කලුවර රෑ සඳක් වගේ – 18

0
82

පළමුවැන්නා කියන්නේ හැමදාම පළමුවැන්නා කියන එකයි, දෙවැන්නා කියන්නේ හැමදාම දෙවැන්නා කියන එකයි මට හොඳටම තේරිච්ච දවසක් තමයි මනුසත්ගේ පුතාගේ පාටි එක තිබ්බ දවස.

මනුසත්ගේ පුතා, ඒ කියන්නේ මනුසත්ගෙයි භානුකීගෙයි ලොකු පුතා වෙච්ච අහස් එයා බලාපොරොත්තු වෙච්ච කැම්පස් එකට යන්න පාස් වෙලා හයස්ටඩීස් වලට රට යන්න සිලෙක්ට් වෙලා තිබුණා. මනුසත් ඒ නිසාමද මන්දා පහුගිය දවස් ටිකේම උන්නෙ පුදුමාකාර සන්තෝසෙක. 

“මගේ දරුවා හන්දා කියනවා නෙවෙයි ලිහිණි අහස් ඇත්තටම හරිම දක්ෂයි. එයා පුංචි කාලෙ හරිම දඟයි. මමයි භානුකියි හරිම බයෙන් උන්නෙ අහස් ලොකු වෙද්දිත් ස්ටඩීස් වලට එහෙම ලොකුවට දක්ශ වෙන එකක් නෑ කියලා මොකද සෙල්ලමටමයි හිත. භානුකී නම් බයෙක් උන්නෙ තාත්ත ප්‍රොෆෙසර් වෙලා පුතා ලෝක අණ්ඩපාලයෙක් වේවි කියලා. ඒ උනාට දඟල දඟල හිටියට මිනිහා වැඩෙ හරියට කරගත්තා කොහොමහරි? ඉගෙන ගත්තෙ නැත්තම් තාත්තා ප්‍රොෆෙසර් නෙවෙයි ඉතින් ජනාධිපති උනත් පලක් නෑනෙ” කියලා මනුසත් මට ඒක කිව්වෙ පොඩි ළමේක් අයිස්ක්‍රීම් එකක් හම්බුනාම සන්තෝසෙට හිනා වෙනවා වගේ හිනාවක් දාගෙන. ඒත් මං උන්නෙ මනුසත්ගෙ ඒ සන්තෝසෙ ඇත්තටම මගේ කරගන්න පුළුවන්කමක් නැතුව. මම ඇත්තටම ඒ දවස් කීපෙම උන්නෙ මනුසත් එක්ක මොකක් හරි අරෝවකින්.මට මනුසත් එක්ක කටු අත්ත වගේ පැටලෙන්න කොච්චර උවමනා උනත් මාත් එක්ක තියා කා එක්කවත් පැටලෙන්න උවමනාවක් නැති මනුසත් එක්ක පැටලෙන්න විදියක්, ඉඩක් කඩක් මට ඇත්තටම තිබ්බෙ නෑ. 

“දරුවෙක්ට ඉගෙන ගන්න ඉතින් තාත්තලා අම්මලා ඉගෙන ගත්ත මිනිස්සුම වෙන්නෝනය?” කියලා මං කිව්වෙ ඒ නොරිස්සුම පෙන්නන්නත් එක්කම උනාට මොකෝ මනුසත් කියන්නෙ හරියට අර සුමිත්‍රා රාහුබද්ධගෙ කන්දක් සේමා පොතේ ඉන්න ජපන් මිනිහා වගේම වෙලාවකට මහ මඤ්ඤං ඩයල් එකක් හින්දා මනුසත්ට ඒක තේරුණාද කියන්න මම දන්නෙ නෑ.

“දරුවො හැදෙන්නෙ කොහොමත් අම්මලා තාත්තලා වගේනෙ ලිහිණි. මම මේ පී එච් ඩී එකක් තියෙන තාත්තා කෙනෙක් වෙලා, භානුකීත් වර්ක් නොකරට ලෝයර් කෙනෙක් වෙලා අපේ දරුවො දෙන්නා අහස් හරි මන්දාරා හරි ඉගෙන ගත්තෙ නැත්තම් ලෝකෙ මිනිස්සු මොනවා නොකියාවිද?

අනික ඉතින් අපි දරුවො පුංචි කාලෙ බය වුනාට ලොකු වෙද්දි ඉතින් එයාලා හරි ට්‍රැක් එකට වැටුණා. ඉගෙනීමක් නැතුව ගොඩ යෑමක් නෑනෙ” කියාගෙන මනුසත් එතනින් යද්දි මට මිනිහගෙ බෙල්ලෙන් අල්ලලා හොල්ලන්න අහන්න හිතුණා “එහෙනම් මගෙ ඉගෙනීම නතර කරලා මේ ගෙයක් අස්සෙ හිරකරලා තිබ්බෙ කාට ගොඩයන්නද කියලා”. ඒත් මං ඒක ඇහුවෙ නෑ. 

අහන්න හයියක් මට තිබ්බෙ නෑ. කොටින්ම මනුසත් පස්සෙ ඇවිල්ලා “අහස්ගෙ පාටි එක මෙහෙ ගමු කියලා භානු කියනවා” කියලා කියද්දිවත් “ඒ ගෑනි කොහොමද මෙහෙ වෙන දේවල් ගැන තීරණ ගන්නෙ? මේක මගෙ ගෙදරද ඒ ගෑනිගෙ ගෙදරද? මෙහෙන් ගියාට තාම එක අඩියක් මෙහෙ තියන් නේද?” ඉන්නෙ කියලා අහන්නවත් මට හයියක් තිබ්බෙ නෑ.

අන්න ඒ විදියට මං කට පියාගෙන උන්න හන්දා තමයි අර ගෑනි මේ මෝඩ මිනිහව රවට්ටගෙන මේ මිනිහගෙ සම්පූර්ණ වියදමෙන් අහස්ගෙ පාටි එක අපේ ගෙදර ගත්තෙ.

පාටි එක දවසේ මම සාලෙට බැස්සේ හරියට පැරදිච්ච හමුදාවක ඉතුරු වෙච්ච තනි සොල්දාදුවෙක් වගේ. කේටරින් එකෙන් ඇවිත් කෑම බීම ඔක්කොම ලෑස්ති කරලා තිබුණ නිසා මට තිබ්බේ ලස්සනට සැරසිලා පහළට ගිහින් ඒ සන්තෝසෙට හවුල් වෙන්න විතරයි කියලා මම හිතුවට, ඇත්තටම මට සිද්ධ වුණේ මනුසත්ගේ පරණ පවුල් පින්තූරේ අයිනක තියෙන එක්ස්ට්‍රා රූපයක් වෙන්න.

මම පඩිපෙළ බැහැගෙන එද්දිම මගේ ඇස් නතර වුණේ සෝෆා එක උඩ. භානුකී එතන වාඩි වෙලා උන්නේ හරියට එයා මේ ගෙදරින් කවදාවත් ගියේ නැති ගාණට. අහස් එයාගේ අම්මගේ කර වටේ අතක් දාගෙන හිනා වෙවී මොනවා හරි කියනවා. මනුසත් උන්නෙත් මන්දාරාව ඒ ළඟින්ම වාඩි කරවගෙන එයාලගෙ අම්මලා, නැන්දලා කට්ටිය එක්ක හිනාවෙවී කතා කර කර. ඒක දකිද්දි මට ඇත්තටම හිතුණෙ එයාලා තමයි පවුල, මං නිකන් තනි, වෙනම ඉන්න මනුස්සයෙක් කියලා. කොටින්ම මං පඩිපෙළ බැහගෙන ආවා කියන එකවත්, මං ඇඳන් උන්නෙ මනුසත් ගිය සතියක මට අරගෙන දුන්න අලුත්ම අත් නැති ගවුමක් කියන එකවත් මනුසත් දැක්කෙ නෑ. මම දාගෙන උන්නු රත්තරන් බඩු ටිකවත් මනුසත්ට පෙනුණේ නෑ. කොටින්ම ඒ පාටි එකට මම ඇඳගෙන උන්නා වැඩි කියන එකවත් මනුසත් දැක්කෙ නෑ. ඒ මනුස්සයා උන්නේ තමන්ගේ හැබෑ පවුල ආයෙත් එකතු වෙච්ච හීනෙක අතරමං වෙලා.

“ලිහිණි ඔයත් එන්න මෙතනට” කියලා මනුසත් කිව්වට මොකෝ “අනේ ලිහිණි පොඩ්ඩක් කිචන් එකට ඔලුව දාලා බලන්නකො කෑම එහෙම රෙඩි ද කියලා” භානුකී කියද්දි මට මහ රැජිණ වගේ එතන ගිහින් මනුසත් ළඟින් වාඩිවෙන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. අනික් එක පොඩි කෙල්ලෙක් වගේ මන්දාරා මනුසත්ගෙ උකුළ උඩින් වාඩිවෙලා ඉද්දි මට එතන ගිහින් මට මනුසත්ට තියෙන අයිතිය පෙන්නන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. මන්දාරාගෙ ඇස් වල තිබ්බෙ මහ කුඩුකේඩු පාටක්. භානුකී කපටි අම්මණ්ඩි විත්තිය දැනගෙන උන්නට, මන්දාරා ඒ අම්මගෙම දූ විත්තිය දැනගෙන උන්නට මෙච්චර පොඩි කෙල්ලෙක්ට තමන්ගෙ තියෙන කුහකකම ඔයාකාරයෙන් පෙන්නන්න පුළුවන් ද කියල මට අම්මපා පුදුමත් හිතුණා.

කේටරින් එකෙන් ඔක්කොම වැඩ බලන හන්දා උයන්න කරන්න කරදර වෙන්න උනේ නෑ. ඒක එකාතකින් හොඳයි නැත්තං ඔය මහ අම්මණ්ඩි මාව කුස්සියට ඇදලා දාන්න හිතන් ඉන්න ඇත්තෙ.

මම මගේ මනුස්සකමට භානුකී කියපු දේවල් එකක් දෙකක් කරද්දි ඒකි ආව මෙතන මගේ ඔලුවට අත හෝදන්න.

“ඔයාට පුළුවන්ද අර එළියෙ ඉන්න අයට ගිහින් ඩ්‍රින්ක්ස් අල්ලන්න, හොඳ නෑනෙ නේද ඔයා ඉද්දි මම ගිහින් ඩ්‍රින්ක්ස් අල්ලන එක” කියලා භානුකී එයාගෙ අර කුඩුකේඩු මූණ දාගෙන කියද්දි කට ඇත්තටම අහන්න හිතුණා කෙහෙ වල්ලෙන් ඇදලා අරගෙන “උඹ හිතන් ඉන්නෙ මම මේ බීම කරත්තයක් කරනවද?” කියලා. ඒත් මං මෝඩයිනෙ. මං ඇහුවෙ නෑ. ඒ වෙනුවට මං කරේ භානුකී මට කිව්ව කිව්ව දේ කරන එක. 

මං නිකන් මල ගෙවල් වලදි ගිහිල්ලා බීම අල්ලන කෙල්ලෙක් වගේ ට්‍රේ එකක තියාගත්ත ඩ්‍රින්ක්ස් එහෙම ගිහිල්ලා මම නමක් ගමක් වත් දන්නෙ නැති මනුස්සයන්ට ඇල්ලුවා. ඒ මිනිස්සු හිනාවෙලා බීම ගත්තට සමහරු හිනා උනේ මං කවුද කියලා නොදැන කියන එක මම දැනගෙන හිටියා.

“යු ආර් මනුසත්ස් වයිෆ් රයිට්?” කියලා එක ගෑනු මනුස්සයෙක් එහෙම අහද්දි මං ඇත්තටම උන්නෙ මං ඒකට දෙන්නෝන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න බැරුව. 

මං නිකන් ඉංග්‍රීසි බැරි ගෑනියෙක් වගේ එතන “බ බ්බ්බ්බ් බබ්” ගගා උන්න වෙලාවෙ එතනට කඩං පැන්න භානුකී “හායි මෙලිස්සා, අනේ ඉයස් ශී ඊස්” කියලා කියද්දි මං හිනාවෙලා එතනින් මාරුවෙච්ච බව ඇත්ත. හැබැයි ඇඟ අයින් උනාට හිත තිබ්බෙ එතන. 

ඒ හන්දමයි මට ඇහුණෙ මට ඉංග්‍රීසි බෑ කියලා හිතුව ඒ දෙන්නා චට පට ගානවා.

“අයි නෙවර් නිව් දැය් මනුසත් ගොට් මැරීඩ් ෆො ද සෙකන්ඩ් ටයිම්”

“හී ඩිඩ් අනේ”

“ටු සච් අ යන්ග් ගර්ල්”

“ඉයා අ ස්ටුඩන්ට් ඔෆ් මනුසත්ස්”

“ඕකේ ඕකේ, නව් අ ඩේස් දීස් ස්ටුඩන්ඩ්ස් ඩූ තින්ග්ස් වී නෙවර් ඊවන් තෝට් ඔෆ් ඩුයින්ග් රයිට්?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here