කරුවල රෑ සඳක් – 26

0
1544

26 කොටස

“මං අද හවස මේ භානුකීලගෙ ගෙදර ආවා. අහස් යන්නත් තව ටික දවසෙනෙ තියෙන්නෙ.” කියලා මනුසත් කිව්වෙ මං ගෙදර ඉද්දිත් එයා ඇවිත් තිබ්බෙ නැති හන්දා මං ගත්ත කෝල් එකට උත්තරේ විදියට.

“එතකොට ඔයා රෑට කන්න එන්නෙ නැද්ද?” කියලා මං ඇහුවෙ ඇත්තටම මට දැනගන්නෝන උනා මනුසත් මේ හදන්නෙ මගෙන් පලිගන්නද එහෙමත් නැත්තම් එයා මේ හැමදේම කරන්නෙ මට රිද්දන්නද කියලා.

“නෑ මං මෙහෙන් කනවා. මං එද්දි රෑ වෙයි. හරි බායි” කියලා මනුසත් ෆෝන් එක කට් කරාට පස්සෙත් සෑහෙන වෙලාවක් යනකල් මම ඒ දිහා බලාගෙන හිටියා. “හරි බායි…” ඒ වචන දෙක මගේ කන් අස්සේ දෝංකාර දුන්නේ මාරම හිත කීරි ගස්සන විදියට. අඩුම ගාණේ මම කාලද, මම ගෙදර ආවේ කොහොමද, ඔෆිස් එක හොඳද කියලා අහන්න තරම්වත් හිතක් මනුසත්ට තිබුණේ නැති හැටි මතක් වෙද්දී මගේ පපුව මැදින් හීනි රිදිල්ලක් ආවා.

මම සෝෆා එකේ කොනකට වෙලා ගේ ඇතුළේ තියෙන ඒ මළානික නිහඬතාවය දිහා බලාගෙන උන්නා. මේ මහා විසාල මාලිගාව වගේ ගේ ඇතුළේ මම නිකන්ම නිකන් වැඩකාරියක් වගේ කියලා මට හිතුණේ පළවෙනි වතාවට නෙවෙයි. මනුසත්ට ඕන වුණේ මාව එයාගේ පාලනය යටතේ තියාගන්න විතරයි. අද මම එයාගේ වචනයට පිටින් ගිහින් ජොබ් එකකට ගිය එක එයාට දරාගන්න බැරිව ඇති. ඒකට තමයි මේ එයා මට රිද්දන්නේ.

භානුකී කියන්නේ එයාගේ පළවෙනි කසාදේ වයිෆ්. අහස් කියන්නේ පුතා. මන්දාරා දුව. ඒ දෙන්න තමයි එයාගෙ එකම දරුවො වෙන්නෙ. මම දන්නවා මනුසත් ඒ දරුවන්ට ආදරෙයි කියලා. ඒකේ වරදක් නෑ. හැබැයි අද වගේ දවසක, ඒ කියන්නේ මම ජොබ් එකකට පළවෙනියටම ගිය දවසේ, මාව මෙහෙම තනි කරලා දාලා එයා එහේ යන එකේ තේරුම මොකක්ද? මේක නිකන් අහම්බෙන් වුණ දෙයක් වෙන්න බෑ. මනුසත් මේ හැමදේම කරන්නේ හරිම ප්ලෑන් එකකට. එයාට ඕනේ මට මේ ගෙදර තියෙන මගේ තැන මතක් කරලා දෙන්න. මම කොච්චර දඟලලා නිදහස් වෙන්න හැදුවත්, අන්තිමට මට ඉතුරු වෙන්නේ මේ පාලු ගේ විතරයි කියලා පෙන්නන්න එයාට ඕන වෙලා තියෙනවා කියන එක තමයි මම ඇත්තටම අන්තිමේ මේ වෙච්ච දෙයින් තේරුං ගත්තෙ.

මම හෙමින් නැගිටලා කුස්සියට ගියා. හරිනං මං මේ වෙලාවෙ රෑට කන්න මොනා හරි උයන්නෝන කියලා දන්නවා උනත්, කොච්චර බඩගින්නක් හිතේ තිබ්බත් මට ඇත්තටම උයන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. උදේ ඉඳන් රෑ වෙනකම් මම සන්තෝසෙන් උන්න ඒ හැම තත්පරයක්ම මගේ හිතෙන් හෙමින් හෙමින් මැකිලා යද්දී, මට දැනුණේ මහා පාලුවක්. මනුසත් එක්ක ගෙවන මේ ජීවිතේ මම කොච්චර නම් තනිවෙලාද කියලා මට හිතුණා.

මම ලයිට් එක දාන්නේ නැතුවම ජනේලෙන් එළිය බැලුවා. පාරේ ලයිට් කණුවලින් වැටෙන එළියට වැහි බිංදු දිලිසෙනවා.  මනුසත්ට මට මීට වඩා ආදරේ කරන්න තිබ්බේ නැද්ද කියලා මගේ හිත මගෙන්ම ඇහුවා. හැබැයි එයා මගේ ආදරේට වඩා හෙව්වේ මගේ යටහත් පහත්කම විතරයි. එයාට ඕනේ වුණේ හැමදේම එයාගේ කන්ට්‍රෝල් එක යට තියෙන ලෝකයක්.

“රිද්දන්නමයි හදන්නේ…” මම මගේ හිතින්ම කියාගත්තෙ මටමයි.

“ඔය මනුස්සයා ඔය දරුවන්ගෙ රාජකාරි වලට කියලා නිතර දෙවෙලෙ එහෙ යන එක නම් නතර කරගන්නෝන ලිහිණියො. නැත්තං ඔය ගමන් කෙළෝර වෙන්නෙ අන්තිමේ උඹට උන් හිටි තැන් අහිමි වෙලා වෙන්න පුළුවන්.” අම්මා එදා ඒක කිව්වේ මගේ ඇස් දෙක දිහා බලාගෙන හරිම බැරෑරුම් විදියට.

“අනේ අම්මේ… ඒ එයාගේ දරුවොනේ. මං කොහොමද එයාට ඒව කරන්න එපා කියන්නෙ. තාත්තා කෙනෙක් විදියට එයා ඒ දරුවෝ ගැන බලන එකේ ඇති වැරැද්ද මොකක්ද? මනුසත් කියන්නේ හැමදේම හොඳට හිතලා මතලා කරන මනුස්සයෙක් අම්මෙ. එයා ඒ අයව බලාගත්තා කියලා මට තියෙන ආදරේ අබමල් රේණුවකින්වත් අඩු වෙන්නේ නෑ.” එදා මම මනුසත්ව ඩිෆෙන්ඩ් කරේ හරිම උජාරුවෙන්. මම හිතුවේ මනුසත් කියන්නේ ලෝකේ ඉන්න උදාරම පිරිමියා කියලා.

“උඹ හිතන්නෙ ඒ මනුස්සයා උඹට ආදරේට බැන්දා කියලා වෙන්න ඇති. හැබැයි ලිහිණි, පිරිමියෙක් තමන්ගෙ දරුවොත් එක්කයි, පරණ පවුලත් එක්කයි තියෙන ගනුදෙනුව අස්සෙ අළුත් ගෑනියෙක්ව තියාගන්නෙ නිකන් රූකඩයක් වගේ. උඹට ඕනෙ වෙලාවට එයා එතන ඉඳියි, හැබැයි එයාට ඕනෙ වුණාම එයා දුවන්නෙ අර පරණ තැනටමයි. උඹට අන්තිමට ඉතුරු වෙන්නෙ උඹ විතරක් වෙයි. උඹට ඒ පවුලෙ අයට වැඩකාරකම් කරන්න වෙයි, ඒත් උඹ කවදාවත් ඒ පවුලෙ කෙනෙක් වෙන්නෙ නෑ.” අම්මා එදා කිව්වේ මගේ හිතේ තියෙන බලාපොරොත්තු කුඩු පට්ටම් කරලා දාන විදියේ තිත්ත ඇත්තක්. හැබැයි මං එදා උන්නෙ ඒ කතාව පිළිගන්න තැනක නෙවෙයි.

“අම්මා ඔහොම කියන්නෙ අම්මා මනුසත් ගැන දන්නේ නැති හන්දා. පරණ ගෑනු දැන් නෑ අම්මේ. දැන් ඉන්නේ මායි එයයි විතරයි. ඔයා නිකන් පරණ තාලෙට හිතලා බොරු බයවල් ඇති කරගන්න එපා.” මම එදා අම්මා එක්ක රණ්ඩු වුණේ මනුසත් වෙනුවෙන්. මනුසත්ගේ ඒ මගෙ ඇස් නිලංකාර කරලා තිබිච්ච උගත්කම, පෞරුෂය ඉස්සරහා අම්මා කියන ඒ ප්‍රායෝගික කතා මට පෙනුණේ ගොඩේ කතා වගේ.

ඒත් අද මේ අන්ධකාර ගේ අස්සෙ අස්සේ ඒ වචන ටික මගේ මතකෙ අස්සේ රිංගලා දෝංකාර දෙන්නේ මගේ මෝඩකම මටම මතක් කරලා දෙනවා වගේ. මනුසත් මේ කරන්නේ මගෙන් පලිගන්න එක විතරක් නෙවෙයි. එයා මට පෙන්නන්න හදනවා මම මේ ගෙදරට ආගන්තුකයෙක් විතරයි කියලා. අම්මා එදා කිව්වා වගේම මම අද රූකඩයක් වෙලා. එයාට ඕනෙම වෙලාවක එයාගෙ දරුවොයි, පරණ කසාදෙයි ඉස්සරහ මාව කොන් කරලා දාන්න පුළුවන් කියලා එයා අද ක්‍රියාවෙන්ම මට තේරුම් කරලා දීලා ඉවරයි. බඩගින්න උහුලගන්න බැරිම වෙච්ච තැන තමයි මම පික් මී එකෙන් නූඩ්ල්ස් එකක් ඕඩර් කරලා ගෙන්න ගත්තෙ. ඒ කෑම එකක් ඇවිල්ලා කියලා නොටිෆිකේශන් ආව සද්දෙට මම ගිහින් ගේට්ටුව අරිද්දිම තමයි මනුසත්ගෙ කාරෙකත් වත්තට දැම්මෙ. මම කෑම එක අරගෙන සල්ලි ගෙවලා ආය ගෙට එනකනුත් මනුසත් ගෙයි දොරකඩ ඉස්සරහා හිටගෙන උන්නෙ හරියට මහ මාලිගාවකට මිනිස්සුන්ට ඇතුලු වෙන්න දෙන්නෙ නැතුව මුරකාවල් ලාගෙන ඉන්න මුර දෙටුවෙක් වගේ.

“තව ටික දවසකින් මට කන්න වෙන්නෙත් පිටින් නේද?” කියලා මනුසත් ඇහුවෙ මගෙ අතේ තිබිච්ච කෑම එක දිහා බලාගෙන.

මනුසත්ගේ කටහඬ මේ පාලු අස්සෙ මහ සද්දෙට ඇහුණට මං වචනයක්වත් කියන්න ගියේ නෑ. හරිනම් “ඔයා ඉතින් දැන් අදත් කාලා ආවෙ පිටින් නෙ” කියලා කියන්න කොච්චර උවමනාව තිබ්බත් මම මගේ හුස්ම පවා පාලනය කරගන්න උත්සාහ කරා. මොකෝ මට ඕන වුණේ නෑ එයා එක්ක එක වචනයක්වත් කතා කරන්න. මට ඕන වුණේ නෑ මගේ හිතේ තියෙන ඒ ලොකු වේදනාව එයා ඉස්සරහා කඳුළු විදියට පිට කරලා, එයා ඉස්සරහා ආයෙත් පාරක් මාව හෑල්ලු කරගන්න.

“උදේ මම කියපු දේ අහලා ගෙදර හිටියා නම් අද මෙහෙම වෙන්නෙ නෑනෙ. ඔයා හිතුවද ඔය සද්ද බද්ද දාලා මහා ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා? දැන්වත් තේරෙනවද තමුන්ගෙ තැන කොතනද කියලා?”

මනුසත් ඒක කිව්වේ හරිම උපහාසාත්මක විදියට. මට එකපාරටම දැනුණේ මගේ හිත ඇතුළේ තිබ්බ අර යටහත් පහත්කම මැරිලා ගිහින් ඒ වෙනුවට මහා ලොකු පිළිකුලක් එනවා වගේ. මනුසත් මේ තරම් කාලයක් මට ආදරේ කරලා තියෙන්නේ මගේ ඇතුළේ ඉන්න මනුස්සයාට නෙවෙයි, එයාට ඕන විදියට නටවන්න පුළුවන් ඒ හීලෑ ගතියට විතරයි කියලා තේරිච්ච තැන “මං මේ මිනිහා එක්ක අහවල් රෙද්දකටද තව ජීවත් වෙන්නෝන” කියලා මං මගෙන්ම අහගත්තා.

“ඔයා මගෙන් පලිගන්නද අද භානුකීලගෙ ගෙදර ගියෙ?”

මගේ කටහඬ වෙව්ලුවෙ නෑ. ඒක මටත් පුදුමයක් වුණා. මනුසත් එතනම නතර වුණා. එයා හෙමින් මගේ පැත්තට හැරුණේ හරිම අමුතු බැල්මක් දාගෙන.

“පලිගන්න? මට මේ එච්චර පිස්සුවක් නෑ එක එකාගෙන් පලිගන්න. මගෙ දරුවා අවුරුදු කීපෙකට අපෙන් වෙන්වෙලා යන්න කලින් දරුවො එක්ක ඉන්න එක මගෙ අයිතියක්. දැන් ඔයාට ඒකත් ප්‍රශ්නයක්ද?”

“අහස් යන්න කලින් ඔයාට එයාලා එක්ක ඉන්න ඕනේ නම් ඒකට මගේ කිසිම අකමැත්තක් නෑ මනුසත්. හැබැයි අද මගේ ජොබ් එකේ පළවෙනි දවස කියලා දැන දැනම, මම ගෙදර එද්දී ඔයා මාව තනි කරලා එහේ ගියේ මට රිද්දන්නමයි කියලා මම දන්නවා. ඔයාට ඕනේ මම මේ ගෙදර වැඩකාරියක් වගේ ඉන්නවා දකින්න විතරයිනෙ නේද. ඔයාගෙ දරුවොන්ව මහ ලොකුවට රට රටවල යවලා උගන්නන්න හදන මහ ලොකු ප්‍රොෆෙසර් තමන් කසාද බැඳගත්ත, තමන්ගෙ දරුවන්ගෙ වයසෙම කෙල්ලෙක්ගෙ ඉගෙනීම කඩා කප්පල් කරලා ඒ කෙල්ලව ගෙදරට හිරකරගෙන ඉන්නවා. ඒවා නම් ඔයාට මහ ලොකු ප්‍රශ්න නෙවෙයි නේද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here