ධර්මරත්න ගේ කෝපාන්විත මුහුණ , විවෘත වූ රෝහල් කාමරයේ දොරටුව ඉදිරියේ පෙනී සිටියේත් ඔහුට පිටුපසින් ලවන් සිට ගෙන සිටියේත් ජයග්‍රාහී විලාසයෙනි. යමක් සිදු වෙතැයි බියෙන් පුෂ්පා කඩිමුඩියේ දොරටුව අසලට ගොස් ධර්මරත්න අසල නතර වූවාය.
” දුවට මේ ඇඟේ පතේ අමාරුත් එක්ක පොඩ්ඩක් තරහ යනවා ධර්මේ.අනේ මුකුත් කලබලයක් කරන්න එපා ”
පුෂ්පා හැකි තාක් පහත් හඬින් පවසන්නට උත්සාහ කළේ ධර්මරත්න ගේ පැමිණීමට පෙර තමා විසින් දියණියට කුමක් පැවසුවත් එම කාරණා දුර දිග නොයා යුතු නිසාය. පුෂ්පා ගේ ඇවිටිලි කිරීමෙන් පසුව ධර්මරත්න තරමක් හෝ සන්සුන් වූ බවක් පෙනෙන්නට තිබුණද ලවන් ඔහු පිටුපසට වී බලා උන්නේ ධර්මරත්න මන්දාකිණි අසලට ගොස් කුමක් හෝ කියා බැන වදින තුරුය.
එහෙත් ලවන් බලාපොරොත්තු වූ කිසිවක් ඒ මොහොතේ දී සිදු වූයේ නැත. අනතුරකට ලක් වී බිඳුනු අතක්ද සහිතව රෝහල් සයනයක් මත සිටිනා දියණිය හට තව දුරටත් සමාව දීමට ධර්මරත්න තීරණය කළේය.
” අපි මොන දේ කරන්න හැදුවත් ඒ කරන්නේ ඔයාගේම හොඳට. ඔයාට අද මෙහෙම වෙලා තියෙන්නේ ඔයා කරපු හිතුවක්කාර වැඩ නිසා මන්දාකිණි”
රෝහල් සයනය අසලට ගිය ධර්මරත්න එසේ පවසද්දී මන්දාකිණි පෙර උන් ඉරියව්වෙන්ම ඉවත බලා ගෙන උන්නේ කිසිවක් නෑසුනාක් මෙනි. ලවන් බලාපොරොත්තු සුන් කර ගෙන ඔවුන් වෙතින් මෑත් වී අසුන් ගන්නවාත් සමඟම ඔහු ගේ සාක්කුවේ තිබූ දුරකථනය නාද විය.
දුරකථනය පිටතට ගත් ලවන් එහි තිරයේ අකලංකගේ නම සඳහන් වූ නිසා දුරකථනය රැගෙන රෝහල් කාමරයෙන් නැවත පිටතට පැමිණියේය.
” ලවන් ගේ හිත රිදිලා ඉන්නේ මං හිතන්නේ.ඒ ළමයට මේ වෙන වැඩ නැතුව නෙමෙයිනේ මෙතනට වෙලා ඉන්නේ ”
ධර්මරත් ලවන් පිටවූ දෙස බලමින් පැවසූ අතර රෝහල් සයනයේ වැතිරී උන් මන්දාකිණි දෑස් තදකර පියා ගත්තාය.
” කියපන් අකලංක ”
” උඹ හොස්පිට්ල් එකේ නේද ඉන්නේ ?”
අකලංක කාරණාවට අවතීර්ණ නොවී විමසා සිටියේ ලවන් සිටින්නේ කොහේ දැයි කියා සැක හැර දැන ගැනීමටය.
” ඔව් බන්. මට පැනලා ඉන්නේ අරකිත් එක්ක. මහ එවුන් දෙන්නා ඉස්සරහ මොකුත් කියන්න බැරිකමට ඉවස ගෙන ඉන්නේ “
” උඹ ඉන්නේ රූම් එකෙන් එළිය නේ ? ”
” ඔව් ”
අකලංක තමන් අමතා ඇත්තේ යම් හේතුවක් නිසා බව ඉවෙන් මෙන් වටහා ගත් ලවන් මන්දාකිණි ගේ රෝහල් කාමරයෙන් මදක් ඉවතට ඇවිද පැමිණ කොරිඩෝවකට අවතීර්ණ වූයේය.
” මං ගත්තේ උඹට ඕකි ගැන දෙයක් කියන්න. උඹ මේක ඇහුවට පස්සේ මොනවා කරයිද කියලා මම දන්නෙ නෑ.හැබැයි ඉතින් මං මේක කියන්නේ උඹේ හොඳට ”
ලවන් තැති ගත්තේය. තමා ගේ පසින් බොහෝ වැරදි සහ සැඟවූ කරුණු ඇතත් මන්දාකිණි ගේ පසින් එවැනි සැඟවුණු කාරණා ඇතැයි ලවන් බලාපොරොත්තු වී උන්නේම නැත.
” අපේ ගෙදර පොඩි වැඩකට තාත්තා ඔය මොකද්ද කම්පනි එකක කොල්ලෙක්ව ගෙන්න ගෙන තිබුණා.ඌ අපේ ගෙවල් පැත්තෙම එකෙක් .මං නිකමට ගිහින් ඌත් එක්ක කතා කරන කොට මන්දාකිණි ගේ ඇක්සිඩන්ට් එක ගැන කතාවක් ඇදිලා ආවා ”
” ඉතින් ? ”
” ඒ කොල්ලා මන්දාකිණි ව දන්නවා.ඌ මන්දාකිණි ගේ කම්පනි එකේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරලත් තියෙනවලු ”
ලවන් අසා උන්නේය. අකලංක යනු බොහෝ කාලයක පටන් තමා ගේ මිතුරෙකි. ඔහු කෙදිනක වත් තමාට විරුද්ධව කිසිවක් කර හෝ තමා වෙත අකටයුත්තක් කර නැත. එබැවින් ඔහු මේ මන්දාකිණි පිළිබඳව කියන්නට සූදානම් වන කාරණාව ද අසත්‍යයක් විය නොහැක.
ලවන් රෝහල් කාමරයෙන් පිටව යාමෙන් පසුව ධර්මරත්න උන්නේ දෙගිඩියාවෙනි.තමා පැමිණෙන අවස්ථාවේදී ලවන් රෝහල් කාමරයෙන් පිටතට වී සිටි හේතුව පුෂ්පා ධර්මරත්න හට පවසා සිටි බැවින් ඔහු එම සිදුවීම පිළිබඳව සිරිවර්ධන සමග පවසා එය යම් ගැටළුවකට මුල් වේ යැයි බියකින් ධර්මරත්න පෙලෙමින් උන්නේය.
” අපිට හොරෙන් ඔක්කොම කරලා ජීවිතේ වරද්ද ගත්තට පස්සේ, අපි ඔයා ගේ ජීවිතේ පිළිවෙලක් කරන්න හදනකොට අපිට මෙහෙම කරලා මදි මන්දාකිණි ඔයා “
තම පියා තමාව බැලීමට පැමිණ රෝහල් කාමරයට ඇතුළු වූ මොහොතේ සිටම නෝක්කාඩු පමණක් පැවසීම දරා ගත නොහැකිව මන්දාකිණි දෑස් හැර බලා සයනය මතින් වාඩි වූවාය. තම දෙමාපියන් ඉදිරියේ පවා මෙසේ අසරණ වීමට සිදුවීම අතිශය අවාසනාවකි. එහෙත් එසේ යැයි කියා නිහඬව සිටීමද කල යුතු නොවේ.
” තාත්තා ”
මන්දාකිණි දැඩි හඬකින් ධර්මරත්න ඇමතූ අතර ධර්මරත්න ඇය වෙත අවධානය යොමු කරනවාත් සමඟම රෝහල් කාමරයේදොර විවෘත කර ගෙන ලවන් ඇතුලු වූයේය. මන්දාකිණි ,පුශ්පා මෙන්ම ධර්මරත්නද එකවරම ඔහු වෙත හැරුණු අතර ලවන් ගේ මුහුණෙහි වූ කෝපාන්විත බව තිදෙනාම පැහැදිලිවම දුටුවෝය. ඒ ඉරියව්ව ලවන් වෙතින් දකින්නට ලැබෙන්නේ පෙර සිදු වූ සිදුවීම නිසා බව සිතමින් ධර්මරත්න ඔහුව අස් වසන්නට සිතා වාඩි වී හුන් තැනින් නැගිට ඔහු වෙතට පැමිණියේය.එහෙත් ලවන් ඔහු පිළිබඳව තැකීමක් නොකර සෘජුවම බැලුවේ මන්දාකිණි දෙසය.
” කවුද ශෙනාල් කියන්නේ ? ”
මන්දාකිණි විමතියෙන් බලා උන්නාය. ධර්මරත්න සහ පුෂ්පාද අනපේක්ෂිතව සිදු වන සිදුවීමෙන් කම්පාවට පත් වී කිසිවක් කර කියා ගත නොහැකිව ගොලූ වී උන්හ.
” මං ඇහුවේ කවුද ශෙනාල් කියන්නෙ? ”
ලවන් ඉදිරියට පැමිණියේය.
” පුතා..මේ.. පොඩ්ඩක් වාඩි වෙන්නකො, අපි කතා කරමු හෙමින් සැරේ ”
ධර්මරත්න ලවන් වෙත ගොස් අසල වූ අසුන පෙන්වමින් කීවත් ලවන් ඒ දෙස බැලුවේ හෝ නැත.
” පවුලම එකතු වෙලා මාව මෝඩයා කර ගන්නද හැදුවේ එතකොට ? ”
” අනේ එහෙම දෙයක් නෙමෙයි පුතා, ඒත් මේ.. ඒක හරි පරණ ප්‍රශ්නයක් නේ.ඉතින්.. මේ.. අපි හිතුවේ… ”
” ශේප් එකේ මෙයාව මගේ කරේ එල්ලලා පරණ වැරදි වහගන්න? එහෙමද? ”
ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම පියා කෙරෙහි ඉතා අගෞරවයෙන් වචන දමා ගසන ලවන් දෙස මන්දාකිණි බලා උන්නේ අප්‍රසන්න වූ හැඟීමකිනි.
” ලවන් මේ.. මට නං කොහොමත් ඔයා ගේ කරේ එල්ලෙන්න උවමනාවක් තිබුන් නෑ. තියෙන්නෙත් නෑ. එහෙම එල්ලෙන්න තරම් ඔයා මට මහ ලොකු මිනිහෙකුත් නෙමෙයි. ඔයාට අයිතියක් නෑ මගේ තාත්තට ඔය විදිහට කතා කරන්න “
” එතකොට ඔයාලට අයිතියක් තියෙනවද මාව රවට්ටන්න ? ”
ලවන් එසේ විමසමින් රෝහල් සයනය වෙත පැමිණි අතර පුශ්පා බියෙන් ධර්මරත්න දෙස බැලුවාය.
” ශෙනාල් ගැන ඔයාට කිව්වෙ නැති එක වැරද්දක් තමයි. ඔයාත් මට නොකියපු දේවල් ඕන තරම් ඇති නේ ලවන්. මං ඒවා හොයන්න ගියේ නෑනේ.මට ඒවයින් වැඩකුත් නෑ ”
” ඒක මේකට උත්තරයක් නෙමෙයි මන්දාකිණි. ඔයා හින්දා කොල්ලෙක් හිරෙත් ගිහින්. ඔය දෙන්නා ඉඳලා තියෙන්නෙත් එක ගෙදර.හහ්. මට තමයි ඔයා මහ ලොකු ගණන් පෙන්නලා ගෙදර තියන තැන වත් නොකිව්වේ. බලන් යද්දි… ”
ලවන් කතාව නවතා උපහාසාත්මක සිනාවක් පෑවේය. ඒ සිනහව දරා ගත නොහැකිව මන්දාකිණි ඉවත බලා ගත්තාය. ශෙනාල් පිළිබඳව සත්‍ය මුලදීම ලවන් වෙත පවසා සිටින්නට උවමනා වුවත් එය වළක්වා සිටියේ තම පියා විසිනි. එසේ කියා මේ අවස්ථාවේදී ඔහුට චෝදනා කිරීමද කළ නොහැක. ධර්මරත්ත කම්පනයෙන් බලා උන්නේ තම දියණිය ගේ ආත්ම ගරුත්වය දෙපා මුලට කඩා ගෙන වැටෙන ආකාරය දරා ගත නොහැකිවය.
” පුතා “
ධර්මරත්න බැගෑපත් ස්වරයෙන් ලවන් ඇමතුවේය.
” පුතා අපි මේක කතා කරලා විසදගමු. පරණ කතන්දර කොහොම වුණත් අපිට ඉස්සරහට හොඳ තීරණ ගන්න පුළුවන්නේ. මං..මගේ දරුවා වෙනුවෙන් ඇත්තටම කරන්න හැදුවේ ඒක පුතේ ”
” හහ්.. අන්කල් එහෙමද හිතලාද එතකොට මම බීලා මන්දාකිණි ට ගත්ත කෝල් එක ගැන කෙලින්ම තාත්තාට කේලම් කිව්වේ ? ඔයාල ඔක්කොගෙම අතේ වරද තියාගෙන ? මරු පවුලක් නේ මේක. මගේ යාලුව මට මේ විස්තරේ නොකියන්න ඕගොල්ලෝ මුළු ජීවිත කාලෙම මට මේක හංගනවනේ “
” හරි දැන් ඔයාට මොකද්ද වෙන්න ඕන ලවන් ? ”


