කලුවර රෑ සඳක් වගේ – 46

0
1123

අම්මා එක්ක කරපු ඒ දුරකථන සංවාදයෙන් පස්සේ එදා රෑ මට නින්ද ගියේම නැහැ. 

අම්මා කියපු වචනයක් වචනයක් පාසා මගේ හිතේ තුවාල ඇති කළා. “මනුසත් මහත්තයා වගේ රත්තරන් මනුස්සයෙක් ලැබුණේ පෙර පිනකට” කියලා අම්මා කියද්දී මට හිතුණේ මගේ පින නෙවෙයි, මගේ කරුමෙ කියලයි. ඒත් අම්මා කියපු එක කතාවක් මගේ හිතේ හොල්මන් කළා. “පළවෙනියා ආයෙත් ඒ හිස්තැනට රිංගාවි” කියන එක. ඒ කියන්නේ මම මේ කරපු දෙයින් වෙන්නෙ මනුසත්ට මගේ අගේට වඩා භානුකීගෙ අගේ තව තේරෙන්න මග පෑදිච්ච එකද? කියලා නොහිත ඉන්න මට පුලුවන් වුණේ නෑ. මම මාලිගාවෙන් එළියට බැස්සේ මගේ අභිමානය රැකගන්න වුණාට, ඒ හිස්තැන පුරවන්න භානුකී මාන බලන් ඉන්නවා නේද කියලා මතක් වෙද්දී මගේ පපුව පිච්චෙන්න ගත්තා.

පහුවදා උදේ මම ඔෆිස් එකට ගියේ මහා බරක් පපුව උඩ තියාගෙන. වෙනදාට මම බස් එකෙන් බැහැලා ඔෆිස් එකට යනකම් මගේ හිතේ තිබුණේ මනුසත් ගැන තරහක්. ඒත් එදා මගේ හිතේ තිබුණේ මටත් නොදැනීම මනුසත්ට මං එහෙම කරපු එක වැරදිද කියන ප්‍රශ්නාර්තෙ. 

 අම්මා කියපු විදිහට මම තව ටිකක් ඉවසුවා නම් මේ ප්‍රශ්න මෙච්චර දුර දිග නොගිහින් විසඳගන්න තිබුණාද? පිරිමියෙක් වුණාම එක එක වැරදි කරනවා කියලා අම්මා කියපු ඒ පරණ මතය මගේ හිත ඇතුළේ අලුත් වෙවී මට වද දුන්නා. මම කළේ හිතුවක්කාරකමක්ද? මනුසත් අම්මාට කතා කරලා මේ විස්තර කිව්වා කියන්නේ එයා මට ඇත්තටම ආදරේ නිසාද? නැත්නම් මාව ‍රවට්ටන්න එයා කරන තවත් එක සෙල්ලමක්ද?

ඔෆිස් එකේ දොර ඇරගෙන මම ඇතුළට යද්දී වෙනදා දැනෙන ඒ සැහැල්ලුව එදා මගේ හිතේ තිබුණේ නැහැ. ඇත්තටම මගේ මුළු ඔළුවම එකම අවුලක් වෙලා තිබුණේ. මට ඕන වුණේ ඉක්මනට මගේ සීට් එකට ගිහින්, තිදස් මගේ ළඟට එනකම් ඉන්න. මනුසත් එක්ක ඇති වුණ මේ හැම ප්‍රශ්නයකදීම මට නොදැනීම මගේ හිත තිදස් කියන සෙවණැල්ලට හුරු වෙලා තිබුණා. ඊයේ රෑ අම්මා මට බනිද්දී, මම තනි වෙලා කියලා දැනෙද්දී මගේ හිතේ එක පැත්තකින් ඇඳුණේ තිදස්ගේ මූණ.

මට ඕන වුණා තිදස් එක්ක මේ හැමදේම කියන්න. අම්මා මට දොස් කියපු හැටි, මනුසත් ගෙදරට කතා කරලා මාව වැරදිකාරිය කරපු හැටි කියලා හිත නිදහස් කරගන්න මම හිටියේ පුදුම නොඉවසිල්ලකින්. තිදස් කොහොමත් මගේ පැත්තේ ඉඳියි කියලා ලොකු විශ්වාසයක් මගේ හිතේ තිබුණා. එයා “පිස්සුද ලිහිණි… ඔයා කළේ හරි දේ” කියලා කියන එක වචනයක් ඇති මගේ මේ හිතේ තියෙන ගින්දර නිවන්න කියන එක මම දැනගෙන හිටියා.

මම බලාපොරොත්තු වුණේ ඔෆිස් එකේ පඩිපෙළ නගිනකොටම තිදස් මං එනකං බලාගෙන ඉඳීවි කියලා. වෙනදාට මම ලොබිය පහු කරලා මගේ සීට් එකට යනකොටම තිදස්ගේ කාමරේ දොර ඇරෙනවා. එයා අතේ තියෙන ෆයිල් එකක් දිහා බලන ගමන් හරි, එහෙමත් නැත්නම් කෝපි කෝප්පයක් අතින් අරන් හරි එළියට එන්නේ හරියට මම එන වෙලාව බලන් හිටියා වගේ.

ඒත් එදා කිසිම වෙනසක් වුණේ නැහැ. ඔෆිස් එකේ තියෙන සාමාන්‍ය සද්ද බද්ද ටික විතරයි ඇහුණේ. තිදස්ගේ කාමරේ දොර තදිට වහලා තිබ්බෙ. මම හිතාමතාම මගේ බෑග් එක මේසෙ උඩින් ටිකක් සද්දෙට තිබ්බා. මම හිතුවා ඒ සද්දෙටවත් එයා එළියට එයි කියලා. ඒත් නෑ.

විනාඩි දහයක් විතර ගෙවුණට පස්සෙ තමයි තිදස් එළියට ආවෙ. මම මගේ මූණේ තිබුණ අමනාප ගතිය පොඩ්ඩක් අඩු කරලා එයා දිහා බැලුවේ එයා ගුඩ් මෝනිං කියනකම්. ඒත් තිදස් මං දිහා බැලුවේවත් නැහැ. එයා කෙලින්ම ගියේ අනිත් පැත්තේ තියෙන ප්‍රින්ටර් එක ගාවට. එයා එතන හිටපු තව පිරිමි ළමයෙක් එක්ක හිනා වෙවී විහිළුවක් කළා.

මට දැනුණේ හරියට මම ඒ ඔෆිස් එකේ කාටවත් නොපෙනෙන මනුස්සයෙක් වෙලා වගේ. මම එදා එයාට කියපු දේවල් නිසා එයා තරහ වෙලා ඇති කියලා මම දන්නවා. ඒත් තිදස් කියන්නේ තරහක් හිතේ තියාගෙන ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එයාගේ මේ අලුත් නිහඬතාවය මට අමුතුයි වගේ දැනුනෙ අන්න ඒ හන්දා. ඒක මට දැනුණේ හරියට හිමින් සැරේ ඇඟට දැනෙන සීතලක් වගේ. හිරිගඩු පිපෙන. හීනියට හමට රිද්දන.

එයා ආපහු එයාගේ කාමරේට ගියේ මාව පහු කරගෙනමයි. මම හිතුවා එයා නතර වෙයි කියලා. අඩුම තරමේ එක තප්පරේකට මගේ ඇස් දිහා බලයි කියලා. ඒත් නෑ. එයා හරියට මම එතන හිටියේ නැති ගාණට, එයාගේ හිතේ තිබුණ ලොකු වැඩක් ගැන කල්පනා කරනවා වගේ තදට, සද්දෙට අඩි තියලා කාමරේට ගිහින් දොර වහගත්තා. මට දැනුණේ මගේ පපුව ඇතුළේ මහා ලොකු හිස්තැනක් හැදෙනවා වගේ. තිදස් මාව මග අරිනවා නෙවෙයි, එයා මාව ගණන් ගන්නේ නැති වෙන්න පටන් අරන් කියන එක මට තේරුණේ අන්න එවෙලෙ.

ඇත්තටම මට එතකොටයි තේරුණේ, ගෑනියෙක් කොච්චර ආඩම්බර වෙන්න හැදුවත් තමන්ට ඕනම වෙලාවේ ළඟ හිටපු පිරිමියා එකපාරටම අහක බලාගද්දී දැනෙන ඒ අසරණකම කොච්චරද කියලා. මම ඊයේ රෑ තිදස්ට බැන්නේ මගේ ජීවිතෙන් යන්න කියලා. ඒත් එයා ඇත්තටම ඒක කළාම මගේ පපුව හෝස් ගාලා පිච්චෙන්න ගත්තා. මට ඕන වුණේ එයා මගේ පස්සෙන් ඇවිත් “ලිහිණි මොකද මේ?” කියලා අහනවා දකින්න මිසක්, මාව නන්නාඳුනන කෙනෙක් වගේ දාලා යනවා දකින්න නෙවෙයි.

පැයක් විතර ගෙවුණා. මට වැඩක් කරගන්න හිතෙන්නෙම නැහැ. මම නිකමට වගේ මගේ කොණ්ඩේ හදාගත්තා, ලිප්ස්ටික් ටිකක් ගාගත්තා. මම දන්නවා තිදස් ආයෙත් පාරක් ප්‍රින්ටර් එක ගාවට එනවා කියලා. මම හිතාමතාම ෆයිල් එකකුත් අරන් ඒ පැත්තට ගියේ නිකන්වත් අපේ ඇස් දෙක මුණගැහෙයි කියන බලාපොරොත්තුවෙන්. ගෑනු අපේ හැටිත් පුදුමයි… පිරිමියෙක් පස්සෙන් එද්දී එපා කියනවා, ඒ මනුස්සයා ඩිමාන්ඩ් කරලා ලොකු සීන් දාලා අහක බලාගද්දී කොහොම හරි ඒ බැල්ම දිනාගන්න රූකඩයක් වගේ නටනවා.

මං එදා දවස තිස්සෙම උන්නෙ බලෙන් වගේ තිදස්ගෙ අවධානෙ, ඇස් බැල්ම මගෙ පැත්තට හරවගන්න මහන්සි වෙන ගමන්.

දවසම ගෙවිලා ගියේ මහා අමුතු විදිහකට. 

තිදස්ව දකින්න, එයාගේ වචනයක් අහන්න මගේ හිතේ තිබුණේ පුදුමාකාර පෙරේතකමක්. ඒත් තිදස් උන්නෙ හරියට ගලක් වගේ. මම හිතාමතාම එයාගේ කාමරේ දොර ළඟින් කිහිප සැරයක්ම එහා මෙහා ගියා. හිතාමතාම සද්දෙට හිනා වෙලා වෙන කෙනෙක් එක්ක කතා කළා. ඒත් තිදස්ගේ ඒ බැල්ම මගේ පැත්තට හැරුණේම නැහැ. ඇත්තටම මට එදා තමයි තේරුණේ, පිරිමියෙක් පස්සෙන් එනකොට දැනෙන ඒ ගැම්ම, එයා එකපාරටම අහක බලාගත්තම මහා ලොකු අසරණකමක් වෙලා හිත පාරනවා කියලා. තිදස් මගේ පස්සෙන් එනකම් මම ඒකේ අගයක් දැක්කේ නැහැ. ඒත් එයා ඒක නතර කරපු ගමන් මට දැනුණේ මම කාටවත්ම වැඩක් නැති කෙනෙක් වෙලා වගේ. එයා මාව මගහැරියේ හරිම සූක්ෂම විදිහට, මට රිදෙන තැන දැනගෙනමයි. ඒ නොසලකා හැරීම මගේ ආඩම්බරකම හීන් සැරේ හූරලා දානවා වගේ මට දැනුණා.

මට දැනුණේ හරියට මම හුදකලා දූපතක තනි වෙලා වගේ. මම ඊයේ එයාට එපා කිව්වට, අද එයා මාව එපා කියද්දී පපුව හෝස් ගාලා පිච්චෙන්න ගත්තා. මගේ මුළු දවසම ගෙවුණේ තිදස්ගේ එක බැල්මක් දිනාගන්න මම කරන පොඩි පොඩි රංගනයන් එක්ක. මම දන්නවා එයා ඒක දකිනවා කියලා, ඒත් එයා නොදැක්කා වගේ ඉන්නකොට දැනෙන ඒ ලැජ්ජාවයි රිදුමයි මට දරාගන්න බැරි වුණා.

මට ඉවසන්නම බැරි තැන, මම හෙමින් සැරේ තිදස්ගේ කාමරේට ගියේ පොඩි ෆයිල් එකකුත් අතට අරන්.

මට ඕන උනා තිදස් ගෙන් අහන්න මම මනුසත්ගෙන් ඇහුවෙ නැති ප්‍රශ්නෙ.

“ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here