මන්දාකිණි ගේ සහ කෛලාශ් ගේ විවාහය ලියාපදිංචි කෙරුනේ ඇන්ඩ්‍රියා සහ එරික් යුවල ගේත් මේනකා සහ සරත් යුවළ ගේත් පමණක් සහභාගීත්වයෙනි. එය ලවන් ගෙන් ආරක්ශා වීම සඳහා ගත හැකි හොඳම පියවර යැයි මන්දාකිණි ගේ තීරණය විය.
විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් පිටතට පැමිණි පසුව මන්දාකිණි බොහෝ සැහැල්ලු සහ දිගු හුස්මක් ගත්තේ කෛලාශ් ගේ දෑතේ එල්ලෙමිනි.මෙතැන් පටන් තමා මේ සුන්දර තරුණයා ගේ බිරිඳ යන හැඟිම ඇයව බොහෝ සැනසීමට පත් කර තිබිණි. කෛලාශ් තුළ වූ හැඟීමද එයට දෙවැනි නොවීය. කුඩා කල මතකයක සේයාවක් ඔස්සේ ” ලියානා ” නැමති කුඩා දැරිවියගේ ඡායාව තරුණ වියට එළඹෙන තුරුම සිතේ තබා ගෙන ඇය සොයා මව්බිමට පැමිණි ගමන කෛලාශ් සිහිපත් කළේ වාහනයට නගිනා අතරතුරය.
” මං කළේ හරි ආත්මාර්ථකාමී දෙයක්ද කියලා හිතනවා කෛලාශ් “
මන්දාකිණි එසේ පැවසුවේ දෙමව්පියන් සිහි වීමෙනි. තමා දෙවන වරටත් හිතුවක්කාර තීරණයක් වෙත එළඹුණා දැයි දෙගිඩියාවක් දැනුනද ලවන් වැන්නෙකු විවාහ කර ගන්නවාට වඩා තමාගේ සිතැඟි හොඳින්ම තේරුම් ගත් ,ජීවිතයේ අසීරු දිනයන් හිදී තමා දරා හිඳි තරුණයා අසල නැවතීම යහපත් යැයි සිතමින් සිත හදා ගැනීමට මන්දාකිණි උත්සාහ දරුවාය.
” තමන් වෙනුවෙන් ,තමන්ගේ සතුට වෙනුවෙන් ගන්න කිසිම තීරණයක් ආත්මාර්ථකාමී නෑ මන්දාකිණි.විශේෂයෙන්ම ඒ තීරණය නිසා තමන් ඉන්නේ සතුටින් සැහැල්ලු වෙන් නම් “
කෛලාශ් මන්දාකිණි ගේ වම් අත්ල ගෙන යන්තමින් සිප ගත් අතර විශාල කුණාටුවකට පසුව එළඹෙන සාමකාමී බවක අසිරිය මන්දාකිණි විඳිමින් උන්නාය.
තවත් දින තුනක් පමණ මේනකා ගේ නිවසේ රැඳී සිටි මන්දාකිණි ඊළඟ දිනයේ උදෑසන කාර්යාලය වෙත යන්නට සූදානම් වූවාය. මෙතැන් පටන් සිදු වන ඕනෑම දෙයකට පෙරටත් වඩා ධෛර්‍යයෙන් මුහුණ දෙන්නට ශක්තියක් මන්දාකිණි තුළ ඒ මොහොතේ විය.
” අම්මා ”
මන්දාකිණි සූදානම් වී අවසන් වූ පසුව උදෑසනම ඇන්ඩ්‍රියා ඇමතුවාය.
” පුතා ඔෆිස් යන්න ලෑස්ති උනාද ? ”
” ඔව් අම්මා ”
” මම දවල් වෙලා ඔෆිස් එකට එන්නම්. ඒ ඇත් ඔයාගේ ඔෆිස් එක ඇතුළෙදි කාටවත් ඔයාට මුකුත් කරන්න බැරි නිසා කිසිම දේකට බය වෙන්න එපා මන්දාකිණි ”
මන්දාකිණි සති ගණනාවකට පසුව තම ආයතනය වෙත ගොඩ වූයේ සැහැල්ලු හදවතිනි. දින ගණනාවකට පසුව ක්‍රියාත්මක කරන ලද දුරකථනයට නොනවත්වාම ඇමතුම් පැමිණෙමින් තිබුණු අතර මන්දාකිණි ඒ කිසිවකට ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත.
” මැඩම් මෙහෙම ආපු එක අපිට ලොකු සතුටක් “
මන්දාකිණි ගේ ආගමනයෙන් වඩාත්ම සතුටට පත් වූයේ වසර ගණනාවක් ඇය සමග සේවයේ යෙදුණු ඇයගේ කළමනාකරණිය වූ මීනු ය. සියලු සේවකයන් කැඳවා රැස්වීමක් පැවැත්වූ මන්දාකිණි ඉදිරි වැඩ කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව තම සැලැස්ම ඉදිරිපත් කළේ තම ජීවිතය ඉදිරියේදී වෙනස් වන්නට යන ආකාරය පිළිබඳව සැලසුමක්ද සහිතවය.
රැස්වීම අවසානයේදී මන්දාකිණි තම කාර්යාල කාමරයට වී තමාට නියමිත වැඩ කටයුතු අවසාන කරමින් උන්නාය. ඊළඟ මොහොතේදී ඇගේ කාර්යාල කාමරයේ දොර විවෘත කර ගෙන ධර්මරත්න, පුශ්පා සහ ලවන් ඇතුළු වූයේ අතිශය අනපේක්ෂිත ආකාරයකටය.
” උඹට මොකද අපි කෝල් කරාම කතා කරන්න බැරි මන්දාකිණි ? ”
ධර්මරත්න අසුනක් ඇද වාඩි වූ අතර පුෂ්පාද ඔහු අනුගමනය කළාය. ලවන් ධර්මරත්න අසල සිට ගෙන සිටියේ ඔහු ගේ ආරක්ෂකයකු පරිද්දෙනි.නමුත් මන්දාකිණි බැල්මකින් වත් ඔහු දෙස නොබලා ඉන්නට ප්‍රවේසම් වූවාය.
” හිත රිදෙන දේවල් වලට තවත් ඉඩ නොදී ඉන්න මන් තීරණයක් ගත්තා තාත්තා “
” උඹ කොහොමද ඔච්චර හිතුවක්කාර උනේ මන්දාකිණි ? අපි උඹව හොයන්න කොච්චර මහන්සි වුණාද කියල දන්නවද? මේ ලවන් කොච්චර මහන්සි වුණාද කියල දන්නවද ?”
මන්දාකිණි ඒ මොහොතේදී ප්‍රථම වතාවට ලවන් දෙස හැරී බැලුවේ ඉතා සැහැල්ලුවෙනි. ලෝකයේ කිසිදු පුද්ගලයෙකුට මින් අනතුරුව තමාට බලපෑම් කළ නොහැකි බවට හැඟීමෙනි.
” ඔයාල මාව හෙව්වේ මට නොගැලපෙන ,මං කොහෙත්ම කැමති නැති තැනක මාව නතර කරන්න මිසක් මට ආදරේකට නෙමෙයි නේ තාත්තා “
ධර්මරත්න කෝපයෙන් බලා උන්නේය. තම දියණිය වෙතින් මෙවන් ශක්තිමත් භාවයක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බැවින් ඔහු උන්නේ පුදුමයට පත් වීය.
” ලවන් මුල ඉඳලම හැසිරිච්ච විදිහ දැක දැක එයා තාත්තාගේ යාලුවගේ පුතා වෙච්ච පලියට මාව එයාටම බන්දලා දෙන්න හදපු එක හරිම වැරදියි කියලා ඔයාට දැන් වත් තේරෙන්නෙ නැතුව ඇති තාත්තා. ඒ උනාට එක පාරක් ජීවිතේ වැරදිච්ච මට දැන දැනම ආපහු ඒ වගේ වලකට වැටෙන්න හිත හදාගන්න බැහැ ඔයාලා දෙන්න නිසාවත්. ඒ නිසා මං මගේ සතුට තියෙන තැන නතර වුණා “
මන්දාකිණි මදහසක් පෑ අතර ධර්මරත්න පුෂ්පා දෙසත් අනතුරුව තමා අසල සිට ගෙන සිටින ලවන් දෙසත් බලා නැවත මන්දාකිණි දෙසට හැරුණේය.
” ඒ කිව්වේ ? ”
මන්දාකිණි තම වමත පෑවාය. එහි වූ කෛලාශ් විසින් පල දෙවන ලද මගුල් මුද්ද දුටු විට තිදෙනාගේම දෑස් විම තියෙන විසල් වෙන ආකාරය දුටු වත් මන්දාකිණි බිඳක් හෝ සසලුනේ නැත.
” දෙයියනේ ”
පුෂ්පා අතින් මුව වසා ගත්තාය.
” උඹ මොකක්ද මේ කරගත්තේ මන්දාකිණි ?”
” ඔයාලට මේක හරිම හිතුවක්කාර තීරණයක් වගේ පෙනෙයි.ඒත් මේ ලවන් එක්ක ජීවිත කාලෙටම ඉන්නවට වැඩිය මට මේ ගත්ත තීරණේ හැම අතින්ම හොඳයි “
” උඹ මේ කතා කරන්නේ අර අම්මෙක් අප්පෙක් නැති එකා ගැනද ? “
” ඔයාලට කෛලාශ් අම්මෙක් අප්පෙක් නැති අනාථයෙක් වගේ පෙනුනට දාහකින් හොයා ගන්න බැරි ගතිගුණ තියෙන අම්මෙකුයි තාත්තෙකුයි එයාට ඉන්නවා. මේ අහන්න තාත්තා.මං ඉන්නෙ මගේ ජීවිතේ ගැන තීරණ ගන්න පුළුවන් වයසක. අපිට හැමදාම අපි ගන්න තීරණ වරදින්නෙ නැහැ. කෛලාශ් කියන්නේ මං පුංචිම පුංචි කාලේ ඉඳලා දන්න හරිම අහිංසක ළමයෙක්.එයා අච්චර හොඳ රටක ඉන්න පුළුවන්කම තියෙද්දී බිස්නස් එකක් ඉස්සර කර ගෙන ලංකාවට ආවේ මාව හොයා ගෙන. ශෙනාල් ගේ ප්‍රශ්නෙදි වුණත් මාව තනි කරන්නේ නැතුව හැම තැනකදිම මගේ පස්සෙන් හිටියේ කෛලාශ්. ඔයාලට දැන්වත් පුලුවන්ද මගේ සතුට ගැන හිතලා ඔය තීරණ වෙනස් කර ගන්න ? ඔයාලට ඉන්න එකම දුව ගැන එයාගේ පැත්තෙන් හිතන්න ඔයාලට පුළුවන්ද ? ඔය බිස්නසුයි , නම්බුවයි අතෑරලා ඔයාලගේ ඉස්සරහ මේ වාඩි වෙලා ඉන්න ඔයාලා දෙන්නගෙ එකම දුව ගැන හිතන්න පුළුවන්ද තාත්තා ? එයා දැන් ඉන්නේ කොච්චර සතුටින්ද සැහැල්ලු වෙන්ද කියලා තේරුම් ගන්න පුළුවන්ද? “
පුෂ්පා කඳුළු පිරි දෑසින් මන්දාකිණි දෙස බලාහුන් අතර ලවන් සියල්ලන් දෙසම කෝපයෙන් බලා වේගයෙන් කාර්යාල කාමරයේ දොර විවෘත කර ගෙන පිටව ගියේය. අනතුරුව ධර්මරත්නත් පුෂ්පාත් සහ මන්දාකිණි ත් අතර වූයේ දැඩි නිහඬියාවකි. ජීවිතයේ සියල්ල තම උත්සාහයෙන් අත්පත් කර ගත් උපයා ගත් දියණිය ජීවිතයේ වැදගත්ම තීරණය සඳහා තම ආශිර්වාදය ඉල්ලා හිඳිනා විට ඇගේ පියා ලෙස තවදුරටත් ඇයට විරෝධය පාන්නට ධර්මරත්න හට හිත දැඩි කර ගැනීමට හැකි වූයේ නැත.
කෛලාශ් හට තම බිරිඳ මන්දාකිණි සහ තම දෙමව්පියන් සමඟ කටුනායක ගුවන් තොටුපළින් ඕස්ට්‍රේලියාව බලා පිටත් වීම සඳහා ගුවන් යානය වෙත ගොඩ වීමට ඉතිරිව තිබුණේ පැයක පමණ කාලයක් පමණි. ඔවුන්ව පිටත් කරවීම සඳහා ධර්මරත්න සහ පුෂ්පාද එක්ව සිටියේ සියල්ලන්ගේම හදවත් වලට සතුට සහ සැහැල්ලුව ඕනෑවටත් වඩා එකතු කරමිනි.
” මං ඔයාට බාර දෙන්නේ මං හම්බ කරපු හැමදේටම වඩා මට තියන වටිනම දේ පුතා.පහුගිය කාලේ අපෙන් වෙච්ච දේවල් අමතක කරලා මගේ මේ කෙල්ලව මෙතනින් එහාට පරිස්සමට බලා ගන්න “
ධර්මරත්න තම එකම දියණිය වූ මන්දාකිණි වත්, ඇය තෝරා ගත් ඇගේ ප්‍රාණ සම සැමියා වූ කෛලාශ් වත් වැළඳ ගත්තේ අප්‍රමාණ සෙනෙහසකිනි.
කොටස් 72 ක් පුරාවට ” මතකයක සේයා ” ඔස්සේ මා සමඟ ආදරය බෙදා ගත් ඔබ සැමට තුති.නැවත දිනයක හමුවනතුරු ඔබේ මතකය ආදරයෙන් මෙහි තබා යන්න !


