සත්සර පැමිණ වහාම කාර්යාල කාමරයේ දොර යතුරුලා අගුළු දැමූ බැවින් ලවන් හට ඉන් පිට වීමට හැකි වූයේ නැති අතර සත්සර ඒ අතරතුරදි ආරක්ෂක අංශය අමතා පිටස්තර පුද්ගලයෙකු හෝටලයට ඇතුළු වී කෛලාශ් හට පහර දීමට උත්සාහ කරන බව දැනුම් දුන්නේය.
” මගේ තැනට ඇවිල්ල මට අත උස්සන්න ලෑස්ති වෙන්න කලින් ඔයාට පොඩ්ඩක් හිතන්න තිබුන ලවන්. වෙලාවට සත්සර මෙතනට ආවේ. ඒ නැතත් ඔයා මට අත ඉස්සුවා නම් කොහොමත් CCTV footages පොලිසියට දෙනවා ”
ආරක්ෂක අංශයේ දෙදෙනෙකු පැමිණ කාර්යාල කාමරයට ඇතුළු වන තුරු ලවන් පරාජිතව බලා උන්නේය.
” මන්දාකිණි ගේ ප්‍රශ්න නිසා මං සෑහෙන්න කලබල වෙලා ඉන්නේ කෛලාශ්. මට මාව කන්ට්‍රෝල් කර ගන්න බැහැ. අනිත් එක මම අනිත් මිනිස්සු ඉස්සරහ ලැජ්ජ වෙලා ඉන්නේ. මොකද අපේ පැත්තෙන් ගොඩක් අය දැනගෙන හිටියා මායි මන්දාකිණි යි ගැන ”
ලවන් පරාජය භාර ගෙන උන්නේ සැබෑවට දැයි කියා වත් සිතන්නට කෛලාශ් කාලය වැය කළේ නැත. ඔහු හට වැදගත් වූයේ මන්දාකිණි සහ ඇගේ ජීවිතය පමණි
” සිකියුරිටි එකට කතා කළාට මං ඔයාට යන්න දෙනව ලවන්.හැබැයි ඔයාට ආපහු කිසිම හේතුවකට මෙහෙ එන්න බැහැ. පිට තැනකදි වත් මට කිසිම කරදරයක් කරන්න හිතන්න වත් එපා. මට මොකක්ම හරි උනොත් ඉස්සෙල්ලම පොලිසිය යන්න වෙන්නේ ඔයාට කියලා මතක තියා ගෙන දැන් වත් ඔයා මෙතනින් ගියොත් හොඳයි “
කෛලාශ් සහ සත්සර ජයග්‍රාහී ස්වරූපයෙන් බලා සිටියදී ලවන් හිස පහත් කරගෙන කාර්යාල කාමරයෙන් පිටවූ අතර ඔහු පසු පසින් ආරක්ෂක අංශයේ දෙදෙනාද පිටව ගියේ ලවන් හෝටල් පරිශ්‍රයෙන් නික්ම යන බව තහවුරු කර ගැනීමට කෛලාශ් උපදෙස් දුන් පසුවය.
” තව ටිකෙන් උඹට මෙතන ගුටි කන්න මං ආවේ නැත්නම් “
සත්සර කෛලාශ් ඉදිරියේ වූ අසුනට බර වූයේ සිනාසෙමිනි.
” ගුටි කෑවත් උඹ හිතනවද මං ඌ වගේ එකෙකුට මුකුත් නොකර ඉදී කියලා ? ”
” හරි දැන් ඌ මේ දුම්මල වරම අතට අර ගෙන ඇවිල්ල තියෙන්නෙ මන්දාකිණිව හොයන්නද ?”
කෛලාශ් පිළිතුරක් දෙනවා වෙනුවට ඉවත බලා උන්නේය. ඔහු ගේ ඒ නිහඬ බවින්ම සත්සර පිළිතුර අනුමාන කළ අතර කෛලාශ් හඬ අවදි කලේ බොහෝ වේලාවකට පසුවය.
” හැමෝම හිතන් ඉන්නේ මම මන්දාකිණි ව කොහේ හරි හංගලා කියල බං. මං විතරයි දන්නේ එයාව හොයා ගන්න මං කොච්චර වද වෙනවද කියල “
පරාජය භාර ගෙන කෛලාශ් ගේ හෝටලයෙන් නික්ම ගිය ලවන් පසු වූයේ වෛරයෙන් ඇවිලෙමිනි.මන්දාකිණි නිසා වත් තවත් යමෙක් ඉදිරියේ තම ආත්ම ගරුත්වය බාල්දු කර ගැනීමට සිදුවීම ලවන් ව දැඩි ලෙස කම්පනයට පත් කර තිබිණි.එම නිසා ඔහු නිවසට පැමිණි සැනින්ම පැය කිහිපයකට පෙර සිදු වූ සිදුවීම දෙමාපියන් වෙත පවසා සිටියේ වෛරයෙන් බරව ඇති හදවත මදක් හෝ සැහැල්ලු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.
” උඹත් කරන්නේ ඕන් නැති වැඩමනේ. නිකං හරි ඔය කොල්ලා පොලිසියට කිව්වා නං උඹ ඉවරයි. “
තම පුතු සෑම අවස්ථාවකදීම දුර දිග නොබලා ක්‍රියා කිරීම පිළිබඳව සිරිවර්ධන සුපුරුදු පරිදි කෝප වුවත් මාලිකා මේ සියල්ල දෙස බලා උන්නේ මධ්‍යස්ථ වූ සිතිණි.
” අපි මේ පටලගෙන තියෙන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් සිරිවර්ධන. ඒ ළමයට මේක ඕන්නැති නිසානේ ඒ ළමයා ඔය විදිහට හැංගිලා ඉන්නේ. ඉතිං අපි මොකටද මේක මත්තේ තවත් නැහෙන්නේ? අනිත් එක අපි දන්නේ නෑනෙ ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා? කවුද දන්නේ මේක ධර්මරත්නලා ගෙම වැඩක්ද කියලා ? “
” මං නං හිතන්නේ නෑ මාලිකා ධර්මේ ඔච්චර හරියක් කරයි කියලා.ඒක කොහොම වුණත් කොයිවෙලේ හරි ඔය කෙල්ලට එලියට එන්න වෙනවනේ. මොකද එයා හැමදාම හැංගිලා ඉන්නද ? අච්චර ලොකු බිස්නස් එකකුත් තියෙද්දි ? “
අනතුරුව තිදෙනාම අතර දැඩි නිහඬියාවක් පැවතුණේ එකිනෙකා තුළ වූයේ පරස්පර සිතුවිලි බැවිනි. ලවන් තම නිදන කාමරයට වැදී දොර වසා ගත්තේ කෛලාශ් සමග වූ ගැටුම හේතුවෙන් ඇති වූ නොසන්සුන් භාවය ඒ වන විටත් පහව ගොස් නොතිබු නිසාය.
කෛලාශ් සවස් යාමයේ නිවසට පැමිණෙන විට ඇන්ඩ්‍රියා නිවසේ උන්නේ නැත. ඒ වෙනුවට එරික් පමණක් සාලයේ වාඩි වී පුවත්පතක් දිග හැර ගෙන තේ පානය කරමින් උන්නේය.
” කෝ තාත්තා අම්මා ?”
එරික් පුවත්පත පසෙකින් තබා ටීපෝව මත වූ තේ කෝප්පය අතට ගත්තේය.
” කවුද යාළුවෙක් හම්බවෙන්න යනවා කියලා ගියා පුතා.මට ඉතින් ඔය ගෑණු අය අස්සෙ ගිහින් කරන්න දෙයක් නැති නිසා මං ගෙදර හිටියා “
එරික් සිනාසුනේය. කෛලාශ් ගේ ජීවිතයේ සිදු වන සියල්ලක්ම අගක් මුලක් නෑර දැනුවත්ව සිටියද එරික් මැදිහත් වූයේ අත්‍යවශ්‍යම කාරණා වලට පමණි. මන්දාකිණි පිළිබඳව ඇති වී ඇති ගැටළුව පිළිබඳව ද දැන උන්නද එරික් මේ වන තුරුත් කෛලාශ් සමඟ ඒ පිළිබඳව වචනයක් හෝ කතා කළේ නැත.
” ඉතින් තාත්තාත් වෙනදට යනවනේ ?”
” අම්මා ඉක්මනට එන්නම් කියලා ගියේ. ඒ නිසා මං හිටියා පුතා. ආව දවසේ ඉඳන් ඉතින් අපි දෙන්න කලේ එහාටයි මෙහාටයි ඇවිදපු එකනේ. අම්ම නම් දැන් මග එනවත් ඇති.ආ..අනිත් එක අම්මා කියන්නේ තව ටික දවසක් මෙහේ ඉන්න ඕනේ කියලා ඔන්න “
” ඒ ඇයි ? ”
” ඔයා ඉතින් මේ බිස්නස් එකට හිර වෙන එකේ ආපහු වැඩිය එහේ එන එකක් නෑ කියලා අපි මේ ආපු එකේ තව ටික දවසක් ඔයත් එක්ක ඉඳලා යමු කියලා අම්මා කියනවා “
එරික් සිනාසී නැවතත් පුවත් පත දිග හැර ගත් අතර කෛලාශ් මුලුතැන්ගෙය වෙත ගොස් ශීතකරණය විවෘත කර එහි වූ සීතල වතුර බෝතලය ගෙන උගුරු කිහිපයක් එක හුස්මට පානය කළේය. මන්දාකිණි අතුරුදහන්ව, ඒ පිළිබඳව හෝඩුවාවක් හෝ නොමැතිව මේ වන විට දින ගණනාවක්ම ගත වී අවසන්ව ඇත.තමාට දුරකථන ඇමතුමක් හෝ ලබා නොදී ඇය තමා ගෙන් සදහටම ඈත්ව හිඳී යයි බියක් කෛලාශ් තුළ උපන්නේ අනතුරුවය.
ඉදිරිපස මිදුලේ වාහනයක් නතර කරනු ඇසුණු බැවින් ඇන්ඩ්‍රියා පැමිණෙන්නට ඇතැයි කෛලාශ් අනුමාන කළේය. ඔහු සිතූ පරිදිම ඇන්ඩ්‍රියා නිවසට ඇතුළු වී එරික් සමඟ කතා කර තරප්පු පේලිය නැග උඩු මහලට යන හඬ ඇසුණු බැවින් කෛලාශ් අත තිබූ වතුර බෝතලය නැවත ශීතකරණය තුළට දමා තරප්පු පේලිය නැග ඇන්ඩ්‍රියා ගේ සහ එරික් ගේ නිදන කාමරයට පිවිසියේය.
කෛලාශ් නිදන කාමරයට පිවිසෙන විට ඇන්ඩ්‍රියා අල්මාරිය විවෘත කර ගෙන ඒ දෙස බලා උන්නාය.
” අම්මා ”
ඇන්ඩ්‍රියා අල්මාරියේ වූ සැහැල්ලු ඇඳුමක් ගෙන යහන මතින් තබා කෛලාශ් වෙත පැමිණියේ සිනා මුසුවය.බොහෝ ලෙස පීඩනයට පත්ව තිබුණු කෛලාශ් ගේ හදවත තරමක් හෝ සැහැල්ලු වූයේ ඇන්ඩ්‍රියාගේ ඒ සිනහව දුටු පසුවය.
” ඔයාට මහන්සි පාටයි පුතා “
ඇන්ඩ්‍රියා කෛලාශ් ගේ හිස යන්තමින් අත ගා අසල රාක්කයේ වූ තුවාය අතට ගත්තාය.
” මේනකා ආන්ටිට ටිකක් සනීප නෑ. මං එයාව බලන්න ගියා. වොශ් එකක් දාන් එන්නම් පුතා.මටත් ටිකක් මහන්සියි “
” අම්මා ”
” හ්ම් ? ”
” මට මොකක් හරි පේන් කිලර් එකක් දෙන්නකෝ. ඔලුව පුපුරන්න වගේ “
ඇන්ඩ්‍රියා කෛලාශ් ගේ නළලට අත තබා බලා කන්නාඩි මේසය මත වූ අත් බෑගයෙන් වේදනානාශක පෙති දෙකක් ගෙන කෛලාශ් අත තැබුවේය.
” ඩිනර් අරන් ඉක්මනට නිදාගන්න පුතා. මේ ටිකේම ඔයාගේ හිත කලබල නිසා ඔය අසනීපයි වගේ දැනෙන්නේ.හැමදේම ඉක්මනට හරියයි. මං කියන දේ විශ්වාස කරලා ඉන්නකෝ “
ඇන්ඩ්‍රියා නාන කාමරය වෙත පිවිසියාය.කෛලාශ් වේදනා නාශක පෙති දෙක අත්ල මත ගුලි කර ගෙන නිදන කාමරයෙන් පිට වන්නට සූදානම් වී නැවත හැරී කණ්නාඩි මේසය මත ඇති ඇන්ඩ්‍රියා ගේ අත් බෑගය දෙස බැලුවේ අහම්බෙන් පැමිණි සිතිවිල්ලකට අනුවය.


