කලුවර රෑ සඳක් වගේ – 42

0
1138

තිදස් එළියට බැහැලා ගියේ මගේ තීරණය ගැන දරාගන්න බැරි කලකිරීමකින් කියලා මම දැනගෙන හිටියා. 

ඒත් ඒ වෙලාවේ තිදස්ගේ බලාපොරොත්තු බිඳවැටීම් ගැන හිතන්න තරම් ඉස්පාසුවක් මගේ හිතේ තිබුණේ නැහැ. මම උන්නේ මනුසත් නිසා පිච්චිලා, අලුවෙලා ගිය ගෑනියෙක් වෙලා. ගෑනියෙක්ට තමන්ගේම කියලා හිතපු හතරැස් බිත්ති හතරකින්, තමන්ගේම කියලා අයිතිවාසිකම් කියපු මනුස්සයෙක්ගෙන් පාරට ඇදලා දැම්මම දැනෙන ඒ තනිකම, ඒ මදිපුංචිකම මුළු ඇඟ පුරාම හීනි උල් කටුවලින් අනිද්දි දැනෙනවා තරම් වේදනාවක්.

එදා රෑ මම නිදාගත්තේ නෑ. උෂාණිගේ ඒ පොඩි බෝඩිම් කාමරේ ඇඳේ එක කොනක ගුලි වෙලා මම බලන් හිටියේ මගේ ෆෝන් එක දිහා. මනුසත් එක මැසේජ් එකක්වත් එවයි කියලා මගේ හිතේ කොනක මෝඩ බලාපොරොත්තුවක් තිබුණා. “ලිහිණි… මට වැරදුණා, ආපහු එන්න” කියලා එයා කියනකම් මම මග බලන් හිටියේ මහා ලොකු අසරණකමකින්. ගෑනියෙක්ගෙ හිත කියන්නේ පුදුම හිතුවක්කාර තැනක්. තමන්ව කුණුගොඩක් වගේ පාරට ඇදලා දාපු මිනිහෙක්ගෙන් පවා ආදරේ බලාපොරොත්තු වෙන්න තරම් ඒ හිත පහත් වෙනවා. මොකෝ ඒ වෙලාවට ඕනම ගෑනියෙක් බලාපොරොත්තු වෙනවා තමන්ගෙ මිනිහා තමන්ව ඇක්සෙප්ට් කරාවි කියන එක. ආදරේ සහ අනුකම්පාව නොලැබෙන තැනක වේදනාවෙ ගිලෙන්න යන ගෑනියෙක් එල්ලෙන ඊලඟ පිදුරු ගහ වෙන්නෙ ඇක්සෙප්ටන්ස් කියන දේ.

කසාද මිනිහෙක්ගෙ ගෙදරින් රෙදි බෑග් එකක් උස්සගෙන එළියට බහිනවා කියන්නේ නිකන්ම නිකන් ගමනක් නෙවෙයි, ඒක ගෑනියෙක්, බිරිඳක් වෙච්ච ගෑනියෙක් තමන්ගෙ මුළු අනන්‍යතාවයම නැති කරගන්න වැඩක්. අද මම උෂාණිගේ බෝඩිමේ අමුත්තෙක්. හෙට මම පාරේ හිඟන්නියක් වෙන්නත් පුළුවන්. ඒ බය මගේ හුස්ම හිර කරනවා වගේ දැනුණා. මම කල්පනා කළේ මනුසත් මේ වෙලාවේ මොනවා කරනවා ඇද්ද කියලා. එයා භානුකී එක්ක සතුටින් ඇති. මම නැති අඩුව ඒ දෙන්නට නිදහසක් වෙන්න ඇති. මගේ පපුව මැද්දෙන් රිදුමක් ආවේ අන්න ඒ සිතුවිල්ලත් එක්ක. මම ඒ ගෙදර හැම අස්සක් මුල්ලක්ම පිරිසිදු කළේ, මනුසත්ට රසට කෑම හැදුවේ කවදා හරි දවසක මට එයාගේ හිතේ පළවෙනි තැන ලැබෙයි කියලා. ඒත් අන්තිමට මට සිද්ද වුණේ මෙලෝ දෙයක් නැති හිඟන්නියක් වගේ පාරට බැහැලා එන්න. ඇත්ත මනුසත් මට කෙළින්ම “ගෙයින් එළියට බැහැපං” කියලා කිව්වෙ නැති බව ඇත්ත. ගෙයින් එළියට මං බැහැලා ආවෙ මට තිබ්බ උවමනාවට බවත් ඇත්ත. ඒක එහෙම නොවුනනම් ඒක ප්‍රශ්නයක් නේද? තමන්ගෙ මිනිහා තමන්ගෙ දෙවනි ගෑනි ඉන්න අස්සටම පලවෙනි ගෑනිව ගෙන්න ගද්දි, ඒ ගෑනිට දෙවනි ගෑනිට තැන දෙද්දි තමන්ගෙ නම්බුව බේරගන්න මං එළියට බැහැපු එකේ කිසිම වරදක් තිබුණෙ නෑ.

පහුවදා උදේ පාන්දර හතර වෙද්දීම මම ඇහැරුණා. 

ඒක මනුසත්ගේ ගෙදර ඉද්දි මට ඇහැරෙන්න පුරුදු වෙච්ච වෙලාව. මම ඇඳෙන් බැහැලා කිසි සද්දයක් නොකර කුස්සියට ගියේ උෂාණිට ඇහැරෙයි කියන බයට. බෝඩිමේ ඒ පොඩි කුස්සියේ තිබුණ රයිස් කුකර් එකට හාල් ටිකක් දාලා, මම පරිප්පු හොද්දක් හදන්න ලෑස්ති වුණා. මම මේ හැමදේම කළේ බොහොම යාන්ත්‍රික විදියට. පුරුද්දට වහල් වෙච්ච ගැහැනියක් වගේ. වැඩක් කරද්දී විතරයි මගේ හිතේ තියෙන අර දරාගන්න බැරි “ඇයි මට මෙහෙම වුණේ?” කියන ප්‍රශ්නය තාවකාලිකව හරි යටපත් වෙන්නේ. පරිප්පු හොද්ද තෙම්පරාදු වෙද්දී එන සුවඳට මට එකපාරටම මතක් වුණේ මනුසත්. එයා පරිප්පු හොද්ද එක්ක රෝස්ට් පාන් කන්න හරිම ආසයි. මගේ ඇස් දෙකෙන් කඳුළු කැට කිහිපයක් පරිප්පු වළඳ ඇතුළටම වැටුණෙ ඒ හැමදේම මට ආයෙ ආයෙ මතක් වෙච්ච හන්දා.

මම උෂාණිටත් එක්ක බත් බෙදලා කෑම පාර්සලයක් බැඳලා දැම්මා. එයාට නිදහසේ ඉන්ටර්න්ශිප් එක කරන තැනට යන්න පුළුවන් වෙන්න මම ඒ හැමදේම ලෑස්ති කළේ මගේ හිතේ තියෙන ඒ මානසික ව්‍යාකූලත්වය වහගන්න. උෂාණි ඇහැරිලා කුස්සියට එද්දීත් මම සේරම වැඩ ඉවර කරලා උන්නෙ.

“මං හිතුවෙ උඹ අද නිවාඩු කියලා” උෂාණි ඇහුවේ පුදුමයෙන් වගේම දුකෙන්.

“නෑ බං… මම ඔෆිස් යනවා. නිකන් ඉන්නකොට පිස්සු හැදෙයි වගේ. වැඩක් කරද්දී තමයි හිතේ බර අඩුවෙන්නේ,” මම කිව්වේ බොරු හිනාවක් මූණට පටවගන්න උත්සාහ කරන ගමන්.

ඒත් ඒ හිනාව ඇතුළේ කොච්චර කඳුළු හංගගෙන හිටියද කියලා මම විතරයි දැනගෙන හිටියේ.

“වැඩට ගියාට වැඩක් කරගන්න තරම් හිතේ නිස්කලංකයක් තියෙද ලිහිණි?” උෂාණි මං ගාවට ඇවිත් මගේ උරහිසට අතක් තිබ්බා. එයාගේ හඬේ තිබුණේ මං ගැන ඇති වෙච්ච අවංක අනුකම්පාවක්. ඒ උනාට එවෙලෙ මට ඒ අනුකම්පාව දැනුනෙත් වදයක් වගේ.

“වැඩ තියෙද්දි හිතේ කරදර තියෙනවා කියලා අමතක වෙනවනෙ බං. නිකන් මෙතනට වෙලා කල්පනා කර කර හිටියොත් මට පපුවේ අමාරුවක් හැදෙයි. බිත්ති හතරක් දිහා බලන් ඉන්න එක තරම් වධයක් තවත් නෑ,” 

“ඔෆිස් එකේ උන්ට උඹ දැන් කියනවද මේක?” 

“පිස්සුද බං? කටක් ඇරලා කියන්න පුළුවන් දේවල්ද මට වෙලා තියෙන්නේ? මගේ මිනිහා මාව පාරට ඇදලා දැම්මා, එයා දැන් එයාගේ පරණ වයිෆ් එක්ක ඉන්නවා කියලා මම කොහොමද ලෝකෙට කියන්නේ? අනික මං උන් එක්ක එච්චර යාලුත් නෑනේ. මට බෑ මිනිස්සුන්ගේ හිනාවට අහු වෙන්න,” මම කිව්වේ වේගයෙන් හරියට මනුසත් එක්ක, ඔෆිස් එකේ උන් එක්කා තියෙන තරහා උෂානිගෙ පිටින් යවන්න වගේ.

කසාද මිනිහෙක්ගේ ගෙදරින් එළියට බැස්ස ගෑනියෙක්ට ලෝකයා දෙන නම මම දැනගෙන හිටියා. වැරැද්ද පිරිමියගේ වුණත්, ඇඟිල්ල දික් වෙන්නේ ගෑනි. “ඒකිගේ මොකක් හරි වැරැද්දක් ඇතිනේ” කියලා මිනිස්සු කියන කතා අහන්න මට හයියක් තිබුණේ නැහැ. අනික කොහොමත් ඔෆිස් එකේ ඉන්න උන් මට කතා හදන්න බලන් ඉන්නෙකේ මට උන්ගෙ අතට තුරුම්පු දෙන්න උවමනාවක් තිබ්බෙ නෑ.

කසාද ගෙදරින් එළියට බැස්ස ගෑනියෙක්ගෙ මානසික ඝට්ටනය විස්තර කරන්න වචන මදි. පාරේ යනකොට හැම මනුස්සයෙක්ම මං දිහා බලලා “කසාද මිනිහව දාලා ආව ගෑනියෙක්” කියලා හිතනවා වගේ මට දැනුණා. බස් එකේ ඉද්දි පවා මම උන්නේ ඒ වගේ ලොකු හීනමානයක. කසාද සහතිකේ කියන්නේ නිකන්ම නිකන් කොළ කෑල්ලක් වුණාට, ඒක නැති වුණාම ගෑනියෙක් කියන්නේ මේ සමාජය ඇතුළේ කිසිම වටිනාකමක් නැති වස්තුවක් වගේ. මනුසත් මට කරපු ඒ මානසික අවතැන් කිරීම මගේ ආත්ම විශ්වාසය සම්පූර්ණයෙන්ම බිංදුවටම ඇදලා දාලා තිබුණෙ.

ඔෆිස් එකේ ඉද්දිත් මගේ ඇස් තිබුණේ ෆෝන් එකේ. මම බලන් හිටියේ මනුසත් මාව හොයාගෙන එනකම්. මගේ හිත කිව්වා එයා කොහේ හරි ඉඳන් මං දිහා බලන් ඇති කියලා. එයාට මම නැතුව ඉන්න බැරි වෙයි කියලා මම මගේ හිතම රවට්ටගන්න හැදුවා. හැබැයි මනුසත්ට මම කියන්නේ නිකන්ම නිකන් විකල්පයක් විතරයි කියන එක ඒ බලන් ඉන්න කාලෙ එන්න එන්න තප්පරෙන් තප්පරේ වැඩිවෙද්දි මට තේරුං ගියා. එයාගේ ඇත්තම ආදරේ භානුකී. ඩිවෝස් උනත් මනුසත්ගෙ හිත රැඳිලා තියෙන්නෙ භානුකී ලඟ. එයා මාව කසාද බැඳගෙන තියෙන්නෙ භානුකීගෙන් හිස් වෙච්ච ශාරීරික ඉඩකඩ අහුරගන්න විතරයි කියලා මට අකමැත්තෙන් උනත්, වේදනාවෙන් උනත් පිළිගන්න සිද්ද වුණා. මම ඒ ගෙදරට ආපහු යන්න තීරණය කළේ මනුසත්ට ආදරේ නිසා නෙවෙයි, මට ඒ ගෙදරින් එළියට බහින්න ඕනෙ වුණේ බිඳිච්ච ගෑනියෙක් විදියට නෙවෙයි, මගේ හයිය මනුසත්ට පෙන්වලා දීපු ගෑනියෙක් විදියට හන්දා. මට ඕනෙ වුණේ මාව මුල්ලකට ඇදලා දාලා, ගොඩේ ගෑනියෙක් කියලා හඳුන්වපු මනුසත්ගේ ඇස් ඉස්සරහම මගේ ගරුත්වය ආයෙත් ගොඩනගාගන්න.

හැබැයි මේ හැම සිතුවිල්ලක්ම යටින් දිව්වේ ලොකු බයක්. මනුසත් මාව හොයාගෙන ආවේ නැත්නම්? එයා මාව සදහටම අමතක කළොත්? පිරිමියෙක්ට පුළුවන් ඇති ගෑනියෙක්ව මාසයක් ඇතුළත අමතක කරන්න. හැබැයි ගෑනියෙක්ට තමන්ගේ කසාද මිනිහාව අමතක කරනවා කියන්නේ පණ පිටින් මැරෙනවා වගේ වැඩක්. තිදස් මං ගැන කලකිරුණ එක ගැනත් මට දුකක් තිබුණා. තිදස් මට උදව් කරන්න හැදුවේ පිරිමියෙක් විදියට නෙවෙයි, මනුස්සයෙක් විදියට. ඒත් ඒ මනුස්සකම පිළිගන්න තරම් මගේ හිත එවෙලෙ නිදහස් වෙලා තිබුණේ නැහැ.

මම මගේ ඩෙස්ක් එකේ වාඩි වෙලා ෆයිල් එකක් දිහා බලන් උන්නා. මට ඒකේ අකුරු පේන්නේ නැහැ. මට හැම තැනකම මැවි මැවි පෙනුනෙ මනුසත්ගෙ මූණ.

 “මං ඔයා එනකන් බලන් ඉන්නවා මනුසත්… ඔයා මාව හොයාගෙන එන්න ඕනේ,” මම හීන් හඬින් කියාගත්තෙ මටමයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here