්මා.. ඔයා කොහෙද ඉන්නේ ? “
ඇන්ඩ්‍රියා දුරකථනය කනේ තබා ගෙන තමා ඉදිරිපිට ඇති රෝහල් සයනය වැතිරී සිටින මන්දාකිණි දෙස මදහසක් ඇතිව බලා අනෙක් පසට හැරුනාය.
” හොස්පිට්ල් එකේ. මන්දාකිණි ලඟ ”
කෛලාශ් විදුලි සැරයක් වැදුනාක් මෙන් වහා නැගිට යහන මත වාඩි වුයේ පුදුමයෙනි.
” අනේ අම්මා.. එයාට කොහොමද? ”
මන්දාකිණි පිළිබඳව කුමක් හෝ තොරතුරක් දැන ගැනීමට කෛලාශ් දැඩි නොඉවසිල්ලකින් පසු වූයේය. ඇන්ඩ්‍රියා නැවත මන්දාකිණි දෙස හැරී දුරකථනය ඇගේ සවන මත තබා බලා උන්නාය.
” කෛලාශ් “
මන්දාකිණි ආයාසයෙන් මිමිනුවේ දෑස් වල පිරී තිබුණු කඳුළු අලුත් වෙමින් රූරා යද්දීය.
” මන්දාකිණි ? අනේ.. ඔයාට කොහොමද?”
” මං හොඳින්… ”
තමා බැලීමට කෛලාශ් හට පැමිණීමට නොහැකි වූයේ මන්දැයි ඒ වන විට මන්දාකිණි වටහා ගෙන උන්නාය. එහෙත් ඔහුව දුරකථනයෙන් හෝ සම්බන්ධ කර දීමට ඇන්ඩ්‍රියා මැදිහත් වීම පිළිබඳව ඇයට හදවතින්ම ස්තුතිවන්ත වෙමින් මන්දාකිණී තවත් මොහොතකට පසුව කෛලාශ් සමග වූ දුරකථන සංවාදය අවසන් කළේ ඒ වන විටත් කතා කිරීමට පවා ඇය අපහසුවෙන් පෙළෙමින් හුන් නිසාය.
” මට වැඩි වෙලාවක් මෙතන ඉන්න බැහැ පුතේ. මං ආවේ ඔයාව බලන්න තිබ්බ ඕන කමටයි, මගේ දරුවා ගෙදරට වෙලා නොකා නොබී නිදා ගන්නේ නැතුව විඳිනවා බලන් ඉන්න බැරි කමටයි.පුළුවන් වෙච්ච ගමන් මං ආපහු එනවා “
ඇන්ඩ්‍රියා මන්දාකිණි ගේ නළලත යන්තමින් සිප දැඩි සත්කාර ඒකකයෙන් පිට වූයේ එයට ඇතුළු වීමට අවස්ථාව සලසා දුන් හෙදියටද ස්තූති වන්ත වෙමිනි.
මන්දාකිණි ව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කරනු ලැබුවේ සවස් වරුවේය. ඇයව තව දුරටත් එම රෝහලේ තැබීමට ධර්මරත්න තුළ මෙන්ම සියලු දෙනා තුළද කැමැත්තක් නොවූ බැවින් ඇයව පෞද්ගලික රෝහලකට මාරු කර ගැනීමට ධර්මරත්න කටයුතු සූදානම් කලේය. ඒ සඳහා ධර්මරත්නටත් වඩා මැදිහත් වී කටයුතු කළේ ලවන් වූ අතර ඔහුට උවමනා වූයේ සියල්ලටම මූලිකත්වය ගැනීමටත් , මන්දාකිණි ව කෙසේ හෝ කෛලාශ් ගෙන් ඈත් කර තබා ගැනීමටත්ය.
පත්ව සිටි තත්ත්වය නිසා අන් අය ගේ තීරණ වලට එකඟව කටයුතු කරනවා හැරුණු කොට වෙනත් කිසිවක් කර ගැනීමට මන්දාකිණි හට හැකියාවක් නොවූ අතර ඇයව පෞද්ගලික රෝහල වෙත මාරු කර යවන අවස්ථාවේ දී පුශ්පාටත් පෙර ඉක්මන් වූ ලවන් ගිලන් රථයට නගිනු දුටු විටද මන්දාකිණි නිහඬව බලා උන්නාය.
මන්දාකිණි සමග වචන කිහිපයක් හෝ කතා කිරීමට ලැබීම සහ ඇයගේ වර්තමාන තත්ත්වය දැන ගැනීමට ලැබීම නිසා කෛලාශ් උන්නේ මද අස්වැසිල්ලක් ලබමිනි. තම මව තමාගේ හැඟීම් තේරුම් ගෙන ක්‍රියා නොකරන්නට මන්දාකිණි පිළිබඳව තොරතුරක් ලබා ගැනීම සිහිනයක් වනු ඇතැයි සිතමින් කෛලාශ් සැනසුම් සුසුම් හෙළුවේ දුරකථනයේ වූ මීනූ ගේ අංකය සොයනා අතරේය.
” මීනූ. මං කෛලාශ් “
කෛලාශ් මීනු ඇමතුවේ හදිසියේ ආ සිතිවිල්ලකට අනුවය. මන්දාකිණි හට සිදු වූ හදිසි අනතුර හේතුවෙන් ආයතනයේ කටයුතු බොහෝමයක් ඒ වන විට අඩාල වෙමින් පැවතුණු බැවින් මීනූ සවස හය වන විටත් උන්නේ කාර්යාලයේය.
” මිස්ටර් කෛලාශ්.. කියන්න ”
” මට ඔයා ගෙන් උදව්වක් ඕනේ මීනු “
තම ආයතන ප්‍රධානී මන්දාකිණි සහ කෛලාශ් අතර වූ බැඳීම මීනු ඒ වන විටත් දැන උන්නාය. ආගන්තුකයන් ලෙසින් හමු වුවද තමා සහ කෛලාශ් කුඩා කල මිතුරන් බව මන්දාකිණි මීනු හට පැවසුවේ කෛලාශ් ඇයව හඳුනා ගත් දිනයේම ය.ඉන් අනතුරුව මන්දාකිණි මුහුණ දුන් බොහෝ ගැටලු වලදී ද ඇය සමග උන්නේ කෛලාශ් බව මීනූ හට රහසක් වූයේ නැත.
” කියන්න මිස්ටර් කෛලාශ් “
” මන්දාකිණි නැති නිසා ඔෆිස් එකේ ඔයත් හිර වෙලා ඇති මීනු. ඒත්.. මේ වෙලාවේ මේ උදව්ව ඉල්ලන්න මට වෙන කෙනෙක් නෑ ”
” ඒකට කමක් නෑ මිස්ටර් කෛලාශ්. අපේ මැඩම් ගේ ගොඩක් දේවල් වලදි මිස්ටර් කෛලාශ් තමයි උදව් කරේ කියලා මැඩම් මට කියලා තියෙනවා. ඉතින් මිස්ටර් කෛලාශ් උදව්වක් ඉල්ලුවාම ඒක නොකර අරින්න බැහැනේ මට ”
මීනූ ගේ කාරුණික බව හමුවේ කෛලාශ් හට දැනුනේ තරමක සහනයකි. මන්දාකිණි ව බැලීම සඳහා රෝහලට යාමට කෙසේ හෝ අවස්ථාවක් සලසා ගන්නා තුරු ඇය පිළිබඳව තොරතුරු දැන ගැනීමට මීනු හැර වෙන මගක් ඒ මොහොතේ දී කෛලාශ් ගේ මතකයට පැමිණියේ නැත.
” මට මන්දාකිණි ගේ දැන් සිටුවේෂන් එක කොහොමද කියලා දැන ගන්න ඕනේ මීනූ. එයාව ප්‍රයිවට් හොස්පිට්ල් එකකට මාරු කරනවා කියලා අපේ අම්මා හොස්පිට්ල් එකෙන් දැන ගෙන තියෙනවා උදේ එයාව බලන්න ගිය වෙලාවේ ”
මීනු මොහොතක් කල්පනා කලාය. කෛලාශ් මේ ඉල්ලා සිටින්නේ ඉතා පහසුවෙන් ඉටු කළ හැකි උපකාරයකි.එහෙත් ඔහු හට රෝහලට යා නොහැක්කේ කුමන හේතුවක් නිසා දැයි මීනු හට වටහා ගැනීමට හැකි වූයේ නැත.
” මං දෙයක් අහන්නද මිස්ටර් කෛලාශ් ?”
” මොකද්ද මීනූ? ”
” මේ.. ඇත්තටම.. මම මෙහෙම අහන එක හරිද දන්නෙත් නැහැ. ඒත්.. මිස්ටර් කෛලාශ් මැඩම් ගැන විස්තර අහන නිසා මට අහන්න හිතුණේ “
මීනූ පැවසුවේ දෙගිඩියාවෙනි.මෙය තම ආයතන ප්‍රධානියා පිළිබඳව වන අතිශය පෞද්ගලික කාරණාවකි.
” කමක් නෑ අහන්න “
” මැඩම්ව ප්‍රයිවට් හොස්පිට්ල් එකකට මාරු කරනවා නම් මිස්ටර් කෛලාශ් ට පුළුවන්නේ ඕන වෙලාවක මැඩම්ව බලන්න යන්න. එහෙම නැත්තම්, මැඩම්ට කෝල් එකක් දෙන්න හරි , මැඩම්ගේ පේරන්ට්ස් ලාව කන්ටැක්ට් කර ගන්න හරි “
මීනූ තුළ පවතින ප්‍රශ්නාර්ථය කෛලාශ් හට හරි හැටි අවබෝධ වූයේ ඒ මොහොතේදීය.එහෙත් ඇය හට මේ මොහොතේදී කිසිවක් සැඟවිය යුතු නොවේ.
” ඔයා හරි මීනු.ඒත්, මන්දාකිණි ට ප්‍රපෝස් කරපු කෙනා.. මං එතනට එනවට එච්චර කැමති නෑ මං හිතන්නේ.. ඒකයි.මට.. මන්දාකිණිට මුකුත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන්න එයා ගැන විස්තරයක් බලා ගන්න ඕනේ “
මීනූ හට කෛලාශ් කෙරෙහි ඇති වූයේ සංවේගයකි. තම ආයතන ප්‍රධානියා වූ මන්දාකිණි හට දෙමාපියන් විසින් විවාහ යෝජනාවක් ගෙන විත් තිබෙන බව දැන ගන්නට ලැබුණේ දින ගණනාවකට පෙර එම තැනැත්තා ආයතනයට පැමිණි බවට ආයතනයේ සේවකයන් අතර පැතිර ගිය කතා බහට පසුවය. පසුගිය කාලය පුරාවට මන්දාකිණි සමඟ ඉතා ලඟින් ඇසුරු කල කෛලාශ් මේ මොහොතේදී පසු බැස සිටින්නේ එම පුද්ගලයාගේ යම් බලපෑමක් නිසා විය යුතු බව මීනු අනතුරුව අනුමාන කළාය.
” මට දැන් තමයි හරියටම තේරුනේ මිස්ටර් කෛලාශ්. කොහොමත් මට මේ වැඩත් එක්ක මැඩම්ව බලන්න යන්න වෙනවනේ. මං එතකොට මොන හරි විස්තරයක් දැනගෙන මිස්ටර් කෛලාශ් ට ඉන්ෆෝම් කරන්නම් “
” අනේ තැන්ක් යූ මීනු. ඔයා මට මේ වෙලාවේ කරන්නේ මට වචන වලින් තෑන්ක් යූ කියලා ඉවර කරන්න බැරි උදව්වක්. අනේ කොහොම හරි මන්දාකිණි ව බලා ගන්න මීනූ. මොනව හරි කෙරෙන්න තියෙනව නම් මට ඒක කියන්න”
කෛලාශ් හට දැනෙමින් තිබුණේ අප්‍රමාණ වූ සැනසීමකි. තම මව පැවසූ ආකාරයට මන්දාකිණි සම්පූර්ණ සුවය ලැබීමට තව බොහෝ කාලයක් ගත වනු ඇත. තමාට සිදුවන්නේ ඒ කාලය ගෙවී යනතුරු කෙසේ හෝ බලා හිඳීමය.
” මට තව උදව්වක් ඕනේ මීනු “


