මතකයක සේයා – 61

0
1216

මන්දාකිණි සියල්ලන් ඉදිරියේම අසරණභාවයට පත් වී උන්නේ ඇයව පෞද්ගලික රෝහලකට මාරු කිරීමෙන් අනතුරුව දවසේ වැඩි වේලාවක් ලවන් ඇය අසල රැඳී සිටීම නිසාය. මන්දාකිණි බොහෝ වාරයක් ඇගේ ජංගම දුරකථනය ඉල්ලා සිටියද  ලවන් සඳහාද නිදහසට කාරණාවක් සූදානම් කර ගෙන උන්නේය.

” ඔයාට පුළුවන් තරම් රෙස්ට් කරන්න කියලා තියෙන්නේ මන්දාකිණි. ගෙදර ගියාම පුළුවන්නේ ඕන හැටියේ ෆෝන් එක බල බල ඉන්න. ඩොක්ටර් කිව්වේ ඔයාට කාලා බීලා හොඳට නිදාගන්න කියලා “

ලවන් මන්දාකිණි ගේ දෑස් මඟ හරිමින් පිළිතුරු දුන්නේය. මන්දාකිණි මේ ජංගම දුරකථනය ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම කෛලාශ් හට ඇමතුමක් ලබා දීමට බව අනුමාන කළ බැවින් ලවන් උන්නේ එවැනි අවස්ථාවක් උදා වීම වළක්වා ගන්නටය.

” මං ෆෝන් එක ඉල්ලන්නේ බල බල ඉන්න නෙමෙයි ලවන්. මගේ ක්ලයන්ට්ස්ලා කෝල් කරනවා ඇති. මට මගේ බිස්නස් එකත් එක්ක විහිළු කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි මේක “

” අයියෝ මේ ෆෝන් එකක් නිසා නිකම් බොරුවට වාත වෙන්න එපා මන්දාකිණි. බිස්නස් ගැන ඔයාට වඩා හොඳට මම දන්නවා. අනිත් එක ඒක ගැන බලන්න ඔයාගේ මැනේජර් ඉන්නව නේ. ඔයා මේ පාඩුවේ ඉන්නේ නැතුව බොරුවට ෆෝන් එකක් හින්ද නහින්න හදනවා “

බිඳී ගිය අතක් සහ ශරීරයේ තවත් තැන් කිහිපයක ඇති තුවාලද , ඒවායේ වේදනාව ද සහිතව හුන් බැවින් මන්දාකිණි තව දුරටත් ලවන් සමග වාද කිරීමට වෙහෙසුනේ නැත.එහෙත් තම ජීවිතය පාලනය කිරීමට ගන්නා උත්සාහය හමුවේ ඇය පසු වූයේ ඔහු කෙරෙහි දැඩි කෝපයකිනි.

පුශ්පා රෝහල් කාමරයට ඇතුළු වූයේ ඒ මොහොතේදීය. මන්දාකිණි රෝහල් සයනය මත වාඩි වී ඉවත බලා ඉන්නේ තමාගේ පැමිණීමට පෙර කුමක් හෝ සිදු වී යැයි වට හාගන්නට ඇයට අපහසු වූයේ නැත.

” ඔයාට දැන් කොහොමද පුතේ ? ” 

පුශ්පා නිවසින් ගෙන එන ලද මන්දාකිණි ගේ ඇඳුම් කිහිපයක් සහිත බෑගය රෝහල් කාමරයේ වූ අල්මාරිය තුළින් තබා එහි දොර වසා දැම්මාය.

” අම්මා මගේ ෆෝන් එක කෝ ? ” 

පුශ්පා උරහිසේ රඳවා ගෙන හුන් අත් බෑගය අතට ගනිද්දීම ලවන් උගුර පාදමින් වාඩි වී හුන් අසුන මතින් නැගී සිටියේය.

” ආන්ටි මං හිතන්නේ දැම්ම එයාට ඕක ඕන වෙන එකක් නැහැ.මොකද ඩොක්ටර් කිව්වෙ රෙස්ට් කරන්න කියලා. මේ වෙලාවේ ඔය ෆෝන් එක අතට අරන් මෙයා බිස්නස් ප්‍රශ්නත් ඔලුවට දාගත්තොත් එහෙම රිකවර් වෙන එක කල් යන එකයි වෙන්නේ “

පුශ්පා ලවන් දෙස බලා ඒ අදහස පිළිගත්තාක් මෙන් මන්දාකිණි දෙස බලා අත් බෑගය පසෙකින් තැබුවාය. මන්දාකිණි තුල වූ කෝපය දෙගුණ තෙගුණ වූයේ ලවන් ගේ කීමට අවිවාදයෙන්ම තම මවද එකග වූ නිසාය. මේ ආකාරයට තමා ගේ ජීවිතයේ කුඩා දේවල් පවා පාලනය කරන්නට කිසිවෙකුටත් ඉඩ තැබිය නොහැක. අනෙක් අතට තමා මේ මොහොතේදී සිටින්නේ බරපතල තත්ත්වයක නොවන නිසා ජංගම දුරකථනය යනු සුවපත් වීමට ඇති බාධාවක් නොවේ.

” ලවන් මේ ? තමුසේ තමුසෙගේ සීමාවෙ ඉඳගෙන වැඩ කළොත් හොඳයි. තමුසෙ බිස්නස් කරන විදිහට නෙමෙයි මම බිස්නස් කරන්නේ. අම්මා මේ. ඔයාටත් ලැජ්ජ නැද්ද එක එකා කියන විදියට වැඩ කරන්න ? කරුණාකරලා මගේ ෆෝන් එක මට දෙන්න.මොන විකාරයක්ද මේක? “

මන්දාකිණි හැකි තාක් වෙර යොදා කෑ ගැසූ අතර ලවන් මෙන්ම පුෂ්පාද ඇය දෙස බලා උන්නේ පුදුමයෙනි. මන්දාකිණි ගේ හඬට තිගැස්සුණු පුෂ්පා රෝහල් සයනය වෙත දිව ආවේ අපහසුවෙන් ඒ මත වාඩි වී කෝපයෙන් පුපුරන දියණියව සන්සුන් කිරීමටය.

” මොකක්ද මන්දාකිණි ඔයාට වෙලා තියෙන්නේ මේ? ඔයාට ඔහොම කෑ ගහන්න හොඳද?”

පුශ්පා මන්දාකිණි ගේ වම් උරහිස මත අත තැබූ අතර ඇය එය වේගයෙන් ගසා දැමුවාය.

” එතකොට ඕගොල්ලන්ට හොඳයිද මට මෙහෙම කරන්න? මාව මේ හිර කූඩුවක දාලා වගේ ඔය කීපදෙනා ඇරුනහම වෙන කිසි කෙනෙකුටත් එන්න නොදී ,අඩුම ගානෙ මගේ ෆෝන් එකවත් අතට නොදී ඕගොල්ලෝ මේ කරන වැඩේ තේරුම මොකක්ද ? ඒකත් මේ කොහේවත් ඉන්න මිනිහෙක් කියන දේ අහලා?”

” මන්දාකිණි .. ඔයා කලබල වෙලා ඉන්නේ..පොඩ්ඩක් කාම් ඩවුන් වෙන්න ” 

ලවන් හදවතේ බුර බුරා ඇවිලෙන කෝපය ආයාසයෙන් යටපත් කර ගෙන අතිශය ඉවසිලිවන්ත තරුණයකුගේ භූමිකාව ඉදිරිපත් කරමින් රෝහල් සයනය වෙත ආවේය.

” තමුසෙ තව එක අඩියක් වත් ඉස්සරහට එන්න එපා. තමුසේ එදා ඇවිල්ලා මගේ ඔළුව විකාර වෙන දේවල් කියපු හින්ද තමයි මේ සේරම උනේ. ඇත්තමයි මට තමුසෙව මෙතන දකින කොට සනීප වෙන්න නෙමෙයි මැරිල යන්න හිතෙන්නේ “

මන්දාකිණි වෙව්ලමින් ඉවත බලා ගත්තාය. ඇගේ කම්මුල හරහා පහරක් ගසන්නට තරම් සිතිවිල්ලක් සිත තුළ ඇති වෙමින් තිබුනද පුශ්පා ඉදිරියේ මන්දාකිණි හට වචනයක් හෝ කිව නොහැකි බැවින් ලවන් තවදුරටත් නිහඬව බලා උන්නේය.

” ඔයා ඔහොම කතා කරන එක වැරදියි පුතේ.මේ දවස් ටිකේ ලවන් ඔයා හින්දා සෑහෙන්න මහන්සි වුණා. ඔයා ICU එකේ ඉන්නකොට අපිටත් වඩා එතන නිදි මැරුවෙ ලවන් “

පුශ්පා ලවන් දෙස ශෝකයෙන් බැලූ අතර ලවන් ඇයට පෙනෙන්නටම දිගු සුසුමක් හෙලා රෝහල් කාමරයෙන් පිටතට පැමිණියේය.

” මට තේරෙන්නෙ නෑ අම්මා ඔයාලා මේ මිනිහගෙ කපටි කම් වලට මෙච්චර රැවටිලා ඉන්නේ ඇයි කියලා. ඔය මනුස්සයා මට ඇති ආදරයක් නැහැ “

” ඔයා කොහොමද මන්දාකිණි එහෙම කියන්නේ? අපි නේ දැක්කේ ඒ ළමයා පහුගිය ටිකේ ඔයා වෙනුවෙන් කරපු දේවල් “

මන්දාකිණි එවර පුෂ්පා දෙස බැලුවේ උපහාසාත්මක සිනහවක් ඇතිවය. කෛලාශ් ගේ පැමිණීම වළක්වන මහා බැම්ම ලවන් බව ඒ වන විටත් මන්දාකිණි හොඳාකාරයෙන්ම දැන හුන් නිසා ලවන් හට කිසිදු බුරුලක් ලබා නොදීමට ඇය තරයේම සිතා ගෙන උන්නාය.

” හරි අම්මා මට මේක කියන්න? කවුද කෛලාශ් ට හොස්පිට්ල් එකට එන්න නොදෙන්නේ? මට මෙච්චර දෙයක් වෙලා තියෙද්දි එයා නෑවිත් හේතුවක් තියෙනවා කියලා මම හොඳටම දන්නවා “

ඇන්ඩ්‍රියා තමා බැලීමට පැමිණි බව සඟවමින් මන්දාකිණි මෙතෙක් වේලා ඇසීමට බලා ගෙන හිඳී ප්‍රශ්නය පුෂ්පා වෙත ඍජුවම ඉදිරිපත් කළාය. 

” ඔයා එතකොට මේ ගිරිය කඩාගෙන කෑ ගහගෙන නටන්නේ කෛලාශ් ට මෙතනට එන්න බැරි එකටද? ” 

තම දියණියගේ හිතුවක්කාර හැසිරීමට සැබෑම හේතුව කෛලාශ් වන්නට ඇතැයි පුශ්පා හට වැටහෙන්නට පටන් ගත්තේ අනතුරුවය. මන්දාකිණි අනතුරට ලක් වූ දිනයේ රෝහලේදී කෛලාශ් ව මුණ ගැසුණු විට ධර්මරත්න ලවන් ගේ දෙමව්පියන් ඉදිරියට දමා කෛලාශ් ගේ පැමිණීම නතර කර දැමුවද මන්දාකිණි පසුගිය දින කිහිපය පුරාවටම ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙන් හිදින්නට ඇත. එම අපේක්ෂාව බිඳ වැටී ඇති බැවින් ඇය කෝපයට පත් වී පෙරටත් වඩා ලවන් ව ප්‍රතික්ෂේප කරමින් සිටියි. ලවන් ගේ දෙමව්පියන් මන්දාකිණිගේ මේ හැසිරීම පිළිබඳව දැන ගතහොත් සිදු වන්නේ තවත් බොහෝ ගැටලු ඇති වීමය.

” මං අහපු දේට ඔයා උත්තර නොදෙන්නේ ඔයා මේ ලවන්ට බනින්නේ කෛලාශ් හින්දා නිසානෙ? ” 

පුශ්පා නැවත ඇසුවේ ඉවත බලා ගෙන සිටින මන්දාකිණි ගෙනි. මන්දාකිණි තොල්පට සපා ගෙන ඒ ඉරියව්වෙන්ම හිඳියා මිසක පුෂ්පා අසනා කිසිවකට පිළිතුරු දීමට ගියේ නැත.

” ඔයා හදන්නේ අර මිනිස්සු ඉස්සරහ මටයි තාත්තටයි ලැජ්ජ කරන්නද මන්දාකිණි? ඒ මිනිස්සු ඔයා වෙනුවෙන් මෙච්චර දේවල් කරල තියෙද්දි ඔයා ඒ ළමයට බැනලා මෙතනින් එළව ගත්තා කියලා දැන ගත්තොත් එහෙම ඔක්කොටම වඩා ඔයාට බැනුම් අහන්න වෙන්නේ තාත්ත ගෙන් “

” එහෙම බැනුම් අහන එක සැපයි මේ වගේ ජරා කපටි මිනිහෙකුට රැවටෙනවට වැඩිය “

මන්දාකිණි බිඳී ගිය දකුණත අපහසුවෙන් හසුරුවා ගනිමින් සයනය මත වැතිරුණාය. තමා නොමැති කාර්යාලයේ වැඩ අධික බව නිසා මීනූ ට තවමත් රෝහලට පැමිණීමට අවස්ථාවක් නොලැබුණු නිසා ඇය පැමිණි විගස කෙසේ හෝ ඇගේ දුරකථනයෙන් කෛලාශ් ඇමතීමට හිත හදා ගනිමින් මන්දාකිණි දෑස් පියා ගත්තාය.

රෝහල් කාමරයේ දොර වේගයෙන් විවෘත වූයේ ඊළඟ තප්පරයේය.

” මොකක්ද මෙතන වෙන්නේ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here