සවස නිෂාදිගේ අම්මා තාත්තාත් පැමිණෙද්දි නිශාදි උන්නේ දහරාගේ නිවසේය.
“ගෙදර ආවට මං හිතන්නේ රෑ නිදාගන්න චුට්ට විතරයි ගෙදර හිටියේ.”
අත වූ බේබි සබන් කැට දෙක කුඩා මේසය මත තැබූ කාන්තී පැවසූයේ චෝදනාවක ස්වරූපයෙන්ය.
“ආවෙ මේ වැඩේටනම් ඉස්සරවෙලා මේ වැඩේ කරලා ඉන්න එපැයි අම්මේ.
“පස්සෙ තෑගි ගේනකං ඔන්න මං දැනට සබන් කැට දෙකක් විතරයි අරගෙන ආවේ.”
“අනේ නැන්දේ මට තෑගි මොකටද. මට දීපු හොඳම තෑග්ග තමයි මේ. නැන්දා මේ වගේ හොඳ දුවෙක් හදලා මගේ හොඳම යාළුවෙක් කරපු එක.”
දහරා එසේ පවසද්දී නිශාදිගේ මව උන්නේ පුතණුවන්ගේ මුහුණට එබී ගෙනය.
“අම්මේ අතපය හෝදන්නේ නැතුව දරුවව එහෙම අල්ලන්නේ නෑ.”
නිශාදී එවර පැවසූයේ අම්මා දරු පැටියා අතට ගනීයැයි බියකින් සේය.
“උඹට පිස්සුද බං කවුද බං මේ වයසෙ දරුවෝ අතට ගන්නෙ.
උඹලයි මාමා වගේද මන්දා. හිතාගන්න බැරි පෙනුමක් තියෙන්නේ.”
සියල්ලෝම දරුවා දහරාව වගේ යැයි පවසද්දී ඈ එසේ පැවසූයේ ඇනුම්පදයක සරින් බව සාමා දැන සිටියාය. එහෙත් ඕ උන්නේ සිනහමුසුවය.
“හම්බවෙලා දවස් තුන හතරෙන් දරුවා කවුරු වගේද කියල කියන්න බෑ කාන්ති අක්කේ. දැනටනම් ඔක්කොම කියන්නේ දරුවා දහර වගේ කියලා.”
“හ්ම්..හ්ම්…උඹලයි පාටටනම් ගිහින් තියෙනවා. කෝ අර රමාෂ් කොල්ලා ගියාද?”
“එයා අපිව හොස්පිට්ල් එකේ ඉඳලා එක් කරගෙන ඇවිල්ලා ආපහු ගියා. අනිත් එක අම්මේ, මං අම්මට කියලා තියෙනවා ඉස්සර වගේ රමාෂ්ට කොල්ලා කොල්ලා කියන්න එපා කියලා. ඒ ළමයා දැන් ඩොක්ටර් කෙනෙක්. එයාට හොස්පිට්ල් එකේ තිබුන තැන බලන්න අම්මා එතනට යන්නයි තිබුනේ”
නිශාදි එසේ පැවසූයේ මදක් උස් හඬින්ය. මේ හිතා මතාම අම්මා දහරා රිදවීමේ අරමුණෙන් පැමිණි ගමනක් බව ඇයට තේරුම් ගියේ අම්මාගේ මුවින් වදනක් දෙකක් පිටවද්දීමය.
“ඩොක්ටර් කෙනෙක් උනත් මොකෙක් උනත් උන්ගේ මුල අපි නොදන්නවා නෙමෙයිනේ බං.”
“තේ එකක් බීලා ඉන්න අක්කේ…”
සාමා එසේ පැවසූයේ තැටිල්ලක තබාගත් තේ කෝප්ප දෙකක් ආලින්දයට රැගෙන එමින්ය.
“ඒකෙන් මේකෙන් උඹට තමයි වැඩ වැඩි වුනේ. දැන් බං ඔය දහර කසාද බැඳලා ඉඳපු මිනිහගේ පැත්තෙන් ආවේ තාත්තා විතරද.?”
“ඒ අම්මට ටිකක් සනීප මදිලු. නිදහසේ ඇවිල්ලා යන්න එයි. මටත් දවස් කිහිපයක් නිවාඩු ගන්න පුළුවන් උනා අක්කේ. නැතත් අම්මා ඉන්නවනේ.”
“අම්මලා දැන් එහෙනම් යන්න. මම ටිකක් හවස් වෙලා එන්නම්.”
නිශාදී එසේ පැවසූයේ අම්මාත් තාත්තාත් හිස් තේ කෝප්ප ආපසු තැටිල්ල මත තබද්දීය.
“උඹ ඉතින් වින්නඹුකම් කරකර හිටහං…”
කාන්ති තම දියණිය දෙස දෙස බලා එසේ පැවසූයේ මද හඬකින්ය. දහරා දරුවා ලැබී යළි නිවසට පැමිණියේ ‘රමාෂ්ගේ වාහනයෙන් ඔහු සමගයැයි’ වත්තේ ගැහැණියක පැවසූයේ උදෑසනය.
“බලන්න එපැයි බං දැන් ඒ කොල්ලාගේ ලස්සන. ඇස් දෙක කඩාගෙන යන තරම් පුදුම ලස්සන පිරිමි රූපයක්. අර ඒ දවස් වල ඉඳපු බතල කොල්ලද කියලා හිතාගන්න බෑ.”
ඇය එසේ පවසද්දී කාන්තිගේ සිතෙහි වූ ඊර්ෂ්‍යා සහගත හැඟීම දෝරේ ගලා යන්නට විය. ඇය කෝප ගත්තේ නිශාදි සමගය. අසල්වැසි ගැහැණිය හා වදනක් නොකීවාට ඇය නිවස තුළට ගියේ ‘අපේ මෝඩ ගහට තමයි එහෙමවත් දෙයක් කරගන්න බැරි උනේ’ යැයි පවසමින්ය.
“කිරි ටික එහෙම සැරින් සැරේ ඇහැරවලා දෙන්න වෙයි. දැනටමත් දරුවා කහවෙන්න පටන් අරගෙනද මන්දා.”
කාන්ති එසේ පැවසූයේ දහරාගෙන් සමුගන්නට කාමරයට ගොස් ආපසු හැරෙනා අතරේය. ඒ අතරේමත් ඇගේ ඇස් දිව ගියේ කාමරය වටේය.
“ඒ අම්මගේ ඇස් පෙනීම දුර්වලයිනේ. පේන හැටි. එයා කහ වෙලා නෙමෙයි එයා කොහොම සුදු පාටයි.”
නිශාදි එවරත් පැවසූයේ කෝපයෙන්ය. කිසිවෙකුගේ හොඳක් දකින්නට හෝ කියන්නට හැකියාවක් නොවේ නම් එවන් මිනිසුන් කට පියාගෙන ඉන්නා තරමට ලස්සනය. ඇය යළිත් දහරාගේ කාමරයට පැමිණියේ අම්මාවත් තාත්තාවත් ගේට්ටුව අසලටම ඇරල වූවාට පසුවය.
“අනේ මන්ද බං කට ඇරියට පස්සේ මොනව නොකියනවද, කියනවද කියලා එයාම දන්නේ නෑ. ඕකනේ හැමදාම අපේ ගෙදර නෑනයි අක්කයි එක්ක වලි.”
“අම්මට කේන්තිත් ඇති. ආපු වෙලාවෙ ඉඳලා මෙහෙට වෙලා ඉන්නවා මිසක්කා ගෙදර පැය දෙක තුනක්වත් හිටියේ නෑනේ.”
“පැය දෙක තුනක් ඉන්න ගියා නං මට මේ කන් දෙක පිරෙන්න අහගන්න තිබ්බා. නේද චූටියෝ. මෙයා නම් මහා කම්මැලියෙක් බං බණ්ඩිෆුල් කරගෙන හොඳට නිදාගන්නවා. ඇහැරිලා ඉන්නෙත් නෑ හිනා වෙන්නෙත් නෑ අපි එක්ක කතා කරන්නෙත් නෑ.”
නිශාදි පැවසූයේ දහරාගේ වදන් ගණනකට නොගෙනය. එසේ ජීවත් වෙන්නට පුරුදු නොවූවානම් මේ සම්බන්ධකම් ඉදිරියට ගෙනයාම මේ සා ලෙහෙසි පහසු වන්නේ නැත.
“ඔක්කොමත් දාලා යන්න පුලුවන් දැන් මේකව දාලා යන එක තමයි මට තියෙන ප්‍රශ්නේ.”
“පිස්සු කතා කරන්න එපා! මං කොහොමත් කියන්න හිටියේ. දැන් මේ දවස් දෙකේ කොච්චර ලෙක්චර්ස් පාඩු වෙන්න ඇත්ද..සෙල්ලම් කරන්න තියාගන්න එපා. දැන් මේ ඉන්නේ අමාරුම කාලේ පහු කරන ගමන්. හෙට උදේම යන්න ඕනේ හරිද? මෙහෙට නම් එන්න එපා. අර දොර පොල්ල අරගෙන ගහලා පන්නනවා.”
දහරා එවර පැවසූයේ සිනහවක් මුව මත තබාගෙනය.
“එහෙනම් කොල්ලව දීහන් ගෙනියන්න.”
“ඔන්න මං නොකිව්වයි කියන්න එපා. සැරින් සැරේ එන්නත් ලෑස්ති වෙන්න එපා හරිද. මේ.. ඔය අල්මාරිය අරින්නකෝ.”
නිශාදි අල්මාරිය විවර කළේ දහරා එසේ පැවසූවාට පසුවය.
“ඔය උඩම තට්ටුවේ කොල යට තියෙනවා ලියුම් කවරයක් ඒක ගන්නකෝ.”
නිශාදි ලියුම් කවරය පිටතට ගෙන එය දහරා වෙත දිගු කළේ ප්‍රශ්නාර්ථයක් දෑස්මත තබාාගෙනය.
“ඕකේ සල්ලි වගයක් තියෙනවා. ඕක ගන්නකෝ.”
“පිස්සුද උඹට..”
“ඔයා ඒක නොගත්තොත් මට දුක හිතේවි. පහුගිය දවස්වල මල් හදලා මට හතළිස් දාහක් විතර හම්බ වුණා. චුට්ටක් වැහුම්වල වේදනාව අඩු වුණාට පස්සේ බබා නිදි වෙලාවට මට ආපහු ඒක කරන්න පුළුවන්. ආචීචි ඉන්නවනේ. මං මේ සතුටින් දෙන දෙයක්. මට යන්න බැරි වෙච්ච තැනට කවද හරි ඔයා යන්න ඕනේ. ඔයා ලෙක්චර් කෙනෙක් වෙලා රමාෂ්ගේ වගේ ලස්සන කාර් එකකින් ඇවිල්ලා කවද හරි මේ ගේ ඉස්සරහ බහින දවස වෙනකල් මං බලන් ඉන්නවා. එදාට මං දිනුව වගේම සතුටක් මට දැනේවි.”
“අනෙ කෙල්ලේ..”
“බොරුවට ඇස් වල කඳුළු පුරවා ගන්නනම් එපා. සහෝදරියෝ උනහම එයාලා එයාලා වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කර ගන්නවා.”
“මට මෙච්චර එපා මං මේකෙන් පන්දාහක් ගන්නම්.”
“සල්ලි වල වටිනාකම දැනෙන්නේ ඒකෙන් තමන් කැමති දෙයක් කරනකොට. මේ තමයි මං කැමතිම දේ. ඔයා ඒක ගන්නම ඕනේ.”
“උඹ දන්නවද ජොබ් එකක් කරන මගේ අක්කගෙන් රුපියල් දාහක් ඉල්ල ගන්න මං කොච්චර නහයෙන් අඬනවද කියල.”
“ඒවා එච්චර හිතන්න එපා. හැම කෙනාම එක විදිහේ නෙමෙයි කියලා හිතට ගත්තහම හිත හදාගන්න ලේසියි.”
“උඹට පින්…”
“පින් එපා මට ඕනෙ සතුට. අර මං ඉස්සෙල්ලා කියපු දේ මගේ ඇස් දෙකෙන් දකින්න අවස්ථාවක් උදා කරල දෙන්න. ඒ ඇති.”
නිශාදි දහරාව වැළඳ ගත්තේ හඬමින්ය. ‘උඹට දවසින් දවස හරියන්නේ ඒක තමයි කෙල්ලේ…’ ඒ ඉකිබිඳුම අතරේම නිශාදී මුමුණා ගත්තේ ඇයට ඇසෙන නෑසෙන තරම් මද හඬකින්ය.
*************
“දහරාව දැක්කම මට හරි ආස හිතුනා පුතේ. ඒ දරු පැටියත් එක්කම එයාව ගෙදර අරගෙන යන්න හිතුනා.”
තංගමනී එසේ පැවසූයේ දහරාගේ නිවසට ගෙන යාමට අවශ්‍ය අඩුම කුඩුම වලින් කාරය පුරවා ගන්නා ගමන්ය.
“අද අම්මා හොඳටම බැනුම් අහනවා. දන්නවනේ සාම නැන්දගේ හැටි.”
ඇගේ හිතුමනාපයට සියල්ල කරන්නට ඉඩ දුන් රමාෂ් දෑත් බැඳගෙන පසෙකට වී උන්නේ සිනහසෙමින්ය.
“එහෙම පුළුවන්ද අලුත උපන් දරු පැටියෙක් ඉන්න ගෙදරකට යන්න. අත් දෙක වන වන.”
“හැබැයි ඉතින් අම්මට එයාව ජැෆ්න ගෙනියන්න නම් ලැබෙන්නේ නෑ. එයා ඉන්න ඕනේ මමත් එක්ක අම්මා මෙහේ.”
“ඔව් ඉතින් ඒ කෙල්ලව ඒ මිනිස්සුන්ගෙන් උදුරගෙන අපිට එච්චර දුරකට අරන් යන්නත් බැහැනේ. කසාද බැඳපු දෙන්නෙක් ඉන්න ඕනෙ දෙපැත්තක නෙමෙයි එක තැනක. මේක ඉතින් තාත්තටයි මටයි දෙන්නට දෙවියෝ උදා කරලා දීපු ජීවිතේ තමයි කියලා හිතාගෙන අපි හිත හදාගන්නවා. තාත්තා කොළඹට එන්න කැමතිත් නැහැ. අවුරුදු ගානක් තිස්සේ උපන් බිමෙන් ඈත් වෙලා ඉඳපු අපිට දැන් එහේ නිදහසේ ගත කරන්න ඕනේ කියලා හිතෙනවා.”
“පුළුවන් වෙලාවකට අපි ඇවිත් යන්න එන්නම් අම්මේ.”
“කවදද දැන් දහරාගේ ගෙදරට මේ යෝජනාව ඔයා ගෙනියන්නේ චාරිත්‍රයක් විදිහට.”
“දරුවාට මාසයක් විතර වුණාට පස්සේ.”
“ඒක හොඳයි. ඔයා කිව්වා වගේ ඩිවෝස් එකේ වැඩ කටයුත්තත් ඉක්මනට ඉවරයක් කරගන්න පුළුවන් වෙයි නේද.?”
“පුළුවන් අම්මේ..ඒ හැමදේකම වාසිය තියෙන්නේ අපේ පැත්තට.”
“පුතා මම අපේ පරම්පරාවේ පංචායුධයක් ගෙනාවා කොළු පැටියගේ කරට දාන්න. ඒක ඔයා ඉපදිච්ච වෙලාවෙ ඔයාගේ ආච්චි මට දුන්නේ අප්පගේ පොඩි කාලේ දාපු එක කියලා. පස්සෙ කාලෙක මං දැනගත්තා අප්පගේ අප්පත් දාලා තියෙන්නේ ඒක තමයි කියලා. මේ හැම ප්‍රශ්නයක්ම මැද්දේ ඒක අපි ළඟ හරි පරිස්සමට තිබුණා.
කමක් නැද්ද මම ඒක දහරට දුන්නට.”
“අනේ කමක් නෑ අම්මා අම්මගෙ කැමැත්තක්..”
අම්මා සිටින්නේ සතුටින්ය. ඇය වැඩිපුර කතා කරන්නේ එවන් අවස්ථාවලය. රමාෂ්ගේ දුරකථනයෙන් ලබාගත් දරුවාගේ සේයා රූ ඊයේ රාත්‍රියේම ඕ අප්පාට යවන අයුරු රමාෂ් බලාගෙනය. සියල්ල සිදුවන්නේ ඔහු සිතුවාටත් වඩා හොඳ විදිහටය.
කාලයකට පසුව සේකර වත්තට ගිය තංගමනීට කතා කරන්නට හිත මිතුරන් ඕනෑ තරම්ය. තමාට හිතවත් වූ හැම දෙනාම සමගින් වචනයක් දෙකක් කතා කරන්නට ඈ අමතක කළේ නැත. රමාෂ් පැවසූ පරිදිම කුඩා විසිත්ත කාමරයක් පිරෙන්නට ගොඩ ගසා තිබූ තෑගි බෝග දැක සාමාත්, රීටාත්, සෙනරතුත් බැණ වැදුනේ මුදල් නාස්ති නොකරන්නයැයි පවසමින්ය. එදා රාත්‍රියේ නිවස තුළ සුවිශේෂී කෑම වේලක් සකස් කෙරුනේ ඈ වෙනුවෙන්ය. ඈ සමඟම පසුවදා සෙනරතුත් යාපනයේ යාමට සූදානම්ව සිටියේය.
“දැන් ඉතින් මං ඕනෙ නෑනේ. රමාෂ් පුතාට මේ පැත්තත් බලාගන්න පුළුවන්නේ. පුතා ගෙදර නැති එකේ මම ගිහිල්ලා අප්පට උදව් කරනවා.”
සෙනරත් රමාෂ්ගේ පිටට තට්ටුවක් යොදා පැවසූයේ ඔවුන් සමුගන්නට සූදානම් වද්දීය.
“පුතේ දරුවට බත් කවනකොට මේ පංචායුධය එයාට දාන්න. මේක පොඩි කාලේ රමාෂ්ගේ කරේ තිබුණු පංචායුධයක්”
තංගමනී රතු පැහැ පැහැ වෙල්වට් ඇතිරූ කුඩා මංජුසාව දහරා අත තැබුවේ ඇයව සිප වැළඳ ගත්තාට පසුවය. මේ සිදුවන සියල්ල එකෙන් එක ගලපමින් සිතමින් ඇය දහවලේ සිට සිටියේ රමාෂ් ගැන කල්පනාවේය. මේ හමුවීම් වල, මේ ආදරයේ, රැකවරණයේ, සොයා බැලීමේ වද වීමේ අමුත්තක් ඇතැයි ඇයට සිතුනේ අහේතුකව නොවේ. නිශාදිව මින් විනාඩි කිහිපයකට පෙර ඇගේ නිවසට යැව්වේ වදෙන් පොරෙන්ය. හෙට දිනයේත් ඇය විශ්ව විද්‍යාලයට නොයා සිටීවියැයි දහරාගේ සිතෙහි වූයේ බියකි. රමාශුත් තංගමනී නැන්දාත් පිටව යනතුරු ඉවසීමෙන් බලා සිටි ඈ නිශාදිට දුරකථන ඇමතුමක් ලබාගත්තේ තම සිත්හි වූ ප්‍රශ්න වලට විසඳුම් සොයා ගන්නටය.
(හෙටත් හමු වෙමු ආදරයෙන්)


