සඳ දිය දහරා – 65

0
1841

මනුජිත්  රුපියල් තිස් දහසක මුදලක් එවා තිබුනේ සුමනසේකරගේ බැංකු ගිණුමටය. එදාම ඔහු අම්මාට කතා කළ හැකි වට්ස්ඇප් අංකයක් ඉල්ලා සිටියේය. සුමනසේකරගේ කුඩා දුරකථනයේ ඒ පහසුකම වූයේ නැත. එනිසාම ඇනෙක්සියට  යාබදව වූ බෝඩිං කාමරයක ජීවිතය ගෙවූ තරුණයෙකුගේ අංකයක් ඔහු මනජිත්ට යැව්වේය. 

“අංකලුයි ආන්ටියි  ඕන තරං වෙලා කතා කරලා මට හෙමිහිට ෆෝන් එක දෙන්න. ප්‍රශ්නයක් නෑ. මට මේ වෙලාවට කතා කරන්න කවුරුවත් නෑ.”

ඔහු ජංගම දුරකථනය ගෙනැවිත් දී ගියේ එසේ පවසමින්ය. ඉඳ හිට දවසක ශ්‍රියාලතා වැඩිපුර හදන මාළු පිනිවලින් කොටසක් ඔහුට ලබාදේ. එනිසාම දැන් ඔහු සුමනසේකරටත්, ශ්‍රියාලතාටත් හිතවත්ය. 

“මං මෙහේ යාළුවෙක්ගෙන් සල්ලි වගයක් ඉල්ලගෙන තිබුණා. පඩි ගත්ත ගමන් ඒකත් ගෙවන්න වුණා. ලබන මාසෙ වෙනකොට මම තාත්තට ෆෝන් එකක් ගන්න සල්ලි ටිකක් එවන්නම්.”

ඔහු එසේ පැවසූයේ ඇමතුම ගත් මුල්ම තත්පරයේය.

“ඒක මං කොහොම හරි කරගන්නම්. ඔයාගේ සල්ලි අපිට එවන්න ඕන නෑ. අම්මටයි මටයි ජීවත් වෙන්න මේ හම්බ වෙන එක ඇති. ලංකාවෙ තියෙන ඔයාගෙම එකවුන්ට් එකට සල්ලි එව්වනං හරි. ආපු කාලෙක ආපහු මුල ඉඳලම හැදෙන්න එපැයි.”

සුමනසේකර එසේ පැවසූයේ කෝපයෙන් නොවේ. එහා පස උන් දරුවාගේ ස්වරූපය පවා වෙනස්ව ගොස් තිබිණ. ලංකාවේ සිටියදී පිළිවලට රැවුල කොන්ඩය කපා ඇඳුම් පැළඳුම් පවා ප්‍රවේසමෙන් තෝරා ගත් තරුණයා උන්නේ ඒ සියල්ලම අමතකව ගිය ගණනටය. 

“ඔය රැවුල කොණ්ඩෙවත් කපා ගත්තේ නැද්ද දරුවෝ..”

විනාඩි කිහිපයක් කඳුළු සලමින් උන් ශ්‍රියාලතා අවසන එසේ ඇසුවේ නැහය බර කරගෙනය. 

“මෙහේ නිතරම රැවුළ කොන්ඩේ කපන්න බෑ අම්මේ. ඒවට වියදම වැඩියි. ඒ නිසා ගොඩක් අය කරන්නේ ටිකක් වැඩිවෙන්න වවලා කපන එක.”

“උඹ කෙට්ටු වෙලා ළමයෝ..”

“මෙහෙ කෑමනම් තාම මට සෙට් වුණේ නෑ. ගොඩක් කෑම හදන්නේ එක එක තෙල් ජාති දාලනේ. උයන් කන්නත් පුළුවන්. මොකක් හරි පිළිවෙලක් හදා ගන්න ඕනේ. අම්මා ඒ ගැන හිතන්න එපා. කොහොමත් තව මාසයක් දෙකක් යද්දි මොකක් හරි ක්‍රමයකට මමත් හුරු වෙයි නේ. දැන දැනුම දුක් විඳින්න ඇවිල්ලා සැප සම්පත් හොයන්න බෑ අම්මේ.”

“උඹට ඔතන කරදරයිද මයෙ පුතේ..”

“මෙහේ තියෙන්නේ වැඩ කරන්න තමයි අම්මෙ. ලංකාවේ වගේ පැය අට වැඩ කරලා ගෙදර එන්න බෑ. මේ කම්පැනි එකේ වැඩ වැඩි වුණහම සමහර වෙලාවට එක දිගටම දවස් තුනක් අපි වැඩ. නිදාගන්න හම්බවෙන්නේ පැය දෙකයි. ඒ ගැන හිතන්න එපා අම්මේ මං විතරක් නෙමෙයි ජීවිතේ ගොඩ දාගන්න ආපු ගොඩක් කොල්ලෝ මෙහේ ඉන්නවා. ඒ හැමෝම වැඩ.”

“මහන්සි වෙලා ඉගෙන ගෙන නිදි මරාගෙන පාඩම් කරලා උපාධියකුත් අරගෙන මෙහෙ කොච්චර හොඳ ජොබ් එකක්ද කරගෙන හිටියේ. එතනින් නවතින්න බලාගෙන හිටියේ නෑනේ..වැඩ අමාරුනං මොනවා හරි කරලා ආපහු ලංකාවට එන්න. මගේ අතේ පයේ හයිය තියෙනකල් තව ටික කාලයක් ඇදගෙන යන්න පුළුවන්.”

සුමනසේකර එසේ පැවසූයේ ඉවසිල්ලේය. සිතෙහි උපන් කෝපයටත් කලකිරීමටත් සීමා මායිම් නොවූවත් ඔහු මෙවේලෙහි ඉවසා දරා සිටියේය. ඒ මනුජිත්ගෙන් විද්‍යාමාන වූ ස්වරූපය නිසාය. ඔහු අන් කවරදාටත් වඩා ලතැවිල්ලක උන් බව විශ්වාසය. 

“කමක් නෑ තාත්තේ මේවා මගේ වැරදි. ජීවිතේ සමහර දේවල් වලට මම කොච්චර ඉක්මන් උනාද කියලා මට දැනෙන්න ගත්තේ මෙහෙට ඇවිල්ල තනි උනාට පස්සේ. දුරදිග නොබලා සමහර කරපු වැරදි වැඩවල ප්‍රතිවිපාක අද මං විඳිනවා. උපාධියකුත් තියාගෙන මේ ලොකු කම්පැනිවල මැෂින් හෝදන්න මට එන්න උනේ  ඒ නිසා වෙන්න ඇති. දැන් මට ඕනෙ වැරදිච්ච තැනින් ජීවිතේ හදාගන්න. ආපහු ලංකාවට ඇවිල්ලා මට ඔලුව උස්සගන්න ලේසි නෑ තාත්තේ. බලමු සමහර වෙලාවට ටික කාලයක් ගිහිල්ලා මට මෙහේ  අධ්‍යාපන සුදුසුකම් වලට හරි යන රස්සාවක් හොයා ගන්න පුළුවන් වෙයි. මට දුක අම්මයි තාත්තයි ගැන.”

“වෙච්ච දේවල් දැන් සිද්ධ වෙලා ඉවරයි දරුවෝ. ආපස්සට හරවන්න බෑ. මේ අම්මා පිච්චි පිච්චි ඉන්නෙ ඔයා හින්දා. අපිට අපේ අන්තිම කාලෙවත් සැනසීමෙන් ගෙවන්න පුළුවන් විදිහට ජීවත් වුණොත් ඒ ඇති. මට කෙසේ වෙතත් මේ අම්මට නිවනක් තියෙන්න ඕනේ”

“තාත්තේ දහර ගැන ආරංචියක් නැද්ද…”

“අම්මයි මමයි පහුගිය දවස්වල දුවව බලන්න ගිහිල්ලා ආවා.”

“අනේ දරු පැටියා ශෝක් පුතේ. ගියපු ගමන් මගේ අතට ආවා. එනකල්ම හිටියෙ මමත් එක්ක සෙල්ලම් කර කර. කිරි ටික බොන්න විතරයි අම්ම ලඟට ගියේ. ලෝබකමේ බැරුව දාලා ආවේ පුතේ.” 

එහා පස උන් මනුජිත් දිගු සුසුමක් හෙලනු සුමනසේකර අසාගෙනය. ශ්‍රියාලතාට ඒ කතාව නවතන්ය යැයි කියන්නට වුවමනා වුවත් එසේ කිරීමට තරම් හයියක් සුමනසේකරට වූයේ නැත. ඒ ඕ දිගින් දිගටම කියවමින් උන් නිසාය. දැන්වත් මනුජිත් ඇත්තට මුහුණ දී ජීවිතය සකසා ගත යුතුයැයි අවසන ඔහු සිතුවේය.

“ඒ දරුවත් ඒ දරුවගේ ජීවිතයේ හදා ගත්තාවේ. ඒ දරුවා අපෙන් කළෙත් එකම එක ඉල්ලීමයි. අර හංසනා ළමයට අසාධාරණයක් වෙන්න දෙන්න එපා කියලා.” 

“අනේ ඔව් පුතේ. මං හරි කැමතියි දහරා ආපහු අපි ළඟට එනවනම්. ඒ උනාට දැන් ඒ ළමයා හැරෙන්න බැරි තරම් දුරක් ගිහිල්ලා. ඒ ළමයාගේ හෙට දවස ලස්සන වෙනවනං ඒකට අකුල් හෙලලා අපි ආපහු පව්කාරයෝ වෙන්න ඕනෙ නෑ. තාත්තා මට ඒ ටික අවබෝධ කරලා දුන්නට පස්සේ තමයි මටත් තේරුනේ. ඒ ළමයාගේ ජීවිතේ ඉස්සරහ ගමන පැහැදිලියි පුතේ. ඒ ගමන කඩාකප්පල් කරන්න ගිහිල්ලා ආපහු ආත්ම ගානකට විදවන්න පවක් කරගන්න ඕන නෑ. මේ අපිට පල දුන්නේ අපි කරපු ලොකු පාප කර්මයක්.”

“නෑ අම්මේ දහරා ආපහු හැරෙන්න ඕන නෑ. ඔය කියන විදිහට එයාගේ ජීවිතේ හොඳක් මිසක් නරකක් වෙන්නෙ නෑ. කොහොමටත් ආපහු කවදාවත් දහරට මුහුණ දෙන්න මට බෑ.”

“දහර කිව්වා පුතේ ගෑණු ළමයෙකුට නින්දා අපහාස විඳින්න සිද්ධ වුණාට පස්සේ ඒක දරාගන්න ලේසි නෑ කියලා. එයාගේ අත්දැකීමෙන් එයා එහෙම කියන්නේ. මං ඒ හංසනා ළමයගේ  අයියලා එක්ක ගිහිල්ලා කතා කරන්න පුතේ හිතුවේ. අපි ඔයාව හැදුව වගේම ආදරෙන්නේ ඒ දෙමව්පියෝ ඒ දරුවාව හදන්න ඇත්තෙත්.”

“මමත් තාත්තාට ඒක කියන්න හිටියේ. අවුරුදු තුනකට මම ඇග්‍රිමන්ට් සයින් කළා. ඒගොල්ලන්ට කියන්න ඒ අවුරුදු තුනට පස්සේ මම ලංකාවට ඇවිල්ලා හංසනාව කසාද බඳිනවා කියලා. එතකල් මම වියදමට සල්ලි එවන්නම් එයාට තව මොනවා හරි ඉගෙන ගන්න කිව්වා කියන්න. තාත්ත කතා කරලා ඒ ගොල්ලන්ගේ තීරණය මට කියන්නකො.”

“ඒක හොඳයි. හෙට අනිත්දම  මං ඒ වැඩේට යන්නම්.”

තවත් අඩ හෝරාවක් පමණ යනතුරු මනුජිත් අම්මා තාත්තාත් සමඟ කතා කරමින් කාලය ගත කළේය. ඔහු බොහෝ විට හංසනාට යැව්වේ කෙටි පණිවිඩය. ඇය රැඳී සිටියේ අලව්ව ප්‍රදේශයෙහි වූ මිතුරෙකුගේ නිවසෙහිය. මිතුරාත් රටින් පිටවී උන් නිසා ඒ නිවසේ සිටියේ ඔහුගේ මවත් පියාත් නැගණියත් පමණි. හංසනා බලා සිටින්නේ ඇයව ඉක්මනින් ඩුබායි රටට ගෙන්නා ගන්නා තුරුය. එහෙත් ඒ කාර්‍යය ලෙහෙසි පහසු එකක් නොවේ. එනිසාම ඇය යළි ඇගේ දෙමාපියන් සමඟ වාසයට යෑම සුදුසු යැයි මනුජිත් සිතුවේය. තාත්තාත් ඒ පිළිවෙල හොඳයැයි පැවසූ නිසා ඔහුගේ සිතෙහි වූ බියත් සැකයත් දුරුව ගියේය. දැන්වත් මේ ජීවිතය පිළිවෙලක් කර ගත යුතුයැයි ඔහුට සිතුනේ ඩුබායි රටේ තනි වී ගෙවා තැබූ කාලයේය. මාස දෙකක් පුරා රැකියාවක් සොයමින් එහේ මෙහේ ඇවිදිද්දී ඔහුගේ නවාතැන් ගාස්තු  ගෙව්වේත් කෑමට බීමට යමක් ලබා දුන්නේත් ලංකාවෙන් පැමිණි මිනිසුන්ය. ඒ කිසිවෙකු ඔහු කලින් හඳුනාගෙන උන් අයවලුන් නොවේ. අපේ මිනිසුන් මනුස්සකමින් පොහොසත්යැයි මනුජිත් විශ්වාස කළේ එනිසාය. තමා පසු කරගෙන ආ මේ ජීවිත ගමන කෙතරම් වංචනික එකක් යැයි ඔහුට සිතුනේ ඒ මිතුරන් තමාගේ ජීවිත කතා කියද්දීය. ඒ ගෙවා දැමූ කාලය ඔහුට ආපසු තමාගේ ජීවිතය ගැන සිතා බලන්නට දෛවයෙන් ලැබුණු නිදහසක් යැයි අවසන මනුජිත් විශ්වාස කළේය. 

දහරා ගැන  සිතද්දී අදටත් මේ පපුවට දැනෙන්නේ සිහින් රිදුමකි. තමා කොතරම් වංචාකාරී ලෙස ඇයව රිද වූයේද යන්න සිහිවද්දීත් පපුව රිදුම් දෙන්නට විය. ඇය වෛද්‍යවරයෙකු හා විවාහ වන්නට සූදානමින් සිටිනවායැයි අම්මා පවසද්දී මනුජිත් කිහිප වතාවක්ම ඇසි පිය සැලුවේ දෑසට උනා  ආ කඳුළු සඟවා ගන්නටය. එහෙත් අවසන කිසිදු කහටක් නොමැතිව ඇයට ආශිර්වාද කරන්නට තරම් මනුජිත් සිත හදා ගත්තේය. මෙතැන් සිටවත් සිය දෛවය වෙනස් කළ යුතුයැයි ඔහු තීරණය කළේ එනිසාය. අමතක කළ නොහැකි රිදුමක් සේ දහරා මේ ජීවිතයේ රැඳී සිටින බව විශ්වාසය.  තමාගෙන් ඇයට සිදුවූයේ සමාව දිය නොහැකි තරම් වරදකි. යළි එක්වීමක් අවැසි වුවත් දහරා කීයටවත් ඊට එකඟ නොවන බව මනුජිත් දනී. ඒ හංසනා නිසාය. 

යළිත් දිගු සුසුමක් හෙලා ලය සන්සුන් කරගත් තරුණයා හංසනාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් යැවූයේ තාත්තාගේ යෝජනාව ගැන සඳහන් කරමින්ය. එක වරක් තමාගේ අතින් සිදු වූ ඒ අහස පොළොව නුහුලන අපරාධය යළිත් වරක් සිදු නොකරන්නට අවසන ඔහු තමාටම පොරොන්දු දී ගත්තේය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here