කලුවර රෑ සඳක් වගේ – 41

0
232

පස්සෙන්දා නිවාඩු දවසක් වුණ එක මට ලොකු සහනයක් වුණා කිව්වොතින් හරියටම හරි. ඇත්තටම මට ඒ වෙද්දී කිසිම මිනිහෙක් ඉස්සරහට යන්න පුළුවන් මානසිකත්වයක් තිබුණේ නැහැ. රෑ තිස්සේ ඇඬුව නිසා මගේ ඇස් දෙක ඉදිමිලා, මූණත් විකාරයක් වෙලා තිබුණේ. උෂාණි උදේම තිදස්ට කෝල් කරලා විස්තරේ කියලා තිබුණ නිසා එයා දහයට විතර බෝඩිමට ආවා. තිදස් ආවෙ ඇත්තටම උෂාණි එන්න කිව්ව නිසා කියලා දැනගෙන උන්නට, වෙනදා වගේ මට ඒකට තරහා ගියේ නෑ. මට සන්තෝස හිතුනා මෙහෙම හරි වැටිලා ඉන්න දුකක් කියන්න මනුස්සයෙක් දෙන්නෙක් මගෙ ජීවිතේ ඉන්න එක ගැන.

තිදස් එද්දී හිස් අතින් නෙවෙයි ආවේ. 

“උඹලා උදේට කාලත් නැතුව ඇතිනේ. මම පික්මී එකෙන් ඉඳි ආප්පයි කරියි ඕඩර් කළා. තව ටිකකින් ඒවි,” තිදස් සාලේ තිබුණ පරණ බංකුව උඩින් වාඩි වෙන ගමන් තමයි කිව්වෙ. එයාගේ කට හඬේ තිබුණේ මනුසත්ගේ වගේ අණ දෙන ගතියක් නෙවෙයි, මාව රැකගන්න හදන සහෝදරයෙක්ගේ වගේ ලෙන්ගතුකමක්. මම හිටියේ කාමරේ ඇතුළේ ඇඳ උඩ ගුලි වෙලා. උෂාණි ඇවිත් මාව සාලයට එක්කන් ගියා. අනික් අතට තිදස් ගෙ ඒ කටහඬෙන් එන මෙන්න මෙයාකාර දෙයක් කියලා කියන්න තරං මම පිරිමින්ව අඳුරන කෙනෙක් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙත් මට තිබුණා. මට හොඳයි කියලා හිතුව, පරිණතයි කියලා හිතුව මනුස්සයා මාව කසාද බැන්දටත් පස්සෙ පාරට ඇදලා දාන්න හේතුවෙච්ච එකේ පිට පිරිමියෙක් ගෙ කටහඬෙන් ඒ පිරිමියව මනින්න මට කිසිම සුදුසුකමක් නැති බව මම දැනගෙන උන්නා.

“රෑ තිස්සෙ ඉතින් නින්දක් නෑ එක්කෙනෙක්ට. මං ඒත් කිව්වා ඕන තරං කාලයක් මගෙ බෝඩිමේ ඉන්න මට නං කිසිම අවුලක් නෑ කියලා” උෂාණි මගේ අතින් අල්ලගෙන මට හයියක් වෙන්න හැදුවා.

ඒත් තිදස් ඒක ඒ තරම් ලේසියෙන් ගත්තේ නැහැ. එයාගේ මූණේ තිබුණේ බැරෑරුම් බැල්මක්. “අවුලක් නැත්තෙ නෑනෙ උෂාණි. කසාද බැන්ද ගෑනියෙක් තමන්ගෙ කසාද මනුස්සයගෙ ගෙදරින් එලියට ඇවිත් වෙනම යාලුවෙක් එක්ක බෝඩිමක ඉන්නවා කියන්නෙ අවුලක් තමයි. අනික මනුසත්ට උනත් මොන මොන විදියෙ චෝදනා එල්ල කරන්න පුලුවන්ද ලිහිණිට මෙහෙම ආවයින්. අනික මේ බෝඩිම් කාමරේ ලිහිණිට කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද? ලිහිණිගේ අනාගතය ගැනත් අපි හිතන්න ඕනේනෙ.”

තිදස් එහෙම කියද්දී මට දැනුණේ මගේ අසරණකම තවත් වැඩි වුණා වගේ. මම බිම බලාගත්තා. “මට ඇත්තටම තේරෙන්නෙ නෑ මං මොකද්ද කරන්නෝන කියලා. එක පැත්තකින් මනුසත් මාව තමන්ගෙ ගේ අස්සෙදිම බැල්ලියෙක් වගේ  කරලා පාරට ඇදලා දැම්මා. අනිත් පැත්තෙන් මට ආපහු යන්න පාරක් පේන්න නැහැ. මට දැනෙන්නේ මම මුළු ලෝකෙම ඉස්සරහා පරාද වෙලා වගේ.”

“තේරෙන්නෙ නැත්තෙ කරන්නෝන දේ මොකද්ද කියලමයි කියන එක ශුවර් ද?” තිදස් හරිම කෙළින් මගේ ඇස් දිහා බලලා ඇහුවා. එයා ඒ අහපු දේ මගේ හිතේ හංගගෙන හිටපු බයවල් සේරම එළියට ඇදලා ගත්තා වගේ මට දැනුණා. මම උත්තරයක් දෙන්න බැරුව අසරණ වුනේ තිදස් අහපු ප්‍රශ්නෙටද එහෙම නැත්තම් ඒ ප්‍රශ්නෙ අහද්දි එයාගෙ මූණෙ ඇඳිලා තිබුන බැල්මටද කියන එක මට ඇත්තටම හිතාගන්න පුළුවන් වුණේ නෑ..

“මොකද්ද ඒ කතාවෙ තේරුම? ඔයා කියන්නේ මනුසත්කාරයා ලිහිණිට ඔය තරම් නින්දා කරලත් ලිහිණි ආපහු යන්න ඕනේ කියලද? එයා ලිහිණිව පාරට දැම්මේ භානුකීව ගෙට ගන්න. එහෙම තැනකට ආපහු යන්න කියන එක හරිද?”

“නෑ ඉතින් ඔය මනුසත්කාරයා ඔහොම දෙයක් කියලා මහ රෑ ගෑනි ගෙයින් එලියට යනකං බලන් උන්නා කියන්නෙ එහෙම මිනිහෙක් ළඟ ගෑනියෙක් ඉන්නෝනමද? ලිහිණිගේ හුස්ම පවා තමන්ගෙ පලවෙනියට කසාද බැඳලා ඩිවෝස් වුනා කියන ගෑනියෙක්ගේ මතකයන් එක්ක මනින මිනිහෙක් ළඟ මුළු ජීවිතේම කාලකන්නි කරගන්න එකේ තේරුම මොකක්ද? මම අහන්නේ ලිහිණිගේ හිතේ තාමත් ඒ ගෙදරට යන්න බලාපොරොත්තුවක් තියෙනවද කියලා විතරයි.”

ඒ ප්‍රශ්නෙට උත්තර දෙන එකෙන් මාව බේරගන්න වගේ තමයි අන්න ඒ වෙලාවෙ පික්මී එකෙන් කෑම ආවෙ. තිදස් ගිහින් ඒ පාර්සල් ටික අරන් ආවත් කාටවත් කෑම කන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. සාලේ තිබුණේ මහා සයිලන්ස් එකක්. තිදස් කෑම ටික මේසෙන් තියලා ආයෙත් මගේ ඉස්සරහින් වාඩි වුණා. එයාගේ ඇස්වල තිබුණේ මට මොනවා හරි උදව්වක් කරන්න ඕනේ කියන වුවමනාව.

“ලිහිණි, ඔයා බය වෙන්න එපා. මම මේ හැමදේකදීම ඔයාගේ පැත්තේ ඉන්නවා. හැබැයි මට ඕනේ ඔයා මේ වහල් බැම්මෙන් නිදහස් වෙනවා දකින්න. මනුසත් ඔයාට මනුස්සයෙක් විදියට නෙවෙයි සැලකුවේ. ඔයාව කසාද බැන්දයින් පස්සෙත් තමන්ගෙ පරණ ගෑනිව ගේ අස්සෙ දාගන්නවා නම් එතනින්ම ඔයාට තේරෙන්නෝන නේද තමන්ට ඒ ගෙදර අස්සෙ, ඒ මිනිස්සුන්ගෙ ජීවිත අස්සෙ ලැබිලා තියෙන තැන. එයා ඔයාව මේ රෑ පාරට ඇදලා දැම්මේ ඔයා ගැන කිසිම හැඟීමක් නැති නිසා කියන එක දැන්වත් ඔයාට තේරෙන්නෝනනෙ. මනුස්සකමක් තියෙන පිරිමියෙක් තමන්ගේ වයිෆ්ට ඔහොම සලකන්නෙ නෑනෙ ලිහිණි නේද?”

තිදස්ගේ වචන හරියට මගේ පපුව මැදින් යනවා වගේ දැනුණා. මනුසත් මට එවපු ඒ අන්තිම මැසේජ් එක මගේ හිතේ තාමත් කැරකෙනවා. “උඹේ ඉතිරි වෙච්ච කුණු ටිකත් අරන් පලයන්.” ඒ වචන මගේ හදවත පෑරුවා. භානුකී නිසා මාව කොන් කරපු හැටි, මාව දෙවැනි පන්තියේ ගැහැනියක් කරපු හැටි මම අවුරුදු ගාණක් ඉවසුවා. මම ඒ ගෙදර අතුගෑවේ, ඉව්වේ, මනුසත්ගේ හිත දිනාගන්න. ඒත් පාරට වැටුණම දැනෙන ඒ තනිකම මහා භයානකයි. මට හිතාගන්න බැරි වුණා මම කොහොමද මගේ අනාගතය හදාගන්නේ කියලා.

“අන්න ඒක නං සිරා කතාව. මනුසත්කාරයා ලිහිණිට සැලකුවේ වැඩකාරියකටත් අන්ත විදියට. එහෙමෙකේ මං නං කියන්නෙ ආයෙත් ඔයා ඔය පොල් බූරුවගෙ අස්සෙ රිංගන්න යන්නෙපා. එකපාරක් මෝඩකමට ගත්ත තීරණේ ආයෙ දැනගෙන ගන්නෝන නෑ නේද” උෂාණි කිව්වෙ තිදස් කතාව ඉවර කරන්නත් එක්කමයි.

 “ලිහිණි, මම කියන්නේ ඔයා ආයෙත් ඒ අපායට යන්න එපා. අපි කොහොම හරි ජීවත් වෙමු. ඔයාට රස්සාවකුත් තියෙනෙකේ මං කියන්නෙ ආයෙ ඔය මිනිහා ළඟ පින්සේණ්ඩු වෙන්න යන්නෙපා.”

“කියන තරං ලේසි නෑ ඉතින් ඔය කියන තීරණ ගන්න,” මම හීන් හඬින් කිව්වෙ ඇත්තටම මට එහෙම හිතිච්ච හන්දා. මම මගේ ඇඟිලි පටලව ගත්තේ හිත ඇතුළේ ඇති වෙච්ච ලොකු ගැටුම හන්දා. “කසාදයක් කියන්නේ මනුස්සයෙක් එක්ක විතරක් බැඳෙන එකක් නෙවෙයිනේ. මගේ අම්මලා තාත්තලා ලෝකෙට මූණ දෙන්නේ කොහොමද? මම මනුසත්ගේ ගෙදර වයිෆ් විදියට ඉද්දි මට තිබුණ පිළිගැනීම මට ඒ ගෙයින් එළියට බැස්සයින් පස්සෙ හම්බෙන්නෙ නෑනෙ. මම ඇත්තටම අතරමං වෙලා ඉන්නේ.”

තිදස් ආයෙත් සයිලන්ට් වුනේ මං එහෙම කිව්වයින් පස්සෙ. එයා මගේ මූණ දිහාම බලාගෙන ඉඳලා, හරිම හෙමින් මගේ හිත ඇතුළටම කඩාගෙන වදින ප්‍රශ්නයක් ඇහුවා. “ඔයා හිතන්නෙ ඔයාට මනුසත් තව චාන්ස් එකක් දෙන්නෝන කියලද?”

කාමරේ ඇතුළේ මහා සයිලන්ස් එකක් පැතිරුණේ ඒකට දෙන්නෝන උත්තරේ මට හිතාගන්න බැරිවෙච්ච හන්දා. පරණ ෆෑන් එක කරකැවෙන සද්දේ විතරක් ඇහෙද්දී මම මගේ හිත ඇතුළේ තියෙන හැම හැඟීමක් එක්කම පොර බැද්දා. මට මනුසත් ගැන තියෙන්නේ වෛරයක්ද? ආදරයක්ද? නැත්නම් මේ කසාදය බේරාගන්න තියෙන අසරණ වුවමනාවක්ද? මම ඇස් දෙක පියාගෙන මගේ අම්මලාගේ මූණු මතක් කළා. මනුසත් මාව පාරට දැම්මත්, මට ඕනේ වුණේ නැහැ ඒ පරාජය එහෙමම භාරගන්න. මගේ හිතේ අමුතුම හයියක් ඒ වෙලාවේ ඇති වුණේ අන්න ඒ හන්දා. ඒ හයිය ආවේ ආදරෙන් නෙවෙයි, මගේ අහිමි වෙච්ච ගරුත්වය ආයෙත් දිනාගන්න ඕනේ කියන තීරණයෙන්. මම මගේ කඳුළු පිහදාගෙන තිදස් දිහා බලාගෙන හීන් හඬින් මගේ තීරණය කිව්වා.

“මං හිතන්නෙ මං මනුසත්ට තව චාන්ස් එකක් දෙන්නෝන කියලා.”

උෂාණි අතේ තිබුණ වතුර වීදුරුව මේසෙන් තිබ්බේ ලොකු සද්දයක් එක්ක. “

ලිහිණි! උඹට පිස්සුද? ඌ උඹට මෙච්චර හරියක් කරලත්? මනුසත් උඹව පාරට දැම්මේ උගේ පලවෙනි කසාදෙ ගෑනි හන්දා. දෙවනි කසාදෙ ගෑනි ඉද්දි පළවෙනි ගෑනිවම තෝරගන්නවා කියන්නෙ උඹට උගෙ ලයිෆ් එක ඇතුලෙ කවදාවත් තැනක් තිබිළා නෑ කියලා තේරුංගන්න බැරි තරං උඹ මෝඩද? උඹ ආපහු යන්නේ ඒ දෙන්නා මැද්දට වෙලා තවත් විඳවන්නද?”

තිදස්ගේ මූණේ තිබුණේ විස්තර කරන්න බැරි පුදුමයක් වගේම කලකිරීමක්. එයා මොකුත් නොකියාම පුටුවෙන් නැගිටලා ජනේලෙ ගාවට ගියා. එයා පික්මී එකෙන් ගෙනාපු කෑම පාර්සල් ටික මේසේ උඩ ඔහේ හීතල වෙවී තිබ්බා. මම එහෙම තීරණයක් ගත්තේ මනුසත්ට තියෙන ආදරේ නිසා නෙවෙයි. මට ඕනේ වුණා මගේම කොන්දේසි මත ඒ ගෙදරට ආපහු ගිහින්, භානුකී ඉස්සරහා මගේ අහිමි වෙච්ච ගරුත්වය ආයෙත් දිනාගන්න. මනුසත්ට පෙන්නන්න මම එයා හිතන තරම් දුර්වල ගැහැනියක් නෙවෙයි කියලා.

“මට තේරෙන්නේ නැහැ ලිහිණි ඔයා මොකද්ද කරන්න හදන්නෙ කියලා,” තිදස් මං දිහා නොබලාම කිව්වෙ මහා බලාපොරොත්තු බිඳ වැටිච්ච හැඟීමකින්.

මම මොකුත් නොකියා බිම බලාගත්තා.

මොකද මට ඒ වෙලාවෙ තිදස්ගෙ බලාපොරොත්තු බිඳ වැටීම් එක්ක ඩීල් කරන්න උවමනාවක් තිබ්බෙ නෑ,

මොකද මං උන්නෙත් බිඳිච්ච ගෑනියෙක් වෙලා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here