සඳ දිය දහරා – 66

0
1684

පුතේ දොරට වැඩීම තිබූ ඒ ඉරිදා උදෑසන දහරා සැරසුණේ රූපලාවන්‍යාගාරයකට ගොසින්ය. රූපය පිළිබඳව එතරම් සැලකිලිමත් නොවූවත් කාලයක් තිස්සේම නිවස තුළටම වී සිටි නිසාවෙන්දෝ අමුතු සත්කාරයක් ඇගේ සමට හෝ රූපයට අවැසි වූයේ නැත. කොහොමටත් දහරා කැමති වී සිටියේ සරල හැඩ ගැන්වීමකටය. තොල් ආලේපනයක් පවා තැවරූයේ  නිශාදිගේ උවමනාවටය.

බටර් පැහැ සාරියෙහි වූයේ රන් පැහැ නූලෙන් හැඩ දැමූ බෝඩරයක් පමණි. එහෙත් එය වටිනාකමින් වැඩි එකක් බව බැලූ බැල්මටම පෙනේ. තංගමනී නැන්දා විසින් ඒවා තිබූ සාරිය දහරාට ගෙනවිත් දුන්නේ රමාෂ්ය.

කුඩා පුතු උන්නේ නිශාදිගේ අතේය. සියුම් ලේ නහරවල් ඔත්සේ පවා පැතිර ගිය ආඩම්බරයත් සමඟ දහරා උත්සව ශාලාවට ඇතුළු වූයේ අම්මාත් ආච්චිත් චූටි මාමාත් පෙරටු කර ගෙනය. මේ ඇගේ  ශක්තියයි. ඇරයුම් ලැබූ වත්තේ කිහිප දෙනෙකුම වේලාසනින් පැමිණ උත්සව ශාලාවේ අසුන්ගෙන සිටියහ. මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරය අතුරු සිදුරු නැතුව පිරී ගොස් තිබුණේ දහරාව පුදුමයට පත් කරමින්ය. ඒ අතරේම මනුජිත්ගේ අම්මාත් තාත්තාත් සොයන්නට ඕ දෑස් වෙහෙසකර වූවාය. මදක් පසුපසට වන්නට වූ පෝලිමක කෙළවර අසුන් දෙකක සිට ඔවුන් දහරා දෙස බලා සිටියේ සිනහමුසුවය. දහරාවට මල් කළඹක් ලබා ලබාදී ඇයව පිළිගත්තේ ප්‍රකාශන ආයතනයේ හිමිකරුය. ඔහුත් රමාෂ්ගේ වයසේම තරුණයෙකි. සමාජ මාධ්‍ය තුළින් මේ පොත සඳහා දී  තිබූ ප්‍රචාරය නිසාම දහරා   නාඳුනන පාඨක පිරිසක් ද පැමිණ සිටියහ. ඕ ඉදිරිපස ආරාධිත අමුත්තන් සදහා වෙන්කර තිබූ කොටසෙහි අසුන් ගත්තේ රමාෂ් සමඟින්ය. නොතේරුම් වූ සතුටක් සමඟ හදවත අමුතු බියකින් ගැහෙමින් තිබිණ. ඈ රමාෂ්ගේ අත අල්ලා ගත්තේ එනිසාය.

“ඇයි…”

“මොකක්දෝ බයක් හිතේ තියෙනවා. මට ඒක කියන්න තේරෙන්නේ නෑ.”

“පළවෙනි වතාවනේ  දහරා ඒ නිසා වෙන්න ඇති. මේක ඔයාගේ දවස ඇයි බය වෙන්නේ.” 

“මම හීනෙකින්වත් බලාපොරොත්තු උන දේවල් නෙමෙයි.”

“අපි ගොඩක් අයගේ ජීවිතවල සිද්ධ වෙන්නේ බලාපොරොත්තු වෙන දේවල්ම නෙමෙයිනේ. හැබැයි ඉතින් හොඳ දෙයක් බලාපොරොත්තු නොවිච්ච මොහොතක සිද්ධ උනත් ඒකෙන් වරදක් වෙන්නෙ නෑ.”

 මුලින්ම කතා කළේ ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ලේඛිකාවකි. දහරාගේ දෑස් කඳුළින් තෙත් වූයේ ඈ වේදිකාව මත දකිද්දීය. මේ එදවස බොහෝ අර පරිස්සමට ආසාවෙන් කියවූ අකුරුවල හිමිකාරිනියකි. ප්‍රකාශන ආයතනයෙන් කලින්ම ඇයට පොත යවා තිබූ නිසා ඇය පොත ගැන කලේ අපූරු වර්ණනාවකි. දහරාගේ අකුරු වලින් අනාගතයේ විශිෂ්ට ලේඛිකාවක දකින බව ඈ පවසද්දී යළිත් ඒ දෑස් කඳුළින් තෙත්ව යන්නට විය. කලින් සිතා මතා සැලසුම් කර නොතිබුණත් දහරා අසුනින් නැගී ගොස් ඇගේ දෙපා වැන්දේ ඕ වේදිකාවෙන් බසිද්දීමය. සෙනෙහසින් ඇයව සිප වැළඳගත් ප්‍රසිද්ධ ලේඛිකාව ඇගේ අනාගතයට සුත පැතුවේ හිසත් අතගාමින්ය. 

ප්‍රකාශක තුමාගේ කතාවෙහි ඔහු කියා සිටියේ දහරාවත් ඇගේ අකුරුත් ඔහුට හමුවූ ආකාරය ගැනය. 

“එක තැන පල් වෙන විදිහේ නිර්මාණ පාඨකයා අතරට ගෙනියනවට  වඩා මට සතුටක් උනා දහරාගේ මේ සිතුවිලි පාඨකයා අතරට ගෙනියන්න පුළුවන් වුන එක ගැන. මේ පොත වයස් බේදයකින්  තොරවම හැම කෙනෙකුටම කියවන්න පුළුවන් රස විඳින්න පුළුවන් නිර්මාණයක්. ඒ වගේම මම විශ්වාස කරනවා හැම තරුණ දියණියක්ම කියවිය යුතු නිර්මාණයක් කියලා.

දහරා මේ පොතේ එක තැනක කියනවා ජීවිතය වරදින්නත් හරියන්නත් ගතවෙන්නෙ තත්තර කිහිපයක් විතරයි කියලා. බුද්ධිමත් තීරණයක් ගන්න කාලයට වඩා වටින්නේ මනස කියලා. හදිසි තීරණ වලින් ජීවිතවලට යහපතක් වෙන්නෙ නෑ කියලා. අපේ තරුණ දරුවෝ ජීවිතයේ තීරණ ගන්නේ බොහොම හදිසියේ, පසුගිය දින වලදී රූපවාහිනිය තුළින් ගුවන් විදුලිය තුළින් වගේම සමාජ මාධ්‍ය තුළින් අපිට ඒ ගැන අසන්නට ලැබුණේ ඇඟ කිලි පොලා යන තරම් බය හිතෙන ප්‍රවෘත්ති. ඒ නිසාම අපි දැන් දන්නවා තරුණ දරුවන්ගේ ජීවිතවලට හික්මීමක් අවශ්‍යයි කියලා. අන්න ඒ නිසා තමයි මම විශ්වාස කරන්නේ ‘පුතුට ලියමි..’ පොත හැම ගැහැණු දරුවෙක්ම කියවිය යුතුයි කියලා.” 

ඔහු කතාව නිම කළේ කලේ දහරාට සුභ පතමින්ය. 

ඊට පසුව වේදිකාවට නැගුණේ රූපවාහිනියේ නිතර දැක පුරුදු ගුවන් විදුලියෙන් නිතර කටහඬ අසා පුරුදු වූ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහු ධනාත්මක චින්තනය ගැන දේශන පැවැත්වූ අයෙකි. 

ඔහුටත් ප්‍රකාශක තුමා කලින්ම පොත යවා තිබූ නිසා අකුරක් අකුරක් පාසා බොහෝ කැමැත්තෙන් කියවූ බව පැවසුවේය. 

“මම නිතර පොත් කියවන කෙනෙක්. ඉඩක් ලැබුණු හැම වෙලාවකම මගේ විනෝදාංශය සහ හිතසුව පිණිස මම කරන්නේ පොත් කියවන එක. මාව තේරුම් ගත්ත නිසාද මන්දා ගෙදර උන්දැගෙන් මට ඒකට කිසිම බාධාවක් නැහැ. ඉතින් මේ පොත ප්‍රකාශකතුමා මට  එවන්නේ විශ්ව විද්‍යාලයට. ඒ තරම් බරපතළ පොතක් නොවුනු නිසා මම විශ්ව විද්‍යාලයේ විවේකාගාරයේදීම මේ පොත දිගහැර ගන්නවා. මං හිතන්නේ මට විනාඩි පනහක් හැටක් ගත වෙන්න ඇති. එක හුස්මට මට මේ පොත කියවලා ඉවර කරන්න පුලුවන් වුණා. ඒක හරි අපූරු කතාවක්. කලින් දේශන වලට සහභාගී වූ ප්‍රකාශක මහත්මාත්,  ප්‍රවීණ ලේඛිකාවත් සඳහන් කළ පරිදි මං මුලින්ම කියනවා මේ අකුරු තුළ මම දැක්කේ අනාගත ප්‍රවීණත්වයක ලකුණු. සියයට සීයක්ම සාර්ථක නොවුනත් මම දකිනවා ඇගේ මේ පළමු මුද්‍රිත කෘතිය අතිසාර්ථකයි කියලා. මේ අපේ කලාවට නිර්මාණ අවැසි කාලයක්. කතුවරිය සමත් වෙලා තියෙනවා මේ හැම අකුරකින්ම යම්කිසි චිත්ත රූපයක් අපේ මනසෙහි මවන්න. ඇත්ත වශයෙන්ම කිව්වොත් මට මේ පොත කියවලා අවසානයේ දැනුනේ  කෙටි චිත්‍රපටියක් නැරඹුවා කියනයන සිතුවිල්ලක්. ඒ කියවීමෙන් ලැබුණු කම්පනයෙන් මිදෙන්න මට සෑහෙන කාලයක් ගත වුණා. ඒක තමයි ලේඛකයෙකුගේ හෝ ලේඛිකාවකගේ, එහෙම නැත්නම් නිර්මාණකරුවෙක්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ. කියවලා ක්ෂණයකින් අමතක වෙලා යන කතාවක්නම් කියවලා ක්ෂණයකින් අමතක කරන්න පුළුවන් කතාවක්නම් ඒ ලේඛකයා හෝ ලේඛිකාව සාර්ථකයි කියලා මට හැඟෙන්නේ නෑ. බටහිර විචාරකයකු වන කේ. ලිවර් මහතා පවසනවා නවකතාව යනු පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයට ගෙනයන යන ගද්‍යමය ලියවිල්ලක් බව, නවකතාවකට කතා පුවතක් තිබිය යුතුයි. ඒ වගේම කතා පුවත පොදු මනුෂ්‍යත්වය හා සමාජය විග්‍රහ කෙරෙන යථා රූපී නිරූපණයක් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ අතරේ කතා තේමාව අර්ථවත් එකක් වෙනවනං ඒක විශිෂ්ඨයි.

ජී. බී සේනානායක මහතා එක තැනකදි කියනවා නවකතාව කියලා කියන්නේ සමකාලීන සමාජය පිළිබිඹු කරන කැඩපතක් කියලා. දහරා මේ කතා කරලා තියෙන්නේත් සමකාලීන සමාජයට බොහොම වැදගත් වෙන මාතෘකාවක් ගැන. සමහර විට කාලයක් මේ ඇගේ ජීවන අත්දැකීම් වෙන්න පුළුවන්…”

ඔහු අඩ හෝරාවකට ආසන්න කාලයක් කතා කළේ ඇගේ නවකතාවේ ගුණ දොස් පිළිබඳවය. දහරාට වේදිකාවට නැගෙන්නට ඇරයුම් ලැබුණේ ඉන්පසුවය. 

රමාෂ් ඒ නළලත මත සිපුමක් තැබුවේ ඇය දෙතොල්  පවා වෙවුලමින් ඔහු දෙස බලද්දීය. 

“ඔයාට පුළුවන්…”

ඔහු එසේම මුමුණද්දී ඈ නැඟී සිටියාය. ඇල්පෙනෙති තුඩක් බිම වැටුනත් හඬ ඇසෙන  තරම් නිහඬ නිශ්චල වූ උත්සව ශාලාව තුල වේදිකාව මත ඇවිද ගිය ඇගේ සපත්තුවේ අඩිය පවා පොළොවෙහි ගැටෙන හඬ දෝංකාර නංවන්නට විය. මයික්‍රොෆෝනය ඉදිරිපස  සිටගත් දහරා මුලින්ම කළේ ශාලාව ඇතුළත තමාගේ සමීපතයන් සෙවීමය. නිශාදි, අම්මා, ආච්චි, මාමා සේම තංගමදී නැන්දාත්, වේළු මාමාත් අසුන්ගෙන සිටියේ එක පෙළටය. කුඩා පුතු නිශාදිගේ උකුලෙහි හිස තබාගෙන අම්මාගේ උකුළෙහි දෙකකුල් තබාගෙන සනීපයට නිදා උන්නේය. 

ප්‍රකාශක තුමාගෙන් සහ පැමිණ සිටින පිරිසගෙන් අවසර පැතූ දහරා ලය පිරෙන්නට හුස්මත් ගෙන තවත් තත්පර කිහිපයක් බලා සිටියාය. 

ජීවිතයේ සියල්ල එක් අනුවණ තීරණයකින් අහිමි කරගත් ගැහැණියක අද වේදිකාවක් මත දෙපයින් සිටගෙන සිටිති. ඒ සිතෙහි වූයේ තමා ගැනම උපන් පුදුමාකාර ආඩම්බරයකි. 

“මම හිතනවා අත්දැකීම් කලකිරීම් දුක වේදනාව කඳුළු තමයි මනුස්සයෙක්ගේ ජීවිතයකට පන්නරයක් ලබා දෙන්නේ කියලා. ඔබ කියනවනම් ඒකට අපල කාලයක් කියල ඒ වගේ අපල කාලයක් මගේ ජීවිතෙත් තිබුණා. ගෑණු දරුවෙකුට ජීවිතය වරදින්න යන්නේ තත්පරයයි කියලා මේ සමාජයේ එදා ඉදලම කියවුණු ඒ කතාව බොරුවක් නෙමෙයි කියලා  අත්දැකීමෙන්ම දන්න කෙනෙක් මම. හිත රිදෙන ඒ අතීතය ගැන ආපහු ආපහු කතා කරන්න මට වුවමනාවක් නෑ. අතීතය තුළින් පාඩම් ඉගෙන ගෙන ජීවිත ගමනේ ඉස්සරහට ඇවිදගෙන ඇවිල්ල මල් පිපෙන අනාගතයක නතර වෙච්ච ඔබ ආපහු අතීත මතකවල කිමිදෙමින් දුක පමණක්ම දරාගන්න අවශ්‍ය නෑ කියලා මම විශ්වාස කරනවා. දුක කඳුළ මතින් නැගිටින්න මනුස්සයෙකුට ඕන වෙන්නේ හයිය හිතක්. තමාව රැකබලා ගන්නා ආදරණියන් පිරිසක්, තමන්ව විශ්වාස කරන මිතුරුකමක්. 

“පුතුට ලියමි” පොතට නමක් නොතිබුණු ඒ අතීතයේ මං අකුරු කළේ මගේ හිතෙහි මැවුණු සැබෑම සිතුවිලි. සමහර තැන්වලදී ඒවා කපා කොටා සංස්කරණය කරන්න සිදුවුණත් තව අවුරුදු ගණනාවක් ගෙවිලා ගිහිල්ලත් මේ පොත කියවද්දි මම මාව දකීවි. මගේ ඒ පුංචි පුතා මේ වෙලාවේ මගේ අම්මගෙයි,  මගේ ආදරණීයම යෙහෙළියගෙයි උණුසුම මැද්දේ සනීපයට නිදි. මං මේ  පොත එයා වෙනුවෙන් රැක ගන්නවා. මොකද මගේ හිතේ විශ්වාසයක් තියෙනවා  එයා මේ අකුරු කියෙව්වොත් කවදාවත් එයාගේ අතින් කිසිම ගෑණු දරුවෙක්ගේ ජීවිතයකට හානියක් වෙන එකක් නෑ කියලා. කිසිම ගෑණු දරුවෙක්ගේ ගෞරවය, අභිමානය, රැකවරණය එයාගේ අතින් ගිලිහෙන එකක් නෑ කියලා.”

දහරා යළිත් කතාව නවතා දිගු හුස්මක් ඉහලට ඇද ගත්තාය. ඇගේ දෑස් එවේලෙහි වූයේත් කඳුළින් තෙත්වය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here