කලුවර රෑ සඳක් වගේ – 48

0
240

 

තිදස්ගේ ඒ දරුණු වෙනස් වීම මට දරාගන්න බැරි තරම් වෙච්ච එකක්.

පිරිමියෙක් තමන්ට ආදරේ කරන කොට දැනෙන ඒ ආරක්ෂිත බව එකපාරටම නැති වෙලා ගියාම දැනෙන හුදකලාව මීට කලින් මම අත්විඳලා තිබුණේ නෑ. තිදස් මාව මගහරින්න පටන් ගත්තේ හරිම සූක්ෂම විදිහට. ඒ මගහැරීමට අලුත් පණක් ලැබුණේ මීට සති කිහිපයකට කලින් අපේ ඔෆිස් එකට අලුතින් ආපු ෂෙරින් නිසා. ෂෙරින් කියන්නේ හරිම කටකාර, හැමෝමත් එක්කම හිනා වෙලා ඉන්න, පොඩි හුරතල් ගතියක් තියෙන කෙල්ලෙක්. එයාගේ පෙනුම වගේම කතාවත් හරිම ආකර්ෂණීයයි. එයා ඇඳපු විලාසිතා සහ ඒ හැඩකාර හිනාව තිදස්ගේ අවධානය දිනාගන්න වැඩි කාලයක් ගත්තේ නැහැ කියන එකත් එක්ක මට තේරුනා මනුසත් භානුකීව ආයෙ වතාවක් මං එක්ක රිප්ලේස් කරා වගේ තිදස්ටත් එයාගෙ හිතේ මං උන්න තැනට ෂෙරින්ව අරගෙන එන එක මහ දෙයක් වෙයි කියලා. “පිරිමි කොහොමත් හරි ඉක්මනට වෙනස් වෙන මිනිස්සු” කියලා මං මටම කියාගත්තෙ හරිම හිත් වේදනාවෙන්. ඊටත් එහා මගෙ හිතට ලොකුවටම වද දුන්නා “මං මෙච්චර රිප්ලේසබල් මනුස්සයෙක් වුනේ කොහොමද?” කියන එක.

වෙනදාට මම උදේට ඔෆිස් එකට එනකොට, තිදස් තමන්ගේ කාමරේ දොර ළඟට හරි ඇවිත් මං දිහා බලලා හිනා වෙනවා. ඒත් දැන් තිදස් එන්නේ ෂෙරින් එක්ක හිනා වෙවී. එයාලා දෙන්නා එකට ලොබිය පහු කරගෙන යනකොට මට දැනෙන්නේ මගේ පපුව මැදින් දුං කෝච්චියක් යනවා වගේ. මම ලස්සනට ඇඳලා, කොණ්ඩේ හදලා, ලිප්ස්ටික් ටිකක් ගාලා හිටියත් තිදස් එදා අපේ කතාවෙන් පස්සෙ ඇස් කොනකින්වත් මගේ දිහා බැලුවේ නැහැ. ඒ කිව්වෙ වෙනදා විදියට එයා මං දිහාව බැලුවෙ නෑ. ඒ වෙනුවට එයා ෂෙරින්ගේ මේසෙ ළඟ නතර වෙලා, එයාගේ මොනවා හරි පොඩි වැඩක් ගැන විනාඩි ගණන් විහිළු කර කර ඉන්නවා මම සීට් එකේ ඉඳන් හොරෙන් බලාගෙන හිටියා.

“තිදස් සර්… මට මේ රිපෝට් එකේ මේ කොටස තේරෙන්නේ නැහැනේ,” කියලා ෂෙරින් හුරතල් වෙද්දී, තිදස් මාරම ලෙන්ගතු විදිහට එයාගේ ළඟටැවිත් නැවිලා ඒක කියලා දෙනවා. මම දන්නවා තිදස් එහෙම කරන්නේ මට රිද්දන්න කියලා. එයා මාව පහු කරගෙන යද්දී මම බලෙන් හරි එයාගේ ඇස් දෙක මගේ ඇස් දෙක එක්ක සමපාත කරගන්න උත්සාහ කළා. මම හිතාමතාම ෆයිල් එකක් අරන් එයාගේ කාමරේ පැත්තට ගියා. ඒත් තිදස් හරියට මම ඒ පුටුවේ හිටියෙම නැති ගාණට, ෂෙරින් දිහා බලලා “ෂෙරින්… අපි අර මීටින් එකට යමුද?” කියලා අහලා හිනා වෙලා එළියට ගියා. එයා ඒ හැමදේම කරේ මාව සම්පූර්ණයෙන්ම මග අරින්න කියන එක බව දැනගෙන උන්නත් තිදස්ව මගෙන් මග ඇරීමෙන් මුදවගන්න කරන්නෝන මොකද්ද කියන එක ගැන හිතාගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.

මට එදා තමයි තේරුණේ, ගෑනියෙක්ට තමන්ගේ අභිමානෙ රැකගන්න ඕන වුණාට, තමන් ආදරේ කරන පිරිමියා තමන්ව නොසලකා හරිනකොට දැනෙන ඒ අප්‍රමාණ අසරණකම කොච්චරද කියලා. මම ඊයේ එයාට එපා කිව්වට, අද එයා මාව එපා කියද්දී පපුව හෝස් ගාලා පිච්චෙන්න ගත්තා. තිදස්ගේ ඒ නිහඬතාවය මනුසත්ගේ නපුරු වචනවලට වඩා දරුණු විදිහට මගේ හිත පාරන්න ගත්තා. ෂෙරින් කියන ඒ අලුත් කෙල්ලගේ හිනාව මගේ කන් අඩි පුපුරවන්න වගේ ඒකි හිනාවෙන හැම වෙලාවකම මට දැනුණා. මම තිදස්ගේ පස්සෙන් වැටෙන්න වැටෙන්න, එයා මාව තවත් හෑල්ලු කරනවා කියලා දැනෙද්දී මට මං ගැනම ඇතිවුණේ පිළිකුලක්. පිරිමියෙක් අහක බලාගද්දී ඒක මගේ මුළු ලෝකයම කඩා වැටීමක් වගේ මට දැනෙන්නෙ ඇයි කියන එකට මං උත්තර හෙව්වට මං කවදාවත් මගෙන් ඇහුවෙ නෑ “ගෑනියෙක් විදියට මෙහෙම පිරිමි ඉස්සරහා බාල්දු වෙන්න මට ලැජ්ජ නැද්ද?” කියලා.

මට මේ නිහඬතාවය තවදුරටත් දරාගන්න බැරිම තැන, මම තීරණය කළා මොනවා වුණත් කමක් නැහැ කියලා තිදස් එක්ක ආය වතාවක් කෙළින්ම කතා කරන්න. ඒ කතාබහ පටන් ගන්න මට උන්න හොඳම ඉත්තා වුණේ මනුසත්. මනුසත්ව දඩමීමා කරගෙන මං උත්සහ කරේ තිදස් අපි දෙන්නා අතර ක්‍රියේට් කරමින් උන්න ලොකුම ලොකු බැරියර් එක බ්‍රේක් කරන්න. මට ඕන වුණා මනුසත් මගේ අම්මව රවට්ටලා තියෙන හැටිත්, මම කොයි තරම් බයකින්ද ඉන්නේ කියලත් එයාට කියන්න. මම හිතුවා මගේ ඇස්වල තියෙන කඳුළු දැක්කමවත් එයාගේ ඒ හිතුවක්කාර හිත උණු වෙයි කියලා. එයාගේ කාමරේ දොර ළඟට යද්දී මගේ පපුව ගැහුණේ හරියට බෙරයක් ගහනවා වගේ.

“තිදස්… මට විනාඩියක් කතා කරන්න පුළුවන්ද?” මම හීන් හඬින් ඇහුවෙ හරියට වරදක් කරලා ඇවිත් සමාව ගන්න පොඩි එකෙක් වගේ. මං කොච්චර අනුකම්පා සහගත වොයිස් එකකින් කතා කරත් තිදස් ලැප්ටොප් එකෙන් එහාට ඇස් ගත්තෙම නැහැ. එයාගේ ඇඟිලි වේගයෙන් කීබෝඩ් එක උඩ නටනවා මම දැක්කෙ මං එයා දිහාවම බලන්න ඕන

. “වැඩක්ද ලිහිණි? මම මේ ක්ලයන්ට් කෙනෙක්ට මේල් එකක් දාන ගමන් ඉන්නේ. හදිසියක් නැත්නම් පස්සේ එන්න.”

“හදිසියක් නෙවි ඒ උනාට මට උවමනයි ඔයා එක්ක කතා කරන්න. ඉස්සර වගේ නෙවෙයි ඔයා දැන් හුඟක් වෙනස් වෙලා කියන එක මට වගේම ඔයාට උනත් පිළිගන්න සිද්ද වෙනවා නේද?” මම එක හුස්මට කියාගෙන ගියා.

“මං වෙනස් වෙලාද නැද්ද කියලා කියන්න තරංවත් ඔයා මාව දන්නවද කියන එක මට ප්‍රශ්නයක්. හරි මං වෙනස් වෙලාමයි කියන්නකො. ඒක ඔයාට ප්‍රශ්නයක් උනේ කොහොමද? මම ඔයාගෙ කවුරුවත් නෙවෙයිනෙ නේද?” කියලා අහද්දිවත් තිදස් එක තප්පරේකටවත් මං දිහා බැලුවෙ නෑ. මට ඒකෙන්ම තේරුනා එයා මේ උත්සහ කරන්නෙ එයා මාව මගාරින බව මට තව දුරටත් තේරුම් කරවන්න, අවධාරණය කරවන්න වගේ. ඒත් මං උන්නෙ ඒක නොතේරුං ගෙන. එහෙමත් නැත්තම් තේරුණත් නොතේරුණා වගේ.

“ඔයයි උෂාණි විතරයි මට මනුසත් ගැන කියන්න මගෙ කියලා කෙනෙක්ට උන්නෙ. දැන් ඒකෙනුත් ඔයා මාව මේ විදියට ඉග්නෝර් කරද්දි මම කොහොමද ඒක දරාගන්නෙ? මං ඇයි ඒක ඒ විදියටම භාරගන්නෙ?”

තිදස් ලැප්ටොප් එක වහලා, පුටුවේ පස්සට වෙලා මං දිහා බැලුවේ හරිම අප්‍රසන්න බැල්මකින්. 

“ඉතින්… මම ඒකට මොකක් කරන්නද ලිහිණි? මම ඔයාගේ සෙකියුරිටි ගාඩ් නෙවෙයිනේ. ඔයා මනුසත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන ගෙදරින් ආවේ ඔයාට ඒක තනියම මැනේජ් කරගන්න පුළුවන් නිසා නේද. දැන් ඇයි මගේ ළඟට ඇවිත් මේවා කියන්නේ? මං ඇයි තවදුරටත් ඔයාගෙ දුක් ගැනවිල්ල අහගෙන ඉන්නෝන කෙනෙක් වෙන්නෝන?”

“තිදස්… ඔයා නේද මට කිව්වේ මම ගත්ත තීරණේ හරි කියලා? ඔයාට අමතකද ඔයා මට කිව්වා මං හරි නම් මනුසත්ගෙන් ඩිවෝස් වෙන්නෝන කියලා? ඇයි දැන් මෙහෙම කතා කරන්නේ?” මම ඇහුවේ අදහාගන්න බැරුව.

“ඔව්… එදා මම උදව් කළේ යාළුවෙක් විදිහට. හැබැයි එදා ඔයා මට මතක් කරලා දුන්නානේ මම ඔයාගේ ජීවිතේට අදාළ නැති, කිසිම දෙයක් තේරෙන්නේ නැති පොඩි කොල්ලෙක් විතරයි කියලා. ඉතින් දැන් මම ඒ සීමාව ඇතුළේ ඉන්නවා. මනුසත් ඔයාව බලන්න එන එක, අම්මා බනින එක… ඒවා ඔයාගේ පවුලේ ප්‍රශ්න. ඒවට මාව ගාවගන්න එපා. මට දැන් ඔයාගේ පවුල් අර්බුද අහගෙන ඉන්න වෙලාවක් නැහැ. මට මේ ප්‍රොජෙක්ට් එක ඉවර කරන්න තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here