මන්දාකිණි ගේ නික්ම යාමෙන් කෛලාශ් බොහෝ ශෝකයට පත් වී සිටියද ධර්මරත්න ඒ පිළිබඳව පසු වූයේ කෝපයෙනි. තම දියණියගේ අතුරුදහන් වීම පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන ලෙස පුෂ්පා විසින් කිහිප වරක් ඇවිටිලි කළද ධර්මරත්න විසින් එය ප්‍රතික්ෂේප කළේ එයින් තම ආත්ම ගෞරවයට වන හානිය පිළිබඳව යළි යළිත් පුෂ්පා හට මතක් කර දෙමිනි.
නිල වශයෙන් නීතියේ සහය නොපැතුවද ධර්මරත්න තම හැඳුනුම්කම් උපයෝගී කරගෙන මන්දාකිණි පිළිබඳව තොරතුරක් සොයා ගැනීම සඳහා විශාල වෙහෙසක් දැරුවේය. මන්දාකිණි තම බැංකු ගිණුමෙන් මුදල් ලබා ගැනීමක් හෝ කර නොමැති බව ධර්මරත්න හට දැන ගන්නට ලැබුණේ එවැනි ආරංචි මාර්ගයක් මගිනි.
” ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේකිට කවුරු හරි උදව් කරනවා “
එම ආරංචිය ලැබුණු පසු ධර්මරත්න නිවසට පැමිණියේ දැඩි කෝපයකිනි.ලැබුණු විස්තර පුෂ්පා හට පවසා ධර්මරත්න නිවසේ සාලයේ එහා මෙහා බොහෝ වේලාවක් ඇවිද්දේ එම කෝපය පාලනය කර ගන්නටය.
” දැන්වත් මේ වටින් ගොඩින් හොයන එක නවත්තලා හරියට මේ ළමයා ගැන හොයමුද ධර්මේ? මොකද අපිට කියලා ළමයි හත අටක් නෑනේ.ඉන්නේ ඔච්චර නේ”
පුෂ්පා තම හදවතෙහි ඇති දරු දුක පෙරටු කර ගත්තද ධර්මරත්න මන්දාකිණි කෙරෙහි කුඩා හෝ අනුකම්පාවක් දැක් වූයේ නැත. ලවන් කෙරෙහි ඇති අකමැත්ත නිසා මන්දාකිණි මෙසේ පලා යන්නට ඇති බව සිරිවර්ධන යුවළට සහ ලවන් හට රහසක් නොවූ බැවින් ධර්මරත්න උන්නේ එකී ලැජ්ජාවද දරා ගත නොහැකි මට්ටමකය.
” පොලිසියට ගිහින් මොකක්ද කරන්නේ? මේකි පැනලා ගියා කියන්නද ගෙදරින්? ”
ධර්මරත්න සාලයේ තබා ඇති ලී කවිච්චියෙන් වාඩි වූයේ අත වූ ජංගම දුරකථනය පසෙකට විසි කරමිනි.
” එහෙම කියලා හරි මේ ළමයව කොහෙන් හරි හොයා ගමු ධර්මේ. කවුද දන්නේ මන්දාකිණි ට මොකක් හරි වෙන කරදරයක් වත් වෙලාද කියලා ? “
” එයාට මොනා වෙන්නද පුෂ්පා? වෙන්න ඕන ඔක්කොම කරදර වෙලා තියෙන්නේ අපිට නේ. අපාට්මන්ට් එකේ කැමරාස් වල දැක්කනේ? මෙයා හරි ලස්සනට උදේ පාන්දර තුනට යන හැටි “
ධර්මරත්න පැවසුවේ මන්දාකිණි ගේ නිවාස සංකීර්ණයේ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබූ දර්ශන සිහිපත් කරමිනි.අලුයම තුනට පමණ මන්දාකිණි කුඩා බෑගයක් පමණක් අතැතිව නිවාස සංකීර්ණයෙන් පිටව යන ආකාරය එම දර්ශන වල සටහන්ව තිබුණු අතර පොලිසියේ සහාය නිල වශයෙන් නොපැතූ බැවින් ධර්මරත්න හට ඉන් එහාට කිසිවක් මන්දාකිණි පිළිබඳව සොයාගත නොහැකි විය.
” අපිට තිබුණා එක්කො මෙයාට පාඩුවේ ඉන්න දෙන්න. අඩුම ගානේ එහෙනම් අපිට මේ ළමයාව හරි ඉතුරු වෙනවා “
පුෂ්පා පැවසුවේ ශෝකයෙනි.මන්දාකිණි හට වැට කඩුළු බැඳීම පිළිබඳව පසුගිය දින ගණනාව පුරාවටම ඇය උන්නේ අතිශය පසුතැවිල්ලෙනි. ධර්මරත්න ගේ කීමට එවැනි ආකාරයකට හැසිරීමට සිදු වුවද අඩුම තරමේ තමා වත් තම දියණිය කෙරෙහි සානුකම්පිත ආකාරයෙන් බැලුවා නම් ඇය මෙවැනි තීරණයක් ගන්නට ඉඩ නොතිබෙනු ඇතැයි පුෂ්පා බොහෝ වර සිතුවාය.
” මෙච්චර කල් එයාට පාඩුවේ ඉන්න දීලානෙ එයා ඔච්චර හරියක් කර ගත්තේ. එයාට ඕන විදියට ජීවත් වෙන්න බැරි හින්දා තමයි එයා ඔය පැනල ගියේ. මට තියෙන ප්‍රශ්නේ එයා ජීවත් වෙච්ච විදිහට එයාගේ එකවුන්ට් එකෙන් වත් සත පහක් වත් ගන් නැතුව එයා මේ ඉන්නේ කොහොමද කියලා. මට අර අම්මෙක් අප්පෙක් නැති එක ආව තමයි ෂුවර්ම නැත්තේ කොච්චර කිව්වත් “
” අපේ එක්කෙනා ගියා කියලා ඒ ළමයා දැන ගත්තෙත් අපෙන් නේ ධර්මෙ. අනිත් එක හරියට සාක්ෂියක් නැතුව අපි කොහොමද ඒ ළමයට වැරැද්ද පටවන්නේ?”
ධර්මරත්න හිස ගිනි ගත්තෙකු සේ කල්පනා කළේය.මන්දාකිණි යන්නට ඇතැයි සිතෙනා බොහෝ තැන් වලට ගොස් සහ දුරකථනයෙන් අමතා විස්තර සොයා බැලුවද ඒ කිසිදු තැනකින් මන්දාකිණි පිළිබඳව හෝඩුවාවක් හෝ සොයා ගැනීමට ධර්මරත්න හට හැකි වූයේ නැති බැවින් ඒ සෑම අවස්ථාවකදීම ඔහු තමන්ගේම දියණිය වූ මන්දාකිණි කෙරෙහි වෛර බැඳ ගත්තා මිසක අන් යමක් කලේ නැත.
” මට හිතෙන්නෙම අරූ මේකිව කොහේ හරි තියන් ඉන්නවා කියලා. මහ දෙන්නත් දන්නවා උනාට කියන්නේ නෑ “
ලවන් දැරුවේද ධර්මරත්න දරනවා හා සමානම මතයකි. මන්දාකිණි සැඟවී සිටින ස්තානයක් පිළිබඳව කෛලාශ් දැන සිටිනවා යැයි සිතමින් ලවන් ඔහු පසුපස හඹා යාම ආරම්භ කළේ ඉන් අනතුරුවය. අකලංක හරහා සොයා ගත් තොරතුරු අනුව ලවන් කෛලාශ් ගේ හෝටලයට පැමිණියේ සවස් යාමයකය.
” මම මෙතන තමුසෙත් එක්ක රණ්ඩු කර ගන්න ආවේ නැහැ.මට දැන ගන්න ඕන එකම දේ මන්දාකිණි ඉන්නේ කොහෙද කියලා විතරයි”
ලවන් අනවසරයෙන්ම කෛලාශ් ගේ කාර්යාල කාමරයට ඇතුළු වී ඉදිරියේ වූ අසුනද ඇද වාඩි වූයේ එසේ පවසමිනි.
” ඔයා මෙතනට ආවෙ මන්දාකිණි ගැන විස්තරයක් හොයා ගන්න නං ඔයා ඇවිල්ල තියෙන්නෙ වැරදි තැනට ලවන් “
කෛලාශ් සෘජු පිළිතුරක් දුන්නේය. මන්දාකිණි පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට නොහැකිව දැඩි පීඩනයකින් සිටින මොහොතක ලවන් ද පැමිණ චෝදනා කිරීම කෛලාශ් ඉවසූයේ නැත.
” තමුන් දන්නවාද ඔය කාටද කතා කරන්නේ කියලා? “
” මං කතා කරන්නේ කාටද කියලා මං හොඳට දන්නවා ලවන්. ඔයාට මන්දාකිණි ගැන විස්තරයක් හොයා ගන්න ඕන නම් ඔයා මෙතනට ඇවිල්ලා හරියන්නෙ නෑ.ඔයා යන්න ඕනේ පොලිසියට”
ලවන් උපහාසාත්මක සිනහවක් මුහුණේ රඳවා ගෙන බලා උන්නේය.කෛලාශ් වැනි තරුණයෙකු ගෙන් මෙවන් සෘජු හැසිරීමක් බලාපොරොත්තු වූයේ නොමැති හෙයින් ලවන් අසුනේ මදක් ඉදිරියට වී කෛලාශ් වෙත නැඹුරු වූයේය.
” මම යන්න ඕනේ කොතනටද කරන්න ඕනෙ මොනවද කියලා තමුන් මට කියලා දෙන්න ඕනේ නැහැ. මන්දාකිනි කියන්නේ මම බඳින්න ඉන්න කෙල්ල. ඒ කෙල්ලට මොකෙක් හරි ඇල්ම බැල්ම දානව නම් , එහෙම නැත්තං එයාව මගෙන් උදුර ගන්න හදනව නම් නිකං බලා ගෙන ඉන්න ජාතියේ එකෙක් නෙමෙයි කෛලාශ් මම “
කෛලාශ් මදහසක් මුවේ රඳවා ගෙන බලා උන්නේ ලවන් තුළ ඇති සිතිවිලි කෙතරම් බාල වර්ගයේ ඒවා දැයි සිතමිනි. ඔහු කෙරෙහි කෝපයක්ද අනතුරුව සංවේගයක්ද කෛලාශ් තුළ උපන්නේ මෙවන් මිනිසෙකුට මන්දාකිණි වැනි අගනා ගතිගුණ ඇති තරුණියකව අහිමි වූවාට කම් නැතැයි සිතමිනි.
” ඔයා ඔය කියන කිසි දෙයක් මට අදාල වෙන්නේ නැහැ ලවන්. හැබැයි ඉතින් මට වෙලාවකට ඔයා ගැන දුකත් හිතෙනවා. මොකද මන්දාකිණි කියන්නේ ඔයාට පොඩ්ඩක් වත් ගැලපෙන කෙනෙක් නෙමෙයි. ඇත්ත තිත්ත වුනත් ඒක කියන්න එපැයි “
” මොකක්ද තමුසෙ කිව්වේ? “
ලවන් වහාම අසුනින් නැගී සිටියේ තමාගේ මුහුණටම එවැන්නක් පැවසීමට තරම් කෛලාශ් තුළ වූ ධෛර්‍යය පිළිබඳව සිතමිනි. ලවන් එසේ හැසිරුනද කෛලාශ් ගේ මුහුණෙහි වූ මදහස බිදක්වත් වෙනස් වූයේ නැත.ලවන් හට දරා ගත නොහැකි වූයේ ම කෛලාශ් කෙරෙන් දක්නට ලැබෙන ඒ නොසැලෙන ගුණය ය.
” මම මන්දාකිණි ව දන්නෙ ඔයා වගේ මේ ඊයේ පෙරේදා ඉඳලා නෙවෙයි ලවන්. හරිම පුංචි කාලෙ ඉඳලා. මන්දාකිණි කියන්නේ දාහකින් හොයා ගන්න බැරි ගතිගුණ තියෙන වැදගත් උගත් කෙල්ලෙක්. ඔයා හිතනවද ඔයා වගේ මනුස්සයෙකුට මන්දාකිණි ගැලපෙයි කියල ?”
ලවන් වෙව්ලමින් කෛලාශ් දෙසට පියවර එස වූ අතර ඒ මොහොතේදීම කෛලාශ් ගේ කාර්යාල කාමරයේ දොරටුව විවෘත වුණු බැවින් කෛලාශ් සහ ලවන් යන දෙදෙනාම ඒ දෙසට අවධානය යොමු කළහ.
” මේ මොකද මේ ? “


