මතකයක සේයා – 65

0
188

” අම්මයි තාත්තයි මට කියන්නේවත් නැතුව , මගෙන් අහන්නෙ වත් නැතුව ලවන්ලගේ ගෙදර යනවා කියලා ලවන් ඇවිල්ලා කිව්වම මට එතනින් එහාට ජීවත් වෙන්න ඕනෙ නෑ කියලා හිතුනා කෛලාශ්. පවුලේ එකම දුව වෙච්ච මාව තාත්තා හැමදාම හැදුවේ එයාට ඕන විදිහට.මට ටිකක් හරි නිදහස ලැබුණේ එයාලා කොළඹ ගියාට පස්සේ. ඒත් මේ ශෙනාල් ගේ ප්‍රශ්නේ නිසා එයාලට ආපහු ඕනේ එයාලට ඕන විදිහට මං ජීවත් වෙනවා දකින්න. ඒත් එතන මගේ සතුට නැත්නම් මම මොකද කරන්නේ කෛලාශ් ? “

මන්දාකිණි දෑස් වල කඳුළු පුරවා ගෙන මිමිණූ ආකාරය කෛලාශ් නැවතත් සිහිපත් කළේ රාත්‍රියේ නිවසට පැමිණි පසුවය. ධර්මරත්න සහ පුෂ්පා රෝහලට පැමිණෙන බව පහත මාලයේ හුන් මීනූ දුරකථන ඇමතුමක් ඔස්සේ කෛලාශ් වෙත දැනුම් දුන් නිසා වහාම මන්දාකිණි නැවතී හුන් රෝහල් කාමරයෙන් පිට වන්නට කෛලාශ් හට සිදු වූයේ වැඩි යමක් කතා බහ කිරීමටත් පෙරමය.

” ඔයාව ඩිස්චාජ් කරාට පස්සේ අම්මා ඔයත් එක්ක ඉඳියි ඔයාගෙ ගෙදර. ඔයාට උදව්වට. ඔයා සනීප වුණාට පස්සේ මේ ඔක්කොම පිළිවෙලක් කර ගන්න අපි අද කතා වුණා. ශෙනාල් ගේ ප්‍රශ්නෙ ගැන සිරිවර්ධන අංකල්ලා ලොකුවට මොකුත් නොකිව්වේ ඔයාගේ වාසනාවට මන්දාකිණි “

ධර්මරත්න පැවසුවේ ජයග්‍රාහී ලීලාවෙනි.මන්දාකිණි රාත්‍රී ආහාරය ලබා ගන්නා අතරේ සියල්ල සාවධානව අසා උන්නේ සංසුන්වය. ප්‍රතිචාර දක්වා පළක් නැති කිසිවකට ප්‍රතිචාර නොදක්වා ඉන්නටත්, අනවශ්‍ය කාරණා පිළිබඳව සිතමින් සිත කලබල කර නොගන්නටත් තීරණය කළ නිසා මන්දාකිණි සිදුවන දෙයකට සිදුවන්නට හැර මුනිවත රැකියාය.

ධර්මරත්න මෙන්ම පුෂ්පාද මන්දාකිණි වෙතින් දක්නට ලැබෙන මේ සන්සුන් ඉරියව් පිළිබඳව පුදුමයෙන් පසු වූ අතර ඇගේ නිශ්ශබ්දතාවයට හේතුව කෙසේ වුවත් එතරම් යහපත් දෙයක් නොවන බව පමණක් දෙදෙනාම සිතුවෝය.

තවත් දින හතරක් පමණ රෝහලේ ගත කළ මන්දාකිණි හට වෛද්‍යවරුන් විසින් රෝහලින් පිටව යාම සඳහා අවසර ලබා දුන්නේ  අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්‍ෂණ සඳහා නැවත රෝහලට පැමිණීමට දින කිහිපයක්ද නියම කරමිනි. ගෙවුණු දින හතරේදී සුපුරුදු පරිදි ලවන් සහ ඔහුගේ දෙමව්පියන් , ධර්මරත්න සහ පුෂ්පා හැරුණු කොට මන්දාකිණි වෙනුවෙන් රෝහලට පැමිණියේ මීනු පමණි.මන්දාකිණි වෙතින් දක්නට ලැබුණු කලබලකාරී ගති සහ කෝපාන්විත බව වෙනුවට ඇයගෙන් දිගින් දිගටම දක්නට ලැබුණේ ඉතාම නිහඬ පිළිවෙතකි.

මන්දාකිණි රෝහලින් පිටව යන්න දිනයේ සියලු දෙනාම ඒ සඳහා පැමිණි අතර පුෂ්පා ඇය සමඟ නිවසේ නතර වන බැවින් එයට පෙර සියලු දෙනාම මන්දාකිණි ගේ නිවස වෙත පැමිණියේ අවන්හලකින් රාත්‍රී ආහාරයද ලබා ගැනීමෙන් අනතුරුවය.

මන්දාකිණි ගේ නිවසට පැමිණ පැයක් පමණ කතා බහේ යෙදී සිටි ලවන් සහ දෙමව්පියන් පිටව ගිය පසුව ධර්මරත්න ද කොළඹ නිවසට යාම සඳහා සූදානම් වූයේ පසුගිය දින ගණනාව ඇතුළත මග හැරුණු ව්‍යාපාර කටයුතු බොහොමයක් ඉතිරිව තිබූ බැවිනි. නිවසට පැමිණි අවස්ථාවේ පටන් නිදන කාමරයට වී සිටි මන්දාකිණි පිටතට පැමිණියේ ධර්මරත්න පිටත්ව යාමට සූදානම් වන බව පුෂ්පා පැමිණ පැවසූ පසුවය.

” මේ කලබලේ ඔයා ඔෆිස් යන්න ඕනේ නැහැ. මං මීනුට කිව්වා වැඩ කෙරෙන්න ඕන විදිය ගැන. ඔයා ගෙදර ඉදන් වැඩ කරන්න, එයත් උදව් කරයි. ඩොක්ටර් කොහොමත් කිව්වනේ තව ටික දවසක් රෙස්ට් කරන්න කියලා”

ධර්මරත්න විධානයක ස්වරයෙන් මන්දාකිණි හට පවසා නික්ම ගිය අතර මන්දාකිණි ඒ මොහොතේ ද නිසොල්මනේ බලා උන්නාය. පුෂ්පා සෝෆාව මත තිබූ අත්බෑගයෙන් මන්දාකිණිගේ ජංගම දුරකථනය ගෙන ඇයට පෙනෙන සේ කෑම මේසය අසලට පැමිණ එය මේසය මතින් තැබුවාය.මන්දාකිණි ඒ දෙස බලා , නැවත පුෂ්පා දෙස ද හැරී බලා නිහඬවම නිදන කාමරය වෙත පියමැන්නාය.

වෛද්‍යවරුන් විසින් මන්දාකිණි හට නියම කල බෙහෙත් වර්ග කිහිපය සහ උණුසුම් කිරි වීදුරුවක්ද වතුර වීදුරුවක්ද රැගෙන පුශ්පා මන්දාකිණි ගේ නිදන කාමරය වෙත ඇතුළු වූයේ රාත්‍රී දහය වනතුරුත් ඇය පිටතට නොපැමිණි බැවිනි.

පුෂ්පා කාමරයට ඇතුළු වන විට යහන මත වාඩිවී සිටි මන්දාකිණි ලැප්ටොප් පරිගණකය උකුල මත තබා ගෙන යම් කිසි කාර්යයක නිරත වෙමින් උන්නාය.පුෂ්පා කාමරයට ඇතුළු වූ විගසම ලැප්ටොප් පරිගණකය වසා දැමූ මන්දාකිණි එය යහනේ පසෙකින් තබා පුශ්පා දෙස බලා මදහසක් පෑවේ ආයාසයෙනි.

කිරි වීදුරුව සහ වතුර වීදුරුව සහිත ට්‍රේ එක මන්දාකිණි ගේ යහන අසල ඇති කුඩා කබඩ් එක මතින් තැබූ පුෂ්පා බෙහෙත් පෙති කිහිපය ඇය වෙත දිගු කළාය. බෙහෙත් පෙති කිහිපය මුවේ රුවා ගත් මන්දාකිණි වතුර වීදුරුව අතට ගන්නා විට කාමරයෙන් පිට වූ පුෂ්පා ඒ වනවිටත් කෑම මේසය මත තිබුණු මන්දාකිණි ගේ ජංගම දුරකථනය ගෙනවිත් ඇගේ යහන මතින් තබා මන්දාකිණි අසලින් වාඩි වූවාය.

” ඔයා ඔහොම කතා නොකර ඉන්නේ අපෙන් පලිගන්නද මන්දාකිණි ?”

පුෂ්පා ඇසුවේ දින ගණනාවක් පුරාවට තම දියණිය ගෙන් අසන්නට බලා හිඳි පැනයකි. 

” මං මොකටද අම්මා ඔයාල ගෙන් පළිගන්නේ. මං කියන කිසිම දෙයක් ඔයාලා තේරුම් ගන්නේ නැති නිසා මං සද්ද නොකර ඉන්නවා විතරයි “

” මොනවද අපි තේරුම් ගන්නේ නැත්තේ? “

” ඒවා ගැන කතා කරල වැඩක් නෑ අම්මා. ඒත් මට කියන්න තියෙන්නේ , ඔයාලා දේවල් තේරුම් ගන්න කොට ගොඩක් පසුතැවිලි වෙන්න වෙයි කියලා විතරයි “

මන්දාකිණි ගේ හඬෙහි තැවරී තිබුණේ කළකිරීම මුසු වේදනාවකි. පුෂ්පා තප්පර ගණනාවක් තම දියණිය දෙස නිහඬව බලා හිඳ යහන මතින් නැගී සිටියාය.

” ඔයා කතා කරන්නේ මොනවා ගැනද කියලා මං දන්නෙ නෑ මන්දාකිණි. කොහොමත් තාත්තා ගන්න තීරණ වලින් එහාට මටත් කරන්න දෙයක් නැහැ.හැබැයි මම දන්නවා තාත්තා ඔයාට නරකක් කරන්න හිතා ගෙන කිසිම දෙයක් කරන්නේ නෑ කියලා. ඒ හින්දා ඔහොම කතා නොකර ඉඳලා අපෙන් පළිගත්තා කියලා ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ “

” ඔයාලා ඇත්තටම හිතන්නේ මගේ ජීවිතේ පිළිවෙලක් කරන්නද එහෙමත් නැත්තං ඔයාල ගේ නම්බුව රැක ගන්නද කියලා පොඩ්ඩක් නිවි හැනහිල්ලේ හිතල බලන්න අම්මා “

“මොනාද මන්දාකිණි ඔයා මේ කියවන්නේ?”

” කියවන්නේ කියන්න ඕන දේ අම්මා. ලවන් කියන්නේ කවුද කියලා ඇත්තටම පේන්න තියෙද්දිත් ඔය දෙන්නා එකතු වෙලා මාව ඒ මනුස්සයාගේම ඇඟේ ගහන්න හදන්නේ ඇත්තටම මට ආදරේටද කියලා ඔයාල ගේ හිත දන්නවා ඇතිනේ “

පුෂ්පා පිළිතුරක් නොදී මන්දාකිණි ගේ නිදන කාමරයෙන් පිටව ආවේ වේගයෙනි. මන්දාකිණි පුන පුනාම ලවන් කෙරෙහි විරෝධය දක්වන්නේ තමා සහ ධර්මරත්න නොදන්නා යමක් ඇති නිසා යැයි සිතුවිල්ලක් පුෂ්පා තුළ ඇති වූයේ ඇය මන්දාකිණි ගේ නිදන කාමරයට යාබද කාමරයට පැමිණෙන අතරතුරය.

යහන මත හාන්සි වූ පුෂ්පා බොහෝ වේලාවක් යනතුරු කල්පනා කළේ තම එකම දියණියගේ අනාගතය පිළිබඳවය. තමා තුළද ලවන් කෙරෙහි මුල් කාලයේ තිබූ පැහැදීම මේ වන විට නොමැති කොට තම දියණියව බලහත්කාරයෙන් හෝ ඔහුට විවාහ කර දීම සාධාරණ නොවේ යයි පුෂ්පා සිතුවාය.එළඹෙන දිනයේ දී ධර්මරත්න අමතා හෝ ඔහු හමු වී හෝ මන්දාකිණි ව ලවන් හට විවාහ කර දීමේ කාරණාව පිළිබඳව  නැවත වතාවක් සාකච්ඡා කර බැලීමට සිතා ගත් පුෂ්පා යහනේ හාන්සි වී දෑස් පියා ගත්තාය. 

නින්ද තමා වෙත පැමිණියේ කොයි මොහොතේ දී දැයි කියා පවා නොදත් පුෂ්පා අවදි වූයේ පසු දින අලුයම හයට පමණය.ගෙවුණු දින ගණනාව පුරාවටම හරි හැටි නින්දක් නොලද බැවින් දින ගණනාවකින් ලද නින්ද පුෂ්පාව සුවපත් කොට තිබූ අතර නිදන කාමරයෙන් පිටතට පැමිණි ඇය වසා තිබුණු මන්දාකිණි ගේ නිදන කාමරයේ දොර විවෘත කළේ බොහෝ දිනකට පසුව ඇය ඇයට හුරු පුරුදු යහන මත සුව නින්දක පසු වනවා යැයි බලාපොරොත්තුවෙනි.

එහෙත් පුෂ්පා බලාපොරොත්තු වූ ආකාරයට මන්දාකිණී නිදන යහන මත නොසිටි බැවින් කලබලයට පත් වූ පුෂ්පා නාන කාමරයද පරික්ෂා කර අනතුරුව බැල්කනියද පරීක්ෂා කර නිවසේ ප්‍රධාන දොරටුවද විවෘත කර බැලුවාය.

එහෙත් ඒ කොතැනකවත් මන්දාකිණි පෙනෙන්නට සිටියේ නැත. කළ යුතු යමක් සිහියට නගා ගත හැකි නොවූ පුෂ්පා තවත් විනාඩි ගණනාවකට පසුව නිදන කාමරයේ වූ ජංගම දුරකථනය ගෙනවිත් ධර්මරත්නගේ අංකය වහාම ඇමතුවාය.

” කියන්න පුෂ්පා, මොකද මේ උදේ පාන්දර? නින්ද යන්නෙ නැද්ද ? ” 

ධර්මරත්න පුෂ්පාගේ ඇමතුමට පිළිතුරු දුන්නේ නිදි බර හඬිනි.

” අනේ ධර්මේ දුව ගෙදර නැහැ “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here