කලුවර රෑ සඳක් වගේ – 16

0
734

“හැමදාම මට මේ විදිහට ගෙදරට වෙලා ඉන්න බෑනේ මනුසත්… ඔයා ඔෆිස් යනකම් විතරයි මට වැඩක් කියලා දෙයක් තියෙන්නේ. ඔයා ගියාට පස්සේ මේ මාලිගාව ඇතුළේ මට මළ පාලුවක් දැනෙන්නේ. වීකෙන්ඩ් වලත් ඔයා එක්කෝ විසිටින් ලෙක්චර්ස් දාගෙන, නැත්නම් ළමයි එක්ක එළියට ගියාට පස්සේ මම තනියමනේ මේ හතරැස් බිත්ති දිහා බලාගෙන ඉන්න ඕනේ…”

මම එහෙම කිව්වේ හිතේ තද කරගෙන උන්නු ලොකු හුස්මක් එකපාරටම පිට කරනවා වගේ. ඒත් මගේ කටහඬේ තිබුණේ මටත් පාලනය කරගන්න බැරි වෙව්ලීමක්.

“ඒ හන්දා මම බැලුවේ රස්සාවක් හොයාගන්න කියලා…”

කියන ගමන් මම මනුසත් දිහාව බැලුවේ හොරෙන් වගේ. මම උන්නේ එදා රෑ කෑමට මනුසත් පිඟානට බෙදාගෙන උන්න ඉඳි ආප්ප එක උඩින් කිරි හොදි වක්කරන ගමන්. මනුසත් ඒ වෙලාවේ ඉඳි ආප්ප වෑංජන එක්ක කලවම් කරන්න ගත්ත අත නතර කළා. එයා එකපාරටම ඔළුව උස්සලා මගේ දිහා බැලුවේ හරිම නිවිහැනහිල්ලේ. ඒත් ඒ නිශ්ශබ්දතාවය ඇතුළේ මහා ලොකු පීඩනයක් තියෙන විත්තිය මං නොදැක්ක නෙවි. එයා උන්නෙ ඒ පීඩනේ වචන වලින් එළියට එන එක නවත්ත ගන්න උත්සහ කරන ගමන් කියන එක මට නොතේරුණා නෙවි. එයා හීන් හිනාවක් දැම්මා. ඒක මාව සනසන්න දාපු හිනාවක් නෙවෙයි, මගේ අදහස සතයකටවත් මායිම් කරන්නේ නෑ කියන්න දාපු අර පණ්ඩිත හිනාව කියන එක අඳුරගන්න තරම් මං ඒ වෙද්දි මනුසත්ගෙන් තෙම්පරාදු වෙලා උන්නෙ.

“රස්සාවක්? මොන වගේ රස්සාවක්ද ලිහිණි ඔයා ඔය කියන්නේ?” එයා ඇහුවේ හරිම සන්සුන්ව.

“මම උෂාණි එක්ක කතා කළා. එයා වැඩ කරන ඔෆිස් එකේම කන්ටෙන්ට් රයිටර් කෙනෙක් හොයනවා. මට ඒකට යන්න පුළුවන් මනුසත්. මට මගේම කියලා කීයක් හරි හම්බ කරගන්නත් පුළුවන්නේ. අඩුම ගාණෙ මට ඩිග්‍රි එක ගන්න බැරිවෙච්ච එකේ මෙහෙම දෙයක් හරි තියෙන එක හොඳයිනෙ.”

මනුසත් හොදි හැන්ද පිඟාන අයිනෙන් තියලා පුටුවට බර වුණා. එයා කෑම කන එක නතර කරලා මගේ දිහා බලාගෙන හිටියේ හරියට මරි මෝඩ කතාවක් කියපු පුංචි දරුවෙක් දිහා බලන තාත්තා කෙනෙක් වගේ.

“තේරුමක් නෑනේ ලිහිණි… මොකටද ඔය වගේ දේකට ඔයා කාලය නාස්ති කරන්නේ? මට තේරෙන්නේ නෑ ඇයි ඔයා මේ වගේ තේරුමක් නැති දේවල් ගැන හිතන්නේ කියලා. ඔයාට මේ ගෙදර මොනවද අඩු? සල්ලි ඕන නම් මම දෙනවනේ. ඔයාට ඕන හැම සැපක්ම මම මේ ගෙදර ඇතුළේ ලෑස්ති කරලා දීලා තියෙද්දී, මොකටද ඔය එක එක තැන්වල රස්තියාදු වෙලා ඔය වගේ සාමාන්‍ය ජොබ් එකක් කරන්න හදන්නේ?”

“මට මේ සැප විතරක් මදි මනුසත්. මටත් මගේ කියලා දෙයක් තියෙන්න ඕනනෙ. ඔයාට තේරෙන්නේ නැද්ද මම මේ හිරවෙලා ඉන්නවා කියලා? මටත් යාළුවෝ ඉන්නෝන, මටත් මගේ කියලා ජීවිතයක් තියෙන්න ඕනේ. අනික සල්ලි දෙනවා කියන්නෙ ඔයා වියදමට මට සල්ලි දෙන විත්තිය ඇත්ත. ඒ උනාට අඩුම අපේ අම්මලට කීයක් හරි යවන්න හරි මං කීයක් හරි හම්බ කරන්න ඕන නේද? ඊටත් වඩා මට බෑ මෙහෙම හැමදාම හිරවෙලා ඉන්න. ඔයා ඔයාගෙ වයසෙන් මාව මැන්නට මට තාම අවුරුදු විසි හයයිනෙ මනුසත්.” කියලා මම ටිකක් හයියෙන් කිව්වෙ. මගේ ඇස්වලට කඳුළු පිරෙන්න ගත්තේ මගේ අසරණකමට වඩා මනුසත් හදන්නෙ මාව පාගලා දාන්න කියලා හිත කිව්ව කතන්දර වලට.

“හිරවෙලා?” මනුසත් ආයෙත් ඒ උපහාස හිනාවම දැම්මා.

 “ලෝකේ කීයෙන් කී දෙනාටද ලිහිණි මේ වගේ ජීවිතයක් ලැබෙන්නේ? කෑමද බීමද, අඳින්න පළඳින්න අඩුවක් නැතුව, සැප වාහනයක යන්න එන්න පුළුවන් මේ වගේ ජීවිතයක් ලැබුණාම ඒකට ගරු කරන්න ඉගෙන ගන්න. ඔයා තවම පොඩි වැඩියි මේ සමාජේ තියෙන කුහකකම් ගැන තේරුම් ගන්න. ඔය උෂාණිලා වගේ අය කියන දේවල් අහලා ඔයාගේ ඔළුව නරක් කරගන්න එපා. මම මේ හැමදේම කරන්නේ ඔයාගේ හොඳට.”

“හොඳට? මොකද්ද දැන් මට මේකෙන් ලැබිලා තියෙන හොඳේ” කියලා මම ඇහුවට මොකෝ මනුසත් උන්නෙ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බලාගෙන නෙවෙයි, මං කලින් කිව්ව දේ මං විසින් නොකල යුත්තේ ඇයි කියලා මට පහදලා දෙන්න නිදහසට කාරණා එක්කහු කරන ගමන්.

“අනික ලිහිණි, ඔයා ඔය ජොබ් එකකට ගියොත් මිනිස්සු මොනවා හිතයිද? මගේ ස්ටේටස් එකත් එක්ක බලද්දී මගේ වයිෆ් කොහේ හරි ඔෆිස් එකක සාමාන්‍ය සේවිකාවක් විදියට වැඩ කරනවා කියන එක මට මදිපුංචිකමක් නෙවෙයිද? මම කැමති නෑ මගේ නමත් ඉස්සරහට දාගෙනඔයා තැන් තැන්වල රස්තියාදු වෙනවට. ඔයාට පාලුයි නම් මම මීට වඩා දේවල් ඔයාට කරලා දෙන්නම්. මං සල්ලි දෙන්නම් ඔයා ශොපින් යන්න, මං බලන්නම් අපිට පොඩි හරි ට්‍රිප් එකක් යන්න මට නිවාඩුවක් ගන්න පුළුවන් වෙයිද කියලා. රස්සාවල් ඕන නැ. පිස්සු නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න ළමයො.”

එයා ඒ වචන ටික කිව්වේ හරිම තැන්පත්ව. 

ඒත් ඒ හැම වචනයක්ම මගේ හිතට දැනුණේ යකඩ මුගුරකින් පහර දෙනවා වගේ මහ දරාගන්න අමාරු වේදනාවක් එක්ක. අහලා වැඩක් නෑ කියලා දැනං උන්න හන්දම මම කරේ සයිලන්ට් වෙච්ච එක. ගෑනු අන්තිමේදි කරන්නෙ තමන්ගෙ පවුල් ජිවීතේ පරිස්සම් කරගන්න හිතාගෙන ඔය විදිහට සයිලන්ට් වෙන එක තමයි. ලෝකෙ ගොඩක් ගැනුන්ට ඒක පොදුයි. රණ්ඩු වෙලා හිතේ තියෙන වේදනාව පිට කරලා වැඩක් නෑ කියලා මම දැනගෙන හිටියා. මම මුකුත් කියන්නෙ නැතුව පිඟාන අරගෙන කුස්සියට යන්න හැරුණෙ මගේ පපුව ඇතුළේ ලොකු ගින්නක් පැසවද්දී.

මම මුකුත් නොකියා පිඟාන අරගෙන කුස්සියට යන්න හැරුණත්, මනුසත් මගේ අතින් හෙමින් අල්ලා නතර කළා. එයාගේ අතේ තිබුණේ මාව රිද්දන ජාතියේ තද ගතියක් නෙවෙයි, මාව මෙල්ල කරන ජාතියේ මෘදු ගතියක්. එයා ආයෙත් සැරයක් මගේ මූණ දිහා බැලුවේ හරියට “ඔයාට කිසිම දෙයක් තේරෙන්නේ නෑනේ මගේ රත්තරං” කියලා හිතෙන ජාතියේ අනුකම්පාව පිරිච්ච බැල්මකින්.

“ලිහිණි… මෙහේ එන්නකෝ. ඇයි ඔය තරම් කලබල වෙන්නේ? වාඩි වෙන්න මෙතනින්.”

එයා හරිම නිවිහැනහිල්ලේ මාව ආයෙත් පුටුවෙන් වාඩි කරෙව්වා. ඒ සන්සුන්කම ඇතුළේ තිබුණේ මගේ කේන්තිය නිකම්ම නිකම් තේරුමක් නැති, පාලනය කරගන්න බැරි ළදරු හැඟීමක් විතරයි කියලා ඒත්තු ගන්වන ජාතියේ අමුතුම බලපෑමක්.

“බලන්නකෝ මගේ දිහා. මම ඔයාට වඩා අවුරුදු විස්සක් මේ ලෝකෙ දැකලා තියෙනවා ලිහිණි. මම ඔයාට යන්න එපා කියන්නේ ඔයාගේ නිදහස නැති කරන්න නෙවෙයි, ඔයාව පරිස්සම් කරන්න ඕන හන්දා. ඔය ඔෆිස්වල ඉන්න මිනිස්සුන්ගේ හැටි ඔයා දන්නේ නෑ. ඔයා වගේ අහිංසක කෙල්ලෙක් ට ඔය ඔෆිස් වගේ ඒවා හරියන්නෙ නෑ ලිහිණී. ඔයාලා මේ ඔය උෂානීලා තරම් වත් තෙම්පරාදු වෙච්ච ළමයි නෙවිනෙ. මම කැමති නෑ මගේ වයිෆ් කාගෙවත් වචන අහගෙන, දාඩිය පෙරාගෙන ඔය වගේ තැන්වල කාලය කනවා බලන්න. ඔයාට තාම තේරෙන්නේ නෑ මට ඔයාව කොච්චර වටිනවද කියලා ලිහිණි”

එයා මගේ නිකටෙන් හෙමින් උස්සලා හිනා වුණා. ඒ හිනාව ඇතුළේ “මම ඔයාට වඩා ගොඩක් උසස්, ඔයා මට යටත් වෙලා ඉන්න එක තමයි ඔයාගේ හොඳට තියෙන්නේ” කියන පණිවිඩය හරිම සූක්ෂමව ලියවිලා තිබුණා කියන එක මට එවෙලෙ පෙනී නොපෙනී ගියා.

“අනික ලිහිණි, ඔයා හිතනවා නම් ඔයාට සල්ලි ඕනේ ඔයාගේ අම්මලාට යවන්න කියලා, ඒක මට කියන්න තිබුණා නේද? ඒක මේ ඔයාට මේ හැමදේම දාලා රස්සාවකට යන්න හේතුවක් නෙවෙයි නෙ. ඔයා රස්සාවකට යනවා කියන්නේ මම ඔයාව බලාගන්නේ නෑ කියලා ලෝකෙට පෙන්නන එක. අනික ළමයො ඔයාගෙ අම්මලා උනත් මොනවා නොහිතාවිද මං මේ මෙච්චර හරි හම්බ කරලත් තව මගේ වයිෆ්ව රස්සාවකට යවනවා කියලා දැනගත්තම. මම මහන්සි වෙන්නේ ඔයාට මේ සැප දෙන්නනෙ. ඔයා මෙහෙම හැසිරෙන එකෙන් කරන්නේ මගේ ආදරය හෑල්ලු කරන එක කියලා ඔයාට චුට්ටක්වත් හිතෙන්නෙ නැද්ද? මම හිතුවේ මගේ මහන්සිය තේරුම් ගන්න ඉන්න එකම කෙනා ඔයා කියලා. ඒත් ඔයාට ඕනෙ මාව මේ ගෙදර තනි කරලා දාලා පිට ලෝකේ රස්තියාදු වෙන්න”

එයා කතාව නතර කළේ එයාට ලොකු අසාධාරණයක් වුණා වගේ මූණක් මවාගෙන. එයා කතා කරපු විදිහට වැරදිකාරි මම. එයා මාව කූඩු කරලා තියෙන එක නෙවෙයි ප්‍රශ්නෙ, එයා දෙන ආදරයට මම ගරු නොකරන එකයි ප්‍රශ්නෙ..

“දැන් ඕක අමතක කරලා එන්නකො කන්න. මම හෙට ඔයාගේ එකවුන්ට් එකට සල්ලි ටිකක් දාන්නම් අම්මලාට යවන්න. පිස්සුනෙ මේ කෙල්ල මේ කියවන්නෙ. මගෙනුත් වරදක් උනා මමත් පහුගිය ටිකේම බිසි වෙච්ච හන්දා මට ඔයා ගැන හරියට බලන්න බැරි උනානෙ” කියලා එයා ආයෙත් කිසිම ප්‍රශ්නයක් අපි අතරෙ නැ වගේ ඉඳි ආප්ප එක අනන්න පටන් ගත්තා. 

මම මුකුත් නොකියා කුස්සියට ගියේ, මනුසත්ගේ ඒ වචන අස්සෙ මට මහා හිස් බවක් දැනෙද්දී. 

එයා මාව පාලනය කරන්න අඩුම මට ගැහුවා නම් මට මීට වඩා හිතට සනීපයක් දැනෙන්න තිබ්බා.

ඒත් “මම ඔයාට ආදරෙයි” කියලා මනුසත් විස කවපු මී පැණි වචනවලින් මට කියද්දි මං ඒ වචන විස හින්දා අහක දාන්නද, මී පැණි හන්දා දිවේ තවරගන්නද කියන එක මම දැනන් හිටියෙ නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here