කලුවර රෑ සඳක් වගේ – 13

0
164

“මහ ලොකුවට උඩ පැනගෙන කරගත්ත කසාදෙ අස්සෙ උඹ ඉන්නෙ සන්තෝසෙන්ද කියලා මං අහන එක වරදක් වෙන්න පුළුවන්, ඒ උනාට මට එහෙම අහන්නෙ නැතුව ඉන්න බෑ බං. මගේ හොඳම යාලුවෙක් වෙලා එක බෝඩිමේ උන්න මට උඹ දැන් කතා කරන්නෙ නැත්තෙ සමහරවිට මනුසත් සර්ව කසාද බැඳගත්තයින් පස්සෙ උඹට හිතෙනවද දන්නෙ නැනෙ මං වගේ කෙනෙක්ට කතා කරලා තේරුමක් තියේවි කියලා” උෂානි කියද්දිත් ඇත්තටම මං උන්නෙ මගෙන්ම අහන ගමන් මං සතුටෙන්ද කියලා.

උෂානි ඒක කිව්වෙ මට කිණ්ඩියකට නෙවෙයි කියලා මම දැනගෙන උන්නට ඒ වචන මගේ හිතේ පෑරි පෑරි තිබ්බ තුවාලයකට ලුණු දැම්මා වගේ තමයි මට දැනුණෙ. 

මේ මහ විසාල ගෙදර, අතට පයට හැමදේම තියෙන මේ ගෙදර මං හොයන සතුට තිබුණද කියන එක මම කල්පනා කරා.

“ඇයි උඹ නිකන් එහෙම දෙයක් ඇහුවෙ?” කියලා මම ඇහුවෙ උෂානීගෙ ප්‍රශ්නෙ එහෙම හරි මගෑරගන්න විදියක් මට තියෙවිද කියලා කල්පනා කරන ගමන්.

“මං එහෙම දෙයක් ඇහුවෙ ඉතින් බං උඹ කසාද බැන්දයින් පස්සෙ කිසිම සද්දයක් බද්දයක් නැති වෙච්ච හන්දා. මොනාහරි ප්‍රශ්නයක්ද කියන එක යාලුවෙක් විදියට හොයලා බලන්න ඕනනෙ”

“ප්‍රශ්න නැති කසාද තියෙනවද මේ ලෝකෙ කියලා ඉස්සරවෙලා උඹ මට කියපංකො” කියද්දි මම ආයාසයෙන් මගේ කට හඬ අස්සට පරණ පුරුදු ලිහිණිගෙ වයිබ් එක අරගෙන එන්න හැදුවට මම ෆේල් වෙලා කියලා මට තේරුණේ උෂාණි ඊළඟට කිව්ව වචන එක්ක.

“ප්‍රශ්න නැති කසාද නැති විත්තිය මම දන්නවා. හැබැයි ලිහිණියො එකපාර කසාද බැන්ද පරක්කුවට යාලුවො එක්ක කතා නොකර, ලෙක්චර්ස් නෑවිත් ඉන්න, උන්නද මලාද කියලා කියන්න බැරි ලෙවල් එකෙන් සයිලන්ස් වෙන එක ටිකක් ලොකු ප්‍රශ්නයක්නෙ නේද? උඹ හිතාගෙන ඉන්නෙ අපි ඉස්සර වගේම තවමත් මෝඩ කෙල්ලො කියලද? උඹේ කටහඬේ තියෙන්නෙ මහා පරණ වෙච්ච හෙම්බත් ගතියක් බං. අලුතෙන් කසාද බැන්ද ගෑනියෙක්ගෙ කට හඬේ තියෙන්නෝන ආතල් එක උඹේ වොයිස් එකේ නෑ”

උෂාණිගෙ ඒ වචන ඉස්සරහා මම සෑහෙන වෙලාවක් සයිලන්ට් වුණා. මම හිටියෙ සාලෙ මැද්දෙ තිබිච්ච ලොකු චැන්ඩලියර් එක දිහා බලාගෙන. ඕනම කෙනෙක්ට ඒක හරිම ලස්සනට පේනවා ඇති. ඒත් ඒකෙ ඇතුළෙ තියෙන බල්බ් වලට කරන්න තියෙන්නෙ පිච්චි පිච්චි එළිය දෙන එක විතරයි නේද කියලා මට උනත් හිතුණෙ පළවෙනි පාරට.

පිරිමින්ට අනුව ගෑනු කියන්නෙත් පොකුරු පහනක්, ඒ ගෑනුන්ට සිද්ද වෙන්නෙ මුලු ජීවිත කාලෙම තමන් කරගත්ත කසාදෙ අස්සෙ ලෝකෙට පේන්න දිළිහෙන්න ඇතුලෙන් පිච්චෙන්න විතරයි.

 ඒ පහනට තියෙන්නෙ මාලිගාවෙ සාලෙ මැද්දට වෙලා මනුස්සයගෙත්, ඒ පවුලෙත් ගෞරවය ලෝකෙට පේන්න දිළිසෙන එක විතරයි. මනුස්සයා එළියට ගිහින් එනකොට, එයාගෙ හිතේ තියෙන කළුවර මකන්න හරිම වැදගත් විදියට පත්තුවෙලා තියෙන එක විතරයි. ඒත් ඒ පොකුරු පහන හැම තිස්සෙම දිළිසෙන්නෙ තමන්ගෙ ඇතුළාන්තය හීනියට පිච්චිලා අළු වෙන හන්දා කියලා පිරිමි කවදාවත් දකින්නෙ නෑ. උන්ට ඕනෙ මාලිගාවට එළිය මිසක්, ඒ එළිය දෙන්න මැරි මැරී ඉපදෙන ඒ පහනෙ පිච්චීමේ වේදනාව අඳුරගන්න එක නෙවෙයි.

“ලිහිණි… උඹ තාමත් ලයින් එකේද? මම අහපු දේට උඹ උත්තරයක් දුන්නෙ නෑනෙ බං.”

මම මගේ හුස්ම හිර කරගෙන හිටපු බව මට දැනුණේ ඒ වෙලාවේ. 

සාලේ මැද තිබ්බ චැන්ඩලියර් එක දිහා බලාගෙන මම හිටියේ ගල් වෙලා වගේ. ඒකෙ එළිය මගේ ඇස් දෙකට මහා බරක් වගේ තමයි මට දැනුණෙ.

“ඇත්තටම කිව්වොත් ඒක දුකක්ද කියලා මම දන්නෙත් නෑ බං. මනුසත් සර් මට ගහන්නෙ බනින්නෙ නෑ තමයි. ඒත් එයා මාව මගාරිනවා. එයාට මම පේන්නෙ නෑ වගේ ඉන්නවා. ඒක පාරක යන දන්න කෙනෙක් මගෑරලා යනවා වගේ නෙවෙයි, තමන්ගෙම ඇඳේ නිදාගන්න, තමන්ගෙම මේසෙන් කන්න ඉඳගන්න ගෑනියෙක්ව මනුස්සයෙක් විදියට අමතක කරලා දාන එක. ඒක මාර විදියට පපුව පුච්චනවා. උඹ කිව්වා වගේම මම මේ ගෙදර තවත් එක ලස්සන ෂෝ පීස් එකක් විතරයි.

මේ මාලිගාවේ හැමදේම දිලිසෙනවා. මේ දිලිසීම අස්සේ මම ඉන්නේ මළගමක ඉන්නවා වගේ. මනුසත් සර් අද මාව මේ පාලු ගෙදර තනි කරලා භානුකී එක්ක යාල යන්න ගියේ මගේ හිත කොච්චර හීරෙනවද කියලා පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව. එයාට අනුව මම කියන්නේ මනුස්සයෙක් නෙවෙයි, එයාගේ ගෙදර ලස්සන කරන්න තියෙන තවත් එක වටිනා බඩුවක් විතරයි. එයා මාව පාවිච්චි කරන්නේ එයාගේ ස්ටේටස් එක පේන්න දාපු මල් වාස් එකක් වගේ. මල් පරවෙලා ගියත් මල් වාස් එක සාලේ තියෙන්න ඕනේ. ඒත් ඒ මල් පරවෙන්නේ වතුර නැතිව නෙවෙයි, ආදරේ නැතිව කියලා පිරිමින්ට කවදාවත් තේරෙන්නේ නෑ.

මට හිතෙනවා මම මේ ගෙදරට ඇවිත් තියෙන්නේ මනුසත් සර්ගේ පරණ ජීවිතේ තිබුණ කළු පැල්ලම් වහන්න පාවිච්චි කරන දෙයක් වගේ වෙන්න කියලා. පිරිමි හිතන්නේ ගෑනුන්ගෙ හිතේ තියෙන වේදනාව රත්තරන් බඩු වලින්, ලස්සන ඇඳුම් වලින් වහන්න පුළුවන් කියලා. ඒත් හිත ඇතුළෙන් පිච්චෙන එක නවත්තන්න ඒ කිසිම දේකට බෑ. මේ හැමදේම අස්සේ මට මාවම අමතක වෙලා. මම කවුද, මගේ හීන මොනවාද කියලා දැන් මටවත් මතක නෑ. මම හුස්ම ගන්නේ මනුසත්ට ඕනේ විදිහට, මම හිනාවෙන්නේ මනුසත්ට ඕනේ වෙලාවට”

අන්න ඒ වචන තමයි ඇත්තටම මට මගෙ පපුව අස්සෙන් එළියට දාගන්න උවමනා වුනේ.

ඒත් මට මේ කිසිම දෙයක් උෂාණිට කියන්න පුළුවන් වුණේ නෑ. 

මොක වුණත් මම ගෙයි ගින්දර පිටට දෙන එක වරදක් බව මම දැනගෙන උන්නා. මනුසත් සර් මගේ ලෙක්චර් කෙනෙක් වෙලා හිටපු කාලේ මම එයාව දැක්කේ මාව රකින්න ඉපදිච්ච දෙයියෙක් වගේනේ. ඉතින් ඒ දෙයියා අද මාව නොසලකා හරිනවා කියලා ලෝකෙට කියන්න තරම් මගේ හිතට හයියක් තිබ්බෙ නෑ.

“පිස්සුද බං… මම මේ නිකන් කල්පනා කරේ.” මම අමාරුවෙන් හිනාවක් මවාගෙන උෂාණිට උත්තර දුන්නා.

 “කසාදයක් වුණාම ඉතින් පොඩි පොඩි වෙනස්කම් තියෙනවනෙ. ඒක සාමාන්‍ය දෙයක්. අලුත් ජීවිතේට හුරු වෙන්නත් ටිකක් කල් යනවනෙ. අනික මනුසත් සර් හරිම බිසී මනුස්සයෙක් කියලා උඹ දන්නවනෙ. එයාට මම ගැන හැම තිස්සෙම බලන්න වෙලාවක් නැති වෙන්න ඇති. ඒ උනාට මං තේරුං අරගෙන ඉන්නෙ බං” 

“උඹ ඉන්නෙ ඔය කියන තරංම සන්තෝසෙන් නම් මං ආයෙ ඕක ගැන අහන්නෙ නෑ. අහලා වැඩක් නෑ වගේම ඒක ඉතින් මට අදාල දේකුත් නෙවෙයිනෙ. උඹ සන්තෝසෙන් ඉන්නවනම් එච්චරයි ඉතින්. ප්‍රශ්නයක් තියෙනම් ඕන වෙලාවක කියපං. නිතර කතා නොකරට, උඹ කැම්පස් නාවට කමක් නෑ අපේ යාලුකං ඒවයි නැතිවෙලා යන්නෙ නෑනෙ.” කියලා උෂාණි කිව්වට මම ඒකට මුකුත් කියන්න ගියේ නෑ. ඇත්තටම උෂාණිට ඇත්ත නොකිය ඉන්න ඕන උනත් මට පුළුවන් කමක් තිබ්බෙ නෑ මගේ හිත මෙච්චර රිද්දන මනුසත් සර්ව තවදුරටත් සාධාරණීකරණය කරන්න. 

මං ඒ හන්දා කරේ සද්ද නැතුව ඉන්න එක.

“මං උඹට ඇත්තටම කතා කරේ ඕව අහන්න නෙවෙයි. උඹ මෙච්චර දවසක් කතා නොකරෙ ඇයි කියලා අහන්නයි තව වැදගත් දෙයක් කියන්නයි”

“මොකද්ද වැදගත් දේ?”

“හැබැයි දැන් උඹ සන්තෝසෙන් ඉන්න හන්දා ඒක කියන එක කියලා වැඩක් තියෙයිද කියලත් මට හිතෙනවා.” උෂාණි එහෙම කියලා ටික වෙලාවක් සයිලන්ට් වුණා.

 ඒ සයිලන්ස් එක අස්සෙ මට මගේ හුස්ම හිර වෙනවා දැනුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here