කලුවර රෑ සඳක් වගේ – 24

0
868

“බස් එකේද ආවෙ?” කියලා තිදස් අහද්දි තමයි ඇත්තටම මට පුළුවන් උනේ මගෙ මූණට හිනාවක් අරගෙන එන්න.

“නෑ සර් ඩ්‍රොප් කරලා ගියා” කියලා මම හීනි හිනාවක් එක්ක කියද්දි තිදස් එයාගෙ පුටුවෙ ඉඳගෙනම මං දිහා බලලා හිනා උනා.

“තාම සර් කියලද කතා කරන්නෙ? දැන් ඉතින් හස්බන්ඩ් නෙ? නම කියලා හරි පෙට් නේම් එකක් කියලා හරි නෙවිද කතාකරන්නෙ?” කියලා තිදස් අහද්දි එක පැත්තකින් ඒක උඹට වැඩක් නෑනෙ කියලා තිදස්ගෙ මූණටම කියන්න මට කොච්චර උවමනා උනත් ඉස්සර වගේ මට තිදස් ඉස්සරහා ලොකු සීන් දන්න බැරි ලෙවල් එකේ රැස් වළල්ලක් තිදස් මේ අවුරුදු කීපෙට එයා වටේට හදාගෙන තිබ්බා. අනික ඉස්සර මං දාපු ලොකු සීන් වල අත්තිවාරම උනේ මං මනුසත් කියන මහ ලොකු ප්‍රොෆෙසර් එක්ක යාලුයි කියන එක උනාට දැන් මං උන්නෙ මගේ ජීවිතේ තිත්තා ඇත්ත තේරුං අරගෙන හන්දා තවදුරටත් ලෝකෙ ඉස්සරහ බොරු පඩ ශෝ දාන්න මට උවමනා උනේ නෑ. මේ මං ඉස්සරහා දැන් ඉන්න තිදස් කියන්නෙ මීට අවුරුදු ගාණකට කලින් මගෙ පස්සෙන් ආව ඒ සාමාන්‍ය කැම්පස් කොල්ලා නෙවෙයි. එයා වටේ තියෙන ඒ පිරිමි පෞරුෂය ඉස්සරහා මම නිකන්ම හීලෑ වෙනවා වගේ මට දැනුණා. අනික ඒ කාලේ මනුසත්ගේ ප්‍රොෆෙසර් පට්ටම මට මහා ලොකු දෙයක් උනාට, දැන් ඒක මාව හිර කරපු කූඩුවේ මාව අඳුරගන්න ගහලා තියෙන ලේබල් එක විතරයි කියලා තිදස් දන්නේ නෑනෙ.

“නෑ මම අර ඔයාගෙ රෙෆරන්ස් එකට කිව්වෙ” කියලා මම තිදස්ට උත්තර දුන්නෙ ඒ හන්දා.

“හරි ඒ කතාවලින් වැඩක් නෑ. මම ඔයාව එක්කරගෙන යන්නම් දැන් කට්ටියට ඉන්ට්‍රඩියුස් කරන්න. අපේ මේ ඔෆිස් එක මහ ලොකු එකක් නෙවි ලිහිණි. මම ජොයින් වෙන්නත් අවුරුදු දෙකකට විතර කළින් තමයි පටන් ගෙන තියෙන්නෙ. අපේ මාකටින් එහෙම කරගන්නෙත් අපිම තමයි මොකෝ අපි ගොඩක්ම b2b බිස්නස් එකක් හන්දා ලොකුවටම අපි ඔය ඉන්ෆ්ලුවන්සර් කොන්ටෙන්ට් වගේ දේවල් කරන්නෙ නැ. B2B යන මටීරියල්ස් වල කොන්ටෙන්ට් අපිම තමයි බලන්නෙ. මං ඔයාව දාන්න අපේ ලොක්කා එක්ක කතා කරගත්තෙත් ඒ ටීම් එකට. ලොක්කා නම් මේ ටිකේ ලංකාවෙ නෑ. ඒ නිසා මං ඔයාව ඉන්ට්‍රඩියුස් කරලා දෙන්නම් කට්ටියට. මහ ලොකු පිරිසක් නෑ ඉතින් ඔක්කොම කරගන්නෙ ඉන්ටර්නල් හන්දා. තරුණ සෙට් එකක් තමයි ඉන්නෙ. ඔයාට ඒ හන්දා ජොලියෙ ඉන්න පුළුවන් වෙයි” 

තිදස් එහෙම කියාගෙන කැබින් එකෙන් එළියට යනකොට මමත් පස්සෙන් ගියේ හරියට අලුත් ඉස්කෝලෙකට ආපු ළමයෙක් වගේ. හැබැයි තිදස් ලොකු බරක් නැතුව කතා කරන විදියට මගේ හිතේ තිබ්බ ගැස්ම ටිකක් අඩු වුණා. ඒ වුණාට මං වගේ කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති මනුස්සයෙක් කොහොමද මේ වගේ කම්පනි එකක මාකටින් පැත්තෙ වැඩවලට සපෝට් එක දෙන්නෙ කියන ප්‍රශ්නෙ මට නොතිබ්බා නෙවි. අපි යද්දිත් කට්ටිය උන්නෙ තම තමන්ගෙ මේස වලට ඔලුව ඔබාගෙන වැඩ කරන ගමන්. හැබැයි මේක මේ රජයෙ කන්තෝරුවක් වගේ තැනක් වෙන්න බෑ කියලා මට හිතුනෙ මීට දවස් කීපෙකට කලින් කාගෙ හරි උපන්දිනේකට ඔෆිස් එකේ කරලා තිබිච්ච සැරසිලි දකිද්දි. ඒවයි ලියලා තිබිච්ච ඒවා මට මං උන්න තැන ඉඳලා කියවගන්න බැරි උනත් ඇඳලා තිබිච්ච චිත්‍ර එහෙම දැක්කම නම් මෙයාල හරි ජොලි කට්ටිය කියන එක මට තේරුංගන්න අමාරු උනේ නෑ.

“ගුඩ් මෝනින් කට්ටිය” කියලා තිදස් ගිහින් එතන තිබ්බ මේසෙකට හේත්තුවක් දාද්දි තමයි කට්ටියම ඔලුව උස්සලා තිදස් දිහාව බැලුවෙ.

“අද ඉඳල ඔන්න ඔයාලට අලුතෙන් යාලුවෙක් සෙට් වෙනවා හොඳේ. අපේ කැම්පස් එකේ නංගි කෙනෙක්. ලිහිණි තමයි නම. ලිහිණි කිව්වට ලිහිණීම නෙවෙයි නේද? ලිහිණි ඔයාම කියන්නකො ඔයාගෙ සම්පූර්ණ නම” කියලා තිදස් මං දිහා බලලා හිනාවෙලා ඇහැක් ගහද්දි තමයි මට ඇත්තටම හිතේ තිබිච්ච බර සම්පූර්ණයෙන්ම එළියෙන් තියලා එයාලා එක්ක හිනාවෙන්න පුළුවන් උනේ.

“කියන්න කියන්න, ලැජ්ජ වෙන්න එපා. ලස්සන නමක් ඇත්තෙ නේද දෙබොස් කියන විදියට” කියලා ඉස්සරහම මේසෙක වාඩිවෙලා උන්න කට හැකර, කොණ්ඩෙ ක්‍රේල් කෙල්ලෙක් කියද්දි තිදස් වගේම අනිත් කට්ටියත් හයියෙන් හිනා උනා.

“සැළලිහිණි සෞන්දර්‍යා ගුණවර්ධන”

“අම්මට සිරි සැළලිහිණි සංදේසෙන්ද අම්මලා නම අරන් තියෙන්නෙ?”

“කවුද නංගි නම දාලා තියෙන්නෙ අරිසෙන් අහුබුදු ද?” කියලා කට්ටිය එක එක ඒවා කියද්දි උනත් මට නම් නෙවෙයි තරහා ගියෙ.

“හරි හරි මේ විහිළු වෙනයි මේවා වෙනයි. ඔන්න අද ඉඳන් කොන්ටෙන්ට් සයිඩ් එකේ වැඩ වලට ලිහිණිත් ජොයින් වෙනවා හොඳේ. මෙයාව මම අමුතුවෙන් රෙකමන්ඩ් කරන්න ඕනේ නෑ, කැම්පස් එකේදී මම දැකලා තියෙනවා ලිහිණිගේ ලියවිලි කොහොමද කියලා. ඒ නිසා මීට පස්සේ බ්ලොග්ස් වලයි, කම්පැනි මටීරියල්ස් වලයි කොලිටි එක ගැන මට වද වෙන්න වෙන්නේ නෑ කියලා මම හිතනවා. ලිහිණි… මේ ඉන්නේ අපේ සෙට් එක. කට්ටිය එක්ක වැඩ ටික බෙදාගන්න. මෙයාලා මොනාහරි ප්‍රශ්නයක් දැම්මොත් කතාකරන්න හොඳේ.” කියලා උනත් තිදස් කිව්වෙ හිනා වෙවී.

“අහ්හ් දැන් එයාගෙන් අපිට ප්‍රශ්නයක් ආවොත් අපි එතකොට කාටෙයි කියන්නෝන?” කියලා කොල්ලෙක් ඇදලා පැදලා හිනාවෙවී කියද්දි අපි හැමෝම ආය එකට හිනාවුණා.

“අනේ මේ අද මේ ආව ළමයා උඹලට ප්‍රශ්න දාන්න එන්නෙ නෑනෙ. අනික මං දන්නවනෙ උඹලගෙ හැටි”

“හරි හරි හරි, අපිව ඉතින් මේ අලුතෙන් ආව ලස්සන නංගිලා ඉස්සරහා දෙබොස් ඇවිත් නෝණ්ඩි කරනවනෙ” කියලා ඒ කොල්ලා ආයෙ කියද්දි තිදස් ඇස් වලින් “එහෙනම් මං යන්නම්” කියාගෙන අපේ කට්ටිය උන්න කැබින් එකෙන් එළියට ගියා.

“මේ ඉස්කෝලේ ටීච කෙනෙක් පනිශ්මන්ට් එකක් දුන්න පොඩි එකෙක් වගේ ඔතන අද දවසෙම හිටං ඉන්නද කල්පනාව?” කියලා ආයෙ ඇහුවෙ අර කට හැකර කොණ්ඩෙ කර්ල් කෙල්ල. 

“කොතනින්ද වාඩිවෙන්නෝන මං?” කියලා මං ඇහුවෙ මගේ බෑග් එකේ පටිය අතේ ඇඟිලි අස්සෙ මිරිකගන්න ගමන්.

“ඔයා කැමති නම් ඉතින් මගේ ඔඩොක්කුවෙ වාඩි කරගන්නම් නංගි” කියාගෙන ආයෙ පුටුවෙන් නැගිට්ටෙ අර ඉස්සෙල්ලා මට විහිළු කරපු කොල්ලා. 

“අනේ විහඟ මේ කෙල්ලෙක් ඔෆිස් එකට ආව ගමන් උඹ නිකන් පැණි හලාගෙන එනවනෙ. අහුවෙන්නෙපා ලිහිණි මෙයාගෙ ඒවට හොඳේ. මෙයාට යන යන තැන කෙල්ලො” 

“අපෝ ඔව් ඔව් මං කියන්නෙ නෑ මං ආව කාලෙ උඹලා මාව අතපත ගාන්න ආව විදිය” කියලා කට්ටිය හිනාවෙන ගමන්මයි මං වාඩිවෙන්නෝන තැන මට පෙන්නුවෙ. උදේ ඉඳලා දවල් වෙනකම්ම මං ඒ හන්දා උන්නෙ හිනා වෙවී. මේ කට්ටිය හරි ජොලි කියන එක වගේම, විනෝදෙන් වැඩ කරන්න පුළුවන් කියන එකටත් වඩා මගෙ හිත සන්තෝස කරේ ආයෙමත් වතාවක් මට මම ජීවත් වෙනවා වගේ දැනිච්ච එක.

දවල් කෑම වෙලාව වෙනකම්ම මං කට්ටියගෙන් වැඩ අහගෙන අහගෙන උන්න එක තමයි කරේ.

දවල් කෑම වෙලාවට හැමෝම ලන්ච් රූම් එකේ ලොකු ටේබල් එකකට සෙට් වෙද්දි මාත් මගේ බත් එක අරගෙන එයාලා ළඟින්ම වාඩි වුණා. කැම්පස් එකේදි වගේ කට්ටිය එකට වාඩිවෙලා තමයි කන්නෙ කියලා තේරිච්ච හන්දා මම මගේ බත් පැකට් එක ඇරලා මේසෙ මැද්දට තියන්නහදද්දීම තිදස් කොහේදෝ ඉඳලා ඇවිත් මගේ ඉස්සරහ පුටුව ඇදලා වාඩි වුණා. 

“කොහොමද ටීම් එක? සෙට්ද?” තිදස් ඇහුවේ එයාගේ ලන්ච් පැකට් එකත් ඕපන් කරන ගමන්.

“අනේ ඔව්” කියලා කියන ගමන් මම මගේ බත් පැකට් එකේ තිබිච්ච අල කෑල්ලක් පොඩි කරලා බත් එක්ක අනාගත්තා. 

“මෙයාලා ඉන්න තැන හැබැයි අහලා වැඩක් නෑ නේද ඒ ප්‍රශ්නෙ? ඔයා මුං ටික නරක් උනත් මට කියන එකක් නෑ ඉතින් මුං ඉන්න තැනක.

“හරි හරි ඉතින් අපිට තමයි කොතනත් කැපිල්ලා. ඉන්නකො ලොක්කා එනකම්නෙ මේ ඔක්කොම” කියලා අයෙ කිව්වෙ අර කොල්ලා. ඒ කොල්ලාගෙ නම විහඟ බවත්, කට හැකර කෙල්ලගෙ නම අප්සරා බවත්, තව දිව්‍යා, සනුල, තරින්දි කියලා කට්ටියක් ඉන්න විත්තියත් මම ඒ වෙද්දි දැනගෙන උන්නෙ.

“ඔයාද උදේ ඉව්වෙ?” කියලා තිදස් ඇහුවෙ මගේ බත් එකේ තිබ්බ චිකන් කෑල්ලක් කන ගමන්.

“ඔව්”

“හැමදාම උදේට නැගිටලා උයනවද ඉතින්?”

“දැන් ඉතින් මං ඔෆිස් එන හන්දා උයන්න වෙනවා. නැත්තම් සර්ට ලෙක්චර්ස් තියෙන දවසට තමයි උයන්නෙ”

“සර් උදව් වෙනවද ඉතින්?” කියලා අහන ගමන් තිදස් මෙච්චර වෙලා මගේ දිහාවට හරවගෙන උන්න එයාගෙ ඇස් බත් මුල දිහාවට හරවගත්තෙ සමහරවිට මං දෙන උත්තරේ එයාට දරාගන්න බැරි එකක් වෙන විත්තිය මං එයාගෙ ඇස් වලින් අඳුරගනීවි කියලද දන්නෙ නෑ.

“එයාට ඉතින් ලෙක්චර්ස් නේ” කියලා මං කිව්වෙ ඒ හන්දා.

“බත් එක රස පාටයි”

“කන්න ඉතින්, ගොඩක් බත් තියෙනවනෙ”

“අද කාලා රහ වැටුණොත් කියලා බයයි”

“ඇයි ඒ?”

“හැමදාම කන්න හිතුණොත්” කියලා තිදස් කිව්වෙ මට අතීතෙ හොඳටම හුරු පුරුදු බැල්මක් එයාගෙ ඇස් අස්සෙ ඇඳගෙන.

“මට හැමදාම බත් අරගෙන එන්න පුළුවන්” කියලා කියන්න පුළුවන් බව දැනගෙන උන්නත් මං ඒ වචන වලට මගෙ තොල් අස්සෙන් එළියට එන්න ඉඩ දුන්නෙ නෑ. මොකෝ පිටින් කන්න පිරිමි පුරුදු වෙන්න හොඳ නැ වගේම පිට පිරිමින්ට තමන්ගෙ ගෙදරින් කන්න දෙන එක ගෑනියෙක්ට යුතු දෙයක් නෙවෙයි කියන එක මගේ හිත අස්සෙ උන්න මනුසත්ගෙ හෙවණැල්ල වැටිලා මැචුවර්ඩ් වෙච්ච ලිහිණි කිව්ව හන්දා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here