“කවුද අනේ හිතුවෙ ඒ කාලේ මෙයා මේ සමහර සබ්ජෙක්ට්ස් වලට අඩුවෙන් ලකුණු ගද්දි මෙහෙම පස්සෙ කාලෙක හොඳට ස්ටඩි කරාවි කියලා?” භානුකී හිනා වෙවී මනුසත් දිහා බලාගෙන අහනවා මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා.
ඒකි අතේ තිබුණේ අහස්ගේ කියලා මං උන් දෙන්නා කතා කරපු වචන වලින් ගෙස් කරපු ඉස්කෝලේ කාලේ පරණ රිපෝට් කාඩ් එකක්. මනුසත් භානුකීගේ අතෙන් ඒ රිපෝට් කාඩ් එක අරගෙන ඒක දිහා බලලා හයියෙන් හිනා වුණා. දෙන්නට දෙන්නා මූණ බලාගෙන මහා ලෙන්ගතු විදියට හිනාවෙනවා මම දොර අස්සෙන් දැක්කා. ඒ හිනාව අස්සේ මම නැති අවුරුදු ගාණක අතීතයක්, මට කවදාවත් අයිති කරගන්න බැරි බැඳීමක් ලියවිලා තිබුණා. ඊටත් වඩා මට තරහා ගියේ මේ දරුවො දීග දෙන්න වයසෙ ඉන්න නාකි ජෝඩුව නිකන් අලුත කසාද බැන්ද කුරුල්ලයි කිරිල්ලියි වගේ හැක හැක ගාද්දි. අද අර මම කලින් එකපාර ආව මිසක්කා මීට කලින් මං ඔෆිස් එකේ උන්න දවස්වල මේක අස්සෙ මොන මොන නාඩගම් සිද්ද උනාද දන්නෙ නෑ කියන එක ඇත්තටම මට හිතුණා.
දිව්‍යාගෙන් අහගත්ත නින්දිත කතා හින්දා පිච්චි පිච්චි තිබ්බ මගේ හිතට, මේ දර්ශනේ හරියට ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වගේ වුණ එක ඉතින් අහන්න දෙයක්ද. මගේ ඉවසීමේ රතු කටුව උපරිමයටම පැනලා තිබුණේ.
“මේවා දැන් ගෙවල් නෙවි නාඩගම් මඩු වෙලානෙ!” මම එකපාරටම කාමරේ මැදට කඩාගෙන පැනලා කෑගැහුවෙ ඒ කේන්තිය මට පිට කරන්න වෙන විදියක් තිබ්බෙම නැති හන්දා.
ජෝඩුවම දෙන්නම එකපාරටම ගැස්සිලා මං දිහා බැලුවා. මනුසත්ගේ හිනාව තප්පර ගාණකින් නැතිඋනේ සමහරවිට මං මෙහෙම කඩං පනීවි කියලා හිතුවෙ නැති හන්දා වෙන්නැති.
“ලිහිණි… ඔයා මොකද මේ වෙලාවේ ගෙදර?” මනුසත් ඇහුවේ පුදුමයෙන් වගේම ලොකු කේන්තියකින්.
“ඇයි? මට මගේ ගෙදරට ඕන වෙලාවක එන්න බැරිද? මම රස්සාවට ගිහින් නැහිලා නැහිලා එද්දි, ඔයා මෙතන පරණ ගෑනිව ගේ අස්සේ දාගෙන නාඩගම් නටනවා. මේකද ඔයා ඔය කැම්පස් එකේ ළමයින්ට කියලා දෙන මහ ලොකු විනය? කියන්නෙ නම් කොහොමද නිකන් කතා කරන්නෙ බුදු අම්මේ ඊලඟට බුදුවෙන්න ඉන්න මනුස්සයා වගෙ. ගෑනු දෙන්න දෙන්න තියාගන්න හිතුවෙ කතරගම දෙයියො කියලාද හිතන් ඉන්නෙ? මම නැති අතරේ මේ ගේ ඇතුළේ මොනවා වෙනවද කියලා මම දන්නෙ නෑනේ. මේ යන විදියට මම ආවෙ නැති දවස්වල මේව අස්සෙ මොනා උනාද දන්නෙ නෑ.” මම හති දදා කෑගැහුවෙ ඇත්තටම මට මගේම තරහ පාලනේ කරගන්න බැරිවෙච්ච හන්දා. මම දන්නවා මම ඒ පිට කළේ දිව්‍යා එක්ක තිබ්බ තරහෙන් කොටසක් කියලා, ඒත් මට ඒක පාලනය කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අනික මට කොහොමත් භානුකී වගේම මනුසත් එක්කත් ප්‍රශ්නයක් තිබ්බනෙ.
“ලිහිණි! කතා කරන්නේ කාටද කියලා සිහියෙන් කතා කරනවා. භානුකී ආවේ අහස්ගේ පරණ ඩොකියුමන්ට්ස් වගයක් අරන් යන්න. අපි ඒ අස්සේ මේවා දැකලා පොඩ්ඩක් කතා කළා විතරයි.” මනුසත් කිව්වෙ හරිම තදින්. මගේ ඇස් මාරුවෙන් මාරුවට භානුකී දිහාටයි මනුසත් දිහාටයි කැරකුණා. ඒත් මගෙ ඇස්වලට තිබිච්ච කලබලේ හන්දද මන්දා මට පුලුවන් වුනේ නෑ ඒ මූණුවල ලියවිලා තිබ්බෙ මොන වගේ කතාවක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න.
“පරණ ඩොකියුමන්ට්ස්? ඒවටද දැන් මේ දෙන්නා බිම වාඩි වෙලා මූණට මූණ බලාගෙන හිනාවෙන්නේ? මනුසත් මේ ඔයා මට නීති දැම්මේ මම රස්සාවට ගියොත් කුණු කතා අහන්න වෙයි කියලා නේද? හැබැයි ඔයා මම නැති අතරේ මේ ගේ ඇතුළේ කරන දේවල් ඊට වඩා නින්දිතයිනෙ. ඔයා නිකන් මට පෙන්නන්නෙ මේ මං මාර ලොකු වැරදි කාරයෙක් වගේ. ලැජ්ජ නැද්ද ගෑනි ගෙදර නැති වෙලාවෙ පිට ගෑනුන්ව ගේ අස්සෙ දාගන්න” කියලා මං පිට ගෑනි කියන වචනෙට හයියෙන් බර දාලා කිව්වෙ ඒ විත්තිය භානුකිට අඟවන්නත් එක්ක.
භානුකී හෙමින් නැගිටලා මං දිහා බැලුවෙ ඒ වචන වලට පස්සෙ. ඒ ඇස්වල තිබුණේ අනුකම්පාවක් වගේ පෙනෙන සරදම් සහගත බැල්මක් කියන එක අන්න එවෙලෙ නං මං දැක්කා.
“ලිහිණි, ඔයා අනවශ්‍ය විදියට කලබල වෙනවා. මම ආවේ මගේ පුතාගේ දෙයක් අරන් යන්න.”
“තමුසේ කට පියවගන්නවා! අනුන්ගේ පවුල් අස්සට රිංගලා දැන් මෙතන සාන්තුවරිය වෙන්න හදන්න එපා. ඉන්නෙ නම් නිකන් පත්තිනි අම්මා වගේ. ලැජ්ජ නැද්ද ගෑනිගේ ඩිවෝස් කරලා දාලා ගිය මිනිහා පස්සෙ ආයෙ ආයෙ එන්න? ඔච්චර යන්නෙ එන්නෙ මේ මිනිහා එක්ක පූට්ටුවෙන්න තියෙන උවමනාවට නම් අහවල් මගුලකටද තමුසෙ වෙන මිනිහෙක් එක්ක ගියේ” කියලා මම භානුකීට ඇඟිල්ල දික් කරලා කෑගැහුවෙ හරියට ගොඩේ ගෑනියෙක් වගේ. බාගදා ඒ හන්දා වෙන්නැති භානුකී අඩියක් පස්සට ගත්තෙ. එයාලා මේන්ටේන් කරන ක්ලාස් එකට මේ ගොඩයගෙ කතන්දර සෙට් වෙන්නෙ නැති හන්දා වෙන්නැති. වෙනද නම් ඒ වගේ වෙනසක් මටම තේරුණාම මට ලැජ්ජ හිතෙනවා උනාට මොකෝ මෙදා නම් මට එහෙම කිසි ලැජ්ජාවක් තිබ්බෙ නෑ. මට ඕන උනේ මගෙ හිතේ තිබ්බ පීඩනේ මොන විදියකින් හරි එලියට දාන්න..
“ලිහිණි! භානුකීට කෑගහන්න කලින් තමුන් තමුන් කවුද කියලා මතක් කරලා බලනවා. ඔෆිස් වල ප්‍රශ්න ගෙදර ගෙනැල්ලා තියාගෙන මෙතන මටයි භානුකීටයි කෑගහන්න එන්න එපා. ඔයාගේ ඔය පීඩනය පිටකරන්න මාව පාවිච්චි කරන්න එපා කරුණාකරලා අන්න ඒක මතක තියාගන්නවා ” කියලා මනුසත් කිව්ව වචන මගේ හිත පසාරු කළා. එයා කලේ හරියටම මගේ හිත කියෙව්වා වගේ දෙයක් විත්තිය මං තේරුං ගත්තෙත් එවෙලෙ.
මම එතනින් වේගෙන් එළියට ආවේ මගේ කාමරයට ගිහින් දොර වහගන්න. මගේ ඔලුවේ කැක්කුම දැන් දරාගන්න බැරි තරම් උඩට ඇවිල්ලා තිබ්බෙ. මනුසත් මාව තේරුම් ගන්නවා වෙනුවට භානුකීව ආරක්ෂා කරපු එක මගේ හිතේ තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් සුන් කරලා දැම්මා වගේ දෙයක්. අනික මට ඇතිවෙච්ච ලැජ්ජාව! “මොන මිනිහද තමන්ගෙ කසාද ගෑනි ඉද්දි, තමන් දික්කසාද කරපු ගෑනිගෙ පැත්ත ගන්නෙ? ඔය මිනිහට කොණ්ද පණ නෑ කියලා මම කියන්නෙ බොරුවටද?” කියලා මනුසත්ගෙ ඔෆිස් කාමරේ ඉඳන් අපේ බෙඩ් රූම් එකට දුවන් යන ගමන් මං මටම කියාගත්තා.
මම කාමරේට වැදිලා දොර දඩාස් ගාලා වහගත්තේ මුළු ගේම හෙල්ලෙන්න. ඇඳ උඩට වැටිච්ච ගමන් මට ඉකි ගැහිලා ඇඬුණා. ඔලුවේ කැක්කුමයි, පපුවේ හිරවෙලා තිබ්බ වේදනාවයි එකතු වෙලා මාව හුස්ම හිරකරනවා වගේ මට දැනුනෙ. මම දොර රෙද්ද අස්සෙන් දැක්ක උන් දෙන්නගෙ සිරික්කිය ආයෙ ආයෙ මගේ හිතේ මැවි මැවී මාව පිච්චුවා. මනුසත් මාව තේරුම් ගනීවි කියලා මම හිතුවට, එයා මගේ තුවාලේ පෑරුවේ හරිම ලේසියෙන්.
“භානුකීට කෑගහන්න කලින් තමුන් තමුන් කවුද කියලා මතක් කරලා බලනවා” මනුසත් කිව්ව ඒ වචන මගේ කන් අස්සේ තාමත් තිබ්බෙ රින් රින් ගාන ගමන්.
“උටත් මාව තමයි මේ ගොඩේ ගෑනි වගේ පේන්නෙ. මෙච්චර උදේ ඉඳන් නැගිටන් කෑම හදන්, ආය රෑටත් මහන්සි නොබලා උය උය කවන මං තමයි උටත් නරක. අරකි වෙන මිනිහෙක් හන්දා මූව දාලා ගියයින් පස්සෙත් ඒකි පත්තිනි අම්මා. මහ ලොකු උත්තමාවි කියලා හිතන් ඉන්නෙ. පරට්ටි. ඕකිට නං හොඳක් වෙන්නෙ නෑ මට දෙන මානසික වදේට” කියලා මං අඬන ගමන් හිතෙන් උන් දෙන්නටම දොස් කිව්වා. හෙණ ඉල්ලුවා. මට හිතුණේ මම මේ ගෙදරට අයිති නැති පිටස්තරයෙක් කියලා. මම මේ කාලෙටම එක එක දේවල් කරලා හැදුවේ මනුසත්ගේ හිතේ තියෙන භානුකීගේ සලකුණු මකන්න. ඒත් අද මම දැක්කා ඒ සලකුණු මැකිලා නෑ විතරක් නෙවෙයි, ඒවා තාමත් අලුත් පිටම තියෙනවා කියන එක.
මම මගේ මූණ කොට්ටේ හංගගෙන තවත් හයියෙන් ඇඬුවා. මට අපේ අම්මවත් මතක් වුණා. අම්මා විතරක් නෙවෙයි උෂාණි පවා මට කිව්වෙ “ලිහිණි, අනුන්ගේ කැදලි අස්සේ රිංගලා සතුටක් හොයන්න එපා” කියලා. එදා මම හිතුවේ මනුසත් භානුකීගෙන් වෙන් වෙලා ඉන්නේ මම හින්දා නෙවෙයි, ඒ දෙන්නගේ නොගැලපීම හින්දා කියලා. ඒත් අද ඒ දෙන්නා රිපෝට් කාඩ් එකක් අල්ලගෙන හිනාවෙච්ච විදිය දැක්කම මට තේරුණා, ඒ දෙන්නා අතර තිබුණේ නොගැලපීමක් නෙවෙයි, තාවකාලික අමනාපයක් විතරයි කියලා. මම මැද්දට පැනලා ඒ අමනාපය දික්කසාදයක් දක්වා අරන් ගියා විතරද? කියලා හිත මගෙන්ම අහද්දි ඇත්තටම මට හයියෙන් ඇඬුවා. මෙහෙම ගියොත් ලෝකෙ හැමෝම ඉස්සරහා භානුකී හොඳ ගෑනි වෙලා “ලිහිණි මනුසත්ගෙ කසාදෙ කඩලා මනුසත්ව කසාද බැඳගත්ත වනචර ගෑනි” කියලා අහගන්න වෙයි කියන බය ඇත්තටම මට තිබ්බා.
දිව්‍යා ඔෆිස් එකේදී මට නින්දා කරද්දී මම හිතුවේ මම දිනුම් කියලා. ඒත් ඒ ජයග්‍රහණය මොන තරම් බොළඳද? දිව්‍යාට තිදස් ගැන තිබ්බේ අයිති කරගන්න බැරි වෙච්ච ලෝභකමක්. හැබැයි මනුසත්ට භානුකී ගැන තියෙන්නේ අයිති කරගෙන ඉඳලා අතෑරිච්ච ලෝභකමක්. ඒ දෙක අහසට පොළොව වගේ වෙනස්. මම ඔෆිස් එකේදී දිව්‍යා එක්ක සටන් කරලා දිනන්න හැදුවට, මගේම ගේ ඇතුළේ මම අද අන්ත පරාජිතයෙක් වෙලා. මනුසත් මට බැන්න වෙලාවේ එයාගේ ඇස්වල තිබ්බේ මං ගැන තිබ්බ ආදරයක් නෙවෙයි, පිළිකුලක්. භානුකී ඉස්සරහා මාව නෝන්ඩි කරද්දී එයාට දැනෙන්න ඇති මම මොන තරම් පහත් ගෑනියෙක්ද කියලා.
මම හෙමින් සැරේ නැගිටලා කන්නාඩිය ඉස්සරහට ගියා. මගේ ඇස් දෙක ඉදිමිලා, කොණ්ඩය අවුල් වෙලා. මට මං දිහාවම කණ්ණාඩියෙන් පෙනෙද්දි දිව්‍යා කිව්ව කතාව ආයෙත් මතක් වුණා. “අනුන්ගේ දේවල් වලට ඇහැ දාන එක ඔයාගේ හැටි.”
“ඇත්තටම මංං මේ දඬුවම් විඳින්නේ, කතා අහගන්නෙ, ලැජ්ජ වෙන්නෙ භානුකීගේ දෙයක් මම උදුරගත්ත හින්දද? මනුසත් මට සලකන නපුරු විදිය, මට ගෙදරදී දැනෙන තනිකම, මේ හැමදේම මම කරගත්ත පව් වල විපාකද?”
මට දැනුණේ මහා හිස් බවක්.
තවත් මේ පවුල රැකගන්න, මේ මනුස්සයාගේ හිත දිනාගන්න දඟලන එකේ තේරුමක් තියෙනවද?
එයා තාමත් ඉන්නේ ඒ පරණ ලෝකේ නම්, මම මොනවා කරත් මම හැමදාම දෙවැනි පංගුව විතරයි. මට ඕන වුණේ නිදහසක්. මට ඕන වුණේ මාව අගය කරන තැනක්. ඒත් ඔෆිස් එකේදීත් මට ලැබුණේ අපහාස විතරයි. තිදස්ගේ ඒ පුංචි සැලකිල්ල පවා මගේ විනාශයට පාර කපන එකක්. මම ඉන්නේ මහා වංකගිරියක අතරමං වෙලා වගේ. කොහේ ගියත්, මොනවා කරත් මට ඉතුරු වෙන්නේ තනිකමයි වේදනාවයි විතරයි කියලා හිතෙද්දී මගේ පපුව පිපිරෙන්න වගේ ආවා.
මම ආයෙත් ඇඳට වැටිලා සීලිම දිහා බලාගෙන හිටියා.
ගේ ඇතුළේ දැන් තියෙන්නෙ මහා නිහඬතාවයක්.
මනුසත් භානුකීව ඇරලවන්න ගියාද? නැත්නම් ඒ දෙන්නා තාමත් අර පරණ කොළ කෑලි අස්සේ මතකයන් හොයනවාද?
මම දන්නේ නැහැ. මට දැනගන්න ඕනෙත් නැහැ.
මට ඕන වුණේ මේ හැමදේකින්ම පැනලා යන්න විතරයි!


