කලුවර රෑ සඳක් වගේ – 29

0
1395

“ගෙදර ඉන්න බැරි හන්දා ඔෆිස් ගියාට දැන් ඔෆිස් එකෙත් ඉන්න බැරි සීන් එකක් තියෙන්නෙ” කියලා මං උෂානිට කියද්දිත් ඇත්තටම මං උන්නෙ මනුසත් සහ මං අතරෙ තිබිච්ච සීතල යුද්ධෙ වගේ එකකට ඔෆිස් එකේදි දිව්‍යා එක්කත් ෆේස් කරන ගමන්.

“ඒ මොකෝ”

“තිදස් හන්දා අනේ”

“තිදස් හන්දා? අම්මටසිරි මොකෝ මිනිහා ආයෙම වතාවක් ප්‍රපෝස් කරාද?”

“ප්‍රපෝස් කරා නම් එකක්. එහෙනම් මට ආයෙ වතාවක් බෑ කියන්නනෙ තියෙන්නෙ. මේක එහෙම එකක් නෙවි.”

“එහෙනම් දැන් කොහොමද එකක්ද කියපංකො තියෙන්නෙ” කියන ගමන් උෂාණි එයාගෙ ඉස්සරහා තිබිච්ච ඩ්‍රින්ක් එකේ තිබිච්ච බීම බටේ තොල් අස්සෙ රඳවගත්තා. මං උන්නෙ මගේ බීම එකේ තිබිච්ච බටේ වීදුරුව අස්සෙ එහෙ මෙහෙ කරකවන ගමන්. මට ඇත්තටම හිතට නිස්කාංසුවක් තිබ්බෙ නෑ බීම එකවත් බොන්න.

“තිදස් මාත් එක්ක ඔෆිස් එකේදි කතා කරන්න එනවනෙ. අපේ සෙට් එකේ ඉන්නවා දිව්‍යා කියලා ගර්ල් කෙනෙක්. ඒ ගර්ල් තිදස් ගැන ඉන්ටරස්ට් කියලා කට්ටිය කිව්වා. මමත් ඉතින් ලොකුවට ගණන් ගත්තෙ නෑ. මට ඉතින් කොහෙත්ම අවුලක් නෑනෙ බං මං බැඳලා හන්දා. අනික මං මැරීඩ් කියන එක තිදසුත් දන්න එකේ තිදස් ඇවිත් මා එක්කල කතා කරා කියලා මට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ කොහොමත්. ඒ උනාට ඒ ළමයා ඉන්නෙ ටිකක් ඒකෙන් අවුල් වෙලා වගේ. මුල් දවස්වල හොඳින් කතා කරාට ඒ ළමයා දැන් නිකන් මාත් එක්ක ඔරොප්පුවට වගේ ඉන්නෙ.

මගෙ ඔලුවට කරදරයි ඒක” කියලා මං  උෂාණී දිහා බැලුවෙ හරියට ඒකි ළඟ ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා වගේ.

“දැන් ඉතින් උඹ ඕක මට කියන්නෙ මගෙන් මොකක් හරි උත්තරයක් බලාපොරොත්තුවෙන්ද?”

“ඔව් ඉතින් නැත්තං මොකටද මං උඹට ඒක කියන්නෙ”

“උඹ ඕක මහ ලොකු ප්‍රශ්නයක් කරගෙන දැඟලුවට මට නම් ඕක මහ ලොකු ප්‍රශ්නයක් කියලා හිතෙන්නෙ නෑ” කියලා උෂාණි කිව්වෙ නිකන් පොඩ්ඩක්වත් මගේ කතාව ගණන් ගන්නෙ නැති ටෝන් එකකින් ආයෙ වතාවක් බීම වීදුරුවෙ බටේ එයාගෙ තොල් ලඟට ලං කරන ගමන්.

“හරි එහෙනම් කියපංකො උඹ මං උනා නම් උඹ මොකද කරන්නෙ කියලා?” මං ඇහුවෙත් ඔලොක්කුවට වගේ.

“උඹ ඔෆිස් එකේ අනිත් අයට කියපං උඹ මැරීඩ් කියලා. ඉවරනෙ. එතකොට කාට උනත් තේරේවිනෙ තිදස්ව අයිති කරගන්න උඹට උවමනාවක් නැති විත්තිය”

උෂාණි ඒක එච්චර ලේසියට කියද්දී මගේ කට නිකන්ම ලොක් වුණා. මම කියන්න ගිය වචන ටික උගුරේ හිරවුණා වගේ. මම බලාපොරොත්තු වුණේ උෂාණි මගේ පැත්ත අරගෙන දිව්‍යාට බණියි කියලා වුණාට, ඒකි දුන්න උත්තරෙන් මම නිකන්ම අසරණ වුණා. ඒත් උෂාණි කිව්වෙ අමූලික ඇත්තක් කියන එක පිළිගන්නෙ නැතුව ඉන්න පුළුවන්කමක් මට තිබ්බෙ නෑ.

“ඇයි උඹ ඔහොම බලන්නේ? මම කිව්වේ බොරුද?” උෂාණි ආයෙත් ඇහුවේ හරිම සැහැල්ලුවෙන්.

“නෑ… බොරුවක් නෙවෙයි. ඒත්…” මම වචන හෙව්වා. “ඒක උඹ ඔය කියන තරම් ලේසි නෑ බං. මම ඔෆිස් එකට ගිය මුල්ම දවසේම තිදස් මාව හැමෝටම අඳුන්නලා දුන්නා. හැමෝම දන්නවා මම මේ රස්සාවට ආවේ කොහොමද කියලා. දැන් එකපාරටම මම මැරීඩ් කියලා බෝඩ් එකක් ගහගෙන යන්නද කියන්නේ? එහෙම කිව්ව ගමන් දිව්‍යා විතරක් නෙවෙයි අනිත් උනුත් හිතාවි මම මේ ඒකිට බයේ තමයි මං ගැන කියන්න යන්නෙ කියලා. අනික ඉතින් මොකටද අපි ඔය අපේ පර්සනල් දේවල් ඕනවට වඩා එළියට දාන්න හදන්නෙ. මං මැරීඩ් උනත් නැතත්, කොටින්ම මම තිදස් එක්ක සම්බන්ධයක් පටන් ගත්තත් නැතත් ඒක දිව්‍යාට ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. අනික ඒකිට ඔච්චර උවමනාවක් තිබ්බ නම් තිදස්ව අල්ලගන්න ඒකට මේ මං එනකම්ම ඉන්න උවමනාවක් නෑනෙ. අනික මනුසත් ගැන මම මොනවා කියලා කියන්නද? අපේ අතරේ තියෙන මේ අවුල් අස්සේ මම කොහොමද මට මේ මාර හැපනිං පවුල් ජීවිතයක් තියෙනවා වගේ රඟපාන්නේ?”

“ඉතින් උඹට රඟපාන්න දෙයක් නෑනේ ලිහිණි. උඹට තියෙන්නේ මම බැඳලා කියන එක විතරක් අඟවන්න. එතකොට අර කෙල්ලට හිතට සහනයක් ලැබෙයි. නැත්නම් ඒකි හිතන්නේ උඹයි තිදසුයි අතරේ ඇත්තටම මොකක් හරි අෆෙයාර් එකක් තියෙනවා කියලා. අමතක කරන්නෙපා තිදස් තමයි ඔතනට උඹව එක්කරගෙන ගිහිල්ලා රස්සාව අරන් දුන්නෙ උනාට උඹට වැඩ කරන්න වෙන්නෙ ඔය අනිත් උන් එක්ක කියන එක. උන් එක්ක හිත නරක් කරගත්තොතින් වෙන්නෙ අන්තිමේ උඹට අල්ලපු අත්තයි පය ගහපු අත්තෙයි දෙකේම සැනසීම නැති වෙන එක තමයි” කියලා උෂාණි බීම වීදුරුව මේසෙ උඩින් තියලා මගේ ඇස් දෙක දිහා බැලුවා. 

“උඹේ හිතට ඔය තරම් වද දෙන්නේ දිව්‍යා නෙවෙයි බං. උඹේ හිතේ තියෙන වරදකාරී හැඟීම. මනුසත් උඹට සලකන විදිය හින්දා උඹ පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන සැලකිල්ල තිදස්ගෙන් ලැබෙනකොට, උඹ නොදැනුවත්වම ඒකට ඉඩ දෙනවා. අන්න ඒකයි දිව්‍යාට ඉව වැටිලා තියෙන්නේ.”

මම බීම බටේ වීදුරුව තද කරලා අල්ලගත්තා. උෂාණිගේ කතාව ඇත්ත වුණත්, ඒක පිළිගන්න මගේ හිතේ තිබිච්ච මුරණ්ඩුකම ඉඩ දුන්නේ නෑ.

“උඹ හිතන්නේ මම හිතාමතාම තිදස්ට ලයින් දානවා කියලද?” මම ඇහුවේ ටිකක් සැරෙන් වගේ.

“මම එහෙම කිව්වේ නෑ. ඒත් පිරිමියෙක් තමන්ගේ ඩෙස්ක් එක ගාවට ඇවිත් හිනාවෙවී කතා කරද්දී, තමන්ට ඕනෑවට වඩා අවධානය දෙද්දී ඒක නවත්තන්න උඹට පුළුවන්. උඹ ඒක කරන්නේ නැත්තේ ඒ සැලකිල්ල උඹේ හිතට සනීපයක් ගෙනත් දෙන හින්දානෙ. අන්න ඒක නවත්තපං ලිහිණි. නැත්නම් දිව්‍යා විතරක් නෙවෙයි, මනුසත් වුණත් දවසක ඕක දැනගත්තොත් උඹට තව තවත් අමාරු වෙයි. ඒ වගේම උඹට ඇත්තටම අන්තිමේ කාත් කවුරුවත් නැතිවෙයි”

උෂාණි එහෙම කියද්දී මට දැනුණේ මගේ පපුව මැදට කවුරු හරි හීනි ඉදිකටුවකින් ඇන්නා වගේ වේදනාවක්. උෂාණි කියන කතාවේ තිත්ත ඇත්තක් තිබුණා. මනුසත් එක්ක තිබිච්ච ඒ අයිස් වගේ හීතල සම්බන්ධෙ හන්දා ගැහි ගැහී හිටපු මගේ හිත, තිදස්ගේ ඒ පුංචි හිනාවකින් හරි උණුසුම් වෙන්න බලාපොරොත්තු වුණා තමයි. 

ඒත් ඒක වරදක්ද? 

ගෑනියෙක්ට තමන්ගේ මිනිහගෙන් නොලැබෙන ගෞරවය, සැලකිල්ල වෙන තැනකින් ලැබෙද්දී ඒක ප්‍රතික්ෂේප කරන්න මහා ලොකු ශක්තියක් ඕනේ.

 මට ඒ ශක්තිය තිබුණේ නැද්ද? 

නැත්නම් මම හිතාමතාම ඒක අමතක කළාද?

“හරි බං… මම බලන්නම්.” මම හීන් හඬින් මිමුණුවේ  උෂාණි කියන ඇත්ත ඉස්සරහා මට තවත් තර්ක කරන්න හයියක් තිබ්බෙ නැති නිසා.

තිදස් කියන්නෙ මං කවදාවත් රස වින්දෙ නැති වසන්ත කාලයක් බව දැනගෙන උන්නත්, තිදස් කියන්නෙ මං කවදාවත් වටිනවා කියලා නොහිතපු ලොකු සැනසීමක් බව දැනගෙන උන්නත් දිව්‍යා එක්ක ප්‍රශ්නයක් දාගන්න මට ඕන වුණේ නෑ.

පහුවදා ඔෆිස් එකේදී මම උපරිම උත්සාහ කළේ තිදස් මඟහරින්න. ඒ ඇත්තටම දිව්‍යා හන්දා මිසක්, දිව්‍යාගෙ හිත රිද්දගන්න බැරිකම හන්දා මිසක් මට තිදස්ගෙන් ඈත්වෙන්න උවමනා වෙච්ච හන්දා නෙවෙයි කියන එක මම දැනගෙන උන්නා. තිදස් වෙනදා වගේ අපේ කැබින් එක පැත්තෙ එනවා දකිද්දි මං එක එක බොරු හේතු දාගෙන කැබින් එකෙන් එළියට ගියා. බොරුවට වැඩ කන්දරාවක් ඔලුව උඩ තියාගත්තා.

 දවල් වෙද්දී මට මාරම ඔලුවේ කැක්කුමක් හැදුණෙත් බාගදා වැඩ කන්දරාව අස්සෙ මම හිතෙන් වගේම ගතින් එක එක මල පිස්සු විකාර ඩ්‍රාමා දාන්න ගිය හන්දා වෙන්නැති. මම මගේ ඩෙස්ක් එකට ඔලුව තියාගෙන හිටියේ මට ඇත්තටම දැනිච්ච අමාරුව හන්දා. ඒ වෙද්දි අනික් කට්ටියම උන්නෙ කන්න ගිහින්. කෑවා නම් වමනෙ යාවි කියන බයටම මම නොකා ඔලුව ගහන් උන්නා.

 ටිකක් වෙලා යද්දී කවුරු හරි මගේ මේසෙ උඩින් මොකක් හරි තියන සද්දෙට තමයි මම ගැස්සිලා ඔලුව උස්සලා බැලුවෙ.

එයාගේ අතේ පැනඩෝල් පෙති දෙකකුයි, උණු වතුර වීදුරුවකුයි තියාගෙන මං ඉස්සරහා හිටගෙන උන්නෙ තිදස්.

“විහඟ කිව්වා ඔයාට ඔලුව රිදෙනවා කිව්වා කියලා. ලන්ච් ගන්න ආවෙ නැති හන්දා බලන්න ආවෙ. මේක බීලා ටිකක් ඉන්න. මම විහඟට කිව්වා ඔයාගේ රිපෝට් එක පොඩ්ඩක් බලන්න කියලා.” 

ඒ වෙලාවෙ ඒ කැබින් එකේ උන්නෙ මමයි තිදසුයි විතරක් හන්දද මන්දා තිදස් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මගෙ නළලට අත තියලා මට උණද කියලා බැලුවා. ඇත්තටම මට විරුද්ධ වෙන්න හේතුවක් තිබ්බෙ නෑ. මං උන්නෙ මලානික වෙලා. ඔලුව හොඳටම බර කරගෙන. 

මගෙ ඔලුව අතගාලා තිදස් එතනින් පිට වෙද්දි තමයි මම දැක්කෙ දිව්‍යා කාලා ඉවර වෙලා හෝදපු එයාගෙ ලන්ච් බොක්ස් එකත් අරගෙන අපේ පැත්තට එමින් හිටියේ කියන එක. ඒක කලින්  මම දැක්කා නම් මම කීයටවත් තිදස්ට එහෙම දෙයක් කරන්න දෙන්නෙ නෑ. මං එහෙම නොකරපු එකේ වරද මට තේරුණේ දිව්‍යාගෙ කටෙන් තිදස් එතන ඉන්නවද නැද්ද කියන එකවත් සලකන්නෙ නැතුව පිටවෙච්ච වචන ටික හන්දා.

“අපිව මෙතන වැඩ දාහක් අස්සෙ මැරිලා වැටුණත් බලන්න අය නෑ. වෙන අයට නම් ඔලු අතගාන්නයි පැනඩෝල් පොවන්න අයයි වැහි වැහැලනෙ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here