“අම්මා එහෙම කියද්දී මටත් හිතුණේ මං මහ වැරදිකාරයෙක් කියලා තිදස්. මං මනුසත්ව දාලා ආපු එක වැරදි කියලා මටම හිතුණා. ඒ තරම් අම්මව පවා මෙන්ටලි මැනිපියුලේට් වෙන විදිහට තමයි මනුසත් කතා කරලා තිබුණේ. හරියට එයාගේ කිසිම වරදක් නැති ගාණට…ඔයා දන්නවද තිදස්, මනුසත් අම්මට කියලා තියෙන්නේ එයා මට පණ වගේ ආදරෙයිලු. මම තමයිලු හිතුවක්කාර විදිහට මේ හැමදේම කඩලා දාලා ආවේ කියලා. අම්මා දැන් මට සාප කරනවා. මට හිතාගන්න බැහැ මනුසත්ට කොහොමද පුළුවන් වුණේ මෙච්චර ඉක්මනට හැමෝවම එයාගේ පැත්තට හරවගන්න කියලා අනික් එක මේ වගේ බොරු රඟපෑමක් කරලා. මට දැනෙන්නේ මුළු ලෝකෙම මට විරුද්ධ වෙලා වගේ. අම්මා මට කියනවා මම අම්මලට පවා ලැජ්ජා කළා කියලා. මනුසත් මාව ඒ තරම් අසරණ කරලා තිදස්. එයා හැමෝටම පේන්න රත්තරන් මනුස්සයෙක් වෙලා, මාව හිතුවක්කාර ගෑනියෙක් කරලා ඉවරයි.” මම එක හුස්මට කියාගෙන ගියා. මම බලාපොරොත්තු වුණේ තිදස් “පිස්සුද ලිහිණි… ඔයා වැරදි නැහැ” කියලා මාව සනසයි කියලා.
එයා වෙනදා වගේ මගේ අතින් අල්ලලා “මම ඉන්නවනේ” කියලා කියන එක වචනයක් ඇති මගේ මේ හිතේ තියෙන ගින්දර නිවන්න කියල මම දැනගෙන උන්න හන්දා මං ඒ වචන බලාපොරොත්තු වුණා. මම ඒ කාමරේ මැද හිටගෙන හිටියේ හරියට අව්වෙ කරවෙන පිච්චෙන මනුස්සයෙක් වතුර බිඳක් බලාපොරොත්තු වෙනවා වගේ අසරණ වෙලා.
“දැන් මගේම අම්මා මට සාප කරනවා තිදස්. තමන් වදපු දරුවට වඩා අම්මට අර සල්ලි තියෙන, රඟපාන්න දන්න මනුස්සයා ලොකු වෙලා. මට වෙලාවකට හිතෙනවා ඇයි මම ගෑනියෙක් වෙලා ඉපදුණේ කියලා. පිරිමියෙක්ට ඕනම ජරා වැඩක් කරලා, අන්තිමට මාර අහිංසක විදිහට හිනා වෙලා ලෝකෙම තමන්ගේ පැත්තට හරවගන්න පුළුවන්. ඒත් ගෑනියෙක් තමන්ගේ ආත්ම ගරුත්වය රැකගන්න එක පියවරක් ඉස්සරහට තිබ්බත්, මුළු ලෝකෙම එකතු වෙලා ඒ ගෑනියව වට්ටනවා. මනුසත් කරන්නේ ඒකයි. එයා මාව හැමෝම ඉස්සරහා නරක ගෑනියෙක් කරලා ඉවරයි. මට දැනෙන්නේ මගේ හුස්ම හිර වෙනවා වගේ. මම මේ ලෝකේ තනි වෙලා කියලා දැනෙද්දී මට හිතාගන්න බැහැ මම කොහොමද මේ ප්‍රශ්න එක්ක තනියම ෆයිට් කරන්නේ කියලා.”
මම එයා දිහා බැලුවේ හරිම බලාපොරොත්තු සහගතව. මට ඕන වුණේ එයාගේ ඒ පරණ ලෙන්ගතු බැල්ම. ඒත් තිදස් මට ඒක දුන්නේ නැහැ. එයාගේ මූණේ තිබුණේ මම කවදාවත් දැකපු නැති රළු බවක්. මම එයාට කියපු ඒ හැම වේදනාවක්ම එයාට නිකන්ම නිකන් පරණ කතාවක් වගේ වෙලා. මට දැනුණේ මම තිදස්ගේ ඉස්සරහා තවත් හෑල්ලු වෙනවා වගේ. මම එයාගෙන් සැනසීම හිඟාකනවා නේද කියලා දැනෙද්දී මගේ හිත ඇතුළෙන් මහා ලොකු වේදනාවක් මතු වුණා.
එදා තිදස් මාව මගාරින එක දරාගන්න බැරිවෙච්ච තැන මම තිදස්ගේ කාමරේට ඇතුළු වුණේ හරියට මහා ලොකු බරක් පපුව අස්සේ හිර කරගෙන. මම හිටියේ මනුසත් ගැන නෙවෙයි, මගේ අම්මා ගැන මහා ලොකු බයකින්. මනුසත් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මම දැනගෙන හිටියට, අම්මා ඒ වචන විශ්වාස කරපු එක මගේ හිත සහමුලින්ම කඩලා දාන්න හේතුවක් වුණා. මට ඕන වුණා ඒ හැමදේම තිදස්ට කියන්න. මම දන්නවා තිදස් විතරයි මාව තේරුම් ගන්නේ කියලා.තිදස් ලැප්ටොප් එකට එබීගෙන මොනවා හරි ටයිප් කරනවා. මම ආවා කියලා එයා දන්නවා වුණත්, එයා ඔලුව උස්සලා බැලුවේ නැහැ. වෙනදා නම් මම දොර ගාවට එද්දීම “ආ ලිහිණි… එන්න එන්න” කියලා පිළිගන්න තිදස් අද හිටියේ මාව මීට කලින් දැකලවත් නැති ගාණට.
“තිදස්… මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?” මම ඇහුවේ හීන් හඬින්.
එයා ඇස් පොඩ්ඩක්වත් මගෙ දිහාවට හැරෙව්වෙ නැහැ. “වැඩක්ද ලිහිණි? මම මේ රිපෝට් එකක් ඉවර කරන්න හදන්නේ.”
එයාගේ ඒ රළු කටහඬ මගේ හිත පසාරු කරගෙන ගියා. ඒත් මට මේ වෙලාවේ තිදස්ව ඕනෙමයි. මගේ හිතේ තියෙන බය කියන්න මට හිටියේ එයා විතරයි.
තිදස් ලැප්ටොප් එකෙන් ඇස් අරන් මං දිහා බැලුවෙ මං සමහරවිට එයා කිව්ව දේට උත්තර දුන්නෙ නැති හන්දා වෙන්නැති. ඒත් ඒ ඇස්වල තිබුණේ වෙනදා දකින ලෙන්ගතුකම නෙවෙයි. නිකන්ම නිකන් හිස් බැල්මක්.
“ඉතින්… මම ඒකට මොකක් කරන්නද ලිහිණි?” එයා ඇහුවේ හරිම කෙටියෙන්. හරිම සරලව. ඒ උනාට ඒ සරලකමට පුළුවන් උනේ මාව තිගස්සවන්න. මාව උන්න තැනම ගල් ගස්සවන්න.
“එහෙම නෙවෙයි මං කිව්වෙ තිදස්… මට ඕන උනේ මගෙ හිත සනසගන්න මේ වේදනාව කාට හරි කියලා දාන්න. ඔයා දන්නවනේ මනුසත් කොහොම මනුස්සයෙක්ද කියලා. එයා දැන් මගේ අම්මවත් එයාගේ පැත්තට හරවාගෙන. මම හරිම අසරණ වෙලා ඉන්නේ. ඔයායි උශානී ඇරෙන්න මට මේ වෙලාවෙ වෙන මේ දේ…” කියල මං කතාව කියන්න හැදුවට, මගේ දුක් අඳෝනාව කියල තිදස්ව ආයෙ වරක් මගෙ පැත්තට නම්මගන්න හැදුවට එතන උන්නෙ වෙනදට මං දකින තිදස් නෙවෙයි වෙන කෙනෙක්.
“ලිහිණි… ඕවා ඔයාගේ පවුලේ ප්‍රශ්නනෙ” තිදස් හීනියට හිනා වෙලා කිව්වා. “අම්මා කියන එක හරි ඇති කියලා මටත් හිතෙනවා. මනුසත් කියන්නේ ලොකු තැනක ඉන්න, ස්ටැබිලිෂ් වුණු මනුස්සයෙක්නේ. මම වගේ පොඩි කොල්ලෙක් එක්ක ඕවා කතා කරන එකේ තේරුමක් නැහැ කියලා මට හිතෙනවා. ඔයාගේ ලොකු ලොකු ප්‍රශ්න විසඳන්න තරම් මම පරිණත නැහැනේ.අනික මොක උනත් මනුසත් තාම ඔයාගෙ හස්බන්ඩ්. ඔයා තමන්ගෙ හස්බන්ඩ් ගැන මෙහෙම ඔයාගෙ ඔෆිස් එකේ ඉන්න කෙනෙක් එක්ක ඇවිල්ල එක එක දේවල් කියන එක පොඩ්ඩක් හරි මදි වගේ නේද?”
“තිදස්… ඔයා තාමත් එදා මං කිව්ව දේ අල්ලගෙනද ඉන්නේ? මම ඒක කිව්වේ තරහට කියලා ඔයා දන්නවනේ. මට එවෙලෙ ඔලුවෙ තිබිච්ච කරදර එක්ක එහෙම කියවුණා තිදස්. මං හිතලා නොකිව්ව බව ඇත්ත එත් පස්සෙ කල්පනා කල්පනා කරද්දි මට උනත් තේරුණා මං එදා ඔයාට තරහෙන් එහෙම කතා කරපු එක වැරදි කියලා”
“තරහට වුණත්, ඇත්තට වුණත්… ඔයා පෙන්නුවේ මගේ තැන කොතැනද කියලා. ඉතින් මම දැන් මගේ තැන ඉන්නවා. මට දැන් ඔයාගේ පවුල් ප්‍රශ්න අහගෙන ඉන්න වෙලාවක් නැහැ. මට වැඩ ගොඩක් තියෙනවා.”
එයා ආයෙත් ලැප්ටොප් එකට ඔලුව නවාගත්තෙ මාව මගාරින්න වගේ. මම ඒ මේසෙ ඉස්සරහා භාරකාරයෙක් නැති අනාථයෙක් වගේ තප්පර කිහිපයක් හිටගෙන හිටියා. එයා මට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. මම මනුසත් ගැන කියපු ඒ බය, ඒ වේදනාව තිදස්ට අදාලම නැති ගාණට එයා මාව මගඇරලා තිබ්බා.
“එතකොට… මනුසත් මාව බලන්න එනවා කිව්වොත් මං මොකද්ද කරන්නෝන?”
“ඒක ඔයාලගේ පුද්ගලික දෙයක් ලිහිණි. ඔයාගේ හස්බන්ඩ් ඔයාව බලන්න එන එකේ වැරැද්දක් මම දකින්නේ නැහැ. මම දැන් ටිකක් බිසී. ඔයා යනකොට දොර වහගෙන යන්න.”
එයාගේ ඒ වචන ටික හරියට මගේ පපුවට තියපු වෙඩි උණ්ඩ වගේ මට දැනුනෙ. තිදස් මාව මනුසත්ගේ ගොදුරක් වෙන්න තනියම අත්හැරලා දාලා තිබ්බා. මම මගේ සීට් එකට ආවේ පණ නැති ගාණට. මම හිතුවේ තිදස් හෙවනැල්ලක් වගේ මගෙ පස්සෙන් ඉඳීවි කියලා.
මම සීට් එකට ඇවිත් මූණ ඩෙස්ක් එකේ ඔබාගෙන ඉන්නකොට මට ඇහුණා තිදස්ගේ කාමරේ දොර ඇරෙන සද්දේ.
මම හිතුවා එයා මගේ ළඟට ඇවිත් කියයි කියලා
“ලිහිණි මම විහිළුවක් කළේ”


