සඳ දිය දහරා – 64

0
202

“ඇයි ඔයා මං කියන කියන දේට විරුද්ධව කතා කරන්නේ. දහරා දැක්කහම මට අද මහ ලෝබකමක් ඇතිවුණා. මං හරියි කියලා මං කියන්නෙ නෑ. ඒ උනාට හැම මනුස්සයෙකුටම තමන් කරපු වැරැද්ද තේරුණහම නිවැරදි කරගන්න අවස්ථාවක් දෙන්න ඕනේ. අපේ පුතා උනත් ඒ වෙලාවේ එක පාරටම කලබල වෙන්න ඇති. ඒ උනාට දැන් එයා ඉන්නේ හැමදේම අවබෝධ කරගන්න පුළුවන් වෙලාවක. අනිත් එක මහත්තයා ග්‍රහ අපල ආවට පස්සේ මිනිස්සු හිටියට වඩා වෙනස් වෙනව. මේ දේවල් අපේ පුතා උනත් හිතා මතා කරපු දේවල් නෙමෙයි වෙන්න ඇති. ග්‍රහයෝ තමයි එතකොට මෙහය වන්නේ”

ශ්‍රියාලතා පැවසූයේ  ආපසු ඇනෙක්සියට පැමිණියාට පසුවය. 

“දරුවා මනුජිත් වගේ නොවුනට මට දැක්කහම ලෝභකමේ බැරුව ගියා. ලේ සුවඳ අඳුනනවනේ. මගේ අතින් සාමා  ඇදලා ගනිද්දී කොල්ලගේ මූණත් වෙනස් වුණා.”

ඈ යළිත් එසේ පැවසූයේ සුමනසේකරගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවේ.

“අනිත් එක ඉතින් උසාවියේදී උනත් ඒගොල්ලෝ බලන්නේ දරුවෙක්ට සාධාරණයක් කරන්න. මොනව කොහොම මොන විදිහකට සිද්ධ වුණත් ඒ අපේ පුතාගේ ලේ දරන දරුවෙක් කියන එක අපි අමතක කරන්නේ කොහොමද. අනිත් එක අපේ පරම්පරාව ගෙනියන්න ඉන්න කොල්ලා. දහර වගේ අඩු වයසක ගෑනු ළමයෙක්ට හැමදාම තනියම ඉන්න බෑ. “

ඕ එසේ පවසා සැමියා දෙස බැලුවත් ඔහු උන්නේනේ නිහඬවය. 

“වෙච්ච දේවල් වුනා මහත්තයා. ඕවා හොඳ කාල බලලා ග්‍රහ අපල කාල මග ඇරලා හඳහන් ගලපල කරපු මගුල් නෙමෙයි නේ. ඉතිං ඔය වගේ විරසකං හිත් අමනාපකං ඇතිවෙන්න පුළුවන්. දෙන්න දෙමහල්ලන්ගේ රණ්ඩු සරුවල් බත් හැලිය ඉදෙනකල් විතරයි කියලා කියනවනේ. අපි කාමර දෙකක් විතර තියෙන පොඩි ගෙයක් අරගෙන දහරට කියමු දරුවත් එක්ක එන්න කියලා. දවල් වෙලාවේ මට දරුවා බලාගන්න බැරියැ. එහෙම වුනොත් මගේ මේ ලෙඩ අසනීපත් හොඳ වෙලා යයි.”

ශ්‍රියාලතා යළිත් හිස එසවූයේ සැමියාගෙන් ප්‍රතිචාරයක් නොවූ තැනය. 

“අනිත් එක ඉතින් කොහොම බැලුවත් අපේ ළමයට දහරට වගේම ඔය දරු පැටියටත් අයිතිවාසිකම් කියන්න පුළුවන්නේ. ඒ ගොල්ලෝ නීතියෙන් කසාද බැඳලා ඉන්නේ. දුකයි තමයි ඒ උනාට ඉතින් අර ගෑණු ළමයා වෙනුවෙන් අපිට කරන්න දෙයක් නෑ. කසාද බැඳපු මිනිහෙකුත් එක්ක පවුල් කන්න එද්දී ගෑණු ළමයෙක් දැනගන්න ඕනේ කවද හරි ආපහු හැරිල යන්න සිද්ධ වෙන බව. මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි මහත්තයා ආපහු දහරයි අපේ පුතයි එකතු උනානම්. වෙච්ච වැරදිත් හදාගෙන ඒ ළමයින්ට ගුරුහරුකම් දීගෙන අපේ අන්තිම කාලෙත් අපිට නිස්කලංකේ ගත කරන්න පුළුවන්. මෙහෙම දේවල්ද මිනිස්සුන්ට වෙන්නේ. සමහර අය අතපය කැඩිලත් ජීවත් වෙන්නේ. අපේ පුතා ඉක්මනට ගෙයක් දොරක් ගන්න පිළිවෙලක් හදා ගනියි.” 

ශ්‍රියාලතා එවර සිතුවේ සැමියා කිසිවක් නොකියන්නේ තමාගේ බහට ඇති කැමැත්ත නිසා වන්නට ඇතැයි කියාය. ඒ නිහඬකමෙන් ඕ වඩාත් දිරි ලද්දාය. 

“එකපාරටම දහරාගේ අම්මයි මාමයි මේ වගේ අවනඩුවක් අරගෙන අපේ ලඟට එද්දි මම ටිකක් කලබල වුණා. අද රටේ ලෝකයේ වෙන දේවල්වල හැටියට මට හිතුනෙම නන්නත්තාරේ ගිහිල්ලා ජීවිතේ විනාස කරගෙන ආපු ගෑණු ළමයෙක් බලෙන් අපේ පුතාගේ කරේ එල්ලෙන්න හදනවා කියල. අනිත් එක ඉතින් සේකර වත්ත වගේ තැනකින් කියලා කිව්වහම කාටද විශ්වාස කරන්න පුළුවන්. මම විතරක් නෙමෙයි ඔයත් ඒ දවස්වල දහරාව සත පහකටවත් විශ්වාස කළේ නෑනේ. ඒ ඔක්කොටම වඩා අපේ ළමයා අපිට ඇත්තක් කිව්වෙත් නෑනේ. ඒ උනාට ඒයි මට දැන් හිතෙනවා අපේ දරුවට දහරා තරම් වෙන කිසි කෙනෙක් ගලපගන්න බැරි වෙයි කියලා. ඒ ළමයා හරි ඉවසීමක් තියෙන දරුවෙක්. මගේ අතින් උනත් වෙච්ච වෙනස්කම් මතක් වෙද්දි වෙලාවකට මගේ ඇස් වලට කඳුළු පිරෙනවා. ඒ කිසි දෙයක් දැනුණ නොදැනුණු ගානට දරාගෙන හිටියනේ. කවදාවත් කටක් උස්සලා ඔයාටවත් මටවත් වචනයක් කියලා නෑ. වෙලාවකට පුතා කාමරේ හොඳටම බනිනව දොස් කියනවා ඇහෙනවා. ඒත් එහෙමයි ඇහුණා නෑහුනා වගේ දරාගෙන ඉන්නවා. කෑ කොස්සං ගහගෙන රණ්ඩු වෙලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න  සටන් කරපු ළමයෙක් නෙමෙයි. වෙන කෙනෙක් මෙතනට ආවානම් මහත්තයා හිතනවද ලේසි වෙයි කියලා.”

ශ්‍රියාලතා එවර දෑස් ඔසවා සැමියා දෙස බැලුවේ විමතියෙන් විසල් කරගෙනය. නිවසේ සිට ඇනෙක්සියට ගෙන ආ හාන්සි පුටුවේ අසුන්ගෙන ඔහු ලොකු කල්පනාවකය. සැමියා නින්දේ නොවන බව ඈ හඳුනා ගත්තේ ඒ දෑස් පියවී නොතිබූ නිසාය. 

“ඔයා මං කියන දේවල් අහගෙන නෙමෙයිද හිටියේ..”

එසේ අසමින්ම ශ්‍රියාලතා පුටුවෙන් නැගී සිටියාය. 

“මේ… මං කියනදේ ඇහුනේ නැද්ද…”

ඈ එවර ඇසුවේ පෙරටත් වඩා මඳක් උස් වූ හඬකින්ය. 

“ඇහුනා..”

“ඉතින්…”

“දැන් පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඔය ඔක්කොම ටික හිතන්න තිබුනේ මීට කලින්. එහෙනම් අද අපිට මෙහෙම ඉරණමක් අත්වෙන්නේ නෑ තමයි.”

“පෙරහර ගිහිල්ලා ඉවරයි කියන්නේ.”

“ඒ දරුවා දික්කසාදෙ හම්බවෙච්ච ගමන් කසාද බඳින්න ඉන්නේ…”

“මොකක්..මොකක්ද මහත්තයා ඒ කතාව. එහෙම කතාවක් ඒ මිනිස්සු අද කිව්වේ නැහැනේ.”

“අද කිව්වෙ නැති උනාට ඒක තමයි ඇත්ත. මට ඒ ළමයාගේ මාම කිව්වේ.”

“අනේ ඒ මිනිහා බොරුත් කියනවා මහත්තයා. සමහර විට අපි මොකද කියන්නේ කියලා බලන්න කියන්නත් ඇති.”

“ඒ ළමයා කසාද බඳින්න ඉන්නේ දොස්තර මහත්තයෙක්. සල්ලි තියෙන ලොකු පවුලකින්.”

“ඔයා මට විහිළු කරනවද…”

“අන්තිමට විහිළුවක් උනේ අපේ ජීවිතේ ශ්‍රියාලතා. දැන් ඒ ළමයට සුභ පතනවා ඇරෙන්න ආඩපාලි කියන්න ලෑස්ති වෙන්න එපා. දහරාගේ වටිනාකම අපිට නොතේරුනාට ඒ මිනිස්සු තේරුම් ගත්තා. ඒකනේ දරුවෙක් එක්ක උනත් ඒ ළමයා බාරගන්න ලෑස්ති. දැන් අපිට තියෙන්නෙ ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ කියලා අර හංසනා ළමයව හොයලා ඒවා පිළිවෙලක් කරන්න. පළවෙනි පාර අපෙන් වෙච්ච වැරැද්ද දෙවැනි පාර වෙන්න ඉඩ තියන්න ඕන නෑ. මොකද ඒකෙ පව අපේ දරුවට විතරක් නෙමෙයි ඒ දරුවා හදපු වඩපු දෙමව්පියන්ටත් ඵල දෙනවා…”

සුමනසේකර නැගී සිටියේ එසේ පවසමින්ය. බලාපොරොත්තු සුන්ව ගිය ශ්‍රියාලතා එහෙමම බිම වාඩි වූවාය. සුමනසේකර කිසිවක් නොදැන ආවාට ගියාට යමක් පවසන්නේ නැති බව විශ්වාසය. එනිසාම ආපසු අසා නිවැරදි කරගන්නට දෙයක් නොවේ. තමා දහවලේ මනුජිත් ගැන දෙතුන් වතාවක්ම කතා කරද්දී දහරා සේම ඇගේ මවත් නිහඩව උන්නේ එනිසා විය යුතුය. මේ අහිමිව යන්නේ මැණිකක් බව විශ්වාසය. 

                                           **********

නිශාදී විශ්ව විද්‍යාලයේ සිට නිවසට පැමිණියේ දහරාගේ පොත මුද්‍රණ ද්‍රවාරයෙන් නිකුත් වීමට දින දෙකකට පෙරය. ඒ උත්සවයේ වැඩකටයුතු ඕ රහසිගතවම රමාෂ් හා සැලසුම් කළාය. ඉන් පෙර දහරාත් සාමාත් දරුවා රැගෙන කැලණිය පන්සලටත් නවගමුව දේවාලයටත් ගියේ රමාෂ්ගේම මෝටර් රථයෙන්ය. 

“ඔයාට සුදුසුම කෙනා මම කියලා හොඳටම විශ්වාසද රමාෂ්?”

දහරා ඔහුගෙන් ඇසුවේ බෝ මළුව යට සුදු වැලි තලාවේ අසුන්ගෙන සිටියදීය. සාමා දරුවාව වඩාගෙන කිහිප වතාවක්ම බෝ මළුව වටා ඇවිද ගියාය. 

“මං හැමදාමත් විශ්වාසයෙන් තීරණ ගතපු කෙනෙක් දහරා. එදා මට චූටි මාමව අහම්බෙන් මුණ ගැහෙද්දී මම ඇත්තටම ආවේ ඔයාව හොයාගෙන. ඔයා ඒ වෙද්දි මැරි කරලා කියලා දැන ගත්තහම මගේ බලාපොරොත්තු කඩ වුණා. ඊට පස්සේ මට මැරේජ් එකක් ගැනවත් ගෑණු ළමයෙක් ගැනවත් හිතන්න උවමනාවක් තිබුනේ නෑ. හැබැයි මම ඊට පස්සේ දැනගත්තා ඔයා බලාපොරොත්තු උන  ජීවිතය ඔයාට ලැබිලා නෑ කියලා. දහරා මේ විදිහට හැම දෙයක්ම වෙන්න ඇත්තේ අපේ දෛවයේ ලියල තිබුණු විදිහට අපි දෙන්නව එකතු කරන්න කියලා ඔයාට හිතෙන්නේ නැද්ද..”

“මම ජීවිතේ වැටිච්ච පැරදිච්ච තනිවෙච්ච ගැහැණියක්. නිකං නෙමෙයි රමාෂ් දරුවෙක් එක්ක තනිවුනු අම්මා කෙනෙක්.”

“ඔයා තනි වෙන්නේ ඔයාට කවුරුවත් නැති උනානම්. ඔයාට මම ඉන්නවනේ දහරා. තෙනුල්ගේ තාත්තා මම. ඒක මං එයාට පොරොන්දු උනේ එයාව මේ අත් දෙකට ගතපු පළවෙනි තත්පරේම. තවදුරටත් අපි දෙන්නා දෙපැත්තකට වෙලා ඉන්න ඕනේ නෑ දහරා. අපි අලුත් කතාවක් ලියමු.”

ඔහු සිය දකුණත ඈ වෙත දිගු කළේ සුපුරුදු සිනහව මුවෙහි තබාගෙනය. දහරා ඒ අත අල්ලා ගත්තේ ගැහෙන ඇඟිලි තුඩු වලින්ය. 

“හයියෙන් තද කරලා අල්ලගන්නද දහරා. ආයේ කවදාවත් ඔයාට මේ අත අතෑරෙන්නේ  නැති වෙන්න…”

මින්මතු මේ ජීවිතවලට සතුට මිස දුක හමු නොවේවායි ඈ පැතුවේ බෝ මළුව සෙවනේදීමය. 

වේලුත්, තංගමනීත්, සෙනරතුත් යළි කොළඹ පැමිණියේ වේලුට අයත් වූ කේ.ඩී. එච් වර්ගයේ වෑන් රථයකින්ය. ඒ දහරාගේ නවකතාව දොරට වැඩීමේ  උත්සවයට පමණක්ම නොවේ, චාරිත්‍රානුකූලව දහරාව බැලීමට දින යොදාගෙන තිබුණේ ඉන් දෙදවසකට පසුවය. අකමැත්තෙන් වුවත් වේළු ඒ ගමනට එකඟ වූයේ සෙනරත්ගේ ඉල්ලීමටය. කොළඹ පැමිණීමටත් ආපසු සේකර වත්තට යාමටත් වේළු කොහොමටවත් සිතා සිටියේ නැත. එහෙත් දෛවයට එරෙහිවීම කළ නොහැක්කක් බව ඔහු අවසන විශ්වාස කළේය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here