“තිදස් අයියව උඹට අමතක නැතුව ඇති නේද?”
උෂාණි ඒ නම කියද්දී මගේ පපුව ගැස්සුණා.
කාලයක් තිස්සේ මගේ මතකේ කොනක දූවිලි වැදි වැදි තිබ්බ ඒ නම ආයෙත් ඇහෙද්දී මට මොනවා හිතන්නද කියලා තේරුණේ නැහැ.
තිදස්…කැම්පස් එකේ අපේ පට්ට සුපර් සීනියර් බැච් එකේ උන්න, හැමෝගෙම ආදරේ දිනාගත්ත ඒ නිහඬ චරිතෙ.
“මතකයි… ඇයි මොකද එයාට?” මම ඇහුවේ හිතේ තියෙන ගැස්ම උෂාණිට නොදැනෙන්න වගබලාගන්න ගමන්.
“අද මට තිදස් අයියාව හම්බවුණා බං. එයා උඹ ගැන ඇහුවා. එයා විතරක් නෙවෙයි ලිහිණි, එයාගේ ඇස් දෙකත් උඹව හෙව්වා කියලා මට තේරුණා. උගෙ හිතේ තාම උඹ ගැන අදහසක් තියෙනවා. නැත්තං කීයටවත් ලිහිණි සන්තෝසෙන් ඉන්නවද කියලා අහන්න හේතුවක් ඌට නෑනෙ නේද? උඹ සන්තෝසෙන් උන්නත් දුකෙන් උන්නත් උඹ දැන් බැඳලනෙ. මොකෝ කැම්පස් එකෙන් අවුට් වෙලා රස්සාවකට ගියාට උඹ මනුසත් සර්ව බැන්දා කියන එක මිනිහා නොදන්නව නෙවෙයිනෙ.”
උෂාණි එහා පැත්තෙන් ඒ ටික කියද්දී මම සෑහෙන වෙලාවක් ගොළු වුණා.
තිදස් අයියා…
මම කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ ඉන්න කාලේ, මම මනුසත් සර් එක්ක සම්බන්ධයක් පටන් ගන්නත් කලින්, මගේ හෙවණැල්ල වගේ මම යන එන තැන්වල එයා හිටපු හැටි මට යාන්තමට මතක් වුණා. ඒ කාලේ මගේ හිතේ තිබ්බේ මනුසත් සර් ගැන විතරක් හින්දා තිදස් අයියා මගේ දිහා බලපු ඒ බැල්මවල් මම මගෑරියේ හිතාමතාමයි. ඒත් අද මේ මාලිගාව ඇතුළේ හුස්ම හිරවෙවී ඉන්න වෙලාවක ඒ නම ඇහෙද්දී හිතට මාර පාලුවක් දැනුණා.
ඇත්තටම කිව්වොත්, තිදස් අයියා මට ආදරේ කළා කියලා මම දැනගෙන හිටියා. ඒත් ඒක පිරිමියෙක් ගෑනියෙක්ව තමන්ගේ අණසකට ගන්න හදන ආදරයක් නෙවෙයි, ඈතින් ඉඳන් හරි මාව රකින්න හදපු පිරිසිදු හැඟීමක් කියලා මට ඒ දවස්වලත් හිතුණා. මනුසත් සර්ගේ ඒ තේජවන්ත පෙනුමටයි, එයාගේ ඒ පරිණත ආදරේටයි මම වශී වෙලා ඉද්දී, තිදස් අයියා වගේ තරුණ කොල්ලෙක්ගේ ආදරේ මට පෙනුණේ හරිම පොඩි දෙයක් වගේ.
මට දැන් හිතෙනවා ගෑනු අපි සමහර කාලවලදි ආදරේ දිහා බලන්නේ හරිම materialistic විදියට නේද කියලා.
මම එදා තිදස් අයියවයි මනුසත් සර්වයි කම්පෙයාර් කරෙත් තිදස් අයියට නැති, මනුසත් සර්ට තියෙන දේවල් බලලා. තිදස් අයියා ළඟ තිබුණේ කැම්පස් එකේ නෝට්ස් ලියා ගෙන අරගත්ත දැනුමකුයි, හීන පිරිච්ච ඇස් දෙකකුයි විතරයි. ඒත් මනුසත් සර් ළඟ කන්ෆිඩන්ස් එක, ස්ටේටස් එක, සල්ලි මේ හැමදේම තිබුණා. ඒ දේවල් ඉස්සරහා තිදස් අයියා වගේ තරුණ කොල්ලෙක් මට පෙනුණේ තවමත් සංවර්ධනය වෙමින් පවතින ළමයෙක් වගේ. මම හෙව්වේ මාව රකින තාත්තා කෙනෙක් වගේ ආදරයක්. ඉතින් ඒ ආදරේ මනුසත් සර්ගේ සල්ලිත් එක්ක පැකේජ් එකක් විදියට එද්දී මම ඒකට ලෝභ වුණා.
එදා මම කම්පෙයාර් කරේ තිදස් අයියගේ හිතට වඩා මනුසත් සර්ගේ කාර් එකයි, ස්ටේට්ස් එකයි, එයාගේ මාලිගාව වගේ ගෙදරයි එක්ක. මම හිතුවේ ස්ථාවර මනුස්සයෙක් ළඟ මම සේෆ් කියලා. ඒත් අද මේ රත්තරන් කූඩුව ඇතුළේ තනි වෙලා ඉද්දී මට තේරෙනවා, එදා මම බැලුවේ මතුපිට දිස්නය විතරයි නේද කියන එක. තිදස් අයියා එදා මට දෙන්න හදපු ඒ ආදරේ මම පෑගුවේ මනුසත් සර්ගේ සල්ලිවලට මුවා වෙලා නේද කියන එක. මං ගැනම උනත් මං ඇත්තම හිතුවා. ආයෙ නිකන් තව බොරු හිතන්න ඕන නෑනෙ. බොරු හිතුවොත්, බොරු කරොත් තවදුරටත් රැවටෙන්නෙ මං නේද කියන එක මම දැනගෙන උන්නා.
ඒත් දැන් මම මේ ඉන්න තැන ඉඳන් කල්පනා කරද්දී මට හිතෙනවා තිදස් අයියා එදා මගෙන් ඇහුවා නම් “මම ඔයාට ආදරෙයි” කියලා මම ඒකට ඔව් කියලා සමහරවිට මගේ ජීවිතේ අද මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා නේද කියලා.
“මම ඌට උත්තරයක් දුන්නේ නෑ ලිහිණි. මොකද උඹේ ජීවිතේ ඇතුලාන්තෙ මොන වගේද කියන්න මම දන්නෙ නෑනේ බං. උඹ මනුසත් සර් ලඟට වෙලා සතුටෙන් ඉන්නවා ඇති කියලා හිතලා මම නිකන් හිටියා. ඌ හෙනට දැඟලුවා මගෙන් උඹේ නම්බර් එක ගන්න.මම දුන්නෙ නෑ. මම දිගටම කිව්වෙ එහෙම අරං දැන් වැඩක් නෑනෙ. අනික ඕව පස්සට ප්‍රශ්න වෙයි කියලා. හැබැයි මචෝ මං නුදුන්න කියන්නෙ ඌට ඒක හොයාගන්න බෑ කියන එක නෙවෙයි හොඳේ”
උෂාණිගේ ඒ වචනත් එක්ක මගේ ඇස්වලට කඳුළු පිරුණා.
තිදස් අයියා තවමත් මම ගැන ඒ විදිහට හිතනවා කියලා දැනගත්ත එක මගේ හිත හූරනවා වගේ දැනුණේ. මනුසත් සර් මාව කසාද බැඳගත්තට පස්සෙත් මාව එයාගෙ ජීවිතේ දෙවනියෙක් විදියට දාලා ඉද්දි, කොහේ හරි ඉන්න පිරිමියෙක්ට මම තාමත් පළවෙනියෙක් විදියට හිතෙන එක මට අදහගන්න බැරි වුණා.
මම ආදරේ කළේ මනුසත්ට ද? නැත්නම් මේ සල්ලිවලටද? මම මගෙන්ම අහගත්තා. මොකද මටත් ඒක මේ වෙලාවෙ දැනුණෙ මහ ලොකු ප්‍රශ්නයක් විදියට.
“ලිහිණි… උඹ ඉන්නවද?”
“ඔව් බං… මම තියන්නම්. මට ටිකක් ඔළුව රිදෙනවා.” මම අමාරුවෙන් ඒ වචන ටික පිට කරලා ෆෝන් එක කට් කළා.
ෆෝන් එක කට් කරලා මම සෑහෙන වෙලාවක් ඒ විදිහටම ඇඳ උඩ වාඩි වෙලා හිටියා.
මුළු සාලෙම වෙලාගෙන තිබුණේ මහා පාලු සයිලන්ස් එකක්. ඒත් මගේ හිත ඇතුළේ තිබුණේ මහා ලොකු ඝෝෂාවක්.
ඇත්තටම මම කරගත්තේ අපරාධයක්ද? මම මගෙන්ම එහෙම ඇහුවේ පළවෙනි වතාවට නෙවෙයි. ඒත් අද ඒ ප්‍රශ්නය හිතට දැනුණේ දරාගන්න බැරි බරක් විදිහට. මම මනුසත් සර්ව බඳින්න තීරණය කරපු දවසේ අම්මා මට කිව්ව වචන ටික මගේ කන් අස්සේ ආයෙත් රිපීට් වෙන්න ගත්තා. එදා මම ඒ වචන වලට හිනා වුණාට, අද ඒ හැම අකුරක්ම මගේ පපුවට උල් කටු වලින් අනිනවා වගේ වේදනාවක් අරගෙන ආවා.
“ උඹ මේ කරන දේ ගැන තව පාරක් හිතපං. ඒ මනුස්සයා උඹට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල්. මනුසත් මහත්තයා කියන්නේ දැන් ජීවිතේ විඳලා ඉවර වෙච්ච කෙනෙක් බං. එයාට දරුවෝ ඉන්නවා, පරණ කසාදෙක මතක තියෙනවා. ඒ මනුස්සයට දැන් ඕනෙ තැන්පත් වෙන්න. ඒත් උඹ තාම ජීවිතේ විඳින්න පටන් ගත්තෙවත් නැති කෙල්ලෙක්. ඉතින් උඹලා දෙන්නා ගැලපෙන්නෙ කොහොමද? උඹ බලාපොරොත්තු වෙන ඒ තරුණ එවුන් ගාව තියෙන ආදරේ, හෑල්ලුව ඒ මනුස්සයා ළඟ නෑ ලිහිණි. උඹට ඒක පස්සෙ කාලෙක තේරෙයි…”
එදා අම්මා එහෙම කියද්දී මම ඒක ගණන් ගත්තේ නෑ. මම හිතුවේ අම්මා කියන්නේ පරණ තාලේ ගොඩේ කතාවක් කියලා. අම්මා කිව්ව ජීවිතේ විඳින එක මට එදා පෙනුණේ මහා මනස්ගාතයක් විදිහට.
මනුසත් සර්ට දැන් ඕනෙ නිස්කලංක ජීවිතයක්.
එයා එයාගේ හිතේ තියෙන පරණ තුවාලවලට බෙහෙත් හොයනවා මිසක්, මගේ හිතේ තියෙන අලුත් බලාපොරොත්තු ගැන එයාට වගක් නෑ. මම හෙව්වේ මගේ හුස්ම අඳුනන පිරිමියෙක්ව. ඒත් මට ලැබුණේ මගේ හුස්ම පාලනේ කරන, මාව නොසලකා හරින පිරිමියෙක්ව. මම හෙව්ව ඒ රැකවරණය අද මගේ බෙල්ල හිර කරන මහා තොණ්ඩුවක් වෙලා ඉවරයි කියලා තේරෙද්දි “එදා අම්මා කිව්ව වචන අද ඇත්තක් වෙලා මගේ ඇස් පනාපිටම පේන්න තියෙනවා නේද?” කියලා නොහිත ඉන්න මට පුළුවන් වුණේ නෑ.
තිදස් අයියා වගේ කෙනෙක් එක්ක හිටියා නම්, මට මේ වගේ හිර වෙන්න වෙන්නේ නෑ නේද කියලා මට හිතුණා.
අපි දෙන්නටම තිබුණේ එකම වයසක එකම වගේ හීන. අපි දෙන්නා එකතු වෙලා අඩියෙන් අඩිය ඉස්සරහට යන්න තිබුණා. මම ඒ හැමදේම මගෑරියේ මට මනුසත් සර්ගේ ඒ විශ්වකර්ම වැඩ ටික පෙනිච්ච හින්දා. මම එදා තිදස් අයියව රිජෙක්ට් කරේ මනුසත් සර් ළඟ මට පේන්න තිබිච්ච දේවල් වලට ලෝබ වෙලා.
අද මට ඒවා තියෙනවා.
ඒත් මට මාව නැති වෙලා.
මම කරගත්තේ විඳින්න තිබුණ ජීවිතේ වයසක පිරිමියෙක්ගේ පරණ මතක අස්සේ වළලපු එක කියලා තේරෙද්දි තවදුරටත් හිතෙන්වත් “අම්මා වැරදි” කියලා හිතන්න මට ඉඩක් තිබ්බෙ නෑ.
තිදස් අයියා මගේ නම්බර් එක ඉල්ලුවා කියද්දී හිතට දැනුණේ අමුතුම ගැස්මක්.
ඒ ගැස්ම ආදරයක්ද නැත්නම් මේ හිර වෙලා ඉන්න තැනින් පැනගන්න තියෙන වුවමනාවක්ද කියලා මම දැනගෙන හිටියේ නෑ.
මම ආයෙත් සැරයක් මගේ වෙඩින් ෆොටෝ එක දිහා බැලුවා.
ඒකෙ හිනාවෙන ලිහිණිගේ ඇස්වල තිබුණේ මහා ලොකු බලාපොරොත්තුවක්. ඒත් අද මේ මගේ ඇස්වල තියෙන්නේ මහා ලොකු පාලුවක් විතරයි. මම කරගත්තේ ලොකුම ලොකු වරදක් කියලා මගේ හිත මට කෑගහලා කියද්දී, මම කොට්ටේ අස්සේ මූණ ඔබාගෙන මහා හයියෙන් අඬන්න ගත්තේ මගේ පපුව පලන්න වගේ එන ඒ වේදනාව දරාගන්න බැරුව.
ඒත් ඒ ඇඬුම අස්සෙම මට ඇහුණා මගේ ෆෝන් එකට මැසේජ් එකක් එන සද්දෙ.


