කලුවර රෑ සඳක් වගේ – 28

0
1720

ගෑනු හරි ආසයි පිරිමින්ව අයිති කරගන්න. 

පිරිමින්ගෙ ඇල්මක් බැල්මක් තමන්ගෙ විතරක් කරගන්න තියෙන ඒ කෑදරකම ගෑනුන්ගෙ ලේ වලම තියෙන දෙයක්ද මන්දා.

දිව්‍යාට මං එක්ක තිබ්බ ප්‍රශ්නෙත් ඒකම තමයි. දිව්‍යා පණ ඇරලා ආදරේ කරන පිරිමියගෙ ඇල්ම බැල්ම, මගෙ කැමැත්තක් අකමැත්තක් අහන්නෙවත් නැතුව මට අයිති වෙච්ච එක දිව්‍යාට දරාගන්න බැරි වෙන්න ඇති. ඒක වැරදි කියලා මං කියන්නෙ නෑ. ඒ වුනාට ඒකට දිව්‍යා මං එක්ක ඔරොප්පු වෙලා හරියන්නෙ නෑනෙ. ඇත්තටම මට ඕන වුණේ නැහැ තිදස්ව අයිති කරගන්න. ඒත් මනුසත්ගෙන් ලැබෙන්න ඕන ඒ පුංචි සැලකිල්ල තිදස්ගෙන් ලැබෙද්දි, ඒක හරියට මහා කාන්තාරෙකට වැටුණු වැහි බිඳුවක් වගේ මගේ හිතට මහා ලොකු සහනයක් වුණා. මං හිතන්නෙ නෑ මං වැරදි කියලා. අපි මොන මනුස්සයද අකමැති කෙනෙක් තමන්ට අනුකම්පා කරනවට, කෙයා කරනවට, හිත සැනසෙන්න වචනයක් දෙකක් කියනවට?

ඔෆිස් එකේ ඒ සතියම ගෙවුණෙ හරියට රල ගහන්නෙ නැතු මුහුදක් වගේ හරිම නිස්කලංකෙ වුණාට, ඒකට යටින් මහා ලොකු සුනාමියක් එනවා කියලා මට ඉවෙන් වගේ දැනුණා. මොකෝ දිව්‍යා හිටියෙ මං දිහා ඇස් කොණින් බලාගෙන. ඒ ඇස් බැල්මෙ තැවරිල තිබ්බේ මහ අමුතුම හිත හිරිවට්ටන, කීරි ගස්සන ලුක් එකක්.

සාමාන්‍යයෙන් අපේ ඔෆිස් එකේ කට්ටියම එකතු වෙලා බත් කන්නෙ ලොකු මේසයක් වටේට වාඩි වෙලා.  අරයා ගේන ඒව මෙයාට දෙනවා. මෙයා ගේන ඒවා අරයා ගන්නවා. බෙදා හදාගෙන තමයි කන්නෙ. එදාත් වෙනදා වගේම දවල් ලන්ච් බ්‍රෙක් එකට අපි හැමෝම ආවෙ එකට. මං එන්න කලින් නම් තිදස් කෑවෙ එයාට හිතිච්ච වෙලාවට උනාට මොකෝ බෝඩිමක ඉඳලා එන හන්දා ගෙදර උයපු බත් කන්න ආසයි කියල මං කන වෙලාවටම තිදසුත් කන්න ආව එක මටවත් වෙන කෙනෙක්ටවත් ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා මම කවදාවත් හිතලා තිබ්බෙ නෑ.  ඒත් දිව්‍යා ඒක මාර ලොකුවට ප්‍රශ්නයක් කරගෙන කියන එක මට තේරුණේ ටික දවසක් යද්දි.

එදා මං මහ ජාතියක් උයාගෙන ගියේ නෑ. උදේ සුදු බත් වලට, මාලු බැදුමක් හදලා, පරිප්පු තෙම්පරාදු කරලා, කැරට් කිරට හදලා, ලුණු දෙහි දාපු පොල් සම්බල් තිබ්බා. සාමාන්‍යයෙන් ඕනම ගේක ඉතින් හැදෙන්න පුළුවන් ජාතියේ දෙයක් මිසක්කා මම අමුතුවෙන් රස මසවුළු අරගෙන නොගියට මොකෝ තිදස් උන්නෙ කට හදාගෙන මගෙ බත් එක කන්න.

බත් එක ඇරලා මම පලවෙනි බත් කට අනන්න ලෑස්ති වෙද්දීම වගේ තමයි තිදස් වටෙන් ඇවිත් මට එහා පැත්තෙන්ම වාඩි උනේ. හරිනං ඒ වටෙන් එද්දි එයාට වාඩිවෙන්න තව පුටු තිබ්බත් එයා මං ළඟින්ම වාඩිවෙච්ච එක දිව්‍යාට ප්‍රශ්නයක් වෙයි කියලා එවෙලෙ දැනගෙන උන්නා නම් මම තිදස් එන්න කලින් එතන වෙන කාවහරි වාඩි කරවගන්නවා.

“අද මොනවද තියෙන්නෙ? මාර සුවඳක්නෙ මේ පැත්තෙන් එන්නෙ.” කියාගෙනම ඇවිත් වාඩිවෙලා එහෙම අහන ගමන් මගෙ පිඟානෙ තිබිච්ච මාළු බැදුමෙන් හොඳට තෙල් ගෑවිච්ච මාළු කෑල්ලක් තිදස් අතෙන් කඩලා අරගෙන එයාගෙ කටේ දාගත්තා.

“අම්මටසිරි මාර රසයිනෙ. මේ අර රට පවුලෙ කතාවෙ කියන ධනුකගෙ අම්මගෙ මාලු බැදම වගේ එකක්ද?” කියාගෙන තිදස් විහිළු කරද්දිවත් මම දැක්කෙ නෑ දිව්‍යා අපි දෙන්නා දිහාම බලාගෙන උන්නෙ තරහෙන්, පොඩි දුකක් මික්ස් වෙච්ච අමනාපෙකින් කියන එක.

තිදස් මාළු කෑල්ල රස කර කර කද්දි ඒකයි මම කිණ්ඩියට “අම්මෝ මෙයා අච්චර වැඩ තියෙනවා මෙච්චර වැඩ තියෙනවා කියලා ටෙලි ඩ්‍රාමාත් බලනවා නේද?” කියලා. 

“අපිට කියලත් විනෝදයක් තියෙන්නෝනනෙ නංගි. මේ නිකන් වැඩම කර කර ඉඳලා හරියන්නෙ නෑනෙ”

“ආහ් වැඩම කර කර ඉන්න ඔයා මේ හාමුදුරු කෙනෙක්ද?”

“අම්මෝ අම්මෝ එක්කෙනෙක්ගෙ කට දැන් හෙන සද්දයිනෙ. ඉස්සර කැම්පස් එකේදිනම් මෙයාලාගෙ මෙහෙම කටවල් නෑ හොඳේ.” කියාගෙන තිදස් විහඟ දිහා බලලා ඇහැක් ගහලා හිනාවෙද්දි තමයි ඇත්තටම මම දිව්‍යාගෙ මූණ දැක්කෙ. ඒත් මං උන්නෙ දිව්‍යා ඒකට මොන විදියට රියැක්ට් කරාවිද, එයා මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ කියලා හිතාගන්න බැරුව.

“කැම්පස් එකේදි ඉතින් අපි බයයිනෙ සින්නොන්ට. පොඩ්ඩ ඇත්තං කන්න බලන් නෙ ඉන්නෙ” කියලා මං කිව්වෙ ඒ හන්දා. මගෙ ඒ වචන අස්සෙම වගේ තමයි දිව්‍යා තමන්ගෙ බත් එකේ තිබිච්ච ලොකුම මාළු කෑල්ල අතෙන් අරගෙන තිදස් දිහාවට දික් කරේ.

“අපේ අම්මත් අද මාලු හැදුවෙ වෙනදා විදියට නෙවි. සෝස් එහෙමත් දාලා. කාලා බලන්නකො.” කිව්ව  දිව්‍යාගෙ කටහඬේ තිබුණෙ තිදස්ව තමන්ගෙ පැත්තට හරවගන්න තිබිච්ච මහා ලොකු වුවමනාවක්. ඒක තිදස්ට තේරුණාද නැද්ද මන්දා තිදස් ඒ මාළු කෑල්ල අරගත්තෙ නෑ. ඒ වෙනුවට එයා වතුර වීදුරුව අතට ගන්න ගමන් ඒකට හරිම කෙටියෙන් උත්තර දුන්නා. 

“අනේ ඇති දිව්‍යා… මගේ බඩ දැන් හොඳටම පිරිලා. ලිහිණිගෙ බත් එකට මම සෑහෙන්න වග කිව්වා. දැන් තව බත් ඇටයක්වත් දාන්න බඩේ ඉඩක් නෑ.”

තිදස්ගෙ ඒ වචන දිව්‍යාගෙ හිත මාරට රිද්දන්න ඇති. දිව්‍යා තිදස් දිහාවට දික්කරගෙන ආපු මාළු කෑල්ල ඒ විදියටම ආපහු පිඟානට දාගත්තෙ මහා ලැජ්ජාවකින් වගේම කේන්තියකින් කියන එක අපි හැමෝටම නොතේරුනා නෙවෙයි. දිව්‍යා නිකන් චොර වුනා කියන එක පෙන්නන්න වගේ සමහරු උගුර පාදද්දි එතන හිටපු විහඟලා, අප්සරාලා අතරෙත් මහා අමුතු නිහඬතාවයක් පැතිරිලා ගියා. දිව්‍යා තමන්ගෙ බත් එකේ අන්තිම ටික අනන්න ගත්තෙ තමන්ගෙ පපුවෙ හිරවෙලා තිබිච්ච කේන්තිය බත් එකෙන් පිට කරගන්න වගේ.

ලන්ච් බ්‍රේක් එකේ ඒ විහිළු තහළු ඔක්කොම නතර වෙලා, මුළු කාමරේම පිරිලා තිබුණේ මහා බරකින්. 

තිදස් මට ලෙන්ගතු වෙද්දී, දිව්‍යා ඒකට පලිගන්න මග බලාගෙන ඉන්නවා කියලා මට හොඳටම දැනුණෙ අන්න එදා.

ඒ සිද්ධියෙන් පස්සේ දිව්‍යා මට මුහුණට මුහුණ හමු වෙන එක මගඇරියා වගේ මට දැනුණා. ඒත් ඒකේ පස්සෙ තිබුණේ මට ලේසි වෙන්න නෙවෙයි, මාව නන්නත්තාර කරන්න ගහපු ප්ලෑන් එකක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. 

ඇත්තටම තිදස් මාත් එක්ක කතා කරන එක දිව්‍යාගේ හිතට මහා වදයක් කියලා දැනගෙන උන්නත්, ඒ වෙලාවේ මට කරන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න මට තේරුණේ නැහැ. ඒත් හිතේ කොනක මට එක්තරා විදියක හීනි සන්තෝසයක් තිබුණා. මනුසත් භානුකිට ලං වෙද්දී, ඒ දෙන්නා අතර තියෙන ලෙන්ගතුකම දැක්කම මට දැනුණු ඒ දරාගන්න බැරි ඉරිසියාවම අද වෙන එකියකට මං හින්දා දැනෙනවා කියලා හිතෙද්දී මට හිතුණේ මම දිනුම් කියලා. මනුසත් මාව පෑරුවට, තව පිරිමියෙක් මගේ ළඟ ගැවසෙන එක තව ගෑනියෙක්ට වේදනාවක් වෙනවා දකිද්දී මගේ හිතේ තිබිච්ච අර පරාද වෙච්ච හැඟීම යාන්තමට මැකිලා ගියා වගේ කියලා තමයි මට හිතුණේ.

ඒක මාරම අමුතු හැඟීමක්. ගෑනියෙක් තමන්ගේ පිරිමියා හන්දා පල්ලමටම වැටිලා, තමන්ගේ ආත්ම අභිමානය පවා කුඩුපට්ටම් වෙලා ඉන්න වෙලාවක, වෙනත් තැනක තමන් තවත් කෙනෙක්ගේ අවධානය දිනාගන්නවා කියලා දැනෙන එක හරියට තුවාලේකට දාපු බෙහෙතක් වගේ. 

මනුසත් ඉස්සරහා මම අගයක් නැති, පරණ වෙච්ච බඩුවක් වගේ හංවඩු ගැහිලා ඉද්දි, තිදස් වගේ හැඩකාර, ස්ටේටස් එකක් තියෙන පිරිමියෙක් මගේ බත් පංගුවට පවා ලෝභ වෙන්නේ මගේ මොකක් හරි විශේෂත්වයක් තියෙන හන්දා නේද කියලා මට හිතුණා. දිව්‍යා ඒ දේට මරණාසන්නව ඉරිසියා කරද්දී මට දැනුනේ මම ආයෙත් ගෑනියෙක් විදියට ජීවත් වෙන්න පටන් අරන් වගේ.

ගෑනියෙක්ට තමන් ලස්සනයි කියලා හිතෙනවට වඩා, තමන් වටිනවා කියලා දැනෙන එක හරිම වැදගත්. මනුසත් මාව ඒ වටිනාකමෙන් බිංදුවටම ඇදලා දාලා තිබ්බේ. ඒත් තිදස් මගේ ළඟ ගැවසෙන හැම තප්පරයක් පාසාම දිව්‍යාගේ ඇස්වල ඇඳෙන ඒ වේදනාව මට දුන්නේ අමුතුම හයියක්. “බලපන්, මනුසත් මාව එපා කිව්වට, තමුන් පණ ඇරලා ආදරේ කරන පිරිමියා කැරකෙන්නේ මගේ වටේ නේද” කියන ඒ නපුරු සන්තෝසය මගේ හිතේ පිරිලා තිබුණා. ඒක පව්කාර හැඟීමක් වෙන්න ඇති. ඒත් මනුසත් භානුකිව මගේ ඇස් ඉස්සරහම නළවද්දී මම වින්ද අපා දුකට මේක පුංචි හරි වන්දියක් කියලා මම මගේ හිත හදාගත්තා.

ඇත්තටම අපි ගෑනු මොන තරම් ආගම දහමට ලැදි වුණත්, ශිෂ්ට වුණත්, තවත් ගෑනියෙක් තමන් හන්දා පරාජය වෙනවා දකින එකේ තියෙන ගැඹුරු තෘප්තිය කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. දිව්‍යාට තිදස්ව අයිති කරගන්න බැරි වෙද්දී, ඒ අයිතිය නිතැතින්ම මගේ අතට එද්දී, මට දැනුනේ මගේ ජීවිතේ හැමදාම මඟහැරිච්ච දිනුමක් දැන් මගේ අතේ තියෙනවා වගේ. ඒ වෙලාවේ මට දිව්‍යා ගැන අනුකම්පාවක් තිබ්බේම නැහැ. මොකද මම දන්නවා, ඉඩක් ලැබුණොත් දිව්‍යා මාව මීට වඩා දරුණු විදියට පාගලා දානවා කියලා.

ඒත් ඒ සන්තෝසය අස්සේම මගේ හිතේ තව පැත්තකින් මහා ලොකු බයක් තිබුණා. 

මොකද මේ නාට්‍යයේ අවසානය මට කොහොමටවත් සුබදායක වෙන්නේ නෑ කියලා මගේ හිත කියන්න ගත්ත හන්දා.

 මේ සීතල යුද්ධය කොයි වෙලේ  හරි ලොකු ගින්නක් වෙලා මගේ මුළු ජීවිතේම පිච්චිලා යයිද කියන බය, ඒ හීනි සන්තෝසය අස්සෙන් මට එබිකම් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here