මතකයක සේයා – 71

0
1026

ඒ රාත්‍රියේදීම මන්දාකිණිව බැලීම පිණිස ඇන්ඩ්‍රියා ගේ මිතුරිය වූ මේනකා ගේ නිවසට යා යුතු බව එරික් ගේ මතය විය. එහෙත් ඇන්ඩ්‍රියා ඒ අදහසට එතරම් එකඟත්වයක් පළ කළේ නැත.

” අපි හැමවෙලේම එහේ යන්න තියා ගන්න එක හොඳ නෑ එරික්.ඒක මන්දාකිණි ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.පුතාට පුලුවන් නේ මේනකා ආන්ටිට කෝල් එකක් අර ගෙන මන්දාකිණි ට කතා කරන්න ” 

ඇන්ඩ්‍රියා කෛලාශ් දෙස බලමින් පැවසුවේ දුර දිග සිතා බලාය.

” ඒක හරි ඇන්ඩ්‍රියා.ඒ උනාට මේ දරුවා ? “

එරික් වචනයක් හෝ නොදොඩා ශෝකයෙන් සිටින තම පුතු දෙස බැලුවේය. තම මිතුරිය මේනකා ගේ නිවසට ගොස් තම පුතු හට මන්දාකිණිව මුණ ගැස්වීමට ඇන්ඩ්‍රියා අකමැත්තෙන් වුවද එකඟ වූයේ ඉන් අනතුරුවය.

රාත්‍රී ආහාරය ගෙන මන්දාකිණි යහන මත වාඩි වී එයට ඉදිරියෙන් ඇති කුඩා රූපවාහිනියේ නාලිකා මාරු කරමින් අරමුණක් නැතිව ඔහේ බලා උන්නාය. ඇය රාත්‍රී ආහාරයෙන් පසුව ලබා ගත යුතු බෙහෙත් පෙති කිහිපය පීරිසියක් මත තබා ගෙන මේනකා කාමරයට ඇතුළු වූයේ දෙවරක් පමණ දුරට තට්ටු කර බලාය.

” මං ඒත් බැලුවා මන්දාකිණි ට නින්ද ගිහිල්ලා ද කියලා”

මන්දාකිණි මදහසක් ඇතිව යහන මතින් හරි බරි ගැසී වාඩි වූයේ බිඳී ගිය දකුණු අත පහසුවෙන් තබා ගැනීමට උත්සාහයක් දරමිනි

” ආන්ටි බෙහෙත් ටික අරගෙන එනකම් ටීවී එක ටිකක් බැලුවා මං ” 

මන්දාකිණි පීරිසිය මත වූ බෙහෙත් පෙති කිහිපය රැගෙන මුව තුළට දමා ගෙන අසල වූ වතුර වීදුරුව රැගෙන එක හුස්මට උගුරු කිහිපයක් පානය කළාය.භාගෙට විවෘත කර තිබුණු කාමරයේ දොර අසලට පැමිණ මේනකාගේ සැමියා වූ සරත් මේනකා ඇමතුවේ ඒ අතරතුරදීය.

” ඇන්ඩ්‍රියා ඇවිල්ලා ” 

මන්දාකිණි මෙන්ම මේනකාද සරත් දෙස බැලුවේ පුදුමය මුසු වූ දෑස් වලිනි.

” ආයෙමත් ? ඇයි ඒ ? මොනවා හරි දාලා ගිහින්ද ? “

” දන්නෑ.. දෙන්නම එන්නකො ටිකක් ඉස්සරහට”

පැය කීපයකට පෙර නිවසින් නික්ම ගිය ඇන්ඩ්‍රියා නැවත පැමිණීමට හේතුවක් සිතා ගත නොහැකිව මන්දාකිණි මෙන්ම මේනකාද සාලයට පැමිණියේ කලබලයෙනි. නිවස තුළින් සාලයට පිවිසෙන උළුවස්ස අභියස දී මන්දාකිණි ගේ දෙපා ඉබේටම නැවතුණේ පැමිණ සිටින්නේ කවුරුන් දැයි හරි ආකාරවම දුටු පසුවය.

” කෛලාශ් “

මන්දාකිණි වෙව්ලන දෙපා වලින් නතරව තමාට අඩි කිහිපයක් නුදුරින් සිට ගෙන බලා සිටින කෛලාශ් දෙස බලා උන්නේ කඳුළු පිරි දෑස් වලිනි. කෛලාශ් ද ඒ ආකාරයෙන්ම බලා උන්නද තවත් මොහොතක් හෝ එසේ සිටිය නොහැකිව ඔහු අඩියට දෙකට මන්දාකිණි වෙත පැමිණ ඇයව තදින් වැළඳ ගත්තේය.

” මට මෙහෙම කරන්න එපා මන්දාකිණී “

කෛලාශ් බිඳී ගිය හඬකින් පවසා මන්දාකිණි වෙතින් මෑත් වී ඇගේ හිස අත ගාමින් ඇය දෙස බලා උන්නේය.

” මම මෙහෙම නොකළ නං අර මනුස්සයා මාව බලෙන් හරි කසාද බඳිනවා කෛලාශ්. ඔයා ගේ අම්මා හිටියේ නැත්තං අද මම මෙතනත් නැහැ. එහෙම උන නම් මට මොනා වෙන්න තිබුනද කියලා මට වත් හිතා ගන්න බෑ  “

තම පුතු වෙනුවෙන්, ඔහුගේ සතුට වෙනුවෙන් යමක් කළ හැකි වීම ගැන උපන් නිහතමානී ආඩම්බරයකින් හුන් ඇන්ඩ්‍රියා සාලයේ වූ සෝෆාව මතට බර වූයේ අත් බෑගය ටීපෝව මත තබමිනි.

” මගේ හෑන්ඩ් බෑග් එකේ තිබ්බ ඔයා ගේ prescription ටික දැකලා තමා මෙයා අපේ හොර අල්ල ගත්තේ. කවදාවත් මගේ කිසි දෙයක් හොයලා බලන්නේ නැති ළමයට අද මගේ හෑන්ඩ් බෑග් එක බලන්න හිතිලා  ” 

ඇන්ඩ්‍රියා සිනාසුනේ සැහැල්ලුවෙනි. එහෙත් තවමත් සම්පූර්ණයෙන්ම විසඳී නොගිය ගැටළුවක් ඉතිරිව තිබෙන බැව් සිහි වූ බැවින් ඇගේ ඒ සිනහව තවත් ක්ෂණයකින් මැකී ගියේය.

” මන්දාකිණි , මේ කිසිම දෙයක් අපිට සැහැල්ලුවට ගන්න බෑ පුතේ. අපි හැමෝම මේ කරන්නේ හරිම අවදානම් වැඩක්. මේක ඕනම වෙලාවක නරක අතට හැරෙන්න පුළුවන්.විශේෂයෙන්ම ලවන් ඔයා ඉන්න තැන හොයා ගත්තොත් කොහොම හරි මේ අපි හැමෝම අමාරුවේ.ඔයාට තේරෙනවා නේද පුතේ මං කියන දේ? “

මන්දාකිණි සෙමෙන් පියවර තබා විත් ඇන්ඩ්‍රියාට මුහුණලා වාඩි වූවාය. 

” අම්මා හිතන්නේ මම මොකක් කලොත් හොදයි කියලද ? “

තම මව විසින් වත් තමා ගේ සිතැඟි තේරුම් නොගත් වකවානුවක දී ඇන්ඩ්‍රියා දේවදූතියක සේ පැමිණ තමා වෙනුවෙන් පෙනී හිඳීම සහ තම ජීවිතය ආරක්‍ෂා කිරීම හැම අතින්ම අසරණ වී සිටි මන්දාකිණි වෙත ගෙන ආවේ විශාල අස්වැසිල්ලකි.

” ඔයාගේ පුතයි කතා කරලා මොකක්ද කරන්නේ කියලා තීරණය කරන්න පුතේ. අපි ඊට පස්සේ බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා. මොන දෙයක් කරන්නත් පරක්කු නොවී හිටියොත් හොඳයි.අපි පරක්කු වෙන්න වෙන්න ඔයා ගේ ගෙදර අයටයි ලවන්ටයි ඔයාව හොයා ගන්න තියෙන චාන්ස් එක වැඩියි. එහෙම උනොත් එහෙම වෙන දේ මං ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙෙ නෑනේ ? “

අනතුරුව සියල්ලෝම අතර පැවැතියේ දිගු නිහඬතාවයකි.බොහෝ වේලාවකට පසුව එම නිහඬතාවය බිඳින ලද්දේ කෛලාශ් විසිනි.

” අම්මා. මන්දාකිණි ව එහෙ අරන් යන්න ” 

” එතකොට ? ” 

එරික් අනෙක් අතට ඇසුවේ පුදුමයෙනි. 

” මෙහෙ හිටියොත් කොහොමත් වෙන්නේ මට මන්දාකිණි ව නැති වෙන එක නේ තාත්තා . ඊට වැඩිය හොඳ නැද්ද එයා අම්මයි තාත්තයි එක්ක එහෙ ගියොත්. පොඩි කාලෙකට හරි ? “

”  එතකොට මන්දාකිණි ගේ බිස්නස් එකට මොකද වෙන්නේ පුතා ? අපි මේ ප්‍රශ්නෙට කරන්න ඕනේ ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දෙයක්. ඔයා ගේ බිස්නස් එකටත් වඩා සෑහෙන පරණයි මන්දාකිණි ගේ බිස්නස් එක. එයා ඒක ගොඩනගා ගන්න කොච්චර මහන්සි වුණාද කියලා ඔයාට අපි අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. ඒ නිසා පුතා මේ වෙලාවේ අපි කරන දෙයක් ආත්මාර්ථකාමී නොවී කරන්න ඕනේ “

මන්දාකිණි කිසිවක් නොකියා බලා උන්නේ තමා කෙරෙහිම උපන් ආත්මානුකම්පාවකිනි. තමාගේම පවුලේ අය තම වාසි තකා තීරණ ගන්නා අතරතුරදී මෑත කාලයේදී තම ජීවිතයට සපැමිණි සමීපතමයන් තම සුභ සිද්ධිය වෙනුවෙන් කාලය වැය කරමින් සිටියි.

” ප්‍රශ්නයක් ඉස්සරහ මෙහෙම හැංගිලා ඉඳලා මට පුරුද්දක් නෑ අම්මා.ඕන එකක් වෙන්න කියලා ගෙදර අය ඉස්සරහට යන්නත් මට හිතෙනවා “

මන්දාකිණි පැවසුවේ පරාජිත බවකිනි. වසර ගණනාවක් පුරාවටම ස්වාධීන තරුණියක ලෙස ජීවත් වූ තමා හට දැන් සිදුව ඇත්තේ කවුරුන් හෝ පවසනා යමකට එකඟ වී ජීවත් වීමටය.

” එතකොට අම්මා කරපු මේ කිසි දෙයකින් වැඩක් නැති වෙනවනේ මන්දාකිණි.ඔයා ගෙදර ගියොත් වෙන්නේ පරණ තත්වෙටම ඔයාට ආපහු වැටෙන්න වෙන එක. එතකොට ඔයාට මීටත් වඩා ප්‍රශ්න වලට මුණ දෙන්න වෙයි.අනිත් එක…. “

කෛලාශ් කියන්නට ගිය දෙය නවතා ගත්තේය.

” මොකද්ද අනිත් එක ? “

” ඔයාට ලවන් ව කසාද බඳින්න වෙයි මන්දාකිණි “

කෛලාශ් දිගු සුසුමක් හෙලා පැවසුවේය. වැරදීමකින් හෝ එවැන්නකට ඉඩ සැලසුන හොත් තමාගේ ජීවිතය ද එතනින්ම නතර වනු ඇත.මන්දාකිනි හට ද සදාකාලික වේදනාවක් පමණක් ඉතිරි වනු ඇත. 

” ඇන්ඩ්‍රියා . මේ දරුවාව ඕන තරම් කාලයක් මට මෙහෙ තියා ගන්න පුළුවන්.මට ඒක කිසිම කරදරයක් නෙමෙයි. හැබැයි මේ වෙලාවේ ඇත්තටම ඔයාලා කතා වෙලා මොකක් හරි විසඳුමකට එන එක තමයි හොඳම දේ “

අවසානයේදී මේනකා පැවසුවේ මේ සියලු කතා බහ දෙස නිහඬව බලා හිඳය. එයට ඇයගේ සැමියා ද එකඟ වූ අතර ඇන්ඩ්‍රියා සහ එරික්ද එකග වූහ.

” කෛලාශ් ?” 

තවත් මොහොතක් කල්පනා කරමින් හිඳ මන්දාකිණී කෛලාශ් දෙසට හැරුනේ යමක් පවසා සිටින්නටය.

” හ්ම් ? “

” මට මේකට දැන් පේන්නේ එකම එක විසදුමයි “

” මොකද්ද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here