මතකයක සේයා – 66

0
816

කිසිවෙකු හටත් නොදන්වා, නොපවසා මන්දාකිණි නික්ම ගොස් තිබුණාය.දින ගණනාවක් පුරාවට හරි හැටි නින්දක් නොලද පුෂ්පා තම දියණිය නිවසෙන් පිටව ගිය වේලාවක් පිළිබඳ බොහෝ දැන උන්නේ නැත. ධර්මරත්න යුවළ සහ සිරිවර්ධන යුවළද, ලවන් සහ අකලංකද මන්දාකිණි යා හැකි යැයි සිතූ බොහෝ තැන් වලට සහ ඇය කලාතුරකින් හමුවන මිත්‍ර සමාගම් ද අමතා ඇය පිළිබඳව තොරතුරක් සොයා ගන්නට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. 

ලවන් උදෑසනම මන්දාකිණි ගේ ආයතනය වෙත ගොස් මීනූ මුණ ගැසුනේ මන්දාකිණි කෙසේ හෝ අවසානයේ දී ආයතනය වෙත පැමිණිය යුතු බව දන්නා නිසාය. එහෙත් අවාසනාවකට මෙන් මන්දාකිණි එහි පැමිණ තිබුණේ නැති අතර දින කිහිපයකට පෙර තමා රෝහලට ගිය අවස්ථාවේ දී ඉදිරි කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව සැලසුමක් ඇය තමා වෙත ලබා දුන් බව පමණක් මීනූ ලවන් වෙත පවසා සිටියාය. 

” අනේ අපි මොකද කරන්නෙ ධර්මේ දැන් ? ”  

තම එකම දියණිය ගේ හැර යාම දරාගත නොහැකිව පුෂ්පා හඬා වැටුණාය. මන්දාකිණි අනතුරට ලක් වූ අවස්ථාවේදී කම්පා වූවත් ධර්මරත්න මෙවර තම දියණිය කෙරෙහි උන්නේ දැඩි කෝපයකිනි. ඇය කිසිවකුටත් නොදන්වා නිවසින් පිටව යාමට ප්‍රධානතම හේතුව විවාහ යෝජනාව මිස අන් කිසිවක් නොවන බව පැහැදිලිවම දැන හුන් නිසා ධර්මරත්න උන්නේ සිරිවර්ධන යුවළට දීමට පිළිතුරක් සිතා ගත නොහැකිවය.

” මෙයා ගියේ කොහෙද කියලා හරියටම දන්න කෙනෙක් ඉන්නවා පුෂ්පා “

පුෂ්පා කඳුළු පිස දමමින් ධර්මරත්න දෙස බැලුවේ පුදුමයෙනි. පසුගිය දින කිහිපය පුරාවටම මන්දාකිණි නිහඬව සහ නිසොල්මනේ ඉන්නට ඇත්තේ මේ පිටව යාම සැලසුම් කරමින් වන්නට ඇත.එහෙත් ඒ පිළිබඳව මේ තරම් ඉක්මනින් තම සැමියා දැන ගත්තේ කෙසේද?

” අර කොල්ලා අනිවාර්යයෙන් දන්නවා ඇති මෙයා කොහෙද ගියේ කියලා “

ධර්මරත්න සෝෆාව ඉදිරියේ ටීපෝව මත වූ වාහනයේ යතුර අතට ගනිමින් නැගී සිටියේය.

” මොන කොල්ලද ? “

” අර අම්මෙක් අප්පෙක් නැති එකා. රට ඉඳලා ඇවිල්ලා මෙහෙ හෝටලයක් පටන් ගත්තේ.අපි ගියේ ? ” 

” කෛලාශ් ? “

පුෂ්පා උන්නේ ඒ ආරංචිය අදහා ගත නොහැකිවය.ඇය නිවසින් පිට වන්නට සූදානම් වන ධර්මරත්න පසු පස වැටුණේ තමා නොදන්නා යමක් තම සැමියා දන්නවා දැයි කියා දැන ගැනීමේ වුවමනාවෙනි.

” ඔයා කියන්නේ මේක අපේ ළමයා කෛලාශ් එක්ක ප්ලෑන් කරලා කරපු දෙයක් කියලද ? ” 

” නැතුව වෙන මොකද්ද ? ” 

ධර්මරත්න මන්දාකිණි ගේ නිවසේ ප්‍රධාන දොරටුව අගුළුලා යතුර සාක්කුවේ රවා ගනිමින් විදුලි සෝපානයට නැගුනේ මන්දාකිණි ගේ දුරකථනයට නැවත ඇමතුමක් ගනිමිනි.නමුත් ඒ මොහොතේ ද එය තිබුණේ ක්‍රියා විරහිත කරය.

පැය භාගයක් පමණ ඇතුළත ධර්මරත්න සහ පුශ්පා Hotel Sunzet වෙත පැමිණි අතර ධර්මරත්න වාහනයෙන් බැස වේගයෙන් දොර වසා ඉක්මන් ගමනින් හෝටලය වෙත ඇතුළු වී කෛලාශ් ව මුණ ගැසීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඔහුගේ කාර්යාල කාමරය වෙත පියවර තැබුවේය. පුශ්පා කඩි මුඩියේ ධර්මරත්න පිටුපස පියවර තබා ගියේ අනවශ්‍ය කලබලයක් සිදු වෙතැයි බියෙනි.

කෛලාශ් ගේ කාර්යාල කාමරයේ දොර විවෘත කර ගෙන ධර්මරත්න එයට ඇතුළු වූයේ බලහත්කාරයෙන් මෙනි. තම අසුනේ වාඩි වී කිසියම් කාර්යයක නිරත වී සිටී කෛලාශ් හිස ඔසවා බලා අසුනින් නැගී සිටියේ මන්දාකිණි ගේ දෙමාපියන්ගේ අනපේක්ෂිත පැමිණීමෙනි.

” කෝ මන්දාකිණි ? ” 

ධර්මරත්න කෝපයෙන් විමසූ අතර කිසිවක් නොවැටහුණු බැවින් කෛලාශ් බලා උන්නේය.

” කෝ මිනිහෝ මගේ ළමයා? ” 

ධර්මරත්න ඉදිරියට පැන අසුනින් නැගී සිටි කෛලාශ් ගේ කමිස කොළරයෙන් අල්ලා ගත්තේය. පුෂ්පා ධර්මරත්න ගේ අතින් අදිමින් ඔහුව පසෙකට කර ගැනීමට උත්සාහ කළද ධර්මරත්න ඇයවද පසෙකට තල්ලු කර දැමුවේය. කෝපයෙන් වෙව්ලමින් කෛලාශ් දෙස බලා හුන් ධර්මරත්න තත්පර ගණනාවකට පසුව කෛලාශ් ගේ කමිස කොළරය අතහැර දමා පසෙකට වූයේය.

” මන්දාකිණි අද උදේ ඉඳලා ආගිය අතක් නෑ කියලා තමුසේ නොදැන ඉන්න විදිහක් නැහැනේ ? “

” ආගිය අතක් නෑ කිව්වේ? ” 

කෛලාශ් අනෙක් අතට විමසුවේ ධර්මරත්න පැවසූ කාරණාව හරි හැටි තේරුම් ගැනීමට නොහැකිවය. නමුත් ඉන් ධර්මරත්න වඩාත් කෝපයට පත් වූයේය.

” තමුසේ කියන්නේ තමුසේ කිසිම දෙයක් දන්නේ නෑ කියලද එතකොට?”

” මං කිසිම දෙයක් දන්නේ නෑ තමයි අංකල්. වෙලා තියෙන්නේ මොකක්ද කියලා පැහැදිලිව කිව්වොත් අංකල් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න මට පුළුවන් වෙයි “

කෛලාශ් සන්සුන් වීමට උත්සාහ දරමින් නැවත තම අසුනට බර වූයේය. ධර්මරත්න කෝපයෙන් ඉවත බලා සිටිද්දී පුෂ්පා කෛලාශ් අසලට පැමිණ නතර වූවාය.

” මන්දාකිණි අද පාන්දර ඉඳලා ගෙදර නැහැ.එයා කොහේ ගියාද කියලා කවුරුත් දන්නේ නෑ කෛලාශ්. අඩුම ගානේ ඔෆිස් එකෙන්වත් දන්නේ නෑ”

” මොකක්? මන්දාකිණි ඊයේ රෑත් මට කෝල් කරා නේ “

කෛලාශ් එසේ පැවසූ විට ධර්මරත්න නැවතත් කෛලාශ් දෙස බැලුවේ කෝපයෙන් පුපුරු ගහන දෑස් වලිනි.

” ඔය එන්නේ එලියට ” 

” අංකල් මන්දාකිණි මට කිව්වේ එයා hospital එකෙන් ගෙදර ආවා කියලා විතරයි.එයාගෙ තනියට ආන්ටි ගෙදර ඉන්නවා කියලත් කිව්වා. මං අද උදේ හොටෙල් එකට එන්න කලින් මන්දාකිණි ට කෝල් කරාට එයා ගේ ෆෝන් එක වැඩ කළේ නැහැ. එයා රෙස්ට් කරන නිසා ෆෝන් එක ඕෆ් කර ගෙන ඇති කියලයි මම හිතුවේ “

කෛලාශ් එසේ පිළිතුරු දුන් විට ධර්මරත්න මදක් මෙල්ල වූ බවක් පෙනෙන්නට තිබුණද ඔහු සම්පූර්ණයෙන්ම පරාජය භාර ගැනීමට සූදානම් වූයේ නැත.

” කෛලාශ් ඔයා ඔය ඇත්තමද කියන්නේ? “

පුශ්පා විමසුවේ බලාපොරොත්තු සහගතවය. තම දියණියගේ හදිසි අතුරුදහන් වීමට කෛලාශ් ගේ සම්බන්ධයක් නොමැති නම් සිරිවර්ධන යුවළ ගෙන් හෝ ලවන් ගෙන් ගැටළුවක් ඇති නොවන නිසා පුෂ්පා ඒ පිළිබඳව සිතා හෝ හිත හදා ගන්නට උත්සාහ කළාය.

”  මන්දාකිණි ට මේ වගේ දෙයක් තනියම කරන්න පුළුවන් කියලා ඔයා හිතනවද පුශ්පා? අනිත් එක මේ වගේ තත්ත්වෙක ඉන්නකොට?”

” ධර්මේ මන්දාකිණි ලඟ එයා ගේ ෆෝන් එක වත් තිබුණෙ නැහැ. මං ඒක දුන්නේ ඊයේ රෑ ඔයා ගියාටත් පස්සේ “

ධර්මරත්න කෛලාශ් ඉදිරියේ වූ අසුන ඇද වාඩි වූයේ පෙර සිටියාටත් වඩා නොසන්සුන්වය. තම එකම දියණිය පිළිබඳව දිනෙන් දින ඇතිවන මේ ගැටලු දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව හුන් ධර්මරත්න මඳ වේලාවක් නිහඬව ඉවත බලා උන්නේය.

” ප්‍රශ්නයක් වෙලා නම් ඒක කතා බහ කරලා විසඳගමු අංකල්. අනික ඔය දෙන්නම දන්නවා පහුගිය ටිකේම මන්දාකිණි ළඟ හිටියේ ඔය කීප දෙනා විතරයි කියලා. එහෙම එකේ මන්දාකිණිට මෙහෙම දේකට උදව් කරන්න මට කොහොමත් චාන්ස් එකක් නෑ. අනිත් එක මෙහෙම කරන්න මන්දාකිණි ට තියෙන හේතුව මොකක්ද ? “

” ඒක තමයි කෛලාශ් අපිටත් හිතා ගන්න බැරි. මං උදේ ඇහැරිලා බලනකොට මේ ළමයා ගෙදර නැහැ. බලන්න පුළුවන් හැම තැනකම බලද්දී තමයි අංකල් කිව්වෙ ඔයා දන්නවා ඇති කියලා ” 

හදවතින් නොසන්සුන්ව උන්නත් ඒ බව සඟවා ගැනීමට වෑයම් කරමින් කෛලාශ් පුෂ්පා දෙස සංවේගයෙන් බලා සිටියේය. ඊළඟ නිමේෂයේදී ධර්මරත්න අසුනින් නැගී සිටියේ ය.

” යන් පුශ්පා ” 

ධර්මරත්න කෛලාශ් දෙස බැල්මකින් වත් නොබලා කාර්යාල කාමරයෙන් පිටවූ අතර  පුෂ්පාද ඒ අනුව ඔහු පසුපසින් කාර්යාල කාමරයෙන් පිට වූවාය.ඒ දෙස බලා සිටි කෛලාශ් වහාම දුරකථනය ගෙන මන්දාකිණි ගේ අංකය ඇමතූ අතර ඒ වන විටත් ඇය ගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබිණි. මොහොතල් කල්පනා කල කෛලාශ් අනතුරුව ඇමතුවේ මීනුගේ අංකයටය.ඇය ඇමතුමට සම්බන්ධ වූයේ ද බොහෝ වේලාවකට පසුවය.

” මන්දාකිණි කෝ මීනූ?” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here