මනුසත් ඒ කතාව ඉවර කළේ හරියට මම මේ ලෝකේ ඉන්න ලොකුම වැරදිකාරිය කරලා වගේ.
මම හදපු කෑම ටිකම බෙදාගෙන, මම බෙදපු හොදි ටිකම රස කර කර කන ගමන් එයා මගේ හීන ටික හරිම සන්සුන්ව මරලා දැම්මා වගේ තමයි මට තේරුණේ. මට මනුසත් ගැන දැනුණේ මහ අමුතුම පිළිකුලක් මික්ස් වෙච්ච තනිකමක්. මම මුකුත් නොකියාම පිඟානත් අරන් කුස්සියට ආවේ පපුව ඇතුළේ හිරවෙලා තිබිච්ච ඒ මහා බර හුස්ම කොහොම හරි පිට කරගන්න හිතාගෙන වුණත්, ඇත්තටම පිට වුණේ මගෙ ඇස් කොනක හිරවෙලා තිබුණු කඳුළු බිංදු දෙකක් විතරයි.
සින්ක් එක ගාවට වෙලා මම වතුර ටැප් එක ඇරගත්තා. වතුර පාර වැටෙන සද්දේ අස්සේ මට මගේම හිත මහ හයියෙන් කෑගහන එක කන්ට්‍රෝල් කරගන්න ට්‍රයි කරා. මං ඇත්තටම උන්නෙ කල්පනා කරන ගමන් “මං මොන රෙද්දකටද මේ වගේ නාකි බක පණ්ඩිත මිනිහෙක්ව කසාද බැඳගත්තෙ?” කියලා. පෙම් ලොවේදී දුටු ඔහුමද මේ කියලා හිතන්න මට පුළුවන් කමක් තිබ්බෙ නෑ මොකද ඇත්තටම මමයි මනුසතුයි අතරෙ එදාවත් අදවත් ප්‍රේමයක් කියලා දෙයක් තිබුණෙ නෑ නේද කියන එක මට තේරුණේ මේ ගෙවිච්ච මාස කීපෙට. අපි “යාලුවෙලා” උන්නා කියලා මම හිතන් උන්න කාලෙදි පවා මම කරලා තිබ්බෙ වෙන පිරිමියෙක් හන්දා භානුකී අත ඇරලා දාපු කුණු ගොඩක් මම නිකන් රත්තරන් කන්දක් කියලා හිතලා භාරගත්ත එක වගේම, භානුකී හිත රිද්දන වාරයක් පාසා ඒකිව නරක ගෑනි කරලා “මං කියන්නෙ මේ ලෝකෙ පිරිමියෙක්ට දාහකින් හොයාගන්න බැරි විදියෙ ගෑනියෙක්” කියලා මනුසත්ට ඔප්පු කරන්න ගිය එක නේද කියලා මට තේරුණේ පහුගිය මාස කීපෙ වෙච්ච දේවල් හන්දා.
මම වතුර ටැප් එකේ සද්දේ තවත් වැඩි කළේ මගේ හිතේ තියෙන මේ දහසකුත් එකක් සිතුවිලි වල සද්දේ මනුසත්ට ඇහෙයි කියලා බයට වගේ. පිඟන් ටික හෝදලා ඉවර වෙලා මම කාමරයට යද්දී මනුසත් ඇඳේ හාන්සි වෙලා නිදාගන්න ලෑස්ති වෙනවා. මම එනවා දැක්කම එයා මගේ දිහා බැලුවේ හරියට මං කරපු මහා වැරැද්දකට එයා මට සමාව දුන්නා වගේ බැල්මකින්. එයා කොහොමත් හැමතිස්සෙම පෙන්නන්න හැදුවෙ “ලිහිණි කියන්නෙ මෝඩ කෙල්ලෙක්, ඔයාට අරවා බෑ, මේවා බෑ, ඔයාට තේරෙන්නෙ නෑ” කියලනෙ. එහෙම මට කිසි දෙයක් නෑ, බෑ කියලා පෙන්නන එකෙන්ම එයාට මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න එක ලේසියි කියන එක මුලින් මගේ තිබ්බ මෝඩකමට නොතේරිච්ච එක්ක වෙනම කතාව. ඒ උනාට මනුසත්ට තිබුණා අඩුම තරමෙ හිතන්න “මං වගේ නාකි හමක් කරගහ ගත්ත එකට හරි මං මේ පොඩි කෙල්ලට මීට වඩා හොඳට ට්‍රීට් කරන්නෝන කියලා”.
මම ඇඳේ හාන්සි වෙද්දීම මනුසත් කරේ මගේ ළඟට ලංවෙච්ච එක. වෙනදට නම් මං කියලා කෙනෙක් ඇඳට ආවද නැද්ද කියන එක ගැන වගක් නෑ වගේ මනුසත් එයාගෙ පොත් කියවන එක කරගෙන ගියාට මොකෝ අද මාව යාලු කරගන්න තමන්ගෙ දින චරියාව වෙනස් කරන්න වෙන විත්තිය මිනිහට මතක තිබිච්ච විදියට තමයි මනුසත් හැසිරුණේ. එයා මගේ ඇඟට උඩින් අතක් දාගෙන මගේ බෙල්ල අස්සේ එයාගේ රැවුල් කෑලි අනිද්දි මට දැනුණේ මහ මූසල අප්පිරියාවක්. මං දන්නෙ නෑ අන්න ඒ වෙලාවෙ තමයි මට හරියටම නෝට් උනේ මේ කිසි ගාණක් නැතුව, හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වගේ මම ඇත්තටම කසාද බැඳගත්තෙ නාකි මනුස්සයෙක්ව නේද කියලා. Age is just a number කියලා මහ ලොකුවට කතන්දර කිව්වට, මනුසත් ඇත්තටම පිරිසිඳු, සුවඳට ඉන්න මනුස්සයෙක් උනාට මට දැනුනෙ නිකන් මගෙ ඇඟේ මොකක් හරි ජරාවක් ගෑවෙනවා වගේ.
මට ඕන වුණේ ඒ අත ගසලා දාලා අනිත් පැත්ත හැරෙන්න වුණත්, මනුසත්ගේ අර තැන්පත් කටහඬ ආයෙත් ඇහෙන්න ගත්තම මට තේරුණේ ඒ වචන අස්සෙ ආයෙ පාරක් මම අතරමං වෙන්න යනවය කියන එක.
“ලිහිණි… මං මේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන්. මං දන්නවා මම කලින් කසාද බැඳලා උන්න මනුස්සයෙක් හන්දා කසාදයක් අස්සෙ අදහස්වල මිස් මැච් එකක් ආවම අපි ඒක කතා බහ කරලා දෙන්නම එක ග්‍රව්න්ඩ් එකකට එන්නෝන විදිය දන්නවා කියන එක. ඒ වගේම මේක ඔයාගෙ පලවෙනි කසාදෙ වගේම තාමත් ඔයා මේ මැරේජ් එකට, මට වගේම මේ ප්‍රොසෙස් එකට අලුත් කියන එක. ඔයා දැන් තරහෙන් ඇත්තෙ මම මේ ඔයා කියන කියන දේවල් වලට මම උදැල්ල දානවා කියලා. ඒ උනාට ඔයාට තව ටිකක් කල් යද්දි තේරේවි මම මේ එහෙම කෙනෙක් නෙවෙයි මම කරන මේ හැමදේම කරන්නෙ ඔයාට තියෙන ආදරෙ හන්දා ඔයාව පරිස්සම් කරගන්න කියලා.
මට අවුරුදු ගාණක් කසාද බැඳලා එකට ඉඳලවත් භානුකීව පරිස්සම් කරගන්න බැරි උනා. අන්තිමේ මොකද්ද වුනේ අවුරුදු ගාණක් මහන්සියෙන් ගොඩ නගාපු හැමදේම විනාස වෙච්ච එකනෙ. මගෙ මේ වයසක පපුවට හයිය නෑ ලිහිණි ආයෙ ඒ වගේ ස්ටේජ් එකක් පහු කරන්න. මං ඔයාව මෙච්චර පරිස්සම් කරන්න හදන්නෙ අන්න ඒ හන්දා.”
එයා ඒ වචන ටික කිව්වේ හරිම ශාන්ත විදියට.
හරියට මම මේ මහා වටිනා වස්තුවක් අතේ තියාගෙන ඒක කුණු ගොඩකට විසි කරන්න හදන මෝඩියක් කියලා මටම හිතෙන විදියට. මනුසත් මේ ලස්සන වචන අස්සෙ මං ඉස්සරහා දිය කරලා අරින්නෙ “එයාට මාව පරිස්සම් කරගන්න ඕන කියන කතාව නෙවෙයි”, ආයෙ වතාවක් එයාගෙ හිතේ සැනසීම නැතිවෙයි කියන බය කියන තේරුං ගන්න බැරි තරම් මම මෝඩ කෙල්ලෙක් උනේ නෑ.
ඒත් මනුසත් ඒ වෙලාවේ මට කියපු දේවල්, ඒ වචන වල තැවරිලා තිබිච්ච ආදරේ හරි මොකක් හරි මගුලක් හන්දා, මනුසත් මේ කරන්නේ මගේ අත්තටු කපලා මාව හීලෑ කරගන්න එකයි කියන එක පිළිගන්න මම ඇත්තටම කැමති වුණේ නෑ. නිදාගන්න ඇස් දෙක පියාගන්න කළින් එයා ආයෙත් මට සමාව දෙන බැල්මකින් මගේ නළල ඉඹද්දී, මට දැනුණේ මම මනුසත් වගේ රත්තරන් මනුස්සයෙක්ට පයින් ගහන්න හදන මහා නපුරු ගෑනියෙක් කියලා. මට මාවම සැක හිතුණා. “සමහරවිට මනුසත් කියන දේ හරි ඇති, මම තවම මෝඩ ඇති” කියලා මගේ හිත මටම කිව්වා. ඒ තරමට මනුසත් මගේ මොළේ හෝදලා තිබුණේ.
“ළමයෝ… මම ඉන්නකම් ඔයාට කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ. ඔයාට රස්සාවක් කරන්න ඕනේ නෑ, මම ඔයාව රැජිනක් වගේ බලාගන්නම්. ඔයාට ඕන දෙයක් මට කියන්න”
එයා එහෙම කියලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. ටික වෙලාවකින් එයාගේ ගොරවන සද්දේ කාමරේ පුරා ඇහෙන්න ගත්තා. ඒ ගොරවන සද්දෙන්ම මනුසත් ඉන්නෙ පුදුමාකාර සනීප නින්දක කියන එක මම තේරුං ගත්තා. එයාට එහෙම නිදාගන්න බැරි කමක් තිබ්බෙ නෑ. මොකද එයා දන්නවා දැන් එයා මාව ආයෙත් කන්ට්‍රෝල් කරලා ඉවරයි කියලා.
මං උන්නේ කාමරේ අස්සෙ තිබිච්ච කෑලි කපන්න පුළුවන් අන්ධකාරෙ දිහා ඇස්ඇරගෙන බලාගෙන.
මම හෙමින් සැරේ කොට්ටේ අස්සේ තිබුණු ෆෝන් එක අතට ගත්තෙ තවදුරටත් මට එහෙම ඉන්න බෑ කියන එක තේරෙද්දි. අන්ධකාරෙම මම වට්සැප් එක ඇරලා මම තිදස්ගෙ ෆෝන් නම්බර් එකට ගිහින් තාම කිසිම මැසේජ් එකක් ගිහින් තිබ්බෙ නැති අපි දෙන්නගෙ චැට් ඉන්ටර්ෆේස් එක දිහා බලාගෙන කල්පනා කරා.
හරියට මං හොයන නිදහස ඒක ඇතුළේ තියෙනවා වගේ.
තිදස්ට මැසේජ් එකක් දාලා “අනේ මාව මේ හිර ගෙදරින් නිදහස් කරගන්න” කියලා කියන්න මට උවමනා උනත් මං දැන් කසාද බැන්ද ගෑනියෙක්, තිදස් වගේ තරුණ කොල්ලෙක්ට එහෙම කියන එක වරදක් කියලා හිත කිව්ව කතාවම මගේ ඒ ඇක්ශන් එක නතර කරා.
මම මනුසත් දිහා බැලුවා. එයා උන්නෙ හොඳටම නිදියගෙන. ඒ නින්ද අස්සෙ “මං දිනුවා” කියලා එයා හිතන් ඉන්න විත්තිය මම දැනගෙන උන්නා.
ඒත් මනුසත් දන්නේ නෑ එයා මේ බලහත්කාරෙන් ළඟම තියාගන්න හදන්නෙ එයාගෙන් දුර යන්න ප්ලෑන් කරන හිතක් කියන එක.
මනුසත් හිතන් හිටියේ එයා මගේ අත්තටු කපලා මාව හීලෑ කරගත්තා කියලා.
ඒත් ඒ මනුස්සයා දැනගෙන හිටියේ නෑ, අත්තටු කැඩිලා බිම වැටෙන ඕනම කිරිල්ලියෙක් කරන විදියටම මමත් උන්නෙ පණ බේරගන්න පියාඹන්න බැරිනම් දුවන්න හරි ලෑස්ති වෙලා කියන එක.


